මෙතෙක් කල් අක්‍රීයව පැවැති මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමේ හදිසි තීරණයක් ජනාධිපතිවරයා ගෙන තිබේ. එම තීරණයට මුල් වූ ප්‍රධානතම සිද්ධිය වනුයේ පසුගියදා අත්අඩංගුවට ගැණුනු මත්කුඩු තොගයකි. හෙරොයින් ජාවාරමට වරදකරු වී මරණීය දණ්ඩනයට නියමව බන්ධනාගාරගතව සිට අයෙකු විසින් ඒ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව දැනටමත් අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම මෙරට හෙරොයින් ජාවාරමේ මෙහෙයවීම් සිදුකරන මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය බව අද ප්‍රකටය.
අනෙක් අතට මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරගතව සිටිමින් තවමත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් සිටී නම් ජනාධිපතිවරයා කළ යුත්තේ මහා ආඩම්බරයෙන් තමා මරණ දඬුවමට අත්සන් තබන බව කීම නොවේ. ඔහු මෙන්ම එහෙයියන් මෙන් ක්‍රියාකරන ඇමති මණ්ඩලයද මේ පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතුය. ඔවුන් පළමුව සිදු කළ යුත්තේ බන්ධනාගාරවල තත්ත්වය මෙතරම් පහත් තත්ත්වයට වැටෙන්නට ඉඩදුන් අදාළ වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමය. බහුතර ජනතාවකගේ මතය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පෙර ළමා අපයෝජකයන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවයි.
කෙසේවෙතත් අපට මෙතැනදී පැන නගින ප්‍රධාන ගැටලු කිහිපයකි. ඉන් එකක් නම් මත්ද්‍රව්‍ය ජාවාරම යනු සියලු වැරදි අතරින් වඩාත් දරුණුතම හා වඩාත්ම සාහසික ක්‍රියාවද යන්නයි. දෙවැනි ගැටලුව නම් වරදකරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම තුළින් අපරාධ සිදුවීම අවම කළ හැකිද යන්නයි. තෙවැනි ගැටලුව නම්, වර්තමානයේ සිදුකෙරෙන අපරාධ විමර්ශන ඇතුළුව සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන සෑහීමට පත්විය හැකිද යන්නයි. සිව්වන ගැටලුව නම් මරණීය දණ්ඩනය නම්වූ ක්‍රියාව අන්තර්ජාතික නීතියට හා මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට කොතෙක් අනුකූලද සහ දැනටමත් ඇති විදෙස් බලපෑම් හමුවේ එය ක්‍රියාත්මක කළ හැකිද යන්නයි. ඒ පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් බවට පත්වූ ඈත අතීතයේ පටන් මිනීමැරුම, රාජද්‍රෝහී වීම වැනි වැරදි සඳහා මරණීය දණ්ඩනය පනවනු ලැබීය. ඇත්ත වශයෙන්ම සිංහල රජදවස මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදවල් සංඛ්‍යාවෙහි සීමාවක් නොවීය. කිසියම් පුද්ගලයෙකු රජකම ලබා ගත් පසු ඔහුගේ පෞද්ගලික සතුරන්ට මරණීය දණ්ඩනය ලබා දීම සාමාන්‍යයෙන් සිදු කෙරුණි. එය සිංහල රජවරුන්ගේ කාර්ය පටිපාටියේ අංගයක් බවට පත්ව තිබුණි. මේ තත්ත්වය 19 වැනි සියවස දක්වාම නොවෙනස්ව පැවතුණි. රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් ශ්‍රී ලංකාවේ ගත කළ ජීවිතය පිළිබඳව 1681දී An Historical Relation of the Island Ceylon in the East-Indies නමින් ග්‍රන්ථයක් ලියා පළ කළේය. රොබට් නොක්ස් විසින් විස්තර කර ඇති පරිදි ලංකාවේ නීතිය යනු රජුගේ කැමැත්තයි. ඒ අනුව රජු ස්වකීය බලය අත්තනෝමතිකව යොදා ගනිමින් ස්ව මතයට එරෙහිව යන්නන් පීඩාවට පත්කිරීමට නීතිය අවභාවිතයේ යෙදවීය.
රොබට් නොක්ස් ස්වකීය කෘතියේ දෙවැනි පරිච්ඡේදයෙහි දක්වා ඇති පරිදි සිරකරුවන්ගේ දඬුවම් කාලය අවසන් වූ පසු සිංහල රජු සිරකරුවන් සමාජගත කිරීම වෙනුවට ඔවුන් ඝාතනය කර දමනු ලැබීය. සිංහල රජුගේ මනුෂ්‍ය ඝාතනයන් එයින් ද සීමා නොවීය. වරදකරු මරණයට පත් කිරීමෙන් නොනැවතුණු රජු වරදකරුගේ පරම්පරාවම කිසිදු වගවිභාගයකින් තොරව ඝාතනය කළේය. එසේත් නැතහොත් වරදකරුගේ පවුල් පරම්පරාවම වහල්භාවයට පමණුවනු ලැබීය.
ජෝන් ඩේවි විසින් 1821 වර්ෂයේදී රචනා කළ An account of the interior of Ceylon and its Inhabitants, with travels in the Island යන ග්‍රන්ථයට අනුව 19 වැනි සියවස වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නීති පද්ධතියම දූෂණයට ලක්ව තිබූ බව කියැවේ. යුක්තිය පසිඳලීමට අල්ලස් ගැනීම එදිනෙදා ජීවිතය තුළ අත්දකින සාමාන්‍ය ක්‍රියාවක් විය. ශ්‍රී ලාංකීය රජවරුන්ගේ අත්තනෝමතික දඩුවම් ක්‍රම සීමා කර අපරාධ නඩු විභාග ක‍්‍රමය විධිමත් බවට පත් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් 1802 වර්ෂයේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ අමානුෂීය ක්‍රම සියල්ල ඉවත් කර ඒ වෙනුවට එල්ලුම්ගහ හඳුන්වා දුන්නේය. ඒ අනුව වර්ෂ 1802දී හඳුන්වා දුන් එල්ලුම්ගස මුල්වරට ක්‍රියාත්මක වනුයේ 1812 වර්ෂයේදීය.
මරණීය දණ්ඩනය අවලංගු කළ යුතු බව වර්ෂ 1928 වර්ෂයේදී ඩී.එස්. සේනානායක මහතා ඉංග්‍රීසි ආණ්ඩුවට යෝජනා කළේය. එනමුත් ශ්‍රී ලංකාව නිදහස ලබන තෙක්ම එල්ලා මැරීමේ දඬුවම එලෙසම ක්‍රියාත්මක විය. නැවත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එල්ලා මැරීමේ දඬුවම අත්හිටුවීය. 1959 සැප්තැම්බර් 26 වැනිදා සිදු වූ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ක්‍රියාකාරීවූ ශ්‍රී ලංකා රජය නැවත එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාවට නැංවීම ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ අවසන් වරට එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ 1975 වර්ෂයේදීය.
ඒ අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කාර්යය වර්ෂ 43ක පමණ කාලයක් තිස්සේ අක්‍රියව පවතින්නේය. එනමුත් මරණීය දණ්ඩනය පැනවීමේ කාර්ය වෙනසක් නැතිව දිගටම සිදු කෙරෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා නීතියට අනුකූලව මරණීය දණ්ඩනය නියම කළ හැකි වැරදි වනුයේ මිනීමරුම, රාජද්‍රෝහී වීම හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි ක්‍රියාවන්ය. මනුෂ්‍ය ඝාතන ක්‍රියාවක් මිනීමැරුමක් බවට පත්වන අවස්ථාවන් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය තුළින් විස්තර කර දෙයි. 296 වැනි වගන්තිය අනුව මිනීමැරුමට දඬුවම වනුයේ මරණීය දණ්ඩනයයි.
පුද්ගලයෙකුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කළ හැකි එකම මුල් අවස්ථා අධිකරණය වනුයේ මහාධිකරණයයි. මහාධිකරණයක් විසින් මරණීය දණ්ඩනය පැනවීමට ප්‍රථම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 280 වැනි වගන්තිය ප්‍රකාරව චූදිතයාගෙන් නිදහසට කරුණු විමසිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 53 වැනි වගන්තියට හා අපරාධ නඩු විධාන සංග්රහයේ 281 වැනි වගන්තියට අනුව වයස අවුරුදු 18කට අඩු තැනැත්තෙකුට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීම නොකළ හැකිය. එවැන්නෙකු ජනාධිපතිවරයා කැමතිතාක්කල් සිරගත කර තැබිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 54 වැනි වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 282 (1) වගන්තිය අනුව වරදකාරිය බවට පත් කරනු ලැබ ඇති වේලාවේ ගර්භිණීව සිටි ස්ත්‍රියක් මරණීය දණ්ඩනයට යටත් කළ නොහැකිය. ඇය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කළ යුත්තේය.
මරණීය දණ්ඩනය සෙසු දණ්ඩන නියමයන්ගෙන් සැලකිය යුතු තරම් වෙනස් වනුයේ එය පැනවීම හා ක්‍රියාවට නැංවීම යන අවස්ථා දෙක අතර පවත්නා කාල පරතරය අනුවය. මරණීය දණ්ඩනය හැර සෙසු දණ්ඩනයන් ක්‍රියාත්මක වනුයේ විනිශ්චයකාරවරයා විසින් අත්සන් කරනු ලබන සිරගත කිරීමේ බලපත්‍රය හෙවත් කොමිටලය බන්ධනාගාර අධිකාරිවරයා විසින් ක්‍රියාවට නැංවීමෙනි. සිරගතකිරීමේ බලපත්‍රය ලද බන්ධනාගාර බලධාරීහු ඉක්මනින්ම වරදකරු ලේඛනගත කර සිරකරු අංකයක් ලබාදී බන්ධනාගාර රැඳවීම් වාට්ටු වෙත යොමු කරති. එලෙස වාට්ටු වෙත යොමු කිරීම තුළින්ම දඬුවම ක්‍රියාත්මක වීම ආරම්භ වෙයි. මරණීය දණ්ඩනය ලද වරදකරුවන් බන්ධනාගාරය භාරයේ රැඳවීම් වාට්ටු වෙත යොමු කරන නමුත් දණ්ඩන නියමය ඒ හා සමගින් ක්‍රියාවට නැංවීමක් සිදු නොවේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 285(1) හා 286(ඈ) වගන්තීන්ට අනුකූලව ජනාධිපතිවරයා විසින් එල්ලා මැරීමට දින නියම කරන තුරු සිරකරුවන් ඒ සඳහා වෙන් කළ සිරමැදිරි තුළ රඳවා තැබෙනු ඇත. මරණීය දණ්ඩනය ලැබීමට නියමිත සිරකරුවන් රඳවා තැබෙන සිරකුටියකට %කන්ඩෙම්න්ඩ් සෙල්^ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙයි. ජනාධිපතිවරයාගේ දින නියමය මත මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම අපරාධ නඩු විධාන සංග්රහයේ 286 වැනි වගන්තිය අනුව බන්ධනාගාර බලධාරීන් විසින්ම සිදු කළ යුතුය. දැනට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 285(1) වගන්තියට අනුකූලව මියයනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමෙනි.
මියයනතුරු බෙල්ලෙන් එල්ලා තබන අයෙකු දෙයාකාරයෙන් එක් ආකාරයකට මිය යන බව සාමාන්‍ය පිළිගැනීමයි. එක්කෝ ඔහු ගෙලෙහි අස්ථි බිඳීගොස් සුසුම්නාවට හානිවී මරණයට පත්වනු ඇත. එය ඉතා ඉක්මන් හා වේදනා අඩු මරණයකි. සමහර අවස්ථාවන්හි සුසුම්නාවට හානි සිදු නොවීම නිසා සිරකරුගේ ශ්වසන මාර්ගය අවහිරවීම පමණක් සිදු වෙයි. එය මිනිත්තු කිහිපයක් ප්‍රමාදවී සිදුවන වේදනා සහගත මරණයකි. එම අවස්ථාවට පත්වන සිරකරු සිහි ඇතිව දෙපසට වැනෙමින් අධික වේදනා සහිතව දඟලන බවට වාර්තාගතව ඇත.
එල්ලුම්ගස ක්‍රියාත්මක වනුයේ වධක රාජකාරිය භාර තැනැත්තා විසින් ලීවරයක් ඇදීමෙනි. කලාතුරකින් අවස්ථාවක ලීවරය හරිහැටි ක්‍රියාත්මක නොවීම මත එල්ලුම්ගස පාමුල විවරය එක්වර විවෘත විම සිදු විය හැකිය. එහි ප්‍රතිඵලය නම් සිරකරුගේ ගෙල සිඳීයාමයි. එසේම ඉතා කලාතුරකින් අවස්ථාවක එල්ලුම්ගස ක්‍රියාත්මක වුවද සිරකරු ආපදාවකින් තොරව දිගටම එල්ලී සිටීමටද හැකියාව ඇත. නූතනයේ එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නීතිරීති හා සම්ප්‍රදායන් සකස් කර ඇත්තේ ඒ සියලු අවස්ථා සැලකිල්ලට ගැනීමෙනි.
දැන් අපි එල්ලා මැරීමේ නැතහොත් මරණීය දණ්ඩනය සාධාරණත්වය ගැන මොහොතක් කතා කරමු. ගණිකා වෘත්තියෙහි නියැළීමේ වරදට මේරි මග්දලීනා තැනැත්තිය ගල්ගසා මැරීමට නියමිතවම තිබූ ස්ථානයට පැමිණි ජේසුතුමා මෙසේ කියා සිටියේය. ‘‘ &මහත්වරුනි, මෙබඳු පව්කම් නොකළ කෙනෙකු විසින් මැයට පළමු ගල්පහර එල්ල කරනු මැනව.* එවේලෙහි මරියාට ගල් ගැසීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූයෙන් ඇයට සමාව ලැබුණි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්නට දින නියම කරන්නට පෙර අප විසින්ද රජයේ බලධාරීන්ගෙන් එම ඉල්ලීම මෙසේ ඉදිරිපත් කළ යුතුව ඇත. ‘‘මහත්වරුනි, සිරකරුවන් බන්ධනාගාරවල සිට මත්කුඩු ජාවාරම් කිරීම නැවැත්වීමට නොහැකි තරම් මෙරට පාලන තන්ත්‍රය දුර්වල වූයේ කාගේ වරදක් නිසාද? පළමුව එල්ලා මැරිය යුත්තේ සුළු පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද? නැතහොත් කන්ටේනර් පිටින් රටට මත්ද්‍රව්‍ය ගෙන්වන මහා පරිමාණ ජාවරම්කරුවන්ද? තවද මහත්වරුනි, ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔබගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් යොදවන ලද්දේද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියෙන් සඟවා ගනිමින් ඔවුන්ට රැකවරණය දුන්නේ නුඹලාම මිසක වෙන කවුරුන්ද? එසේ වී නම් පළමුව එල්ලා මැරිය යුත්තේ කවුරුන්ද?
චීන ග්‍රන්ථ කර්තෘවරයෙකු වන සුන් ත්සු විසින් ලියා පළ කළ යුද කලාව නම් කෘතිය අනුව දඬුවම් දීම ආරම්භ කළ යුත්තේ ඉහළම පැළැන්තියේ නිලධාරීන්ගෙනි. එමෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම යමෙකුට පැවරූ පසු ඊට බාධාකිරීමට රජුට වත් අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
විධායකය යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවට මැදිහත් නොවිය යුතුය. එය නීති ප්‍රකාරව එලෙසම සිදුවීමට ඉඩහැරිය යුතුය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුන ස්වාධීනව පවත්නා තුරු ඒවා නිසිලෙස ක්‍රියාත්මකව පවතිනු ඇත. ඒ ආයතන අකර්මණ්‍යත්වයට පත්වනුයේ ඒවායේ ස්වාධීනත්වයට එරෙහිව සිදුවන අනිසි අතපෙවීම් හේතුවෙනි. එබැවින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරන මෙන් රජයට බල කළ යුතුව ඇත. එසේම මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවන්නේ නම් ලොකුම අපරාධකරුවන් පළමුව එල්ලා මැරිය යුතුය. හත්මුතු පරම්පරාවක්ම ණයගැතියන් බවට පත් කර මුළු රටම එකම ණය උගුලක සිරකරුවන් බවට පත්කළවුන් අල්ලාගෙන පැමිණ ඔවුන්ගෙන් වැඩ අල්ලන ලෙස රජයෙන් ඉල්ලා සිටිය යුතුය. කුඩ්ඩන් එල්ලා මැරිය යුත්තේ මිනීමරුවන්, ස්ත‍්‍රී දූෂකයන්, කොල්ලකරුවන් හා මහාපරිමාණ වංචාකරුවන් ගස් නැංවීමෙන් අනතුරුවය.
අනිත් අතට බන්ධනාගාරයන්හි සංවිධානාත්මක අපරාධ සිදුවන්නේ නම් එය වහාම ක්‍රියාත්මකව පිළියම් යෙදිය යුතු සමාජයීය ප්‍රශ්නයකි. වර්තමානයේ බන්ධනාගාරයන් යනු සුළු වරදකරුවන්ට මහ වරදකරුවන් සමග එක්ව තවතවත් නොමග යන්නට ඉඩකඩ සලසන ස්ථානයන් බවට නොරහසකි. වරදකට හසුව බන්ධනාගාරගතවන අය ඕනෑම වරදක් නිවැරදි ආකාරයට කරන හැටි එතුළ සිටින බරපතළ අපරාධකරුවන්ගෙන් ඉගෙන ගනිති. බන්ධනාගාරගතව සිට යළි සමාජගතවන පිරිස් නැවත නැවතත් අපරාධවලට යොමු වනුයේ එම හේතුව මතය. රජය විසින් කුඩ්ඩන් එල්ලා මැරීමට පෙර සිරකරුවන් අතින් අපරාධ සිදුවීමට ඇති ඉඩකඩ අවහිර වන ආකාරයට නිලධාරීන් පුහුණු කළ යුතුය. දැනට ජපානයේ බන්ධනාගාර ක්‍රියාත්මක වනුයේ කිසිදු වරදකරුවෙකුට තවත් වරදක් එහි සිට සිදු කළ නොහැකි ආකාරයටය.
එසේම මරණීය දණ්ඩනය පැනවීම තුළින් අපරාධ අඩුවීමක් සිදු නොවන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය හා තවත් ස්වාධීන පර්යේෂකයන් රාශියක් විසින් පෙන්වා දී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සමහර ප්‍රාන්තයන්හි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අතර තවත් ඒවායෙහි ඒ දණ්ඩන නියමය ක්‍රියාවට නැංවීමක් සිදු නොවෙයි. සමස්තයක් ලෙස සලකන කල්හි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් අපරාධයන්හි සංඛ්‍යාත්මක අඩුවීමක් සිදු නොවේ. ඊට හේතුව අපරාධයන් සිදුකිරීම කෙරෙහි වෙනත් සාධක වඩා තීරණාත්මක ලෙස බලපෑමයි. අපරාධයන් සිදුවීම අවම කිරීම, තනිකරම නීති පැනවීමෙන් සිදු කළ නොහැකි දෙයකි. අපරාධ වර්ධනයට බලපාන සමාජීය, පාරිසරික, ආර්ථික හා මනෝවිද්‍යාත්මක සාධක සියල්ල අධ්‍යයනයෙන් පසුව පමණක් අපරාධ මර්දනයට තදබල දඬුවම් නිර්දේශ කිරීම යෝග්‍ය වෙයි.
ජාත්‍යන්තර නීතියේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව මරණීය දණ්ඩනය ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවකි. එය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයෙහි ඇතුළත් ජීවත්වීමේ අයිතියට එරෙහි ක්‍රියාවකි. එසේම 1994 කෲර වධහිංසාවන්ට එරෙහි පනතෙහි විවිධිවිධානයන් උල්ලංඝනය කෙරෙන ක්‍රියාවකි. තවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි. ‘‘%කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොකළ යුත්තේය.’ මරණීය දණ්ඩනය යනු එකී නිර්ණායක සියල්ලටම ඇතුළත් වන වධයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16(2) වන වගන්තිය අනුව අධිකරණ තීරණයක් මත ලබා දෙන දඬුවමක් 11 වැනි වගන්තියෙන් ආවරණය නොවේ. මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවට තර්ක කළ හැකි නමුත්, ජීවත්වීමේ අයිතියට පදනම් වූ විශ්ව සම්මත ප්‍රමිති කඩවීමක් එයින් සිදු වෙයි.
නදුන් ශාමෙල්