පසුගියදා මාතර සහ බේරුවල යන ප්‍රදේශවලින් වාර්තා වූ සිසු ඝාතන සම්බන්ධයෙන් අප විද්වත් විමසීමක් සිදු කළ අතර, එහිදී ඔවුන් අප වෙත දැක්වූ අදහස් පහත පරිදි වෙයි.
මේ ආරම්භය පමණයි, මෙහි අවාසනාවන්ත දිගුව නුදුරු අනාගතයේදී අපට හොඳින්ම දකින්න අහන්න ලැබේවි - මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමාජ විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මේ ඝාතන සිදුවීම් සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජය පත්ව සිටින බරපතළ සමාජ අර්බුදයේ එක් අතුරු ප්‍රතිඵලයක් පමණයි. මෙය එක් කොටසකට පමණක් ලඝු කරන්න හැකියාවක් නැහැ. අද අපට දකින්න ලැබෙන්නෙ අපරාධකාරී ක්‍රියාවන්ට ගොදුරු වුණු, නීතිය සාධාරණ ලෙස හෝ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක නොවන, නීති සම්පාදනය කරන ආයතන ජුගුප්සාජනක ලෙස හැසිරෙන සහ මජර දේශපාලනඥයන්ගේ මජර ක්‍රියා ආදියෙන් පිරී ඉතිරී යන සමාජයක්. එවැනි සමාජ පසුබිමක් තුළ මෙවැනි සිදුවීම් අරුමයක් නොවෙයි. වැඩදායී පුරවැසියන් වෙනුවට අධමයන් බිහි කරන සමාජයක් අද නිර්මාණය වෙලා තිබෙනවා.
දෙමවුපිය - දූදරු සබඳතා පවා අද වෙද්දි ඉතා අනතුරුදායක තත්ත්වයකටයි පත්ව තිබෙන්නෙ. ඊට මූලිකවම හේතු වෙලා තිබෙන්නෙ අපේ ඉතා අසම්මත, අසාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය. අද වෙද්දි පෙරපාසල් වියේ සිට විශ්වවිද්‍යාලය දක්වා සෑම දරුවෙක්ම තරගකාරී රැල්ලකට හසුවෙලා දැඩි පීඩනයකිනුයි පසුවෙන්නෙ. මවුපියන් පවා මේ ජීවන තරගයක් සමග දෙමවුපියනුත් දරුවන් සමග ගතකරන කාලය අඩුවෙලා තිබෙනවා. ඒ සමග දරුවන්ට තමන්ගේ ගැටලුවක් දෙමවුපියන්ට ඉදිරිපත් කරන්නත්, දරුවන්ගේ ගැටලු දෙමවුපියන්ට හඳුනා ගැනීමටත් ඇති ඉඩකඩ ඇහිරිලා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ ගැටලුවලදී දෙමවුපියන් මීටත් වඩා විවෘත වීම ඉතා වැදගත් වෙනවා. නැත්නම් දරුවෝ දෙමවුපියන්ට තමන්ගේ ගැටලු ඉදිරිපත් කරලා ඊට විසඳුමක් හෝ මගපෙන්වීමක් ලබා ගන්න දැඩි ලෙස මැළිවෙනවා.
මේ අවිචාරවත් අධ්‍යාපන ක්‍රමය දරුවන්ව සිතුම්පැතුම් නැති රොබෝවරු පිරිසක් බවට පත්කරලා තිබෙනවා. ඒ වගේම කිසිදු ප්‍රමිතියකින් හෝ අධීක්‍ෂණයකින් තොරව සිදුවන ටියුෂන් ව්‍යාපාරයත් මීට ඍජුවම වගකිව යුතු වෙනවා. අද දරුවන්ගේ පරම නිශ්ඨාව වී තිබෙන්නේ මේ අධ්‍යාපන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම පමණයි. ඒ පීඩනයත් සමග විෂමාචාර ක්‍රියාවන්ට නිතැතින්ම දරුවන් යොමු වෙනවා. ඒ සමග මේ ළමා පරපුරෙන් වැඩි පිරිසක් මානසික වශයෙන් සහ කායික වශයෙන් රෝගීන් වෙලා තිබෙනවා. තවත් පිරිසක් අපරාධකරුවන් බවට පත්ව තිබෙනවා.
අද දරුවෝ සමාජය කියලා දකින්නේ සහ අවබෝධ කරගන්නේ සමාජ මාධ්‍යවලින් හෝ විද්‍යුත් මාධ්‍ය තුළින් දකින දේවල්. ඒ සමග විකෘති සමාජානුයෝජනයකට ලක්වූ පරපුරක් මේ වන විට බිහිවෙලා තිබෙනවා. ඔවුන් වීරත්වය ලෙස අදහන්නේ අනෙකා පෙළා දැමීම, අනෙකාට අපහාස කිරීම, නිර්ධය ලෙස විවේචන එල්ල කිරීම යනාදියයි. ශිෂ්ට සමාජය විසින් ප්‍රතික්‍ෂේප කරන විෂමාචාර ක්‍රියාවන් එළිපිට සිදුකරන පිරිස් වෙත මේ සමාජ මාධ්‍යවලින් වීරත්වයක් ආරෝපණය කර තිබෙනවා. පාසලේ පන්ති මගහැරලා නැත්නම්, රණ්ඩුවකට ගිහින් නැත්නම් හෝ මෙවැනි සමාජ විරෝධී දේවල් කරලා නැත්නම් වැඩක් නැහැ කියන මෝඩ මිථ්‍යාවන් සමාජ මාධ්‍යවල සිටින ඇතැම් පිරිස් පතුරවමින් සිටිනවා.
සමහර පිරිස් කියන දෙයක් තමයි මේ දරුවන්ට දහම් පාසල් වෙත යොමුකලා නම් මෙවැනි තත්ත්වයකට පත්වෙන්නේ නැහැ කියන දේ. ඇත්ත වශයෙන්ම අද වෙද්දි දහම් පාසල කියනදේත් විෂය කරුණු පමණක් උගන්වන තත්ත්වයකට පත්වෙලා. බන්ධනාගාරගතව සිටින අය අතරෙත් බොහෝ පිරිසක් සිටිනවා දහම්පාසල් ගිය අය. ඒ නිසා දහම් පාසලකින් සැබැවින්ම විය යුත්තේ දරුවන් තුළ සාරධර්ම ඇතිකිරීමයි. ඒ කාර්යය සඳහා පෙනී සිටිය යුතු ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමත් අද ප්‍රචණ්ඩ ස්වභාවයට පත්වෙලා තිබෙනවා. ජනතාව තුළ හික්මීමක්, ශික්‍ෂණයක් ඇති කිරීමේ කාර්යභාරය පැවරී තිබෙන භික්ෂූන් වහන්සේලා මෙවැනි අනුමත කළ නොහැකි මගක යද්දී ජනතාව තවත් අසරණ වෙනවා. උන්වහන්සේලාට හොඳින්ම පෙනෙනවා අද සමාජයට අත්වෙලා තිබෙන ඉරණම. එසේ පෙනෙන්නට තිබියදීත් උන්වහන්සේලාට බැහැ මේ ආකාරයෙන් හැසිරෙන්න.
වර්තමානයේදී දරුවන් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමත් මීට එක් හේතුවක්. ජයපරාජය දරා ගැනීම, ආවේගය පාලනය කරගැනීම සහ ශික්‍ෂණය ආදිය දරුවන්ට ලැබෙන්නේ ක්‍රීඩාව තුළිනුයි. ඒ නිසා දරුවන්ව කුඩා කාලයේ සිටම ක්‍රීඩාව වෙත යොමු කිරීමට දෙමවුපියන් කටයුතු කරනවා නම් යහපත්. ඒ වගේම සාම්ප්‍රදායික විදියට වර්තමානයේ සිටින තරුණ දරුවන්ට ආමන්ත්‍රණය කරන්න බැහැ. ඒ නිසා ඔවුන්ට දැනෙන්න කතා කරන වැඩපිළිවෙළක් අපි සකස් කළ යුතුයි.
මේ ආකාරයට විකෘති සමාජානුයෝජනයකට පත්වුණු පරපුරක් බිහිවී තිබෙන මේ මොහොතේ ඉතාමත් පැහැදිලිවම කිවයුත්තක් තමයි, මේ ආරම්භය පමණයි. මෙහි අවාසනාවන්ත දිගුව නුදුරු අනාගතයේදී අපට හොඳින්ම දකින්න අහන්නට ලැබේවි. ඒ වගේම හොඳින් මතක තබාගන්න මේ විනාශයෙන් ජනතාව දුක්විඳින අතරවාරයේදී දේශපාලනඥයන් මෙය වින්දනය කරමින් සමරමින් සිටිනවා. මේ ඛේදවාචකයෙන් රට සහ ජනතාව මුදවා ගන්න නම් දැඩි නීතිරීති පද්ධතියක් සකසා එය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. ඒ හරහා දැන්වත් මේ සමාජය හික්මවීම අත්‍යවශ්‍යයි.*
සමාජයක සිදුවන මෙවැනි අවාසනාවන්ත ඛේදවාචක වළක්වාගන්න පාසලකට තිබෙන්නේ විශාල වගකීමක්- උපාලි ගුණසේකර මහතා විදුහල්පති - පොලිමත් විද්‍යාලය හිටපු විදුහල්පති - කොළඹ රාජකීය විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය
වර්තමානයේදී පාසල් පද්ධතිය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නෙ හුදෙක්ම විෂය නිර්දේශයට සහ ඉහළ සාමර්ථයක් ලබා ගැනීමට පමණයි. ඒ යන ගමනේදී ළමයි හෝ ගුරුවරුන් හෝ දෙමවුපියන් හෝ කිසිවෙක් ජීවිතයේ සාක්ෂාත් කරගත යුතු සාරධර්ම ගැන තැකීමක් කරන්නේ නැහැ. විෂය දැනුමට අමතරව සාරධර්ම පිළිබඳ තැකීමක් සමාජයක් තුළ තිබිය යුතු වුණත් අද එය තුට්ටුවකට හෝ ගණන් ගන්නේ නැහැ.
මම මගේ වෘත්තීය කාලය තුළ නිරන්තරයෙන්ම ගුරුවරුන්ට අවධාරණය කළ කාරණයක් තමයි 80෴ක් විෂය කරුණු උගන්වලා ඉතිරි 20% දරුවන්ට ජීවිතය සහ ගුණධර්ම ගැන උගන්වන්න කියන දේ. ඒ නිසා සමාජයක සිදුවන මෙවැනි අවාසනාවන්ත ඛේදවාචක වළක්වාගන්න පාසලකට තිබෙන්නේ විශාල වගකීමක්. පාසල් පද්ධතිය ඒ වගකීම පිළිබඳ නොසිතනතාක් මෙවැනි සිදුවීම් ඉදිරියේදී මීටත් වඩා වාර්තා වේවි සහ මීටත් වඩා බරපතළ ස්වරූපයක් ගනීවි.
අද දරුවන් අතර සාමූහික හැඟීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ අහිතකර තරගකාරී රටාවකට හැඩගැසුණු අධ්‍යාපන ක්‍රමය ඇතුළේ දරුවන් තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීන් පිරිසක් බවට පත්වෙලා තිබෙනවා. සමාජය තුළ වුණත්, ජනමාධ්‍ය තුළ වුණත් අද දරුවන්ට යහපත් ආදර්ශයක් ලැබෙන අවස්ථා ඉතාමත් විරලයි.
පාසල් ප්‍රේම සබඳතා නිසාත් මෙවැනි සිදුවීම් වාර්තාවූ අවස්ථා අපි දැක තිබෙනවා. අපි දන්නවා ප්‍රේමය කියන දේ ලෝකය ආරම්භයේ සිටම තිබෙන මානව හැඟීමක්. ඒ නිසා මම හිතන්නේ නැහැ අපට එය එක් වයස් සීමාවකට ලඝු කරන්න හෝ සීමා පනවන්න හැකි දෙයක් කියලා. ඒ වගේ ඕනෑතරම් සිදුවීම් මේ රටේ සිදුවෙලා තිබෙනවා. යොවුන් වයසේ හෝ පාසල් වයසේ ප්‍රේම සබඳතා හට ගැනීමට එරෙහිව දොස්නැගීම කිසිදු ආකාරයකින් ඊට විසඳුමක් වෙන්නේ නැහැ. විසඳුම වෙන්නේ ඒ අයට හරි දේ අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසීමයි. වැඩිහිටියන් හැටියට ඒ සඳහා නිසි මගපෙන්වීමක් සිදු කිරීම පාලනයක් ඇතිකිරීමට අප විසින් වගබලාගත යුතු වෙනවා.
අත්දැකීම් අනුව මම විශ්වාස කරන ආකාරයට දරුවන් හික්මවීමේදී ඔවුන්ට බරපතළ දඬුවම් දීම අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. යොවුන් දරුවන්ව යහමගට ගැනීමට තිබෙන හොඳම ක්‍රමයක් තමයි ඔවුන්ට විවෘත වීම සහ ඔවුන්ට සමීප වීම. නමුත් යම් දැඩි පාලනයකුත් තිබීම අවශ්‍යයි. ඒ වගේම ඔවුන්ට ආදරයත් අවශ්‍යයි. පාලනය දැඩිව සහ ආදරය දැඩිව ලබාදීම මීට හොඳ විසඳුමක් වේවි.
මේ කතාබහේ ප්‍රස්තුතය වන සිදුවීම එක් සිදුවීමක් පමණයි. මෙවැනි සිදුවීම් ඕනෑතරම් මේ රටේ සිදුවෙලා තිබෙනවා. මෙයින් ගම්‍ය කෙරෙන්නේ පුද්ගලයෙක්ට ජීවත් වීමට අත්‍යවශ්‍ය වුණු එක්තරා ගුණාංග කොට්ඨාසයක් මේ සිද්ධියේ චූදිතයන් බවට පත්වුණු දරුවන්ට ලැබී නැහැ කියන එකයි. එහි වරද තිබෙන්නේ ඒ දරුවන් අත පමණක් නොවෙයි. දෙමවුපියන්, සමාජය සහ පාසලත් එම වගකීම භාරගත යුතුයි. දෙමවුපියන්, ගුරුවරුන් සහ සමාජය දැනුවත්ව දරුවන් ගැන සිතා බැලිය යුතුයි වගේම මේ ඔවුන්ව මේ අහිතකර තරගයේ ක්‍රීඩකයන් බවට පත් නොකළ යුතුයි.
දරුවන් ක්‍රීඩාවෙන්, කලාවෙන් සහ විෂය භාහිර ක්‍රියාකාරකම්වලින් ඈත්වීම ආවේගශීලීත්වය පාලනකින් තොරවීමට හේතුවක් වී තිබෙනවා. - මනෝවෛද්‍ය විශේෂඥ ගිහාන් අබේවර්ධන මහතා. මහනුවර මහ රෝහල
සාමාන්‍යයෙන් නව යොවුන් අවධිය කියන්නේ ත්‍රාස්‍යජනක අත්දැකීම් සහ වීරත්වයක් ලබාගැනීමට දැඩි කැමැත්තක් දක්වන වගේම ඊට යොමුවන අවධියක්. එතනදි ඔවුන් එහි ප්‍රතිඵලය සහ එලවිපාක පිළිබඳ තැකීමක් සිදුකරන්නේ නැහැ. එය මෙවැනි සිදුවීම් ඇති වීමට බලපාන එක් හේතුවක්. ඒවගේම තවත් හේතුවක් තමයි තමන්ගේ ආවේගශීලීත්වය පාලනය කරගත නොහැකි වීම.
අපි දකිනවා අවේගශීලීත්වය හිංසාකාරී ආකාරයෙන් දක්වන සිදුවීම්වලට සහ එවැනි පුද්ගලයන්ට යම් වටිනාකමක් සහ වීරත්වයක් ආරෝපණය කරන්න ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන්ම සමාජමාධ්‍යවල අද උත්සාහ කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සියදිවි නසාගැනීම්වලටත් සංවේදී වාර්තාකරණයක් දකින්නට ලැබෙනවා.
මේ සිදුවීමේදි වුණත් ඇතැම් මාධ්‍ය විසින් එහි CCTV දර්ශන තවමත් තමන්ගේ නාලිකාව හරහා සහ වෙබ් අඩවි හරහා නිරන්තරයෙන් පෙන්වමින් මීට විශාල වැදගත්කමක් ලබාදී තිබෙනවා. එය නව යොවුන්වියේ පසුවන දරුවන්ව තවත් මෙවැනි සිදුවීම්වලට යොමුකරන්න හේතු වෙනවා.
අද අධ්‍යාපනයේ පවතින පීඩනකාරී තත්ත්වයත් සමග මේ ආවේගශීලීත්වය දරුවන්ට පාලනය කරගන්න නොහැකි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. දරුවන් ක්‍රීඩාවෙන්, කලාවෙන් සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ඈත්වීම ආවේගශීලීත්වය පාලනකින් තොරවීමට හේතුවක් වී තිබෙනවා. ආවේගශීලී වීම සාමාන්‍ය මානව ලක්ෂණයක් වුණත් එය පාලනය කරගැනීමට සාරධර්ම ඇතිකරගත යුතු වෙනවා.
අනෙක් කාරණය තමයි මේ තාක්ෂණික මෙවලම් සුදුසු කාලයටත් පෙර දරුවන් අතට පත්වීම නිසා ඔවුන් මේවා අවභාවිතා කරන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. හිංසාකාරී දර්ශන සහ ත්‍රාස්‍යජනක දර්ශන ඇතුළත් චිත්‍රපට ආදිය නිරන්තරයෙන් නැරඹීමට පුරුදු වීම නිසා එය ඇබ්බැහිවීමක් බවට පත්වෙලා දරුවන් ඒවා අත්හදා බැලීමට යොමුවන බව නව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.
නඳුන් ශ්‍යාමාල්