ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදය ඔඩුදිව ගියේය. යම්තැනක විරාමයක් දුටුවද, නැවත මහ මැතිවරණයක් පැවැත්වුවද එවැනි අවදානමක රතුඑළියක් පිළිබඳව ජනතාව මුමුණති. ජනතාව ව්‍යවස්ථාව සහ නීතිය සම්බන්ධයෙන් අවදියෙන් සිටියි. එදා මෙදාතුර ඇති වූ සංකීර්ණ තත්ත්වයන් හෙට දවසේ පැවැත්ම සමග ගළපා ගැනීමට අනුබලයක් වන්නේ කෙසේදැයි අප යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවේ සභාපති අධිනීතිඥ ලාල් විජයනායක මහතාගෙන් විමසුවෙමු.
රට අස්ථාවර කළා යැයි කියන පාර්ලිමේන්තු වර්ජනය පිළිබඳ පළමුව විවරණයක් කළොත් ?
මහින්ද රාජපක්ෂ කණ්ඩායම තමන් ආණ්ඩුවේ යැයි කියා ගනිමින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ගරු කරන කිසිම රටක දක්නට නොලැබෙන සිද්ධියක්. විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළත් එය එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවේ. එහෙත් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම තුළින් බරපතළ දේශපාලන හා නීති ප්‍රශ්න ගණනාවක් ඇති කරයි. ජනතාවගේ අවධානය එයට යොමුවීම දැඩි අවශ්‍යතාවකි.
අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) යටතේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව සාමූහිකත්වය වගකීමට සහ පිළිතුරු බැඳීමට බැදී සිටිති. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33-අ, ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් හා ස්වකීය බලතල කාර්යය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකිව යුතුව තිබේ.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට උත්තරදීම වැදගත්ම ලක්ෂණයකි.
එහෙයින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සිටිමින් තමන්ගේ දේශපාලන පාලනය තුළින් මතුවන ප්‍රශ්නවලට මහජනතාව වෙනුවෙන් මන්ත්‍රීවරුන් විසින් මතුකරන ප්‍රශ්නවලට උත්තරදීමට බැඳී සිටිති. එමෙන්ම තම පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය නීතිරීති හෙවත් එනම්, ව්‍යවස්ථා, අණපනත් ආදිය සකස් කිරීමද කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තු පනත් සම්මත ක්‍රියාත්මක කිරීම තුළින්ය.
එහෙයින් ජනතාවට තම ආණ්ඩුව පාලනය කළයුතු වන්නේ පාර්ලිමේන්තුව තුළිනි. ආණ්ඩුව අධීක්ෂණය කිරීමෙන් පාර්ලිමේන්තුව තුළදී අගමැති හා මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුවෙයි. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම කේන්ද්‍රස්ථානය වන්නේ පාර්ලිමේන්තුවයි.
එසේ නම් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා ඇතිවිය හැකි හානි මොනවාද? මෙය ඉදිරියටත් සිදුවීම වැළැක්වීමට සහ ජනතාවගේ දැනුම වෙනුවෙන් පැහැදිලි කළොත්?
අගමැති, අමාත්‍යවරු ඇතුළු පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමෙන් අදහස් වනුයේ ඔවුන් ජනතාවට උත්තරදීම මගහැර, ජනතාවට වගකීමෙන් මිදී ඔවුන් විසින් අත්තනෝමතික පාලනයක් ගෙනයන බවකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ ඇති ජනතාවගේ අයිතීන්ට බලවත් මරු පහරකි. එය එසේ වන්නේ මෙය ඒකාධිපති පාලනයක් තුළ දකින්නට ඇති ප්‍රධානම ලක්ෂණයද වන හෙයිනි.
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් අදහස් වන්නේ රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති ආයතනයන්ට පිටින් ඊට සමාන්තරව පිහිටුවා ගන්නා කේන්ද්‍රස්ථානයකින් රට පාලනය කරනු ලබන බවකි. මෙයද ඉතා භයානක වර්ධනයකි. එසේම ඉහත තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම නොව එයද උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කළ යුතුය.
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති අතර, 04 වැනි ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කුලුන වන ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.
එහෙයින් අගමැති, ඇමතිවරු සහ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු නොකර ක්‍රියා කිරීමේ වැඩපිළිවෙළකි.
එසේ ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ අර්ථය වනුයේ ආණ්ඩුව මහජනතාවට වග නොකියන හා ප්‍රශ්නවලට උත්තර නොදෙන සහ ජනතාවගෙන් ඈත්ව පාලනයක් ගෙන යන බවකි. එපමණක් නොව රට පිළිගත් බල කේන්ද්‍රස්ථානයෙන් පිටස්තරව වෙනත් කේන්ද්‍රස්ථානයක සිට රට නීති විරෝධීව පාලනය කරමින් සිටින බවයි.
එහි අර්ථය වන්නේ අප 1931 සර්වජන ඡන්දබලය ලැබුණු දා සිට වසර 87ක් අප රට අප විසින් පත් කරනු ලබන ජනතා නියෝජිතයන්ගේ මාර්ගයෙන් පාලනය කිරීමේ අයිතිය අපට අහිමිවීම වෙයි. එයද තවත් භයානක පෙරනිමිත්තකි.
ජනතා නියෝජිතයන් මගින් රට පාලනය කරනවා වෙනුවට රටේ ජනතාවගේ අධීක්ෂණයෙන් තොරව අසම්මත පාලනයක් ගෙන යන බවද මෙයින් හැඟේ. මෙය අපගේ දේශපාලන සංස්කෘතිය මෙන්ම අප ගරු කරන අප දීර්ඝ කාලයක් බුක්තිවිඳ ඇති ප්‍රජාන්ත්‍රවාදයද විනාශ කිරීමකි.
දේශපාලනික වශයෙන් කතා කිරීමේදී මෙය තවදුරටත් අප 2015 ජනවාරි 08 දින ජයග්‍රහණය කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සටන පාවාදීමක්ද වේ.
ජනතාවගේ නියෝජිතයන් විසින් පත් කරනු ලබන අය අතරින් වැඩි විශ්වාසයක් ඇති පුද්ගලයා අගමැති ලෙස පත්කිරීමට ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. එසේ කළ යුතුව තිබියදී එසේ නොකරන බව හෙවත් එනම් රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වශයෙන් පත් නොකරන බව ප්‍රකාශ කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අනුව ඔහුට විරුද්ධව මෙම ප්‍රකාශය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල ව්‍යවස්ථාව කඩකිරීමකි.
එහෙයින් අප අගය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමට ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන යන මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට විරුද්ධව ජනතාව මැදිහත්විය යුතුව තිබේ. මෙය පරාජය කළ හැක්කේ ජනබලයක් යටතේ පමණි.
නමුත් පාර්ලිමේන්තුව විධිමත් අාකාරයෙන් නොකැඳවීම නිසා ආණ්ඩු පක්ෂය එය වර්ජනය කරන බවත් එම චෝදනාව කෙළින්ම කථානායකවරයාටත් යොමු වෙනවා? කථානායකවරයා සැබැවින්ම හිතුවක්කාර ආකාරයෙන් කටයුතු කරන්නේ දැයි ජනතාවටද ප්‍රශ්නයක් තිබෙනවා?
පාර්ලිමේන්තුව කැඳවීම ක්‍රමවත්ද හෝ නීතිගරුකද යන්න තර්ක කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී කෙරෙන අදහස් යෝජනා විරෝධතා දක්වීම අනුවයි. එසේ නොව පිටස්තර ස්ථානවල කාලය ගතකරමින් කෙරෙන පදනම් රහිත චෝදනා යටතේ එය කළ නොහැකියි.
හඬ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම වැරදි නම් කළ යුතුව තිබුණේ වෝට් බයි නේම් යනුවෙන් එය තුළදී කටහඬ අනුව ඡන්ද විමසීමකට අවස්ථාව ඉල්ලා සිටීමයි. එහෙත් එවැන්නක් සිදු නොවීය. එය විපක්ෂයේ හෝ කථානායකවරයාගේ වරද නොවන බව ඕනෑම අයෙකුට වැටහෙනවා ඇති.
පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලය තුළ ඔවුන් වෙනත් ස්ථානවලට වී ඉහළම පහසුකම් භාවිතයෙන් රූපවාහිනී දර්ශන නරඹමින් කැන්ටිමට ගොස් හෝ ලොබියක වෙනත් තැන්වල තම කාලය කා දමමින් සිටින බව ඇසේ. එයද වරදකි. ජනතා අයිතිය උල්ලංඝනය කිරීමකි. කථානායකවරයා වැරදි නම් ඒ ගැන කතා කිරීමවත් පාර්ලිමේන්තුවට නොපැමිණ කළ නොහැකිය. තමන් අවංකව නොපැමිණෙන්නේ ඇයිද යන්න ඒ අයද නොදන්නවා නොවේ යැයි මම සිතමි.
ස්ථාවර නියෝග කඩකළා යැයි ආණ්ඩු පක්ෂය චෝදනා කරනවා. ජනතාවට මෙවැනි දේ එතරම් පුරුදු නැහැ. ඒ පිළිබඳ දැනුම්වත් කළොත්?
ස්ථාවර නියෝග යනු පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීන්ට සහ රැස්වීම පවත්වාගෙන යා යුතු ආකාරය දැක්වෙන රීති ඇතුළත් ලේඛනයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි පාර්ලිමේන්තුව සඳහා තිබෙන සහ තමන් පාර්ලිමේන්තුව තුළ වැඩකටයුතු කරගෙන යෑම තීරණය කිරීමට අදාළවන ස්ථාවර නියෝගයන් පාර්ලිමේන්තුව විසින්ම අනුගමනය කළ යුතු යැයි තීරණය කළ රීති මාලාවක් ලෙස එය තවදුරටත් විස්තර කළ හැකිය.
එහි එක් වගන්තියක් මගින් දක්වා ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවා වැදගත්වන ඇතැම් යෝජනා සාකච්ජාවට ගත හැකි බවකි.
ස්ථාවර නියෝගයන්ට අමතරව තවත් වැදගත් යමක් පෙන්වා දිය යුතුය. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය යටතේ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායද අප භාවිතයට ගනිමු.
යම් අගමැතිවරයෙකුට ඇමතිවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනා විටෙක තවදුරටත් ඔහුට එම තනතුරේ කටයුතු කළ නොහැකියි. එනිසා පමා නොවී එම යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කිරීමට බලය ඇත. එදාට න්‍යාය පුස්තකයේ කුමක් තිබුණද මෙම යෝජනාවට ප්‍රමුඛතාව දිය යුතුය.
ස්ථාවර නීතියට අමතරව නීතියෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු ආකාරය දක්වා ඇත. එහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත දැක්විය හැකියි. මෙම නීතිය යටතේ සාමාන්‍ය නීතියත් අපරාධ නීතියත් කඩකළ විට ඇතිවන විපාක විඳීමට සිදුවිය හැකිය.
නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තම කටයුතු යහපත්ව පවත්වාගෙන යෑමට හැකි ප්‍රතිපාදන සපයා තිබෙනවා. කරුණු දැක්වීමට ඇති අයිතිය නිසා අපහාසයට නඩුදැමීම අවස්ථාව වළක්වා ඇත. මන්ත්‍රීවරුන්ට ගමනේදී බිමනේදී අවහිර කළ නොහැකිය.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් සිදුකරන අලාභ හානි සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වලංගු නීතිය කුමක්ද?
පාර්ලිමේන්තුව තුළදී රටේ සාමාන්‍ය නීතිය හෝ අපරාධ නීතියට පටහැණි යමක් සිදුවේ නම් එය මෙරට කාටත් බලපාන නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකිය.
එහිදී පාර්ලිමේන්තුව තුළ ගත වූ මාසයේ දින දෙකක් තුළ හැසිරුණු ආකාරය යටතේ අපරාධ නීතිය සහ සාමාන්‍ය නීතිය අනුව සමාවක් නැත. එය පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස රටේ නීතිය උල්ලංඝනය කිරීමකි. මෙය වැරදි පූර්වාදර්ශයක් වීමට ඉඩ නොතබා තවදුරටත් එකී වැරදි කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම අවශ්‍ය දෙයකි.
පාර්ලිමේන්තුවට යම් බලයක් පමණක් තිබේ නම් ඒ බලය භාවිත කිරීම පිළිබඳ අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකිය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිදුකරන අපරාධ හෝ සාමාන්‍ය නීතිය යටතේ වන වරදක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ක්‍රියා කළ හැකිය.
ශිරාණි බණ්ඩාරනායක නඩුවේදී අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර බවට එදා රාජපක්ෂ ආණ්ඩුව විසින් යම් මත ප්‍රකාශ වුණා?
ශිරානි බණ්ඩාරනායක නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ක්‍රියාපටිපාටිය වැරදි බවට අධිකරණය විසින් තීන්දු දෙකක් දුන්නා. ඒත් පාර්ලිමේන්තුව එය නොසලකා කටයුතු කළා. එය අප රටේ අභියාචනා අධිකරණයේ තීන්දු 02ක් නොසලකා ක්‍රියා කළ පළමු අවස්ථාවයි. රාජපක්ෂ රෙජීමය එතනදීද රටේ නීතිය නොසලකා කටයුතු කරන බව තහවුරු කළා. අධිකරණ තීන්දුවක් දුන්නොත් එයට හැම පුරවැසියෙකුම යටත් බව කිව යුතුයි. හැම පුරවැසියෙකුම නීතියට යටයි.
ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය අතර සම්බන්ධතාව කෙටියෙන් පැහැදිලි කළොත්?
ජනතාවගේ පරමාධිපත්‍යය සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනක් ලෙස ගත්තොත් ඒ එකකට එකක් යටපත් කළ නොහැකියි.
ජනාධිපතිට පාර්ලිමේන්තුව හසුරුවන්න බැහැ. පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාත් අධිකරණයත් හසුරුවන්න බැහැ. අධිකරණයට ජනාධිපතිවරයා හසුරුවන්න බැහැ. මේ ආකාරයෙන් මේ එකිනෙකට ඒ ඒ ආයතන හැසිරවීමේ බලයක් නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී සංවර්ධනය සහ සමතුලනය යනුවෙන් දැක්වෙනවා.
ගත වූ සිදුවීම්වලදී එක් එක් අය ව්‍යවස්ථාව සහ නීතිය දක්වමින් විවිධ තර්ක ගෙනහැර පෑමෙන් රටේ නීතියේ නිරවද්‍යතාව පිළිබඳ යම් සංකීර්ණතාවක් ජනතාව තුළ ඇතිවුණා. එකම නීතිපොත එකිනෙකාට අවශ්‍ය පරිදි වෙනස් ආකාරයෙන් භාවිත වන්නේ ඇයි?
නීතිය පිළිබඳ අර්ථකථනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125වැනි ව්‍යවස්ථාව යටතේ දක්වා තිබෙනවා. නමුත් නීතිය සම්බන්ධයෙන් එකිනෙකාට යම්යම් මත තිබුණත් ඒවා අර්ථකථනය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යටතේයි. කවුරු මොන තර්කයක් ගෙන ආවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සුදුසුද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇත.
මේ තත්ත්වය තුළ ජනතාව මේ වනවිට රටේ නීතියට අදාළ සංවාදයට එකතුවී සිටියි. එය යහපත් ප්‍රවණතාවකි. මෙතෙක් මේ වුවමනාව උනන්දුව අඩුවෙන් නිරූපණය වූවත් ජනතාව දැන් නීතිය කියවීමට හැදෑරීමට යොමුවී සිටියි. මෙය නොකඩවා පවත්වාගෙන යායුතු අවශ්‍යතාවක් ලෙස මම දකිමි.
මහාමැතිවරණයක් ඉල්ලා මේ වනවිට යම් මතයක් ගොඩ නැගෙමින් පවතිනවා? එය කෙසේ විය යුතුද?
පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය යුතුද යන්න තීරණය කළ යුත්තේ නීත්‍යානුකූල අගමැතිවරයෙකු පත්කිරීමෙන් පසුයි. එවැනි අයෙකු දැනට පත්වී නැහැ. අගමැතිවරයෙකුගේ එම නෛතික සුජාත බව නොමැතිව මහා මැතිවරණයක් පැවැත් වීමට නෛතික ප්‍රතිපාදන නැහැ. ඒනිසා පළමුව කළ යුත්තේ නීත්‍යානුකූල ආකාරයෙන් අගමැතිවරයෙකු පත්කර එයින් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බව පෙන්වා දිය යුතුයි.