ප්‍රවාහන ගැටළුද? මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


මේ වනවිට රටේ දරුණු ඉන්ධන අර්බුදයක් පැවතීම හේතුවෙන්, බොහෝ ප්‍රවාහන පහසුකම් අඩපණ වී තිබේ. තමන්ගේ වාහනයට තෙල් නැතිව පොදු ප්‍රවාහනයේ ගමන් කිරීමට සිතුවත්, පොදු ප්‍රවාහනයද සීමා සහිත වීම නිසා ජනතාව මහත් අපහසුතාවයකට පත්ව තිබේ. මෙම ප්‍රවාහන අපහසුතාවන් යම් ආකාරයකට හෝ අවම කර ගැනීමට ජංගම දුරකථන මෘදුකාංගයක් නිර්මාණය කළ තරුණයෙක් අපට හමු විය. ඔහු නමින් රවිඳු දිල්ෂාන්ය. රවිඳු විසින් නිර්මාණය කළ ‘යමං මචං’ ජංගම දුරකථන මෘදුකාංගය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ඔහුව ‘අද’ට සම්බන්ධ කර ගතිමු.


‘යමං මචං’ කියන ජංගම දුරකථන මෘදුකාංගය පිළිබඳව හඳුන්වා දුන්නොත්?

යමං මචං කියන්නේ Ride Sharing වර්ගයේ මෘදුකාංගයක්. මේක හදන්නෙම රටේ උද්ගත වෙලා තිබෙන ඉන්ධන අර්බුදය නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට. මේකෙන් වෙන්නේ තවත් කෙනෙකුට ගමන් පහසුව සොයා දීමක්. ඒ කියන්නේ මෙහෙමයි. මට මොණරාගල ඉඳලා කොළඹට යන්න ඕනේ. මම යන්නෙ බයික් එකේ. එතකොට මට පුළුවන් මේ %යමං මචං^ මෘදුකාංගය හරහා මම යන ගමන තව කෙනෙකුට share කරන්න. මොණරාගල ඉඳලා තව කෙනෙක් කොළඹට යන්න බලාගෙන ඉන්නවා කියලා හිතන්න. එතකොට එයාට පුළුවන් මගෙත් එක්ක සම්බන්ධ වෙලා කොළඹට එන්න. වාහනයක් තිබෙන කෙනා එයාගේ නම, දුරකථන අංකය සහ ගමනාන්තය මේකට ඇතුළත් කළාම ඒ අවට ඉන්න මේ ඇප් එක තියෙන අනිත් අයට ඒක පෙන්වනවා. ඊටපස්සේ ඒ දෙදෙනාට එකතු වෙලා ඒ ගමන යන්න පුළුවන්.

මුදල් ගෙවීම් වගේ ඒවා ඇප් එක ඇතුළේ අපි කරන්නේ නැහැ. යන දෙන්නා හෝ තුන් දෙනා ඒක කතා කරගෙන යන්න පුළුවන්. අපි මේකේ පළවෙනි යාවත්කාලීනයෙන් කළේ වාහනයක් තිබෙන කෙනාට තව කෙනෙක් සම්බන්ධ කරගන්න විදිහ විතරයි. ඊටපස්සේ දෙවෙනි යාවත්කාලීනය හරහා මට කොහේට හරි යන්න ඕනෙ නම් මෘදුකාංගය හරහා ඉල්ලීමක් දාන්න පුළුවන් විදිහට හැදුවා.  එතකොට ඒ අවට ඉන්න මේ මෘදුකාංගය භාවිත කරන තව කෙනෙකුට පුළුවන් එයාව දාගෙන යන්න. සරලව කිව්වොත් තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් ඇප් එකක්.

මෙය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව පැවසුවොත්?

ඔව්. මේ ඇප් එක හරහා කිසිම කෙනෙකුගේ දත්ත රඳවා තබාගන්නේ නැහැ. මේක පරිශීලනය කරන අයට පුළුවන් තමන්ගේ ගමනාන්තය සඳහන් කරනවිට තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සබැඳියත් මේකට එකතු කරන්න. එතකොට එයා එක්ක සම්බන්ධ වෙන කෙනාට ඒ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම බලලා ඒ කෙනා ගැන දළ වශයෙන් අදහසක් ගන්න පුළුවන්. ගැහැනු ළමයෙක් යනවා නම් එයාට තව කෙනෙක් එක්ක යන්න කියලා තමයි අපි කියන්නේ. කවුරුහරි මේක හරහා තමන්ගේ ගමන සුරක්ෂිතව ආවද නැද්ද වගේ දේවල් අපේ ෆේස්බුක් පිටුවට එවන්න කියලා තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් මේ මෘදුකාංගයේ Review එකක් මගින් හෝ ඒ පිළිබඳව පැවසිය හැකියි. ඒ වගේම දෙදෙනෙක් මේක හරහා සම්බන්ධ වුණාට පස්සේ භාවිත කරන දෙන්නට තමන්ගේ දත්ත ඇප් එකෙන් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන්නේ. අපි මේක ලොකු පහසුකම් නැතුව හැදුවේ. ඒ නිසා විශාල සර්වර් එකක් මෙහි නැහැ.

යමං මචං ජංගම දුරකථන මෘදුකාංගය නිර්මාණය කරන්නේ කොයි කාලෙද?

මේක කාලීන අවශ්‍යතාවයක් කියලා අපි හිතුවා. තෙල් ප්‍රශ්නය නිසා ගොඩාක් අය ෆේස්බුක් එකේ දාල තිබුණා මට අරහෙට යන්න ඕනේ, මෙහෙට යන්න ඕනේ, ඒ පැත්තට යන අය කවුද ඉන්නේ, යන කෙනෙක් ඉන්නවා නම් කියන්න වගේ දේවල්. ඒකම තමයි මේක නිර්මාණය කරන්න පසුබිම වුණේ. මෙහි සංකල්පය එන්. පී දිසානායකගේ. මම තමයි මෘදුකාංගය හැදුවේ. මේ තෙල් අර්බුදය තිබෙන දවස්වලම තමයි මේක හැදුවේ. යමං මචං ජංගම දුරකථන මෘදුකාංගය හදන්නඋපරිම අපිට මාසයක් විතර යන්න ඇති. මේ තෙල් අර්බුදයට විසඳුමක් ඉක්මනට ගේන්න ඕන නිසා එකදිගට වැඩකරලා ඉක්මනටම මේක අපිට එළිදක්වන්න හැකියාව ලැබුණා. යමං මචං ඇප් එකටදැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු ගොඩාක්මෙයට හොඳ කියල තිබෙනවා. හාමුදුරු නමකුත් මේ ඇප් එක භාවිත කර තිබුණා.

මේ ජංගම දුරකථන මෘදුකාංගය කී දෙනෙක් පමණ පරිශීලනය කරනවාද?

මේක එළිදක්වලා දැනට දවස් පහක් හයක් වගේ වෙන්නේ. දැනට සාමාන්‍යයෙන් දවසකට හතළිස් දෙනෙක් විතර මේ ඇප් එක හරහා ගමන් යනවා. මේ ඇප් එක හරහා තව අයට ගමන් පහසුකම් ලබාදෙනවා. ඇප් එක දැනට දෙදාහක පමණ පරිශීලකයන් පිරිසක් භාවිත කරනවා. තවම මේ ඇප් එක මිනිස්සු අතරට ගිහිල්ලා නැහැ. මේ වගේ Ride share ඇප් එකක් ලංකාවේ හැදෙන්නෙ පළවෙනි වතාවට. මේ ඇප් එක ගොඩක් අය පාවිච්චි කරනවා නම් ඉතා හොඳට වැඩ කරනවා.

මෙය ඕනෑම දුරක් සඳහා භාවිත කරන්න පුළුවන්ද?

ඔව්. ලංකාවේ ඕනෑම තැනකට යන්න පුළුවන්.ලංකාවේ ඕනෑම තැනක ඉඳලා මේකට දාන්න පුළුවන් මට යන්න ඕනේ කියල හරි, මම යනවා කියල හරි. එතකොට ඒ ප්‍රදේශයේ තිබෙන Pin ටික විතරයි එයාට පෙන්වන්නේ.

ඕනෑම ජංගම දුරකථනයකට මෙය බාගත කළ හැකිද?

ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ජංගම දුරකථනවලට සහ Huawei ජංගම දුරකථනවලට යමං මචං භාගත කර පාවිච්චි කරන්න පුළුවන්. Google Play Store හෝ Huwavei App Gallery හරහා මෙය භාගත කරන්න පුළුවන්. ඉදිරියේ ඇපල් දුරකථනවලටත් මේක භාගත කිරීමේ අවස්ථාව අපි ලබා දෙනවා. ඒ වගේම මේකට වෙබ්අඩවියකුත් හදාගෙන යනවා. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිත කරන්නේ. කිසිදු අය කිරීමක් ඇප් එක තුළින් සිදුකරන්නේ නැහැ. ඒ වගේම සරල සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිශීලනය කරන ආකාරය සඳහන් වන නිසා අමතර දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

මීට පෙර ඔබ කරපු නිර්මාණ මොනවාද?

මේක පිටුපස Cyber yakkuකියන අපේ කණ්ඩායම ඉන්නවා. අපි දැනට ජංගම දුරකථන මෘදුකාංග තිහක් පමණ හදල තිබෙනවා. ඒවා බොහෝමයක් සමාජයට සේවයක් වන මෘදුකාංග. ඒ අතර මම හදපු SL math master කියන මෘදුකාංගය යූත් එකෙන් පැවැත්වූ Startupsrilankaතරගාවලියේදී දෙවන ස්ථානය දිනාගත්තා. Math master කියන්නේ 1 සිට 13 දක්වා වසර වෙනකල් ගණිතය ඉගෙනගන්න පුළුවන් ඇප් එකක්. අපි තව හැදුවා පෙළපොත කියලා එකක්. ඒකෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පාසල් පෙළපොත්වල Pdf බාගත කරන්න පුළුවන්. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රද ලබාගන්න පුළුවන්. තව මම හැදුවා %‘අර්ථය’ කියලා ජංගම දුරකථන මෘදුකාංගයක්. ඒ හරහා සිංහල භාෂාවේ තිබෙන, අර්ථය සොයාගන්න බැරි වචනවල අර්ථය සොයාගන්න පුළුවන්. සිංහල විෂයක් විදිහට ඉගෙනගන්න අයට තමයි ඒක ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේ අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ මෘදුකාංග අපි හදලා තිබෙනවා.

‘යමං මචං’ එක්ක ඉදිරි වැඩකටයුතු මොනවාද?

මේ ඇප් එක දිගටම පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තෙල් අර්බුදය විසඳුනත් නැතත් මේ ඇප් එක දිගටම තිබෙනවා. ඒ එක්කම තව යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවාත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

කැළුම් දේවින්ද

 

 



Recommended Articles