2020 ජනාධිපතිවරණය පැවැත්වීමට මසකටත් අඩු කාලයක් පවතින අතර, අපේක්ෂකයන්ගේ ඡන්ද සටන උණුසුම් වෙමින් පවතී. එබැවින් ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානයක මහතා ඇතුළු කණ්ඩායමේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ කතාබහ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද අපි සම්බන්ධ කර ගතිමු.
ජාතික ජනබලවේගය දේශපාලන ව්‍යාපාරයේ කටයුතු මේ වනවිට කුමන මට්ටමකද පවතින්නේ?
අපේ මැතිවරණ ව්‍යාපාරය තල තුනකින් අපි සිදු කරනවා. සෑම දිස්ත්‍රික්කයකම මහා පරිමාණයෙන් ජනතාව ආමන්ත්‍රණය කරන විශාල රුස්වීම් පැවැත්වීම සිදු කරනවා. ඒ වගේම ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු හෝ අගමැති අපේක්ෂකයෙකු සිදුකර නොමැති ආකාරයට රට ගොඩනැගීමේ ප්‍රතිපත්ති පිළිබඳ සිදුකරන සාකච්ඡාව ඉතා ඉහළ මට්ටමින් සිදු කරනවා. ඒ අනුව අපගේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මෙම මස 26 වැනිදා එළිදක්වනවා.
අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ආර්ථික, පරිසර ආදී අනිකුත් ක්ෂේත්‍ර 08ට අදාළව කරන ප්‍රතිපත්ති වෙන වෙනම ඉදිරිපත් කරනවා. රටේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වන උගතුන්, විද්වතුන් සහ උනන්දුවක් දක්වන පොදු මහජනතාව ඉලක්ක කරගත් සාකච්ඡාවක් ලෙස එය සිදු කරනවා.
තුන්වැනුව, ජනාධිපති අපේක්ෂකයා සහභාගි නොවන ජාතික ජනබලවේගය ලෙස ගම්මට්මින් කුඩා මට්ටමේ ජනහමු සහ සාකච්ඡා විශාල ප්‍රමාණයක් සිදු කරමින් පවතිනවා. මේ ආකාරයට තල තුනක මහජන සංවාදයක් පුළුල් වශයෙන් ගොඩනගාගෙන යනවා.
පසුගිය වසර කිහිපය තුළ ජවිපෙ ඡන්ද පදනම වෙනස් වීම සම්බන්ධයෙන් ඔබලාගේ අවධානය යොමු කර තිබෙනවාද?
ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම පසුගිය වසර 05 ඇතුළත වැඩිවෙලා තිබෙනවා. 2015දී අපි ලබාගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පැහැදිලි ඡන්ද වර්ධනයක් තිබුණා.
මෙවර ජාතික ජනබලවේගය ලෙස අපි ඉදිරිපත් වන නිසා විවිධ දේශපාලන සමාජීය අදහස් තිබෙන කණ්ඩායම්වලටත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙනවා වෙනුවට මෙම පොදු වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ ඉඩකඩක් ලැබෙනවා. ඒ නිසා ජවිපෙ ඡන්ද පදනම පැහැදිලිවම වර්ධනය වෙලා තිබෙනවා. මේ අවස්ථාවේදී ජවිපෙ ඡන්ද පදනමටත් වඩා පැහැදිලි පුළුල් පරාසයක එය විහිදෙනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය ගැන අපි ඉතාම බලාපොරොත්තු සහගතවයි ඉන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කියන්නේ කුමක්ද කියා පැහැදිලි කළොත්?
ජාතික ජනබලවේගය කියන්නේ 2015 සිට ගොඩනැගුණු මහජන ව්‍යාපාරයක්. එහි ප්‍රධාන අරමුණු තුනක් තිබෙනවා. පළමුවැන්න ඒ තුළ සිටින සංවිධාන ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රතිපත්ති ප්රකාශනයකට එකඟ වී මේ සඳහා සම්බන්ධ වීම. ඒ වගේම ජාතික ජනබලවේගය මැතිවරණ සඳහාම නිර්මාණය කරපු එකක් නෙවෙයි. කාලයක් තිස්සේ මෙම සංවිධාන වැඩි ප්‍රමාණයක් සමග එක්ව වැඩ කරලා ගොඩනැගුණු දෙයක්.
තුන්වැනි කාරණය තමයි මහජන ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන දේශපාලන ව්‍යාපාරයක් ලෙස %ජාතික ජනබලවේගය^ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙය පීඩාවට පත් වූ ජනතාවට සහයෝගය දක්වන ව්‍යාපාරයක්. ජාතික ජනබලවේගය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒ තුළ සිටින සෑම සංවිධානයක්ම සමාන සාමූහික නායක මණ්ඩලයකින් ක්‍රියාත්මක වන සංවිධානයක්.
පුළුල් ප්රජාතන්ත්රවාදී ප්රවාහයක කටයුතු කරන ජාතික ජනබලවේගය, පක්ෂයක් වගේ දරදඬු ආකාරයට සංවිධානය වූ එකක් නෙවෙයි. මේ නිසා %ජාතික ජනබලවේගයේ^ මූලික ප්‍රතිපත්තිවලට එකඟව සාමාන්‍ය මහජනතාවටත් තමන්ගේ කාර්යාලයේ සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන්.
මෙය මැතිවරණයෙන් පසුවත් පොදු මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් එකිනෙකාට සහයෝගය ලබාදෙමින් කටයුතු කරන ව්‍යාපාරයක්. මේ තුළ දේශපාලන ව්‍යාපාර මෙන්ම අතිවිශාල වෘත්තිකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රටට ආදරය කරන කොටස් මේ තුළ ඉන්නවා.
ඉදිරි මැතිවරණවලදීත් ඔබ කණ්ඩායම මෙම ක්රමවේදයම අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවාද?
මහමැතිවරණය සම්බන්ධයෙනුත් අපි දැනට යම් මූලික එකඟතාවන්ට පැමිණ තිබෙනවා. ජාතික ජනබලවේගය ලෙසම එයට ඉදිරිපත්වන්නට අපි කල්පනා කර තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයේදී විකල්පයන් ලෙස වෘත්තිකයන් වැඩි වශයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙම සියලු විකල්ප එක්කර විශාල බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමුකළේ නැද්ද?
අපි සාකච්ඡා විශාල ප්‍රමාණයක් කළා. මහේෂ් සේනානායක මහත්මයා සමගත් රොහාන් පල්ලෙවත්ත මහත්මයා සමගත් සාකච්ඡා කළා. එවැනි කණ්ඩායම් සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් සිදු කළා. ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන මොහොතේදී අපට සමාන කණ්ඩායම් පමණයි එකතු කරගන්න පුළුවන් වුණේ. නමුත් මේ වනවිට අපි සුබවාදී තැනක ඉන්නවා. සමහර විකල්ප අපේක්ෂකයන් ජාතික ජනබලවේගයට සහයෝගය පළ කිරීමට එකතු වී තිබෙනවා. ඉසුරු සුබසිංහ අපේක්ෂකයා එලෙස එකතු වුණා. ඒ වගේම ඉදිරි සති දෙක තුළ ඇතුළත මේ විකල්ප සියල්ල එකට එකතු වේවි කියා අපි සිතනවා.
දේශප්‍රේමීත්වය සහ ජාතික ආරක්ෂාව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාවන් වෙලා. ඔබ එය දකින්නේ කෙසේද?
දේශප්‍රේමීත්වයට වඩා ජාතිවාදය ඉස්මතු කර තිබෙන්නේ. දේශප්‍රේමය කියන්නේ එකක්, ජාතිවාදය කියන්නේ තව එකක්. දේශප්‍රේමය කියන්නේ රටක් එකට එකතු කරන දෙයක්, රටක් ශක්තිමත් කරන දෙයක්. ජාතිවාදය කියන්නේ රටක් බිඳ දමන දෙයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතීන් එකට එකතු වෙලා ගොඩනගන ශ්‍රී ලංකාවක් මිසක් ඔවුන් එකිනෙකා යට කරගෙන හදන ශ්‍රී ලංකාවක් තුළ අනාගතයක් නැහැ.
ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව ලෙස අපි ආරක්ෂාවේ පැති දෙකක් දකිනවා. ජාතික ආරක්ෂාව සම්පාදනයේදී ත්‍රිවිධ හමුදාවට සහ රාජ්‍යතාන්ත්‍රික සේවයට තමයි එය කළ හැක්කේ. ත්‍රිවිධ හමුදාව සහ විදේශ තානාපති සේවය එය හොඳින්ම කර තිබෙනවා. නමුත් බිඳී තිබෙන්නේ මහජන ආරක්ෂාව. මහජනතාව තුළ තිබෙන බිය සැක වැඩි වී තිබෙනවා. ජාතිවාදය සහ සැකය මහජන ආරක්ෂාවට තිබෙන ලොකුම ප්රශ්නය. සිංහල මනුස්සයෙකුට බයක්, සැකක් නැතිව කඩේකින් බඩුවක් ගන්න බැරි නම්, මුස්ලිම් මනුස්සයෙකුට බයක් සැකක් නැතිව තමන්ගේ රස්සාව ව්‍යාපාරය කරගන්න බැරි නම්, සිංහල දොස්තර මහත්තයෙකුට බයක් සැකක් නැතිව මුස්ලිම් හෝ දෙමළ රෝගියෙකු පරීක්ෂා කරන්න බැරි නම් මුස්ලිම් අම්මා කෙනෙකුට සිංහල වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගන්න බැරි නම් එතැන ආරක්ෂාවක් නැහැ. දැන් ඇතිවෙලා තිබෙන්නේ සැකය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන තිබුණාට වඩා දැන් මිනිස්සු තුළ සැකය වැඩිවෙලා තිබෙනවා. නමුත් ඒ සැකය වැඩිවුණේ ඇත්ත සිදුවීම්වලින් නෙවෙයි. ඒක වැඩි කරලා තිබෙන්නේ බොරු කරුණු මත. සහරාන්ලාගේ ත්‍රස්තවාදය මගින් එය වැඩි කළ බව සත්‍යයක්. නමුත් එයට සෑම මුස්ලිම් මිනිසෙක්ම සම්බන්ධ නැහැ. එසේ තිබියදී ඉතාම දරුණු ආකාරයේ ජාතිවාදී මතවාදයක් ගොඩනැගුවා. ඒ තුළ සිංහල කෙනත්, දෙමළ කෙනත්, මුස්ලිම් කෙනත් බයෙන් ඉන්නේ. පොහොට්ටු පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස මේ පක්ෂ දෙකම සැලකුවොත් පොහොට්ටු පක්ෂයේ දේශපාලනය වී තිබෙන්නේ ජාතිවාදය. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය බලන්නේ ජාතිවාදී පොහොට්ටු පක්ෂය පෙන්වමින් දෙමළ මුස්ලිම් ජනතාව බිය කරමින් තමන්ගේ පැත්තට ගන්න. ඒ අනුව ජාතික ජනබලවේගය, දේශප්‍රේමීත්වයත්, ජාතික සමගියත් කියන කාරණා දෙකම නියෝජනය කරන එකම දේශපාලන ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධ සිදුවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිර්මාණය කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන මුස්ලිම් ජාතික නීතිඥවරයෙක් ප්‍රකාශ කර තිබුණා.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?
ඇත්තටම එය හෙළා දකිනවා. මොකද එවැනි සිදුවීම් පුද්ගල හානියක් පමණක් නොව මුළු රටම ඉරිතලන දේශපාලන අපරාධ. එයින් අවසානයේ සිදුවුණේ ජනතාව රටේ වෘත්තිකයන්ගේ ජාතිය ආගම මත වැඩ කරන්න පුරුදු වුණා. වෛද්‍ය ෂාෆිගේ සිදුවීමෙන් සිංහල තරුණ අම්මලා දාහකට වැඩි පිරිසක් බරපතළ ලෙස හෑල්ලු වුණා. මොකද අපි දන්නවා ගැහැනු කෙනෙක් කවදාවත් තමන්ට දරුවෙක් නැහැ කියලා ටීවී කැමරාවක් ඉදිරියට ගිහින් කියන්නේ නැහැ. ජාතිවාදී දේශපාලනය විසින් සාධාරණ සාමාන්‍ය කාන්තාවන් දහසක් තමන්ට මෙහෙම වෙලා තියෙනවා කියලා කැමරා ඉදිරියට ගෙනවිත් කියවෙව්වා. සිංහල කාන්තාවන් බහුතරය සිංහල පිරිමින්ට වඩා උගත් අය. රටක් වශයෙන් ලංකාව උගත් කාන්තාවන් ඉන්න රටක්. නමුත් මේ සිදුවීමෙන් අපේ රටේ මුළු කාන්තා පරපුරම බරපතළ ලෙස හෑල්ලු කළා.
ඒ වගේම වෛද්‍ය වෘත්තිය විශාලම අපරාධකරණයකට ලක්කළා. ලංකාවේ රජයේ වෛද්‍යවරුන් විසිදාහක් පමණ ඉන්නවා. මේ පිරිසෙන් අතිවිශාල ප්‍රමාණයක් සිංහල වෛද්‍යවරුන්. එය 95%ටත් වඩා වැඩියි. මුස්ලිම් වෛද්‍යවරුන් ප්‍රමාණය මුස්ලිම් ජනගහනය තරමටමවත් නැහැ. මුස්ලිම් අම්මලාට මේ සැකය පෙරළා එන්න පුළුවන්. ඔවුන් කොහොමද සිංහල වෛද්‍යවරයෙක් ළඟට යන්නේ කියන සැකය ඇති වෙන්න පුළුවන්. එවැනි අම්ම කෙනෙකුගේ හදවතේ මොනවගේ බයක් ඇති වෙයිද? මොකද මතයක් ගොඩනගලා තිබෙනවා මුස්ලිම් වෛද්‍යවරුන් මෙහෙම නම් සිංහල වෛද්‍යවරුනුත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. එවැනි බරපතළ සාපරාධී දෙයක් පොහොට්ටු පක්ෂය කළා. නමුත් ආණ්ඩුවත් ඒ දේ සම්බන්ධව හරියාකාර විධිමත් පරීක්ෂණ කරලා ඒ සැකය නිවැරදි කරන්නත්, බොරු වැරදි මත ප්‍රචාරය කරපු පුද්ගලයන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කටයුතු කළේ නැහැ. සහරාන්ගේ බෝම්බය හා සමාන ඊටත් වඩා ලොකු හානියක් රටට කළ අපරාධයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. එහි ලොකු විනාශයක් ජනමාධ්‍ය විසිනුත් සිදු කළා.
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ජනාධිපති වුවහොත් බලය බෙදීම සහ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද?
තනි පුද්ලගයෙකුට රටක් පාලනය කරන්න බැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මත සාමූහික කැබිනට් මණ්ඩලයකින් පාලනය වන ක්‍රමයක් හැදිය යුතුයි. මේ නිසා ජනාධිපතිවරණයෙන් පසුව එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගොඩනගාගන්නා ආණ්ඩුවක් තුළින් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් ස්ථාවර ආණ්ඩුවක් ගොඩනගනවා.
බලය බෙදීම ගැන කතා කළොත් ජාතිවාදී, ආගම්වාදී පදනම මත නෙවෙයි, නමුත් රටේ විවිධ ප්‍රදේශවල විවිධ ජන කණ්ඩායම්වලට, ප්‍රදේශවලට තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමට යම් ව්‍යුහයක් දැනට දී තිබෙනවා. එහි තිබෙන අඩුපාඩුකම් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. සංවර්ධන මට්ටම අනුව ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධනය කළ යුතුයි.
ඒ වගේම රටට උචිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ කැමැත්තෙන් ඇති කරගන්න ඕන. පවතින ව්‍යවස්ථාව යල්පැන ගිය එකක්.
මෙවර මැතිවරණයේදී දෙවැනි මනාපය ගැන කතා වෙනවා. දෙවැනි මනාපයට ඔබ කණ්ඩායම එකඟද?
අපි කියන්නේ අපට ඡන්දෙ දෙන්න කියලා. නමුත් ඡන්දය ඉල්ලන ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනාගෙන් කාටවත් ඡන්ද 50%ක් ගන්න බැරි බව බොහෝ මැතිවරණ විශේෂඥයන්ට සහ සාමාන්‍ය ජනතාවට පෙනෙන නිසා ජනාධිපතිවරණයකදී දෙවැනි මනාපය ගැන සාකච්ඡා පළමුවරට ඇති වී තිබෙනවා. කොච්චර පුම්බගෙන ගියත් තමන්ට 50෴ක් ගන්න බැරි බව දන්නවා. එතකොට දෙවැනි මනාපය තුන්වැනි මනාපය වැදගත් වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ජාතික ජනබලවේගය ලෙස අපි දෙවැනි මනාපයක් ගැන කතා කරන්නේ නැහැ. අපි කියන්නෙ අපට ඡන්දය ලබාදෙන්න කියලා. දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය ප්‍රකාශ කිරීම ජනතාවගේ තිබෙන නීතිමය අයිතියක්.
ඔබලාගේ දේශපාලන ව්‍යාපාරයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය කුමක්ද?
ජාතික ජනබලවේගය ලෙස ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තත් අපේ පක්ෂය තුළ අපි මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්නෙ නැහැ. අපි කිසිම රැස්වීමකට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගන්නෙ නැති පක්ෂයක්. බාර් ලයිසන් ගත්තු නැති, බාර් ව්‍යාපාර නැති එකම පක්ෂය අපි.
අපි ලබන 27 වැනිදා ජාතික තරුණ සම්මේලනයක් පවත්වනවා. එහිදී තරුණ කණ්ඩායම් ප්‍රතිපත්ති ප්රකාශනයක් අෙප්ක්ෂකයාට ලබාදෙනවා. ඒ තුළ මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්කොළ මේ කාණ්ඩ තුනෙන්ම තාරුණ්‍යයට වන විනාශය පිළිබඳ පැහැදිලි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මේ නිසා සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය, මත්පැන් දුම්කොළ තුරන් කිරීම සඳහා නීතිමය වශයෙන් හෝ පරිපාලනමය වශයෙන් හෝ සිවිල් සංවිධානමය වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළත් එය පැහැදිලිවම සඳහන් වෙනවා. අවවාදය වගේම ආදර්ශයත් අපේ ජනාධිපති අපේක්ෂකයා ඇතුළු කණ්ඩායමෙන් ලැබෙනවා.
ජාතික ජනබලවේගයට ජනතාව අතරට යෑමට තිබෙන බාධා මොනවාද?
\සතිඅන්තයේදී #Ask AKD හරහා සමාජ මාධ්‍ය මගින් ජනතාවට ප්‍රශ්න කරන්න අවස්ථාව ලබා දී තිබෙන එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක පමණයි. නමුත් රූපවාහිනී නාළිකා කිහිපයක් පක්ෂග්රාහී ලෙස නීතිවිරෝධී ලෙස අපේක්ෂකයන් දෙදෙනෙක්ව කරේ තියාගෙන යනවා. මැතිවරණ නිරීක්ෂණ ජාලයකින් සකස් කරපු වාර්තාවකට අනුව නාලිකා 3ක් නාමයෝජනාවලට පෙර සතියේ දින 07ක සවස 7.00 ප්රවෘත්ති වාර්තාකරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ප්‍රවෘත්තිවලට විනාඩි 177ක්, සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ ප්රවෘත්ති සඳහා විනාඩි 101ක් සහ අනුර දිසානායක සහෝදරයා වෙනුවෙන් විනාඩි 20ත් පමණයි වෙන්කර තිබෙන්නේ. ජනතාව අතරට යන්න අපට තිබෙන ප්‍රධාන බාධාව අසාධාරණ නීතිවිරෝධී කොල්ලකාරී මාධ්‍ය භාවිතාව. ඒ හැරෙන්න අපි විශාල මහන්සියක් දරමින් ඉන්නවා ජනතාව අතරට යන්න.
අවසාන වශයෙන් ජනතාවට ප්‍රකාශ කරන්න තිබෙන්නේ කුමක්ද?
ප්‍රථම වතාවට අපේ රටේ දිනන්න ඕන කරන අපේක්ෂකයාට දිනන්න පුළුවන් වටපිටාවක් ගොඩනගලා තියෙනවා. මේ මැතිවරණයේ ජයග්‍රහණය තීරණය වෙන්නේ පාවෙන ඡන්දදායකයන් වැඩි වශයෙන් දිනාගන්නා අපේක්ෂකයා මත. එහෙම නැතිව පක්ෂයකට තිබෙන ඡන්ද කුට්ටිය මත නෙවෙයි. මේ නිසා ජනතාවට අපි කියන්නෙ මේ ජනාධිපතිවරණය ඍජුව සම්බන්ධයි මහමැතිවරණයට. පත්වන ජනාධිපතිවරයාට ලැබෙන බලතල අඩුයි. ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි ගැන එකට හිතන්න. මොකද ඉදිරියේදී වැඩි වශයෙන් රට පාලනය වෙන්නේ පාර්ලිමේන්තුවෙන්.
ඒ වගේම ඔබේ දරුවාගේ අධ්‍යාපනය මේ වනවිට පාසලෙන් එළියට ඇවිත් තිබෙන්නේ. එය නැවත පාසල ඇතුළට ගෙනියන්න පුළුවන් අපේක්ෂකයා කවුද ? ඔබේ සෞඛ්‍ය ඇඳ යට තිබෙන්නේ, එය ඇඳ උඩට ගෙනියන්න පුළුවන් අපේක්ෂකයා කවුද? ඔබේ දරුවා ඉගෙනගෙන රැකියා නැතිව ඉන්නවා, ඔබේ ව්‍යාපාරිකයා කර්මාන්ත ශාලාව ආරම්භ කර එයට සුදුසු වෘත්තිකයන් නැතිව ඉන්නවා. මේ නිසා උගත් දරුවාට රැකියාවකුත් ව්‍යාපාරිකයාට සුදුසු වෘත්තිකයනුත් නිර්මාණය කරන්න පුළුවන් අපේකෂකා කවුද? තවදුරටත් ජාතිවාදය නොව ජාතික සමගිය ගේන්න පුළුවන් අපේක්ෂකයා කවුද? පවුල්වාදයෙන් එන, තාත්තාගෙන් පුතාට එන අපේක්ෂකයන් වෙනුවට ඇත්ත ප්‍රශ්න සඳහා විසඳුම් දෙන අපේක්ෂකයාව දිනවන්න කියලයි අපි ඉල්ලන්නේ.