පාසල් කාලයේදී නැතිවූ නායකත්වයක් විශ්වවිද්‍යාලය තුළින් ලබාගැනීමට නවකවදය පවත්වන පිරිස් උත්සාහ කරනවා


විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන නවකවදය හේතුවෙන් අතීතයේ සිටම අද දක්වාත් විශ්වවිද්‍යාල ගමන නවතා දැමූ සිසුන්, ලිංගික හිංසනයට ලක්වූ සිසුන්, විවිධ අනතුරුවලට පත් වූ සිසුන් මෙන්ම සියදිවි හානි කරගත් සිසුන් පිළිබඳවද අසා දැක ඇත. නවකවදය මර්දනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද එහි සාර්ථක බවක් දැකගැනීමට නොහැකි තත්ත්වයක් පසුගිය දිනවල සිදුවුණු සිදුවීම් තුළින් පෙනී යයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රේණුක සිල්වා මහතා සම්බන්ධ කරගතිමු. 


නවකවදය මර්දනය කිරීම සඳහා නීති, අණපනත් තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

එක්දහස් නවසිය අනූව දශකයේ අවසන් භාගයේ රිචඩ් පතිරන මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරය දරණ කාලයේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවා. ඒ පනත සම්මත කරලා තිබෙන්නේ. එහි තිබෙන දැඩි නීතිරීති සමුදාය තේරුම් ගතහොත් කිසිම කෙනෙකු නවකවදයෙහි යෙදෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ගැටලුව. නවකවදය නවත්වන්න අලුත් නීතියක් හෝ අලුත් යෝජනාවලියක් අවශ්‍ය වන්නේ නැහැ. මේ පනත අක්‍රිය කරලා නැහැ. ඒ නිසා මේ පනත ක්‍රියාත්මක කිරීමයි මේ මොහොතේ අවශ්‍ය වන්නේ. නීතිය පැත්තෙන් එසේ වුවත් මේ නවකවදය නැවැත්වීමට හැකි තවත් පිරිසක් සිටිනවා. විශ්වවිද්‍යාල පරිපාලනයට උවමනාවක් තිබිය යුතුයි, ශිෂ්‍යයන්ට උවමනාවක් තිබිය යුතුයි, නවක ශිෂ්‍යයන්ට වුවමනාවක් තිබිය යුතුයි නවකවදය නවත්වන්න. ඒ වගේම මහජනතාවට, පොලීසියට, දේශපාලනඥයන්ට මේ හැමෝටම නවකවදය නතර කිරීමට උවමනාව තිබෙන්න ඕනේ. මේ අයගේ යටි හිතේ ඒ උවමනාව තිබෙනවා. හැබැයි මේක ක්‍රියාවට නංවන්න ශක්තියක් නැතිකමයි තිබෙන්නේ. 

අලුතින් නීති ගෙන එන්න අවශ්‍යතාවක් නැහැ. තිබෙන නීති ක්‍රියාත්මක කරන්න අලුත් පද්ධතියක් හදන්නයි ඕනේ. උදාහරණයක් ලෙස ආරක්ෂිත කැමරා පද්ධති. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ නවකවදය පවත්වනවා කියලා තහවුරු කරගන්න ඕනේ. ආරක්ෂිත කැමරා පද්ධතියක් තිබෙනවිට ඔවුන් වැරදි කිරීමේ සම්භාවිතාව ඉතා අඩුයි. කාවවත් අත්අඩංගුවට ගෙන හිරේ දානවට වඩා මේ වැරැද්ද වෙන එක නවත්වන එක හොඳයිනේ. මේ වැළැක්වීමේ එක පියවරක් තමයි ආරක්ෂිත කැමරා පද්ධතිය. ඒක හැමෝටම හොඳයි. ඇතැම් සිසුන් විශ්වවිද්‍යාලයට නවකයන් පැමිණියාම ඔවුන්ගේ ඔළු සෝදනවා. ඒ ඔළු හෝදද්දිම ආචාර්ය මණ්ඩලය ලෙස අපි තවත් කට්ටියකගේ ඔළුව හෝදලා හරි දේ කියලා දෙනවා. මේක පොදුවේ සෑම විශ්වවිද්‍යාලයකම සිදුවෙමින් පවතින ක්‍රියාවලියක්. 

නවකවදය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හෝ විනය පාලකයන්ට වළක්වාගත නොහැකි වී තිබෙන්නේ ඇයි?

ප්‍රධානම හේතුව විශ්වවිද්‍යාල පරිපාලනයේ දෝෂ. විශ්වවිද්‍යාල පරිපාලනය මීට වඩා මේ හා සම්බන්ධව දැඩි තීරණ ගන්න ඕනේ. දේශපාලනයට හෝ ශිෂ්‍යයන්ට හෝ වෙනත් බාහිර බලපෑම්වලට බය නොවී ඔවුන් ඍජුව ඉන්න ඕනේ. සිසුවෙකුට දෙදෙනෙකුට දඬුවමක් දුන්නාට පසු සමාජ මාධ්‍ය තුළින් හෝ කටකතා තුළින් පොදු මහජනතාව තුළ මතයක් ගොඩනගයි %සිසුන්ට දඬුවම් කරනවා, ළමයින්ට ගහනවා^ කියලා. නවකවදයෙහි දෙවැනියට වගකිවයුත්තන් වන්නේ එවැනි මතවාද ගොඩනගන මේ සමාජය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නවකවදය ක්‍රියාත්මක කිරීමට මැළිභාවයක්, බියක් තිබෙනවා කියලා පෙනී යනවා. මොකටද බය? මෙවැනි දේට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ නිලය පවත්වාගෙන යෑමට අපහසුයි. ශිෂ්‍ය සංගම් නායකයන් ඇවිත් වර්ජනය කරයි කියලා බයයි. මොකද ඔවුන්ගේ කාලය අවසන් වෙනකොට %මගේ කාලයේ මම හොඳට විශ්වවිද්‍යාලය පවත්වාගෙන ගියා^ කියලා කියන්න බැරි නිසා. ඒ නිසා ඔවුන් නවකවද ගැටලුවේදී %ශේප් න්‍යාය^ යොදාගන්නවා. 

කාලයෙන් කාලයට නවකවදය මැඬලන්න ගත් ක්‍රියාමාර්ග නිසියාකාරව ක්‍රියාත්මක වුණා නම් මේ තත්ත්වය වෙනස් වන්නට තිබුණා නේද?

මෙහෙමයි. විවිධ අත්හදා බැලීම් සිදු කළා විශ්වවිද්‍යාල ඇතුළෙ. මේවායේ දැනට පවතින ක්‍රමවේදයන් එතරම් ප්‍රබල ක්‍රමවේද නොවෙයි. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිර්මාණය කළා නවකවදය වැළැක්වීම සඳහා ජංගම දුරකථන යෙදවුමක්. ඒකට පුළුවන් යම් හිංසනයක් සිදුවුවහොත් එසැණින් පැමිණිල්ලක් කරලා වහාම ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න. නමුත් ඒක එසේ සිදුවන්නේ නැහැ. ඒ ක්‍රියාමාර්ග ගන්න කියලා දැනුවත් කරන්නේ විශ්වවිද්‍යාල බලධාරීන්ට. නමුත් ඔවුන් ඒක හරියාකාරව සිදු කරන්නේ නැහැ. ඔවුන් නිවැරදිව වැඩ කරනවාද කියලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් තදින් කටයුතු කරන පීඨාධිපතිවරු, බලධාරීන් ප්‍රමාණයක් සිටිනවා. එවැනි තැන්වල තමයි නවකවදය අඩුවෙන් සිදුවන්නේ. තව නායකත්ව පුහුණු, ආරක්ෂිත කැමරා සවි කළා. නමුත් එක්තරා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඒවාට හානි කරලා තිබුණා. ඒවාට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාලයේ නම් සී.සී.ටී.වී. කැමරා ගලවලා නැහැ. විදේශ විශ්වවිද්‍යාලයක නම් ඔවැනි පොදු දේපළවලට හානි කිරීම්වලට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපට මෙහිදී පේන්නේ නැහැ එහෙම දෙයක්. අනෙක් ශිෂ්‍යයොත් ඔය වැනි දෙයක් ආදර්ශයට ගතහොත් ලොකු ගැටලුවක් වෙනවා. පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතිවුණ සිද්ධියටත් ඒ වෙලාවෙම ක්‍රියාමාර්ග ගන්න තිබුණා. 
නවකවදය සිදු කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අනෙක් සිසුන් අතරේ විශාල භීෂණයක් මවනවා %ඔබට අප නැතුව බැහැ, අපිව තරහ කරගත්තොත් ඉදිරි අවුරුදු හතරම ඉඳලා ඉවරයි^ කියලා. ආචාර්ය මණ්ඩලයට ඔය භීෂණය පේන්නේ නැහැ. අප ඉදිරියේ ඔවුන් කිසි දෙයක් කරන්නේ නැහැ. මේ දේවල් සිදුවන්නේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල, ආපන ශාලා තුළ. මේක සිදු කරන්නේ 10%කටත් වඩා අඩු පිරිසක්. ඔය සුළු පිරිස පාලනය කරගන්න බැරි ඇයි කියන එක තමයි ප්‍රශ්නය. විශ්වවිද්‍යාලවලින් විශාල මුදලක් ගෙවලා ආරක්ෂක සේවයන් ලබාගෙන තිබෙනවා. ඔවුන්ට මේ දේවල් මැඬලන්නත් බැහැ. මොකද ඔවුන්වත් මේ ඉතා සුළු පිරිස නතු කරගන්නවා විවිධ දොළ පිදේනි ලබාදීලා. එවැනි දේවල් පරිපාලකයෙකු විදිහට මමත් අත්විඳලා තිබෙනවා. ඒ වගේ වෙලාවට අපි ඒ ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරලත් තිබෙනවා. 
අපේ විශ්වවිද්‍යාලයේ නවකවදය ක්‍රියාත්මක වීමක් නැති තරම්. සමහර පීඨවල ඇත්තේම නැහැ. නමුත් සියයට සියයක් නැහැ කියලා කියන්න බැහැ. මොකද මේවා සිදුවන්නේ අපේ ඇස් මායිමේ නෙවෙයිනේ. මීට වසරකට පෙර සිසුන් දාහතර දෙනෙකු අවුරුදු දෙකකට පන්ති තහනමකට ලක් කළා. එම දඬුවමට බයේ බොහෝ සිසුන් මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටියා. සමහර නේවාසිකාරවල සිසුන් අතරේ වෙන දේවල් මාධ්‍යවලට කියන්න තියා අප හඳුනන අයෙකුටවත් පවසන්නට නොහැකි තරමේ දේවල්.  

නවකවදය හේතුවෙන් ළමයින් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතික්ෂේප කළහොත්, එය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම හානියක්?

මෙහෙමයි. අඩු ආදයම්ලාභී දරුවන්ට කරන්නට දෙයක් නැති නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එයි. යමක් කමක් තිබෙන අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය හදාරයි තමන්ගේ ආරක්ෂාව සඳහා. ඊට වඩා ඇති හැකි අය විදේශ විශ්වවිද්‍යාලවලට ගොස් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාල රාජ්‍ය රෝහල් වගේ නැති බැරි අයට විතරක් ඉතිරි වන තැනක් බවට පත් වෙයි. මේක එක්තරා ආකාරයක මාෆියාවක්. මේ මාෆියාව පිටුපස දේශපාලන පක්ෂ ඉන්න පුළුවන්. ඔවුන්ට චෝදනා කරනවාට වඩා විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්න බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නයි ඕනේ.
විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන්නේ පාසල් ශිෂ්‍යයෝ නෙවෙයි, වැඩිහිටියෝ ඉන්නේ. හැමතිස්සෙම වැඩිහිටි ශිෂ්‍යයන්ට වැඩිහිටියන් සේ සලකන්න ඕනේ. තරුණ වයස කියන්නේ ටිකක් ආවේගකාරී, ප්‍රකෝපකාරී වැඩ කරනවා. ඒක සාමාන්‍ය සිදුවීමක්. නමුත් ලිංගික අතවර, දරුණු හිංසන වැනි දෑ සිදු කරනවා නම්, තව කෙනෙකුගේ අයිතිවාසිකම් නැති කරනවා නම් ඒකට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන්ද වගකිවයුත්තන්ට. 

නවකවදය පවත්වන සිසුන්ගේ මානසික මට්ටම පිළිබඳ ගැටලුවක් තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා?

ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. පසුගිය දිනවලත් ඒ හා සම්බන්ධව නොයෙකුත් මතිමතාන්තර හුවමාරු වුණා. මෙහි පැහැදිලිව දක්නට දෙයක් තිබෙනවා. ඔවුන් ඉගෙනගත් පාසල්වල හෝ පවුල් පරිසරය තුළ යම්කිසි නායකත්වයක් ලැබී නැති අය මෙවැනි දේ සිදු කිරීමට පෙලඹෙනවා වැඩියි. පාසල් කාලයේදී නැති වූ නායකත්වයක් විශ්වවිද්‍යාලය තුළින් ලබාගැනීමට නවකවදය පවත්වන පිරිස උත්සාහ කරනවා. ඒ වගේම සිසුන් අතරේ පන්ති භේදයක් ඇති කිරීමට මොවුන් උත්සාහ කරනවා. උසස් කීර්තියක් දිනාගෙන තිබෙන පාසල්වලින් විශ්වවිද්‍යාලයට එන ළමයි සහ සාමාන්‍ය පාසල්වලින් එන ළමයින් භේද කිරීමක් සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තමයි හොඳ පාසල්වලින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන තිබෙන්නේ ගමේ දුප්පත් පාසලකින් ශිෂ්‍යත්වය හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ගිය ළමයින්. ඒ ළමයින්ට ගහලා ඉහළට එන එක වළක්වන්න දුප්පත් පාසලකින් පැමිණි ශිෂ්‍යයන් උපදෙස් දෙනවා. මේක ඇතුළේ ඉහළ පන්තියක් කියලා දෙයක් නැහැ. කොළඹ පාසලකින්, නුවර පාසලකින් එන්නෙත් සාමාන්‍ය පන්තියේම ළමයින්. මෙතන ඇත්තටම තිබෙන්නේ සමාජමය ගැටලුවක්. දේශපාලන මැදිහත් වීම මෙතැනට එන්නේ ඒ සමාජ ගැටලුවත් සමගයි. යම් සුළු පක්ෂ දෙකක් මේ දේවල්වලට මැදිහත් වෙනවා කියලා පිළිගැනීමක් තිබෙනවානේ. ඇතැම් විශ්වවිද්‍යාලවල ඔය පක්ෂ දෙක ක්‍රියාකාරී නොවුණත් ඒ මතවාදය සිසුන් අතරේ ක්‍රියාත්මක වෙනවා. පක්ෂ දේශපාලනය ඇත්තෙම නැති වුණත් ඒ මතවාදය, පන්ති භේදය, හීනමානය ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල තිබෙනවා. 
ළමයින් විශ්වවිද්‍යාලයට පැමිණි පසු එකපාරටම වෙනස් වෙන්නේ නැහැ. මේ සඳහා පාසල් ගුරුවරුන්ටත් වගකීමක් තිබෙනවා. කිසිම බාහිර ක්‍රියාකාරකම්වලට, නායකත්ව වැඩසටහන්වලට, පෞරුෂ සංවර්ධන වැඩසටහන්වලට සහභාගි නොවුණු පිරිස් තමයි විශ්වවිද්‍යාලයට පැමිණි පසු වීර චරිත බවට පත්වෙන්නට උත්සාහ කරන්නේ. විශේෂයෙන් මේ සිසුන් තුළ කිසිදු පෞරුෂයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙතන ත්‍රස්තවාදයක් දක්නට ලැබෙන්නේ. 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුවීමට සම්බන්ධ සිසුන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ඒ සිදුවීමට නීති ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් ගත වුණා?

ඔව්. නමුත් එහි පාලනාධිකාරියට මීට වඩා ක්‍රියාත්මක වීමට අවස්ථාව තිබුණා කියලා තමයි මගේ හැඟීම. ඇයි ළමයින්ට පාන්දර එක වෙනකල් ඉන්න දුන්නේ? කවුද එයට අවසර දුන්නේ වැනි ප්‍රශ්න පිටින් බලන විට අපට පේනවා. කවුරුහරි විශ්වවිද්‍යාල බලධාරියෙක් කියනවා නම් %නවකවද කාලය අවසන් කර ඉන්පසුව පවත්වන්නා වූ ප්‍රියසාදයෙන් පසුව සිදු වූ අනතුරක්^ කියලා අපට නැඟෙනවා ප්‍රශ්න කිහිපයක්. ඒ විශ්වවිද්‍යාල බලධාරීන් නවකවදය අනුමත කරනවාද?, නවකවද කාලයක් තිබෙනවා, ඉන්පස්සෙ ඒක ඉවර කරන්න අවස්ථාවකුත් තිබෙනවා කියලා ඔවුන් ඒක පිළිගන්නවා කියලත්. එහෙම දෙයක් තිබෙන්න බැහැ. 

විශ්වවිද්‍යාලයක් තුළට මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන ඒමට අවසරයක් තිබෙනවාද?

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මත්පැන් පානය කිරීම තහනම්. ඒක විශ්වවිද්‍යාලයකට පමණක් නොවේ, කිසිදු රාජ්‍ය ආයතනයක් තුළට මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන ඒම නීතියෙන් තහනම්. පසුගිය රජයට පෙර රජය චක්‍රලේඛයක් ගෙන නිකුත් කළා රාජ්‍ය ආයතන තුළ, භූමිය තුළ මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කිරීම හෝ ළඟ තබාගැනීම තහනම් කියලා. ඒ නිසා ආචාර්ය මණ්ඩල සාදවලදීවත් මත්පැන් ගෙන එන්නේ නැහැ. එවැනි සාද පවත්වන්නේ විශ්වවිද්‍යාල භූමියෙන් පිටතදියි. එතකොට ඒක ශිෂ්‍යයන්ට, අනධ්‍යයන කාර්යමණ්ඩලයට, ආචාර්ය මණ්ඩලයටත් අදාළයි. එතකොට අපට පෙනී යනවා මේක ප්‍රසිද්ධියේ ඔවුන් භාවිත කරනවා. මොවුන් පාසල් සිසුන් නොවෙයි. එම නිසා වැඩිහිටියන්ට තිබෙන නීතිරීති ඔවුන්ටත් අදාළයි. රටේ නීතියට අනුව කටයුතු කරන්න ඕනේ. 

මේ සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට පැමිණි විට මහ සමාජය සමග ගැටීමේදී ඔවුන්ට කුමක් සිදුවේද?

ඔවුන් එළියට පැමිණි පසු කිසිදු ආයතනයකින් රැකියාවක් දෙන්නේ නැති වෙයි. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවක් සොයාගැනීමේදී මොවුන්ව නෙරපාහැරීමේ තත්ත්වයක් උදා වෙයි. මෙතනින් එළියට එන කණ්ඩායමක් ගුරුවරු වෙනවා. පසුගිය දිනවල මාධ්‍ය මගින් අපි දැක්කානේ ගුරුවරුත් උද්ඝෝෂණ කරපු හැටි. මේ සුළු පිරිසක් කරන දේවල් නිසා මහ සමාජය තුළ සියලු විශ්වවිද්‍යාල සිසුන් පිළිබඳ තිබෙන පිළිගැනීම පහතට වැටෙනවා. 

කැළුම් දේවින්ද



Recommended Articles