අතීතයට කළු පැල්ලමක් එක්කරමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21දා) දෙවසරක් ගත වී හමාරය. පාස්කු ප්‍රහාරයේ අග - මුල සෙවීමට පත්කළ කොමිසමට කාලයෙන් කාලයට විවිධ පුද්ගලයන් කැඳවුවත්, වසර දෙකක් ගතවනතුරුත් ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට වගකිවයුත්තෝ අපොහොසත් වීම මහත් ඛේදයකි. පාස්කු ප්‍රහාරය සිදු වී දෙවසරක කාලයක් ගතවෙද්දී යළි ඒ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අපි සිතුවෙමු.
“ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා අපිත් එක්ක එකතු වෙන්න"
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙරේදා (19දා) සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කිරීමක් සිදුකර ස්ථිර විසඳුමක් ලබාදීම රජයෙන් අපේක්ෂා කරන බවයි. එලෙසම පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරන අද (21දා) දිනයේ උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් ඔවුන්ව සිහිකරන ලෙසද උන්වහන්සේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
“අපි අපේ රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය කියන එක අතීතයේ සිදුවුණු, සිදුවීමක් ලෙස අමතක කරලා දාන්න ලෑස්ති වෙන්න එපා. ඒක මේ රට ඇතුළේ සිදු වී යන විනාශකාරී වැඩපිළිවෙළක්. ඒ විනාශකාරී වැඩපිළිවෙළ මොකක්ද කියලා හරියට සොයා බලා, ඒ ගැන අවධානය 100%ක් ලබාදී ඒ අවශ්‍ය ව්‍යුහයන් සකස් කළ යුතුයි. මේක නීතිපතිවරයාට පමණක් පවරලා අත හෝදගෙන නෙවෙයි, මේ විමර්ශන මීට වඩා ශක්තිමත්ව සිදුකර ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් දියත් කරන්න කියලා තමයි අපි බලගතු අයගෙන් ඉල්ලන්නේ. එහෙම කරන්නේ නැතිව මේක අපට සැමරුමක් කරලා වැඩක් නැහැ. සැමරුම නෙවෙයි වැදගත්. මේක මුලිනුපුටා දැමීම තමයි වැදගත්. අපි ඉල්ලීමක් කරනවා මුළු රටේම ජනතාවගෙන්, විශේෂයෙන්ම ආගමික නායකයන්ගෙන් මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සලකලා තම තමන්ගේ පන්සල්වල සහ කෝවිල්වල වගේම දේවස්ථානවල ඒ විනාඩි 2ක නිශ්ශබ්දතාව ආරක්‍ෂා කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”
“පාස්කු ප්‍රහාරයෙන් හෙළිදරව් වූ මහා ජාතික අනතුර ලඝුකොට දකින්න එපා"
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාව අධ්‍යයනය පිළිබඳ කාදිනල් හිමියන් විසින් පත්කළ කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් එම කමිටු වාර්තාවේ සඳහන් කරුණු කාරණා ගෙනහැර දක්වමින පැවසුවේ, මෙම ප්‍රහාරය පිළිබඳ පුළුල් දැක්මකින් අධ්‍යයනය කළ යුතු බවයි. පියතුමන් තවදුරටත් කොමිෂන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ මෙසේ අදහස් දැක්වූහ.
“පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. මේ වෙලාවේ අපි මේ පාස්කු ප්‍රහාරය දිහා බලන්න ඕන පුළුල් දැක්මකින්. අපිට පාස්කු ප්‍රහාරයෙන් හෙළිදරව් වූ සත්‍යතා හා වටපිටාව නිවැරදිව වටහා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් අපි දකිනවා සහරාන් ඇතුළු කණ්ඩායමක් තවුහිද් නමින් අන්තවාදී සංවිධානයක් පිහිටුවාගෙන කටයුතු කර ඇති ආකාරය. මේ කණ්ඩායම විසින් මේ රටේ හැම ප්‍රදේශයකම වගේ කඳවුරු 15ත් 17ත් අතර සංඛ්‍යාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ කඳවුරු 17 තුළ සහරාන් දේශන පහක් දී තිබෙනවා. ඒ දේශන පහේ ඇතුළත් වෙනවා ඉස්ලාම් රාජ්‍යයක් කියන දේ ගැන විග්‍රහයක්. මුස්ලිම් ජාතියෙන් පිටස්තර ජාතීන් හා ආගමිකයන් විනාශ කර දැමිය යුතුයි යන ස්ථාවරයේ සිට ජිහාඩ් යන අන්තවාදී මතය පිළිබඳ ප්‍රකාශ කරනවා. ඒ වගේම ලෝකයේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන පහරදීම් හා අසාධාරණකම්වලට පළිගැනීම් අවශ්‍ය බවත්, අපේ රටේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන දේවල්වලට පළිගැනීම් අවශ්‍යයි කියන දේත් ඔහු දේශනාවල ඉස්මතු කර තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය නිර්දය ලෙස විවේචනය කරලා, ප්‍රජාතන්ත්‍රවාදී රටක මුස්ලිම්වරුන්ට ජීවත් වෙන්න බෑ කියන මතය ගෙනැවිත් තිබෙනවා. මෙය ඉතාමත් භයානක අන්තවාදී මතවාදයක්. මේ කඳවුරුවලට අඩුම වශයෙන් මුස්ලිම් තරුණ තරුණියන් 350ක් පමණ සහභාගී වී ඇති බවට වාර්තා වෙනවා. මේ 350දෙනාට දේශන පැවැත්වීමෙන් පසු ටී.56 තුවක්කු භාවිතය පිළිබඳව, පුපුරන ද්‍රව්‍ය භාවිතය පිළිබඳව, බෝම්බ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව න්‍යායාත්මක පුහුණුවක් දී තිබෙනවා. මේ හැම කඳවුරකදීම සහභාගීවූවන් දෙකට බෙදලා එක් කණ්ඩායමක් මරාගෙන මැරෙන්න ප්‍රතිඥා ලබාගෙන තිබෙනවා. අනෙක් කණ්ඩායම අවි ආයුධ අරගෙන සටන් කරන්න පුහුණුව ලබාදීලා ප්‍රතිඥා ලබාගෙන තිබෙනවා. එවිට අපි ගත්තොත් මේ 350දෙනා සම්පූර්ණයෙන් අන්තවාදය පමණක් නොවේ, ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය ග්‍රහණය කරගෙන පුහුණුව ලැබූ අයයි. එහෙනම් අපේ ප්‍රශ්නය තමයි මේ 350න් භාගයක් ඒ කියන්නේ 170ක් පමණ මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දී තිබෙද්දී ප්‍රහාරයෙන් මිය ගියේ 5ක් හෝ 6ක් පමණයි. ඉතුරු අය කෝ? ඔවුන් එහෙනම් මේ රටේ නිදැල්ලේයි සිටින්නේ. මේ 350 අතරින් කී දෙනෙක් අඳුරගෙන තියෙනවාද? කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද? ‘අපි ප්‍රවෘත්තිවලදී ඇහුවා මේ ප්‍රහාරය සිදුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී එක්තරා සමාගමක් විසින් විදේශයකින් කඩු 6000ක් ආනයනය කර ඇති බව. මේ ආනයනය කළ කඩු 6000 ප්‍රහාරයට පෙර රට පුරා බෙදාහැරලත් තිබෙනවා. මේ කඩුවලින් 400ක් පමණ තමයි පොලිස් භාරයට ගෙන තිබෙන්නේ. ඒ කියන්නේ ඉතිරි කඩු සියල්ල සමාජයේ නිදහසේ සංසරණය වෙනවා. මේ මම සඳහන් කළ කරුණු සියල්ල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙන දේවල්. මේ කාරණා ගැන අපි බැලුවම මේ රට කෙතරම් අනාරක්ෂිත තැනකද තියෙන්නේ කියන දේ පැහැදිලි වෙනවා. මේ මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 20දෙනෙකුට හිතුණොත් මරාගෙන මැරෙන්න, එය මුළු රටේම ආරක්ෂාවට ප්‍රශ්නයක්. අපි අද ඉන්නේ ඉතාම අනාරක්ෂිත තැනක. ඒ නිසා මම හිතන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනාම රටට ආදරය කරන අය විදිහට තේරුම් ගන්න ඕන මේ රට කොතරම් අනාරක්ෂිත තැනකද තියෙන්නේ කියන දෙය. වහබ්වාදය කියන දේ මේ දහවෙනි ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා පාසල් පෙළපොත්වල සටහන් වෙලා තියෙනවා කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. මේවාගෙන් මොළ නරක් කර ගත්ත මුස්ලිම් දූදරුවෝ අද නව යොවුන් වියේ සිටිනවා. අන්තවාදී වහබ්වාදය වැලඳගත් කීදෙනෙක් මේ රටේ එතකොට ඉන්නවාද? ඒ නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි ඉල්ලන සාධාරණත්වය කතෝලික ජනතාව වෙනුවෙන් පමණක් ඉල්ලන දෙයක් නොවෙයි. මේක මුළුමහත් ජාතිය වෙනුවෙන්, මුළුමහත් රට වෙනුවෙන්ම ඉල්ලන දෙයක්. ඒ වගේම මද්‍රසා පාසල්වල මේ අන්තවාදී ඉගැන්වීම් ඉගැන්නුවා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. එහෙනම් සමාජය තුළ මේ අදහස් දරන අය කීදෙනෙක් ඉන්නවා ඇත්ද? මේ අයව හොයාගෙන මේ අයව විනාශ කරන්න හෝ මරා දාන්න කියල නෙවෙයි අපි ඉල්ලන්නේ. මොවුන්ව අනිවාර්යෙන් පුනරුත්ථාපනය කරන්න අවශ්‍යයි. ඒ කටයුතු කරන්න ඕන විශේෂඥයන්ගෙන් සැදුණු කමිටුවකින්. එය ජාතික වැඩපිළිවෙළක් විය යුතුයි. අන්තවාදීන්ගෙන් රට බේරාගන්න එක ජාතික වැඩපිළිවෙළක් බවට පත්කරගත යුතුයි. එය තමයි අපි ඉල්ලන්නේ. 2019 වර්ෂයේ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මිය ගිය මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් එන්නේ, ඒ ප්‍රහාරය නිසා හෙළිදරව් වූ මේ මහා ජාතික අනතුර අපි හරියට කළමනාකරණය කර ගත්තොත් පමණයි. ඒ නිසා අපි ඉල්ලන්නේ මේක හුදෙක් කතෝලිකයන්ගේ ප්‍රශ්නයක් විදිහට දකින්න එපා කියලයි. මේක ලඝු තැනකට ගේන්න යමෙක් උත්සාහ කරනවා නම් එයින් සිදුකරන්නේ දේශයටම ද්‍රෝහිකමක්. මීට වඩා විශාල අනතුරක්, මහා සමූල ඝාතනයක් සිදුවන තුරු අපි ඇස්වහගෙන සිටිනවා නම් අපේ දේශයටම සිදුකරන ද්‍රෝහිකමක් විදිහටයි අපි දකින්නේ.”
“අවුරුදු දෙකක් ගිහින් තවමත් පොළොවේ පය ගහන්න බැරි තරමට ආබාධිත වූ අය ඉන්නවා"
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මංජුල නිරෝෂන් පියතුමන්
“මේ වගේ බෝම්බ ප්‍රහාරයක් අපි කවදාවත් අත්විඳලා නැති සිදුවීමක් නිසා අපි සියලුම පියතුමන්ලා එකට එකතුවෙලා සාකච්ඡා කළා මොකක්ද කරන්න ඕන කියලා. ඒ අනුව අපි මේ ප්‍රහාරය නිසා වින්දිතයන් බවට පත්වූ අපේ ජනතාවත් එක්ක අපි ඉන්නවා කියන එක ඔවුන්ට දැනෙන්න සැලැස්වුවා. ලංකාවේ සියලුම පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් ඇවිත් සියලුම ගෙවල් බැහැදැක්කා. ඒ අයත් එක්ක ඔවුන්ගේ වේදනාවන් බෙදා ගත්තා. ඒ වගේම අනෙක් අවශ්‍යතා සඳහා යුහුසුළුව කට්ටිය බෙදිලා වැඩ කරන්න ගත්තා. අපි මේ කටයුතු කරගෙන යනකොට හඳුනාගත්තා අපේ ජනතාවට මානසික වශයෙන්, සාමාජීය වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් සහායක් අවශ්‍ය බව. අපි දැක්කා මේ ජනතාව ආතතියෙන් පෙළෙන බව. ඔවුනට උපදේශන සේවා අවශ්‍ය බව පෙනී ගියා. අපි ගමේම ගෙදරක් කුලියට අරගෙන එම්මාවුස් කියන නම යොදා උපදේශන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබුවා. මනසින් වැටිලා හිටිය ජනතාව සුවපත් කරන්න අවශ්‍ය වැඩසටහන් එදා සිට අද දක්වාම ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම අපි දැක්කා මේ ජනතාවට ආර්ථික පැත්තෙන් සිදුවෙලා තිබෙන හානිය. ඇතැමුන්ගේ පවුල්වල ආදායම් උපයපු පුද්ගලයන් තමයි මියගොස් සිටියේ. ඒ වගේම තුවාල ලබා ආබාධිතව සිටියේ. ඔවුන් අපහසුතාවලට මුහුණදීලා සිටියා. ඇතැමුන්ට ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබුණත්, ඉදිරි ප්‍රතිකාර සඳහා වැය කරන්න මුදල් තිබුණේ නැහැ. ඒ අනුව අපි පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාදෙන්නට අවශ්‍ය කටයුතු සැලැස්සුවා. අවුරුදු දෙකක් ගිහින් අදටත් දරුණු ආබාධවලට ලක්වෙලා පොළොවේ පය ගහන්න බැරිවුණ අය ඉන්නවා.
ඒ වගේම හැමදාම මොවුන්ට ආධාරවලින් ජීවත් වෙන්න බැරි නිසා ඔවුන්ව නගාසිටුවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම කුලී නිවාසවල ජීවත් වූ ජනතාවට කුලී ගෙවා ගැනීමේ ගැටලු ඇති නිසා නිවාස ප්‍රශ්නය විසඳන්නට අපිට අවශ්‍ය වුණා. එවක රජය අපිට කිව්වා ඉඩමක් තියෙනවා නම් නිවාස ඉදිකර දිය හැකි බව. ඒ අනුව කතෝලික සභාව මිලියන ගණනක් වියදම් කරමින් ඉඩම් දෙකක් මිලදී ගත්තා. නමුත් රජය මාරු වුණා. දැනට ගෙවල් 17ක් ඉදිකරමින් පවතිනවා. තවත් ව්‍යාපෘති අපි සිදුකරමින් තිබෙනවා.
ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත බැලුවොත්, පල්ලියට ආපු නිසා මෙහෙම දෙයක් වුණේ කියලා නැවත පල්ලිය දිහා බලන්නෙවත් නැතිව ඉන්න ජනතාවක් නෙවෙයි බිහිවුණේ. මේ ජනතාව තුළ දැඩි විශ්වාසයක් ගොඩනගාගෙන සිටිනවා. දෙවියන් අතහරින කාරණයකට වඩා දෙවියන් වෙත ජනතාව එන්නට කාරණාවක් බවට දැන් පත්වෙලා තිබෙනවා. අපි හැමදාම ජනතාවත් එක්ක එකතුවෙලා ඔවුන් එක්ක හිඳිමින් ඔවුන්ව නගාසිටුවීම සිදුකරනු ලබනවා.”
“තවදුරටත් 37දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා"
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලැස්වීම වෙනුවෙන් වැඩකටයුතු සිදුකරන්නේ සෙත්සරණ කරිටාස් ආයතනයයි. එහි අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් එම වැඩකටයුතු පිළිබඳව මෙලෙස අදට අදහස් දැක්වීය.
"පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරවලින් වින්දිතයන් බවට පත්වූ කතෝලික ජනතාව වෙනුවෙන් "මනෝ සාමාජීය සහයෝගීතා වැඩසටහන" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මෙය ක්‍රියාත්මක කළේ පවුල කියන ඒකකය මූලික කරගෙනයි. යමෙක් තුවාල ලැබුවත්, මිය ගියත් එහි බලපෑම තිබෙන්නේ පවුලට කියන තැන ඉඳන් තමයි අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ වැඩසටහනට ප්‍රධාන කොටස් තුනක් තිබ්බා. ආධ්‍යාත්මික, මනෝ උපදේශන හා සාමාජීය යනුවෙන්. මේ සියල්ල සංවිධානය වූයේ කාදිනල් හිමිපාණන්, සහායක රදගුරු හිමිවරුන් මෙන්ම තවත් පියතුමන්ලා 08දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ යෝජනාවන්ට අනුව තමයි අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ. මේ යටතේ අපි උපදේශන වැඩකටයුතු සඳහා ඉතාම සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා.
මුල් මාස 06 තුළ අපි කෙටිකාලීන මූල්‍ය හා වෙනත් අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවා. මීළඟට මැදිකාලීන, දිගුකාලීන අවශ්‍යතා සොයා බැලුවා.
අපි වෛද්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් අනුව තුවාල ලැබූ 275දෙනෙකුට ආධාර ලබාදීම් සිදුකර තිබෙනවා.මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට විශේෂිත හැඳුනුම්පතක් නිකුත් කරලා ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණීමේදී අවශ්‍ය කටයුතු පහසු කරනු ලැබුවා. ඒ වගේම විශේෂිත ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙනු ලැබුවා.තවදුරටත් 37දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අපි ඩයලොග් ආයතනයත් එක්ක එකතුව කොච්චිකඩේ හා කටුවාපිටිය දේවස්ථානවල විපතට පත් පවුල්වල ළමුන් 287 දෙනෙකුට අධ්‍යාපන කටයුතු නිම වනතුරු "ශිල්ප දිරිය" නමින් ශිෂ්‍යත්ව පහසුකම් ලබාදුන්නා. මේ ප්‍රහාරය සිදුවෙද්දී මව් කුසේ සිට වින්දිතයන් බවට පත්වූ දරුවන්ටද මේ ශිෂ්‍යාධාර පහසුකම් අපි හිමිකර තිබෙනවා. සෑම මාසෙකම මේ දරුවන්ට මේ ශිෂ්‍යාධාර හිමිවෙනවා. මේ සඳහා රුපියල් මිලියන 200කට අධික අරමුදලක් වෙන්කර තිබෙනවා.
ඒ වගේම නීති උපදෙස් අවශ්‍ය අයට නීති උපදෙස් ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මකයි. තවදුරටත් පවුලේ ආදායම් මාර්ග උපයාගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙනවා.
කටුවාපිටිය දේවස්ථානයේ විපතට පත් ජනතාව වෙනුවෙන් පවුල් 25කට නිවාස ලබාදීමටත්, කොච්චිකඩේ දේවස්ථානයේ විපතට පත් පවුල්වලට මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු යොදමින් සිටිනවා. ඒ වගේම විදෙස් දානපතියෙකුගේ පරිත්‍යාගයෙන් පවුල් 24කට නිවෙස් ඉදිකිරීමට ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබෙනවා."
සටහන - නදීශානි පතිරණ/ කැළුම් දෙවින්ද/ ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු