වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සිවිල් සමාජ ක්ෂේත්‍රය නියෝජනය කරමින් කැපී පෙනෙන හඬක් නැඟූ සමන් රත්නප්‍රිය මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වීමට ආසන්නව පවතින මොහොතක මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ ඔහුගේ මන්ත්‍රී ධුරයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළෙමු.
සිවිල් සමාජය, වෘත්තීය සමිති ක්ෂේත්‍රය නියෝජනය කරමින් සිටි ඔබ මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට අදහස් කළේ ඇයි?
මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙස ක්‍රියාකාරී ජීවිතය ආරම්භ කළා. ඒ නිසාම 1993දී මම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් වුණා. 1997දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෙමින් වෘත්තීය සමිති නායකයෙක් වුණා. ඉන්පසුව රාජ්‍ය සේවා ස්වාධීන මහා සම්මේලනයේ උපසභාපතීත්වයක් දැරුවා. පසුව එහි සභාපති වුණා. අනතුරුව වෘත්තීය සමිති මහා සම්මේලනය නිර්මාණය කළා. මේ ආකාරයට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පියවර ගණනාවක් ඉදිරියට පැමිණියා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ නිර්මාණය කරලා රාජ්‍ය සහ පෞද්ගලික හෙද කණ්ඩායමක් එකතු වෙලා ඒ තුළ වෘත්තීය ක්‍රියාකාරකම් කරගෙන යනවා. සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති එකතු කරලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය නිර්මාණය කළා. මේ සියල්ල දෙස බලනවිට මම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්.
අනෙක් අතට මම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක්. අපි විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරකම්වල යෙදුණා. මගේ සිවිල් ක්‍රියාකාරකම් ආරම්භ වෙන්නේ ගාල්ල මානව හිමිකම් සංවිධානයෙන්. ඊළඟට මම ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරයේ කාලයක් කටයුතු කළා. මාදුළුවාවේ සෝභිත හිමියන් සමග එකතු වෙමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කටයුතු කළා. අනතුරුව පුරවැසි බලය ව්‍යාපාරයෙහි සමකැඳවුම්කරු ලෙස කටයුතු කළා. මේ සංවිධාන හරහා 2015දී දේශපාලන වෙනස සිදුකිරීමට දායක වුණා. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව නිර්මාණය කරලා සිවිල් සමාජ සහ ජනතාවගේ පැත්තෙන් යම් යම් දේශපාලන ක්‍රියාකාරකම්වල නියැළෙනවා.
මේ ආකාරයට වසර 27ක් පමණ කටයුතු කිරීමෙන් පසුව තමයි ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලැබුණේ. එය වැදගත් කාරණයක් ලෙස මම හිතනවා. මොකද මීට පෙර අපි දේශපාලන බලයට එරෙහිව කටයුතු කළා. එළියේ සිට බලපෑම් කරන ක්‍රමය තුළ ඉදිරියට යන්න තිබෙන ඉඩකඩ සීමිතයි. ඒ තුළ සටන් කරන්න පුළුවන්, වීරයෝ වෙන්න පුළුවන්. නමුත් වෙනස්කම් කරන්න තිබෙන ඉඩකඩ සීමිතයි. මේ නිසා අපි දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි. අපේ කණ්ඩායම් දේශපාලනය තුළ වැඩ කළ යුතුයි කියලා අපි තීරණය කළා. මේ ලැබුණු අවස්ථාව තැළෙන පෑගෙන මිනිස්සුන්ගේ උවමනාවන් සහ රට වෙනුවෙන් කැප කරන්න සහ වැඩ කරන්න මම සූදානම් වෙලා ඉන්නවා.
සිවිල් සමාජය නියෝජනය කරන්නන් දේශපාලන තනතුරු ගැනීම සමාජය තුළ විචේනයට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
සමාජයේ විවිධ අය විවිධ මත දරනවා. ඒක ස්වාභාවිකයි. එය එසේ විය යුතුයි. නමුත් වඩා උචිත කුමක්ද කියන කාරණය අපි තීරණය කළ යුතුයි. සිවිල් සමාජයේ නායකයෝ සිවිල් සමාජයේම සිටිය යුතුයි කියා මතයක් තිබෙනවා. වෘත්තීය සමිති නායකයෝ වෘත්තීය සමිතිවලම සිටිය යුතුයි කියා මතයක් තිබෙනවා. එහෙමනම් දේශපාලන නායකයෝ දේශපාලනයේම සිටිය යුතුයි කියාත් මතයක් තිබෙනවා. නමුත් මේ දේශපාලන නායකයෝ එන්නේ කොහෙන්ද? දේශපාලන නායකයෝ දේශපාලනඥයෝ විදිහට ඉපදෙන්නේ නැහැ. පාසල්වල දේශපාලනඥයෝ විදිහට වෙන් කරලා උගන්වන්නේ නැහැ. රටේ වැඩ කරන්න පුළුවන් උවමනාවක් තිබෙන ධෛර්යසම්පන්න, දූෂණ වංචා නොකරන මිනිස්සු දේශපාලනයට ආ යුතුයි. මේ 225 තුළට සෑම ක්ෂේත්‍රයකම හොඳ මිනිස්සු පැමිණිය යුතුයි.
අපිට තනතුරු ගන්න ඕනෑතරම් අවස්ථාව තිබුණා. 2015ටත් පෙර සිටම දේශපාලනයටත් ආරාධනා තිබුණා. 2005දී මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන්න අපි කටයුතු කළා. ඒ අවස්ථාවෙත් ආරාධනා තිබුණා. 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලයට ගේන්නත් අපි කටයුතු කළා. ඒ අවස්ථාවෙත් ආරාධනා තිබුණා. නමුත් ඒ අවස්ථාවල අපි ඉවසුවේ අපි යෝජනා කරපු දේවල් ආණ්ඩුව ලවා කරවා ගන්න. හැබැයි ඒක සරල නැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළුව අපි බොහොම දේවල් කළා. ඒ දේවල් කරගන්න ඉඩ ලැබුණේ හරිම අපහසුවෙන්. සද්භාවයෙන් දේශපාලන බලය අභ්‍යාස කළ විට මීට වඩා යමක් කරන්න බලපෑම් කරන්න පුළුවන් කියලා හිතනවා. කොහොම වුණත් මේ පවතින තත්ත්වය වෙනස් කරලා හොඳ මිනිස්සු දේශපාලනයට ගේන්න හැමෝම කටයුතු කළ යුතුයි.
දේශපාලනය තුළට පැමිණ ඔබ සිදුකිරීමට බලාපොරොත්තු වන බලපෑම කුමක්ද?
එළියේ ඉඳන් අපි සැලකිය යුතු ප්‍රමාණයක බලපෑම් කළා. නමුත් ඒක මදි. ඇතුළෙ ඉන්න අය ඊට වඩා වෙනස් දේවල් කරනවා. උදාහරණයක් කියන්නම්. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ගෙනාවා. ඒ තුළ ව්‍යවස්ථා සභාවක් යෝජනා කළා. ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය 07ක් කරන්න කියලා අපි කිව්වා. නමුත් අන්තිමට මොකද වුණේ. එදා විපක්ෂයේ හිටපු අද ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම මේ සංශෝධනයට විරුද්ධව පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිහ මතකයිනේ. අවසානයේ ව්‍යවස්ථා සභාවේ දේශපාලන නියෝජනය 07 සහ සිවිල් නියෝජනය 03 විදිහට වෙනස් වුණා. ඒක උඩු යටිකුරු වුණා. ඒක වුණේ පාර්ලිමේන්තුව ඇතුළේ.
මේ නිසා අපි වගේ අය ඇවිත් බලය වැරදි ලෙස භාවිත කරන අයට එරෙහි විය යුතුයි. මාදුළුවාවේ හිමි ඇතුළු අපි 30,000ක් විතර ගෙනත් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. නමුත් අන්තිමට පාර්ලිමේන්තුව ඇතුළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණා. එහෙම සම්මත වුණේ අපි ඉල්ලපු ව්‍යවස්ථාව නෙවෙයි. ඇතුළෙ 225 තමයි ඒකෙ හැඩය තීරණය කළේ. මේ නිසා එයට බලෑපෑම් කරන්න අපි තීරණය කළා. එහි ආරම්භයක් ලෙසයි මම මන්ත්‍රීවරයෙක් වුණේ.
මන්ත්‍රීවරයෙකු වීමෙන් පසුව සිවිල් සමාජයේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ තනතුරුවලින් ඔබ ඉවත් වුණදා?
ඉවත් වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය සහ සිවිල් සමිති නියෝජනය කරන්න එලෙස රටේ නීතිරාමුව ඇතුළේ වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සදාචාරාත්මක රාමුව තුළවත් එහෙම කාර්යභාරයක් නැහැ. තමන් වැඩේ හරියට කරනවාද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. තමන් වැඩේ හරියට නොකළොත් ඒ තැන්වල ඉන්න බැහැ. හරියට කළොත් ඒ තැන් පවා ශක්තිමත් කරගෙන මේ වැඩේ නිර්මාණශීලී විදිහට, අලුත් විදිහට කරන්න පුළුවන්.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට රනුක්ගේ කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වෘත්තීය සමිති ක්ෂේත්‍රය නියෝජනය කළ පුද්ගලයෙකු ලෙස මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
රනුක්ගේ වැටුප් කොමිසම ඉල්ලුවේ අපි. වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලමින් දුම්රිය සේවා වැඩවර්ජනය කළා. වැටුප් විෂමතා ඉවත් කරන්න කියා ඉල්ලමින් තැපෑල වර්ජනය කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්ජනය කළා විෂමතා ඉවත් කරන්න කියලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ නිකුත් කරපු 6/2006 චක්‍රලේඛය නිසා විශාල විෂමතා සහ අසාධාරණ සිදුවුණා.
බමුණු කුලයේ වැටුප් යෝජනාවක් විදිහටයි අපි එය හැඳින්වූයේ. අපි උත්තර ඉල්ලුවේ ඒ ප්‍රශ්නයට. ඒ සඳහායි රනුක්ගේ කොමිසම දැම්මේ. ඒ වාර්තාව අනුව ආණ්ඩුව කැබිනට් තීරණයක් ගත්තා 2020 ජනවාරි 01දා මේ වාර්තාව ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් මේ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක්.
ආණ්ඩුවේ වගකීම දැන් ඉෂ්ට කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි දැන් විධායක නිලධාරීන්ට හිමි විය යුතුව තිබූ රුපියල් 15,000 දීමනාව ආණ්ඩුව කප්පාදු කළා. විශ්‍රාම වැටුප් වැඩි වීම නතර කළා. මේ විදිහට ගොඩක් දේවල් අත්හිටුවමින් යනවා. ආර්ථිකය කළමනාකරණය කරගන්න ඒ අයට බැරිවෙලා තිබෙනවා. ආණ්ඩුව ඒ දේවල් දෙන්නෙ නැතිනම් ඒවා ලබාගන්නට සටන් කරන්න වැඩකරන පංතිය පෙරට පැමිණිය යුතුයි.
හෙද පුහුණු ආයතන සියල්ල විශ්වවිද්‍යාලවලට අනුබද්ධ කරන්න ආණ්ඩුවේ කතාබහක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මීට පෙර සිටම කතාබහක් තිබුණා. මෙම යෝජනාව හොඳද නරකද?
බැලූ බැල්මට මේ යෝජනාව ජනප්‍රිය යෝජනාවක්. එය අලුත් යෝජනාවක් විදිහට රටට දෙන්න උත්සාහ කළත් එය බොරුවක්. ලංකාවේ හෙද උපාධිය ක්‍රියාත්මක වෙන්නේ 2005දී. 2009දී ඒ දරුවෝ විශ්වවිද්‍යාලවලින් පිටවුණා. වර්තමානය ආණ්ඩුව මීට පෙර ආණ්ඩු කරද්දි 2009දී පිටවුණ හෙද උපාධිධාරීන් හෙද සේවාවට බඳවා ගත්තෙ නැහැ.
2009 පිටවුණ අය 2015 වෙනකම් අවුරුදු 06ක් රැකියා පෝලිමේ තිබ්බා. මේ නිසා අවුරුදු 04ක හෙද උපාධිය ගත්ත එක දරුවෙක් ගුරුවරියක් ලෙස වැඩ කරන්න ගියා. එයාලට හෙද උපාධිය දෙන්න මුදල් වැය කළේ මේ රටේ බදු ගෙවන මිනිස්සු. ඒක මොනතරම් අසාධාරණයක්ද? හෙද උපාධිධාරීන් වෙනුවෙන් කිසිවක් නොකරපු ආණ්ඩුව දැන් මෙහෙම කතා කියනවා.
2015දී තිබුණු ආණ්ඩු රැකියා පෝලිමේ හිටපු හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවාවට බඳවාගත්තා. අද කිසි කෙනෙක් පෝලිමේ නැහැ. හෙද විදුහල් සංවර්ධනය කරන්න පටන් ගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව පළමු හෙද පීඨය පිහිටවූවා. පටන් අරගෙන තියෙන දේවල් ඉදිරියට කරගෙන යාමයි කළ යුත්තේ.
කෙටි කාලයකට මන්ත්‍රී ධුරයක් ලබාගත්තද ඔබට වාහන බලපත්‍රයක් ලබාගැනීමේ අවස්ථාව තිබෙන බව දැනගැනීමට ලැබුණා. ඔබ එය ලබාගන්නවාද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ඔහුට ලැබෙන යම් යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් තිබෙනවා. වෛද්‍යවරයෙකුට වසර 05කට වරක් වාහන බලපත්‍රයක් ලැබෙනවා, පරිපාලන සේවයේ අයට වාහන බලපත්‍රයක් ලැබෙනවා, මාධ්‍යවේදීන් ඔවුන්ට කතා කරලා ඒ බලපත්‍රය ගන්නවද කියලා අහන්නෙ නැහැ. නමුත් දේශපාලනයට ප්‍රවිෂ්ට වුණාම මේක අහනවා. අහන්න අයිතියක් තිබෙනවා.
කොහොම වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ලැබෙන්නේ මන්ත්‍රී ධුරයේ නිවැරදිව කටයුතු කරන්න. වැරදි විදිහට කටයුතු කරන අයත් ඉන්න පුළුවන්. නිවැරදිව කටයුතු කිරීම සඳහා ඒ අයිතිවාසිකම් ප්‍රමාණය ලැබෙන්න ඕන. ඒ ලැබෙන දේවල් ටික නොගන්න මගේ කිසි හේතුවක් නැහැ.
ඉදිරි මහ මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද?
අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙනවා. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන ධාරාව ඉදිරියටත් නියෝජනය කරනවා. වෙන විකල්ප තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.