පීනස කියන්නේ ශ්වසන ආබාධයක් ලෙස බොහෝ දෙනා හඳුන්වන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් පීනස කියන්නේ කෙනෙකුට නිදන්ගතව මතුවෙන රෝග තත්ත්වයක් මෙන්ම පරම්පරාවෙන් ඇතිවන්නට පුළුවන් රෝග තත්ත්වයක්. ආයුර්වේද වෛද්‍ය මතය අනුව පීනස් රෝග දහඅටක්ම පවතින බව සඳහන්.
කෙසේ නමුත් මේ රෝගයට මුහුණ දෙන අයට දැන් දැන් රෝගයට තුඩුදෙන තවත් අලුත් හේතුත් මතුවෙන්නට පටන් අරන්. ඉතිං පීනස් රෝගය පිළිබඳ අපි ඔබට ලබාදෙන අලුත්ම තොරතුර වෙන්නේ, අධි රුධිර පීඩනයට ලබාදෙන ඇතැම් ඖෂධ සහ තයිරොක්සීන් හෝර්මෝනය අඩංගු පෙති වර්ග මෙන්ම උපත් පාලන පෙති ලබාගන්නා අයටත් ඒ ඖෂධ නිසාම පීනස රෝගය මතුවීමේ අතුරු අවදානමක් පවතින බවයි.
පීනස කියන්නේ ස්වසනය ආශ්රිත රෝග තත්ත්වයක් බව අපි ඔබට මුලින්ම පැවසුවානේ. ඒ තත්ත්වය අපේ සිරුර මුහුණ දෙන අසාත්මිකතාවයන් එහෙමත් නැතිනම් ඇලර්ජි නිසා මතුවන්නට ඉඩ ඇති බවත් පවසන්නට ඕන. කොහොම නමුත් මෙවැනි අසාත්මිකතා පදනම් කරගත් පීනස තත්ත්වයන් පුද්ගලයාගෙන්, පුද්ගලයාට වෙනස් විය හැකි බව ඉතාම වැදගත් කරුණක්.
සමහරුන්ට ඇතැම් ආහාර නිසා මේ තත්ත්වය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ ශීත කළ ආහාර, බීම වර්ග, අයිස්ක්‍රීම් වගේම ඇතැම් විට උෂ්ණාධික ආහාරත් පීනසට සම්බන්ධ රෝග ලක්ෂණ ඇතිකරන්නට සමත් වෙන අවස්ථා පවතිනවා. සමහර මල් අධිකව පිපෙන කාලවලදී ඒ මල්වල පරාග සුළඟට මුසු වී ආග්‍රහණය වීමෙන් පීනස තත්ත්වයන් ඇතිකරවිය හැකි අතර, වැසි කාලවල සියුම් ජල වාෂ්ප මෙන්ම පායනා කාලවල පරිසරයේ පවතින සියුම් දූවිලි, මකුළු දැල්වල පවතින දූවිල්ල පමණක් නොව පැරණි පොත් පත්තර වල රැඳි දූවිල්ල, පුස්වර්ග ආදියත් සුරතල් සතුන්ගේ ලෝම, කැරපොත්තන් වැනි සතුන්ගේ මළ මුත්‍රා ආදියත් දූවිලි බවට පත්වී, ඒ සියුම් අංශු එක් වූ වාතය ආශ්වාස කිරීමෙන් යම් අයෙකුට පීනසට අදාළ රෝග ලක්ෂණ මතුවෙන්නට පුළුවන්.
ඒත් මෙහෙම වෙන්නෙ ඇයි? එයින් මතුවිය හැකි රෝග ලක්ෂණ මොනවාද සහ පීනස ඇති වී ඇති බව අඟවන රෝග ලක්ෂණ මොනවාද යන්න දැන් ඔබට යම් ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. එයට හේතුව ඇතැම් පුද්ගලයන්ගේ නාසය ඇතුළත පරිසරය මගින් ආශ්වාසයේදී ඇතුළට එන මේ ආගන්තුක ද්‍රව්‍යවලට අධි සංවේදී බවක් දැක්වීමයි.
එවන් ආගන්තුක දේවලට අධි සංවේදී බවක් දැක්වීම නිසා නාසය තුළ පවතින ටර්බිනේට් නම් නෙරීම් ඉදිමෙන්නට පටන් ගෙන නාසය අහුරා දමන අතර, ඒ සමගම සොටු දියර නිපදවී කිවිසුම් යන්නටත්, සොටු දියර වැගිරෙන්නටත් පටන් ගැනීම පීනස ලෙස අපි හඳුන්වමු. සාමාන්‍යයෙන් කෙනෙකු පීනසට ගොදුරුව ඇතැයි හඳුනා ගන්නේ හුස්ම ගැනීමේ අපහසුව ඇතිවී කිවිසුම් යමින් කරදරකාරී ලෙස සොටු දියර ගලන්නට පටන් ගැනීමෙනි.
ඇතැමුන්ට ගඳ සුවඳ නොදැනීම, නාසයෙන් දුගඳක් හැමීම, නාසය ඇහිරී හුස්ම ගැනීම අපහසු වීම මෙන්ම උදෑසන නින්දෙන් අවදි වූ විට එක දිගටම කිවිසුම් යෑම, කඳුළු ගැලීම, නාසයෙන් දියර ගැලීම ඇතැම්විට නාසයෙන් රුධිරය පවා ගැලීම වැනි ලක්ෂණ මතුකරයි. සාමාන්‍යයෙන් නාසයෙන් රුධිරය ගලන අවස්ථාවලදී එය පීනස යැයි සිතා නොසලකා සිටීමෙන් වැළකිය යුතුය. මන්ද අධි රුධිර පීඩනය සහිත රෝගීන්ටද එසේ නාසයෙන් රුධිරය වහනය වන හදිසි ප්‍රතිකාර වෙත යොමු විය යුතු අවස්ථා පවතින බැවිනි. එසේ නාසයෙන් රුධිරය ගලන්නේ නම් වෛද්‍ය පරීක්ෂාව සහිතව ප්‍රතිකාර ගැනීමට නොපමා විය යුතුය.
පීනස් රෝගයට ගොදුරුව ඇති බව දැනෙන අයෙකු රෝගය සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු තවත් දෙයක් පවතී. එනම් රෝගය යම් උත්සන්න බවත් දැක් වී නම්, ඒ තමන් ගත් කුමන ආහාරය නිසාද, තමන් මුහුණ දුන් කුමන තත්ත්වයන් නිසාද, දූවිලි හෝ පරිසර තත්ත්වන් යනාදිය ගැන ස්වයං පරීක්ෂණයක් හරහා තක්සේරුවකට පැමිණෙන්න. ඒ තත්ත්වයන් නැවත ඇතිවීම මගහැර රෝග ලක්ෂණ මතුවීම පිළිබඳ තවදුරටත් පරීක්ෂාවෙන් පසුවෙන්න.
ඇතැම් පුද්ගලයන්ට පීනස මතුවීමට තුඩුදෙන හේතු අවම කර ගැනීමට අවස්ථාව උදා නොවේ. ඒ ඔවුන්ට දිගටම එය සමග වැඩ කරන්නට සිදුවන අවස්ථාද පවතින නිසාය. ඒ, වායුසමීකරණයක් සහිත පරිසරයක් ආශ්‍රිතව වැඩකරන අයයි. සාමාන්‍යයෙන් වායුසමීකරණ තත්ත්ව ආශ්රිත පරිසරයක සේවය කරන්නෝ පීනසෙහි ලක්ෂණවලට වඩාත් මුහුණ දෙයි. එයට හේතුව නාසය එම පරිසරයේ පවතින තත්ත්වවලට සංවේදීතාවයක් දක්වා, නාසයේ ටර්බිනේට් විශාල වීමක් ඇතිකරවන බැවිනි.
පීනස හොඳ කරන්න අමාරු, හොඳ කළොත් වෙනත් රෝග මතුකරන රෝගයක් බවට සමාජගතව ඇති මතය නිසා බොහෝ දෙනෙක් පීනසට ප්‍රතිකාර ගන්නට උනන්දු නොවන බව නම් ඇත්තක්. කොහොම නමුත් පීනස මුළුමනින්ම නැතිනම් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝග තත්ත්වයක් නම් නොවෙයි.
නමුත් රෝග ඉතිහාසය මනාව විමසා සොයා බලා මේ රෝගය පාලනය සඳහා ප්‍රතිකාර සාර්ථකව යෙදිය හැකි වීම පීනස් රෝගීන්ට එයින් සහනයක් ලබන්නට හොඳම ක්රමයකි. බොහෝ පීනස් රෝගීන් විසින් පැමිණිලි කරන ඇස්, කන්, නාසය කැසීම සොටු දියර ගැලීම මෙන්ම කිවිසුම් යාම නාසය අවහිරවීම යන රෝග ලක්ෂණ පාලනය කරන්නට ඖෂධ පවතින බැවින්, පීනස් රෝගීන් මෙය නිට්ටාවට සුව කිරීමට නොහැකි වීම පිළිබඳ කනස්සල්ලට පත් විය යුතු නොවේ.
පීනසට ප්‍රතිකාර නොකර සිටීමෙන් කුමන තත්ත්වයක් මතු විය හැකිද? මෙය මීළඟට ඔබට ඇතිවන තවත් ප්‍රශ්ණයක්. නාසය තුළ මස් දළු ඇතිවීම මෙන්ම ඇදුම රෝග ලක්ෂණ ඇතිවීම මෙන්ම නාසයේ හැඩය වෙනස්වීමට යම් බලපෑමක් දැක්වීම මුහුණේ සම දුර්වර්ණ වීම වැනි ලක්ෂණ මතුවෙන්නට පුළුවන්.
නමුත් නාසයෙන් දුගඳ හැමීම, අවහිර වීම, ගඳ සුවඳ නොදැනී යාම, නාසයෙන් ලේ ගැලීම යනාදිය නොසලකා හැරිය යුතු නොවන්නේ, සමහර විට නාසයට සම්බන්ධ පිළිකා තත්ත්වයන් වලදීද මේ ආකාරයේ රෝග ලක්ෂණ මතුවීමට යම් ඉඩකඩක් පැවතිය හැකි බැවිනි. මෙය පීනසද නැතිනම් වෙනත් සංකූලතාවයක්ද යන්න පරීක්ෂා කරගැනීමට නොපමා විය යුතුය.
පීනස රෝගයට තුඩු දෙන කිසියම් ඖෂධයක් එනම් උපත්පාලන පෙති, තයිරොක්සීන් හෝර්මෝනය සහිත පෙති, අධි රුධිර පීඩනයට ලබාදෙන සමහර ඖෂධ හේතු විය හැකි බැවින්, ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර පීනස සඳහා ප්‍රතිකාර පතන්න.
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්රිය මහතාගේ උපදෙස් අනුව සැකසුන ලිපියකි.
නාලිකා රාජපක්ෂ