පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සාරාංශය


පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය. ඉහත ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක්ම ඉදිරිපත් විය.  එකී පෙත්සම්කාර පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. ඒ අනුව පෙත්සම්කරුවන් දැක්වූ කරුණුවල සාරාංශය මෙසේය.

නිශ්චිත කාලයක් සඳහා මහජන නියෝජිතයන් පත් කරගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති වරප්‍රසාදයකි. ජනාධිපතිවරයා හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් පොදු ජනතාවගේ එකී වරප්‍රසාදය කඩවූ බවත් එය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබීය. මෙහිදී විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170(1) වගන්තිය කෙරෙහි අවධානය යොමු කරවනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170(1) වන අනුව්‍යවස්ථාව මෙසේය.
 
‘‘%70(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.
එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.
 
170(1) ව්‍යවස්ථාවේ සඳහන් කාලසීමා නියමයන්ගෙන් ජනාධිපතිවරයා බැඳී සිටින බව පෙත්සම්කාර පාර්ශ්වයෙන් ප්‍රකාශ විය. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික තර්කය වූයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) හරහා අභියෝගයට ලක් කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.
දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කරන ලද කරුණු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් සලකා බැලීමෙන් අනතුරුව එකී පෙත්සම් විභාගයට අවසරය ලබාදීම සිදුවිය. එකී පෙත්සම් විභාගය 2018-12-04 වැනිදා ආරම්භ කිරීමටද දින නියම කරනු ලැබීය. එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
 
2018-11-13 වැනිදා සන්ධ්‍යාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට රැස්ව සිටිමින් එතෙක් වේලා  සටන් පාඨ කියමින් සිටි පෙත්සම්කාර පාර්ශ්වයේ ආධාරකරුවෝ ප්‍රීතී ඝෝෂා කරන්නට වූහ. අධිකරණයක් ඉදිරිපිට සිදු වූ මේ හැසිරීම අතිශය විරල සංසිද්ධියකි. මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධානතම කරුණ වනුයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීම සහ ඊට ආනුශාංගික අතුරු තහනම් නියෝග නිකුත් කිරීම කිසිසේත්ම අවසානාත්මක තීන්දුවක් නොවන බවයි.
 
එකී අතුරු නියෝගය 2018-11-14 වැනිදා මෙරට සාමාන්‍ය ජනතාවගේ කතාබහට ලක්වූ ප්‍රධානතම මාතෘකාව ලෙස සැලකීම වරදක් නොවේ. ඒ කතාබහට සවන් දෙන කල ඉතා වැදගත් කරුණක් අනාවරණය විය. එය නම්, මෙරට ජනතාව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ක්‍රියා නොකරන බවයි. මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීම හෝ පෙත්සම ඉවතලීම, පෙත්සම සලකා බැලීමේ මූලික අවස්ථාවයි. පෙත්සම විභාගයට ගැනීම සහ ඊට පසු ලබාදෙන අවසානාත්මක නියෝග නැතහොත් තීන්දුව සඳහා තව කල් ඇත. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය 2018-11-13 දින ලබාදුන් අතුරු නියෝගය ගැන කිසිවෙකු හෝ වැරදි වැටහීමක් ඇති කරගත යුතු නැති අතරම ජනතාවගේ නොදැනුවත්භාවය භාවිත කරමින් අතුරු තහනම් නියෝගය අධිකරණ තීන්දුවක් බවට ඒත්තු ගැන්වීමට දේශපාලන පක්ෂ උත්සාහ නොකළ යුතුය. මෙම අතුරු තහනම් නියෝගයේ කතාව පිළිබඳ මෙම නීති විග්‍රහය ගෙනඑන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
 
&එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරීන් ප්‍රමුඛ පිරිසක් පසුගියදා ජනපතිවරයාගේ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය අතිශය වැදගත් වෙයි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියෙන් සමානත්වයේ අයිතිය විස්තර කෙරෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වැනි අනුව්‍යවස්ථාව මෙසේය.
‘‘12(1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ  රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.
 
12(1) වන වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කළේය යන්න මත මූලික අයිතිවාසිකම් නඩු පවරන ලද අවස්ථා බොහෝය. මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අතිබහුතරයක 12(1) වගන්තියෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් කඩ කර ඇත යන කරුණ ප්‍රකටව දැකිය හැකිය. එබැවින්, මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රය තුළ වඩාත්ම දායකත්වය දක්වන වගන්තිය එය බව හඳුනාගත හැකිය.
12(1) වගන්තියේ විශේෂත්වය වනුයේ කඩවීමට ලක්වූ මූලික අයිතිය කවර ස්වභාවයක් ගත්තද එම වගන්තියේ විෂය පථයට අදාළ සිද්ධිය ඈඳීමට ඇති හැකියාවයි. ජයසිරි ලංකාගේ එදිරිව කැලණිය විශ්වවිද්‍යාලය (ශ්‍රේෂ්ඨාධිකරණ අයැදුම්පත් අංක 125/94) දරන නඩුවේදී පෙත්සම්කරු 12(1) වැනි වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කළේය යන්න මත නඩු පැවරීය. ඔහුගේ මතය වූයේ තමන් පුස්තකාලයාධිපති තනතුර දරන අතර විශ්වවිද්‍යාලයෙන් එම තනතුරට අයැදුම්පත් කැඳවීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බවයි. සමාන අවස්ථාවන්හි වෙනස්ව සැලකූ බව ඔප්පු කිරීම තුළින් 12(1) වගන්තිය අනුව ප්‍රතිකර්ම අයැද සිටීමට හැකිය. මෙහිදී අධිකරණය සමාන අවස්ථාවන්හි වෙනස්ව සැලකීම යන්න ඔප්පු කිරීම සඳහා පරීක්‍ෂණ ක්‍රමයක් යෝජනා කළේය. ඒ අනුව තමන් මුහුණ පෑ තත්ත්වය හා සමාන වෙනත් අවස්ථාවන්හිදී වෙනස්ව සලකා ඇති බවත් තමන්ට සලකා ඇති ආකාරය ඊට වෙනස් බවත් පෙත්සම්කරු විසින් ඔප්පු කිරීමෙන් පමණක් ඔහුට තම සහනයන් ලබා ගත හැකිය.
 
ජයසිරි ලංකාගේ එදිරිව කැලණිය විශ්වවිද්‍යාලය  නඩුව වර්තමානයේ විවාදයට බඳුන්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට ඍජුවම අදාළ කරගත හැකි නඩු තීන්දුවකි. මන්දයත් ජයසිරි ලංකාගේ සම්බන්ධ සිද්ධිය වර්තමාන සිද්ධි දාමයේ කරුණු කාරණා සමග තරමක් දුරට සැසෙඳන බැවිනි. ජනාධිපතිවරයා හදිසියේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම සහ අලුතින් අගමැතිවරයෙකු පත් කිරීම ප්‍රශ්නගත ක්‍රියාදාමයේ ආරම්භය වෙයි. ජනාධිපතිවරයා විසින් අනපේක්‍ෂිත ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නව අගමැතිවරයෙකු පත්කිරීමේ ප්‍රශ්නය දුරදිග යාම හේතුවෙනි. කෙසේ වෙතත් දැනට ප්‍රශ්නගතව පවත්නා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 12(1) වගන්තිය පුළුල් ලෙස අර්ථ දක්වනු ඇත්ද, නැතහොත් පටු ලෙස අර්ථ දක්වනු ඇත්ද යන්න කීමට තවමත් කල් වැඩිය.
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පිරිස් එම පෙත්සම් ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තිය සමග එක්ව කියවෙන 126(2) වගන්තියේ විධිවිධානවලට අනුකූලවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තිය මෙසේය. 
‘‘. මේ පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමිවන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේය.
 
17වන ව්‍යවස්ථාවේ කියවෙන පරිදි මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධව ප්‍රතිකර්ම අයැදිය හැක්කේ එම කඩකිරීම විධායක හෝ පරිපාලනමය ක්‍රියාවකින් සිදුවුවහොත් පමණි. මේ අනුව විධායක ක්‍රියාව යනු කුමක්ද යන්නත්, පරිපාලනමය ක්‍රියාව යනු කුමක්ද යන්නත් පැහැදිලිව නිර්වචනය කිරීම වැදගත්ය.
 
17 වැනි ව්‍යවස්ථාවේ ඍජු ප්‍රතිඵලය වනුයේ විධායක හෝ පරිපාලනමය ක්‍රියාවකින් සිදු වූ මූලික අයිතිවාසිකම් කඩවීමක් හැර, අන් සියලු ආකාර මානව හිමිකම් කඩවීම්වලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයැදුම් කිරීමේ හැකියාව අහිමි වීමයි. විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් සිදුවීද එම සිදුවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇත්ද යන්න මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගනු ඇත. විජේතුංග එදිරිව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව (1982-1ශ්‍රීලනිවා1) දරණ නඩුවේදී විධායක හෝ පරිපාලනමය ක්‍රියාව යන්න අධිකරණයේ අර්ථ නිරූපණයට භාජනය විය. යම් ක්‍රියාවකට රජයේ මැදිහත්වීමක් ඇත්නම් එය විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කළ හැකි බව එම  නඩුවේදී පෙන්වා දී ඇත. මෙම නඩුවේදී රක්‍ෂණ සංස්ථාවේ  ක්‍රියාවක් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් ලෙස පිළිගැනීමට අධිකරණය මැලි විය. 
 
කෙසේ නමුත් රොබර්ට්ස් එදිරිව රත්නායක නඩුවේදී (1986-2ශ්‍රීලනිවා36) කොළඹ මහනගර සභාවේ ක්‍රියාවක් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් ලෙස පිළිගනු ලැබීය. යම් ක්‍රියාවක් විධායක හෝ පාරිපාලනමය ක්‍රියාවක් වීමට රජයේ ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍ය නොවන බව පෙරේරා එදිරිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (1978-79-80-1 ශ්‍රීලනිවා 128) දරණ නඩුවෙන් පෙනී යයි. මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යනු රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාකරන ස්වාධීන කොමිසමකි. එම කොමිසමේ ක්‍රියාවන්ද විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් ලෙස අර්ථදැක්වීමට හැකියාව ඇති බව තීරණය විය. තරමක් පසුකාලීනව තීරණය වූ පරමේශ්වරී ජයදේවන් එදිරිව නීතිපති (1992-1 ශ්‍රීලනිවා 293) දරණ නඩුවේදී විධායක හා පරිපාලනමය ක්‍රියාව යන්න තවදුරටත් පුළුල් අර්ථයෙන් සලකනු ලැබීය. ඒ අනුව සංස්ථාපිත රාජ්‍ය ආයතනයක නිල ක්‍රියාවක් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තිය හා 126(1), 126(2) වගන්ති තුළින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව අධිකරණ බලය විස්තර කෙරෙයි. මෙම වගන්තීන් අනුව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී ඇත. අපි දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) උපවගන්තිය කෙරෙහි අවධානය යොමු කරමු.
 
‘‘126(2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තෙකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් එතැන් පටන් මාසයක් ඇතුළත එම කඩකිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක් තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේය. එවැනි ඉල්ලීමක් පිළිබඳ ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳ ක්‍රියා කරගෙන යා හැක්කේය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි ඒ අවසරය ප්‍රදානය කිරීමට හෝ අවසරය දීම ප්‍රතික්‍ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේය.’
 
මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී පෙත්සම ඉදිරිපත් කළ යුතු ආකාරය 126(2) අනුව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් යන විශේෂණයද සමගය. මේ අනුව මූලික අයිතිවාසිකම් කඩවූ බව කියන පාර්ශ්වය හෝ ඔහුගේ නීතිඥ තැන විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කිරීම මූලික කොන්දේසියකි. සෝමවතී එදිරිව වීරසිංහ (1990-2ශ්‍රීලනිවා 121) නඩුවේදී අදාළ පෙත්සම්කාරිය ඇගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඉල්ලීම කළාය. මෙම අවස්ථාව 126(2) වගන්තියේ අවශ්‍යතා තෘප්ත නොකරන බව කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
 
මෙහිදී බලපානුයේ සිවිල් නඩුවක් පැවරීමේ අයිතිය සඳහා සලකා බැලෙන ලෝකුස් ස්ටෑන්ඩයි නම් රීතිමය තත්ත්වයයි. ඒ අනුව අදාළ ක්‍රියාවෙන් මූලික අයිතිවාසිකම් කඩවූ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තැන විසින් පෙත්සම ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් මහජන සුභසාධක නඩුකර පිළිබඳ සිද්ධාන්තය මත ලෝකුස් ස්ටෑන්ඩයි රීතිය දැන් තරමක් පසුබැස ගොස් ඇත. ඒ අනුව පොදුවේ මහජනතාවට එරෙහිව සිදුවී ඇති මූලික අයිතිවාසිකම් කඩවීමකදී නියෝජිත ස්වභාවයෙන් නඩු පැවරීමට හැකියාවක් පවතියි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) වගන්තියේ එතැන් පටන් මාසයක් ඇතුළත එම කඩකිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය යන විශේෂණය දක්වා ඇත. මෙම විශේෂණය සම්බන්ධයෙන් සිරිවර්ධන එදිරිව රොද්‍රිගු (1986-1ශ්‍රීලනිවා 384) නඩුවේදී පැහැදිලි කර දී ඇත. මෙහි එතැන් පටන් යන්නෙන් අදහස් කරනුයේ මූලික අයිතිවාසිකම් කඩ කළ දින සිට මසක් ඇතුළත යන්නයි. කෙසේ නමුත් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව කඩ කළ දිනයේදී දැනගැනීමට ක්‍රමයක් නොවී නම් කඩකිරීමට අදාළ සිද්ධිය සම්බන්ධව දැනුවත් වූ දින සිට කාලසීමාව ගණන් කිරීම ඇරඹෙයි.
මෙබඳු ඉල්ලීමක් සලකා බැලීමේදී පළමුකොටම ලීව් ටු ප්‍රොසීඩ් (Leave to Proceed) හෙවත් ඉල්ලීම ඉදිරියට ගෙන යෑමට අවසරය දිය යුතුද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලනු ඇත. ඉල්ලීම ඉදිරියට ගෙන යාමට අවසර ලබාදුන්නේ නම් එතැන් සිට 126(4) අනුව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අදාළ වෙයි. අවස්ථාගත කරුණු  අනුව  යුක්ති සහගත  යැයි  හා  සාධාරණ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහනයක් ප්‍රදානය කිරීමට හෝ විධානයක් දීමට හෝ මූලික අයිතිවාසිකමක් හෝ භාෂා අයිතිවාසිකම කඩවී නොමැති බව ඒ අධිකරණයේ මතය වේ නම් ඒ කාරණය අභියාචනාධිකරණය වෙත ආපසු යොමු කිරීම යන විකල්ප දෙකෙන් එකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අයැදුම්පත විමසා බැලීමෙන් පසු තෝරාගනු ඇත. 
 
යුක්ති සහගත යැයි හා සාධාරණ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහනයක් යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිර්වචනය කර නොමැති අතර, එම කරුණ අධිකරණයේ අර්ථ දැක්වීම සඳහා විවෘතව තබා ඇති බව මුල් බැල්මටම පෙනී යයි. වාර්තාගත නඩු තීන්දු සැලකිල්ලට ගත් කල ප්‍රධාන වශයෙන් සහන හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙවැනි අවස්ථාවලදී ලබාදීමට ඉඩකඩ ඇති බව පෙනී යයි. එම සහනයන් මෙයාකාර වෙයි.
 
01. මූලික අයිතිවාසිකම් කඩවීමට අදාළ විධායක හෝ පරිපාලන ක්‍රියාව ශුන්‍ය හා බලරහිත බවට ප්‍රකාශනාත්මක ආඥාවක් ලබා දීම
02. වින්දිත පාර්ශ්වයට වන්දි ගෙවන මෙන් අදාළ ක්‍රියාවට වගකිවයුත්තන්ට ආඥා කිරීම
03. වින්දිත පාර්ශ්වයට රජයෙන් වන්දි ගෙවීම
04. සුදුසු යැයි පෙනී යන නිවැරදි කිරීමක් කිරීම සඳහා නිර්දේශ කිරීම
 
මූලික අයිතිවාසිකම් නඩුවක් සාර්ථක වීම සඳහා නඩුව ඉදිරිපත් කිරීමට ඉතාම විශ්ලේෂණාත්මක ලෙස කරුණු සලකා බැලීම නුවණට හුරුය. මෙයාකාරයෙන් තම වාසියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අවකාශය ඇති බව මුල් බැල්මට පෙනේ නම් පමණක් එතැන් සිට ඉදිරියට ක්‍රියාත්මක වීම සුදුසුය. මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටිය 1978 ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් තුළින් විධිමත් කරනු ලැබීය. පසුව එම කාර්ය පටිපාටිය 1990 ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් තුළින් නැවත විධිමත් කරනු ලැබීය. මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටිය 1990 ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්හි 04 වැනි කොටස අනුව පහත දැක්වෙන පරිදි වෙයි.
 
‘‘44(1) යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කිරීම හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම සම්බන්ධයෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාවේ (2)වන අනුව්‍යවස්ථාව යටතේ සහ ඊට අනුකූලව ලිඛිත පෙත්සමක් මගින් යම් තැනැත්තෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කරනු ලැබූ අවස්ථාවක ඒ තැනැත්තා විසින්.
 
(අ) ඒ අයිතිවාසිකම සහ එය කඩකිරීම හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම සම්බන්ධ සිද්ධි සහ අවස්ථාගත කරුණු පිළිබඳව ඒ අයිතිවාසිකම කඩකර ඇත්තේ හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින්නේ කවර විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින්ද යන්න පිළිබඳ විස්තරද ඇතුළුව පැහැදිලි හා සංක්‍ෂිප්ත ප්‍රකාශයක් ඔහුගේ පෙත්සමෙහි දැක්විය යුතුය. අයිතිවාසිකම් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් කඩකර හෝ කඩකිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ සිද්ධි හා අවස්ථාගත කරුණු පැහැදිලිව හා ප්‍රත්‍යක්‍ෂව දැක්විය යුතුය. තවද ඒ අයිතිවාසිකම කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් නිශ්චිත විධිවිධානයක් යටතේද යන වගද ඔහු විසින් සඳහන් කරනු ලැබිය යුතුය.
 
(ආ) ඒ අයිතිවාසිකම කඩ කර ඇත්තේ හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින්නේ යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින්ද ඒ තැනැත්තා හෝ තැනැත්තන් වගඋත්තරකරුවන් ලෙස නම් කළ යුතුය.
(ඇ) එම පෙත්සම සනාථ කිරීම පිණිස දිවුරුම් පත්‍ර සහ ඔහු විසින් ලබා ගත හැකි ලේඛන ඉදිරිපත් කළ යුතුය. තවද,
(ඈ) පළමුකොටම නඩු කටයුතු පවත්වා ගෙන යාමට අවසරයද ඇතුළුව ඉල්ලා සිටින සහනය හෝ පිහිට පෙත්සමෙහි නිශ්චය කොට දැක්විය යුතුය.
45(1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාවේ (2)වන අනුව්‍යවස්ථාව යටතේ සහ ඊට අනුකූලව ලිඛිත පෙත්සමක් මගින් වූ සෑම ඉල්ලීමක්ම එය ඉදිරිපත් කරනු ලැබූ දින සිට දවස් හතරක් ඇතුළත අග්‍රවිනිශ්චයකාරවරයා විසින් නියම කරන ලද දිනයකදී හෝ අග්‍රවිනිශ්චයකාරවරයා විසින් කලින් කල නියම කරනු ලැබිය හැකි විධිවිධානවලට අනුකූලව නඩු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර දිය යුතුද, නැතහොත් ප්‍රතික්‍ෂේප කළ යුතුද යන්න පිළිබඳ තීරණයක් සඳහා අග්‍රවිනිශ්චයකාරවරයා විසින් නම් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත විනිශ්චය මණ්ඩලයකට යොමු කළ යුතුය. අවශ්‍ය යැයි හෝ අවස්ථාවෝචිත යැයි අධිකරණයට පෙනී යන සලකා බැලීමකින් සහ පෙත්සම්කරුට කරුණු කියා සිටීමට එවැනි අවස්ථාවක් දීමෙන් පසු නඩු කටයුතු පවත්වාගෙන යාමට අවසර දීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ සම්බන්ධයෙන් අධිකරණය විසින් ආඥාවක් කරනු ලැබිය යුතුය. නඩු කටයුතු පවත්වාගෙන යාමට අවසරය දෙන ආඥාවක දෝෂාරෝපණද, නඩු කටයුතු පවත්වාගෙන යාමට අවසරය දෙනු ලබන්නේ කිනම් අයිතිවාසිකම්වලට අදාළවද යන වගද අධිකරණය විසින් නිශ්චය කොට දැක්විය හැකිය.
 
ඒ අනුව මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධානතම කරුණ නම්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙතෙක් විමසා බලා අවසන් කර නැති බවයි. ඒ හේතුවෙන් තමන් ජයක් ලද බව හෝ පරාජයක් ලද බව කියාපෑමට කිසිදු පාර්ශ්වයක් ඉක්මන් නොවිය යුතුය.
 
කෙසේ නමුත් රටම අරාජික කරමින් රටම වික්ෂිප්ත කරමින් බුර බුරා නැගෙන මෙම අර්බුදය විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වීම යම් අස්වැසිල්ලකි. තවද පසුගියදා පාර්ලිමේන්තුවේදී මල්ලවපොර සන්දර්ශන පැවැත්වූ දේශපාලන බලප්‍රේතයන්ගේ අතකොළු බවට පත්නොවී මේ අසීරු අවස්ථාවේදී සාමකාමීව ක්‍රියාකිරීමට පොදු ජනතාවද සිතට ගත යුතුය. සෑම පැත්තකින්ම රජය දුර්වල වී ඇති මෙවන් කාලසීමා තුළ රාජ්‍ය පාලන තන්ත්‍රය මුළුමනින්ම බිඳවැටී ඇති මේ මොහොතේ ජනතාවගේද සාමය බිඳී ගොස් ශ්‍රී ලංකාවද තවත් ලිබියාවක් බවට පත්වුවහොත් එහි අහිතකර විපාකයන්ද විඳින්නට සිදුවන්නේ දේශපාලඥයන්ට නොව ජනතාවටමය.
 
නඳුන් ශ්‍යාමාල්


Recommended Articles