මෙම තීරුව කියවන පාඨකයන් බොහෝ දෙනෙකු කාලයක සිට දේශපාලනයට එහා ගිය විෂයක් පිළිබඳ ලියන ලෙස ඉල්ලීම් කරමින් තිබිණි. එම ඉල්ලීමට එක්තරා ප්‍රමාණයකට ගරු කරමින් මෙම සතියේ මම ප්‍රේමය ගැන ලියන්නට කල්පනා කරමි. ප්‍රේමය ගැන ලිවීමේදී වුවද දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය ගැන නොලියා සිටිය නොහැක. විශේෂයෙන්ම දේශපාලනය ආරම්භ වන්නේ ශිෂ්ටාචාරය බිහි වී බොහෝ කලකට පසුවය.
නමුත් ප්‍රේමය ආරම්භ වන්නේ ශිෂ්ටාචාරය බිහි වූ විටමය. ශිෂ්ටාචාරය මානව වර්ගයා සතුවූයේ කවදාද, එදා සිට ප්‍රේමයද ආරම්භ විය. ප්‍රේමය යනු මිනිසුන් තුළ ඇති වන ඉතා දියුණු සංකල්පීය අදහසකි. ප්‍රේමය දේශපාලනයට බොහෝ කලකට පෙර ආරම්භ වූවා යැයි කියන චින්තනය තුළම ඇත්තේ ප්‍රේමයේ ඇති සුවිශේෂී බවයි. පරිණාමයේ මුල් අවධියේදී පවා ප්‍රේමය පිළිබඳ අදහස සතුන් තුළ තිබෙන්නට ඇත. මන්ද ජීවය බිහි වූ දා සිට මේ ලෝකයේ ප්‍රජනනය තිබී ඇත. ප්‍රජනනය යනු ප්‍රේමයේ එක් අවස්ථාවකි. මූලික වශයෙන් ප්‍රේමය පිළිබඳ කලාව, සාහිත්‍යය හා විද්‍යාව තුළ විවිධ ආකාරයෙන් පැහැදිලි කිරීම් කර තිබේ. එසේම ආගම තුළ විශේෂයෙන්ම බුදුදහම තුළත්, කතෝලික ආගම තුළත්, මුස්ලිම් ආගම තුළත් ප්‍රේමය පිළිබඳ තම ආගමික ස්ථාවරයන් පැහැදිලි කර තිබේ. ප්‍රේමය යනු මිනිස් සිත් සතන් තුළ ආශාව හා තණ්හාව පදනම් කරගත් සංකල්පීය අදහසකි. ප්‍රේමය මිනිසුන් කෙරෙහි මෙන්ම රටවල් කෙරේද, තම වර්ගයා කෙරේද, ගස් කොළන් කෙරේද, සතුන් කෙරේද, ඕනෑම දෙයක් කෙරෙහිද ඇති විය හැක. ප්‍රේමය ගැටගැසී ඇත්තේ බලය සමගය.
මිනිසුන්ට රාජ්‍යය අවශ්‍ය වන්නේ ආරක්ෂාව සඳහාය. එසේම ආරක්ෂාව අවශ්‍ය වන්නේ තමන් තුළ ඇති ආශාව හා තණ්හාව නිසාය. තණ්හාව, ආශාව යනු ප්‍රේමයයි. යම් දෙයකට තදින් ඇලී ගැලී තිබේ නම් එය ප්‍රේමයයි. මෙහිදී ප්‍රේමය හා ගැටගැසී ඇති අනෙක් කාරණය වන්නේ ලිංගිකත්වයයි. බලය හා ලිංගිකත්වය සමග තදින් බැඳී පවතින ප්‍රේමය මේ ලෝකයේ ඇති සංසිද්ධීන් අතර මිනිස් සිත් තුළ ඇතිවන බරපතළම සංකල්පීය අදහසයි. ප්‍රේමය රටවල් විනාශ කරනු ලබන්නේය. ජාතීන් විනාශ කරනු ලබන්නේය. සමාජ විනාශ කරනු ලබන්නේය. මහින්ද රාජපක්ෂගේ බල ව්‍යාපෘතිය තනිකරම ප්‍රේමය මත පදනම් වූවකි. රාජපක්ෂ කල්පනා කරනුයේ මේ රටේ ජනතාවට ඕනෑම මිලක් ගෙවා නාමල් රාජපක්ෂට රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට අවශ්‍ය වටපිටාව සාදා දියයුතු බවයි. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ඕනෑම දෙයක් කිරීමට, ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම්ය. ඒ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ කෙරෙහි ඇති ප්‍රේමය නිසාය. රාජපක්ෂවරුන් එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමය ඔවුන්ගේ ශක්තිමත්ම බලයයි. රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ ඇති ශක්තිය ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමයයි.
2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය ලබාගන්නා විට උතුරේ ප්‍රභාකරන්ටත්, දකුණේ බොහෝ දේශපාලනඥයන්ටත් ඔහු කෙරෙහි අවතක්සේරුවක් විය. මන්ද දකුණේ ග්‍රාමීය සිංහල බෞද්ධ නායකයා උතුරේ යුදගිනි දැල්වලට භූමිතෙල් දමතැයි උතුරේ ප්‍රභාකරන්ගේද තක්සේරුව විය. එසේම ජාත්‍යන්තරය දිනාගැනීමේ කිසිදු හැකියාවක් ඔහුට නැති බව රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව සිතමින් ප්‍රභාකරන් කල්පනා කළේය. නමුත් ප්‍රභාකරන්ට වැරදුණු තැන නම් මහින්ද රාජපක්ෂ මෙන්ම තවත් රාජපක්ෂවරුන් කිහිපදෙනෙකුම එකිනෙකා කෙරෙහි බැඳුණු දැඩි ප්‍රේමයෙන් රට තුළ දේශපාලනයේ නිරතව සිටින බවයි. ග්‍රාම්‍ය වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ රජකමට ඔසවා තැබූ සාධකය වූයේ එම රාජපක්ෂවරුන් අතර එකිනෙකා කෙරෙහි තිබූ ප්‍රේමයත්, එම ප්‍රේමය බලය බවට පත් කරගැනීමට ඔවුන්ට තිබූ හැකියාවත්ය. එය කෙතරම් දුරදිග ගියේද යත් අවසාන කාලය වනවිට මුළු රටේ ජාතික ධනයෙන් 60%කට වඩා පාලනය කරන ලද්දේ රාජපක්ෂවරුන් හතරදෙනාය. එය මංගල සමරවීරගේ වචනයෙන් රාජපක්ෂ සමාගම ලෙස හැඳින්වුවද මා කියන්නේ එය රාජපක්ෂවරුන්ගේ ප්‍රේම සමාගම බවයි.
අද වනවිටත් නාමල් රාජපක්ෂ කෙරේ මහින්ද රාජපක්ෂගේ ඇති ප්‍රේමය 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලින් විද්‍යමාන වේ. මහින්ද රාජපක්ෂ වටා මේ රටේ ජනතාව කෙතරම් ගොනු වුවද තවමත් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය හා ඔහුට මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට අවශ්‍ය ඉඩකඩ සොයාදීමයි. මහින්ද රාජපක්ෂගේම වචනයෙන් කියන්නේ නම් ශ්‍රී ලංකාකාරයන්ට ආණ්ඩුවක් හදාදීමට ඔහුගේ කිසිදු අභිලාෂයක් නැති අතර, ඔහුගේ සම්පූර්ණ අවධානය ඇත්තේ නාමල් රාජපක්ෂ කෙරෙහි ඇති ප්‍රේමයෙන් මුසපත් වූ ඔහුගේ දේශපාලන අනාගතය සකසා දීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුව සමග මෙන්ම අනෙකුත් දේශපාලන බලවේග සමග විශාල ගනුදෙනුවක නිරත වෙමින් සිටින බව මේ ලියුම්කරුගේ නිරීක්ෂණයයි. මහින්ද රාජපක්ෂ අනිත් රාජපක්ෂවරුන් හා ගනුදෙනු කරන එකම හා හොඳම ක්‍රමය ලෙස ඔහු දකින්නේ එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමයයි. එම ප්‍රේමය මත පදනම්ව රාජපක්ෂවරුන්ගේ බැඳීම ලංකාවේ දේශපාලනය ව්‍යාකූල කරන තරම් ශක්තිමත් පවුරක් බවට පත්වී තිබේ.
ශිරන්ති රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම උදෙසා වූ යෝජනාව තනිකරම ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂට නාමල් රාජපක්ෂ කෙරෙහි ඇති ප්‍රේමය නිසාවෙනි. ඒ වෙනුවෙන් රාජපක්ෂ කඳවුරේ මිනිසුන් හා ගැහැනුන්ට විඳින්නට වන දුක් කරදර පිළිබඳ මහින්ද රාජපක්ෂට වගේ වගක් නොමැත. වාසුදේවලාගෙන්, විමල් වීරවංශලාගෙන්, උදය ගම්මන්පිලලාගෙන්, වෙල්ගමලාගෙන් පෙනෙන්නේ ඔවුන් සතුව ඇති එම විරහ වේදනාවයි. අවසාන වශයෙන් කිවයුත්තේ ලංකාවේ විපක්ෂ දේශපාලනය තීරණය කරනු ලබන්නේ රටේ අනාගතය, රටේ ආර්ථිකය, සංවර්ධනය හෝ ජාත්‍යන්තර කාරණා නොව රාජපක්ෂවරුන් එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමය මත බවයි.