බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.
'HIGH TECH FIRE AND RESCUE SYSTEM' බදුල්ල ප්‍රදේශයේ පිහිටි ගිනි නිවීම් උපකරණ සැපයීම් සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ ආයතනයක් වන අතර, ඊට අමතරව මේ ප්‍රදේශවල සිදුවන හදිසි අනතුරුවලදී සහයට පැමිණෙන කණ්ඩායමකි. එහි නිර්මාතෘ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී අනුර කුමාර ද සිල්වා මහතා සමග අපි කතාව මෙලෙස ආරම්භ කළෙමු.
'මම ගුවන් හමුදාවේ ගිනි නිවීම් සහ ජීවිත බේරාගැනීම් සෙබළෙක් විදිහට වසර විසි දෙකක් වැඩ කළා. දැනට අවුරුදු දහයකට විතර කලින් මම විශ්‍රාම ගියා. ඊට පස්සේ මම බදුල්ලේ HIGH TECH FIRE AND RESCUE SYSTEM කියලා ආයතනයක් ආරම්භ කළා. ඒක පටන් ගත්තේ ගිනි නිවීම් උපකරණ සහ සේවා සැපයීම් සහ ජීවිත බේරාගැනීම් සඳහා පුහුණු වැඩසටහන් කරන්න. ඒකෙදි පුහුණු වැඩසටහන් කරන්න ගත්තු උපකරණ පාවිච්චි කරලා ත්‍රාසජනක ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තා. ඒ සඳහා මම වෙනමම ආයතනයකුත් පටන් ගත්තා. එතැනදි මට අදහසක් ආවා මගේ ළඟ තිබෙන මේ උපකරණ පාවිච්චි කරලා හදිසි අනතුරක් සිදුවුණාම ඒ අයට යමක් කරන්න පුළුවන් නේද කියලා. ඒ විදිහට තමයි මේ වැඩසටහන ආරම්භ කළේ.
මේ ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, බදුල්ල පැත්තේ අනතුරු සිදුවෙනවා වැඩියිනේ. වාහන ප්‍රපාතවලට යනවා වැඩියි. ප්‍රපාතවලට වාහනයක් පෙරලුණාම සාමාන්‍ය මිනිස්සුන්ට බහින්න අමාරුයි. උපකරණ නැහැ. අත්දැකීම් නැහැ. සමහර තැන් තියෙනවා ආරක්ෂිත උපකරණ නැතුව බහින්න බැරි තැන්. ඉතින් ඒ බොහෝ අවස්ථාවලදී අපි තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපේ තාක්ෂණික උපකරණ අරන් ගිහිල්ලා අපි ඒ ප්‍රපාතවලට බහිනවා. මේ පළාතේ කොහෙවත් එවැනි උපකරණ නැහැ. මේ ප්‍රදේශයේ යම් අනතුරක් සිදුවුණු විගසම අපිට කියන්න පුළුවන්. අපි ඇවිත් අපිට පුළුවන් දේ උපරිමයෙන් කරනවා.'
අනුර ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙවැනි හදිසි අනතුරකදී පිහිටට එන්නේ කිසිදු මුදලක් ලබාගනිමින් හෝ එවැනි පරමාර්ථයකින් නොවේ.
'මේක සම්පූර්ණයෙන්ම කරන්නේ සමාජ සේවයක් විදිහට. ස්වේච්ඡාවෙන් අපි මේ සේවය කරන්නේ. අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඇත්තටම මේ හැමෝම මිනිස්සු. මිනිස් ජීවිතයක වටිනාකමට මිලක් නියම කරන්න බැහැ. ජීවිතයක් බේරාගෙන %මෙච්චර ගාණක් අපිට දෙන්න^ කියලා කියන එක සදාචාරාත්මක නැහැ. මනුස්සයෙකුගේ ජීවිතයක්, දේපළක් බේරලා දුන්නට පස්සේ ඒ දැනෙන හැඟීම ගොඩක් වටිනවා. ඒ සතුට තමයි අපිට තියෙන්නේ.'
නමුත් තමන් ඇතුළු කණ්ඩායමට ඉතා ඉක්මනින් ළඟා විය හැකි දුර ප්‍රමාණයක් ඇතුළත දවසේ ඕනෑම අවස්ථාවක සිදුවන වාහන පෙරළීමකදී ඔවුන් සිය උපකාර ලබාදීමට සූදානම්ය.
'මගේ කාර්යාලය තියෙන්නේ බදුල්ලේ. අපිට ඉක්මනින් යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තිබෙනවානේ. බදුල්ල මැදි කරලා කිලෝමීටර් 30-35ත් වගේ දුරක සිදුවන අනතුරකට අපිට යන්න පුළුවන්. බදුල්ල, පස්සර, ඇල්ල, බණ්ඩාරවෙල, මීගහකිවුල වගේ ප්‍රදේශවල අනතුරක් සිදු වුණාම පැය භාගයක් වගේ ඇතුළත යන්න අපිට පුළුවන්. ඒ ප්‍රදේශවල සිදුවන වාහන පෙරළීමක් හෝ එවැනි විශාල අනතුරකදී අපි ඉක්මනින් පිහිටට එනවා.'
ප්රාපතයකට වාහනයක් පෙරලුණු විට සිදුවන අනතුර කොතෙක් බරපතළද යන්න අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. බදුල්ල, ඇල්ල, පස්සර වැනි ප්‍රදේශවල එවැනි අවස්ථාවකදී ඉක්මනින් ක්‍රියා කළ යුතු ආයතන අත්‍යාවශ්‍යමය. නමුත් අනුර මහතා පවසන්නේ මේ ප්‍රදේශවල එවැනි අවස්ථාවකදී ක්‍රියා කළයුතු පෞද්ගලික ආයතනයක් හෝ තවමත් නොමැති බවයි.
'සාමාන්‍යයෙන් අපි කඳු නගින්න භාවිතකරන උපකරණම තමයි ප්‍රපාතයකට වැටුණු කෙනෙකුව බේරාගන්න පාවිච්චි කරන්නෙත්. ඇත්තටම මේ වගේ ආයතනයන් මේ ප්‍රදේශවලට අවශ්‍යයි. නමුත් කොහෙවත් මේ උපකරණවත්, එහෙම සේවාවක් සපයන්න පුළුවන් ආයතනයක්වත් නැහැ. මෙවැනි දේවල් සාමාන්‍යයෙන් කරන්නේ ගුවන් හමුදාව, යුද හමුදාව සහ කොළඹ ගිනි නිවීම් ඒකකය විතරයි.'
මෙවැනි ත්‍රාසජනක අවස්ථාවලින් ලද අත්දැකීම් මැද ඉතා ආරක්ෂිතව අදාළ උපකරණ සහිතව මිනිස් ජීවිත රැසක් අනුර ද සිල්වා මහතා සහ ඔහුගේ සාමාජිකයන් බේරාගෙන තිබේ. ඔවුන් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ මෙම ස්වේච්ඡා සේවය මේ වනවිට බදුල්ල, ඇල්ල ඇතුළු ප්‍රදේශ රැසකම ජනප්‍රියය.
'මගේ කණ්ඩායමේ 23 දෙනෙකු සිටිනවා. කණ්ඩායමෙන් දොළොස් දෙනෙකුම ගුවන් හමුදාවේ ගිනි නිවීම් අංශයේ සේවය කරලා විශ්‍රාම ගිය අය. ඔවුන්ට මේ සම්බන්ධව අත්දැකීම් සහ දැනුම තිබෙනවා. ඔවුන් මගේ ආයතනයේ සේවය කරන ගමන්ම තමයි මේ සමාජ සේවයටත් හවුල් වෙන්නේ. අනතුරක් ආරංචි වුණු ගමන් මගේ ළඟ ඉන්න කිහිපදෙනා එකතු කරගෙන අපි ඉක්මනින් ඒ අදාළ ස්ථානයට යනවා.'
අනුර ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම අපට හමු වූයේද පසුගියදා පස්සර ප්‍රදේශයේ සිදුවුණු බස් රථ අනතුරට සම්බන්ධ වී සිටින අතරතුරදීයි. එම බස්රථ අනතුර පිළිබඳව අනුර මහතා මෙලෙස අදහස් දැක්වීය.
'පසුගියදා පස්සරදී සිදුවුණු බස් අනතුරටත් අපි ගියා. හැබැයි අපිට පණිවුඩය ලැබිලා යද්දි ගොඩක්ම පරක්කු වුණා. අපිට ඒ සඳහා සහභාගී වෙන්න ලැබුණේ අවසාන භාගයේදී. තව ටිකක් කලින් අපට ආරංචිය ලැබුණා නම් තවත් ජීවිත අපට බේරාගන්න තිබුණා සහ තව ගොඩක් දේවල් අපිට එතැනදි කරන්න තිබුණා.'
අනුර ද සිල්වා මහතා ගුවන් හමුදාවෙන් ලද අත්දැකීම් මෙම වැඩසටහන පසුපස තිබෙන විශාල ශක්තියකි. ඒ පිළිබඳව ඔහු මෙසේ පැවසීය.
'මම ගුවන් හමුදාවේ සේවය කරද්දි ගිනි නිවීම් සහ ජීවිත බේරාගැනීම් සම්බන්ධයෙන් සෑහෙන අත්දැකීම් ලබලා තියෙනවා. ඒ වගේම පලාලි වැනි කඳවුරුවලදීත් ජීවිත බේරාගැනීම් සම්බන්ධයෙන් සෑහෙන අත්දැකීම් ලැබුවා. මම ගොඩක් ජීවිත බේරාගෙන තිබෙනවා. ඒ වගේම මගේ කණ්ඩායමේ වැඩකරන අයත් ගුවන් හමුදාවේ ඉද්දි ජීවිත රැසක් බේරාගත් අයයි. ඊට අමතරව මම ගිනි නිවීම් සේවාවේ උපදේශකවරයෙක් විදිහට සේවය කළා. ඒ තුළින් මම ශිෂ්‍ය පිරිසක් පවා බිහිකරලා තියෙනවා. ඒ දැනුම සහ ඒ අත්දැකීම්වලින් තමයි මේ දේ කරගෙන යන්නේ. මම දැන් උත්සාහ කරන්නේ මේ පිළිබඳ දෙවෙනි පෙළක් බිහිකරන්න. ඒ සඳහා දැන් මගේ පුතාව පුහුණු කරමින් සිටිනවා. ඒත් මේ වගේ වැඩවලට ළමයි එනවා අඩුයි.
මේ වෙද්දි අපි ප්‍රපාතවලට පෙරළීම් වැනි අනතුරු අටක්, දහයකට වගේ ගිහිල්ලා තියෙනවා. ඇල්ල රොක් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කාටවත් යන්න බැරි තැනක සිදුවුණු අනතුරකට අපි ගිහිල්ලා බේරලා තියෙනවා. බදුලු ඔයේ සිදුවුණ අනතුරු කිහිපයකටම අපි ගියා. මාධ්‍යවල නොයන අනතුරුවලින් ජීවිත රැසක් අපි බේරගෙන තිබෙනවා.'
ප්‍රපාත, කඳු සහ අනතුරු බහුල ප්‍රදේශවල වාහන පදවන රියැදුරන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා සිදුවන අනතුරුවලින් විශාල හානි සිදු වේ. මෙම ප්‍රදේශවල වාහන පදවන රියැදුරන් හට අනුර මහතා දෙන උපදෙස නම් තමන්ට හදිසි අවස්ථාවකදී පාලනය කළ හැකි වේගයකින් ධාවනය කරන ලෙසයි.
'ඇල්ල, බදුල්ල, පස්සර වගේ මාර්ග ඉතා පටුයි. එගේම කඳු කඩාගෙන වැටෙනවා. ප්‍රපාත තිබෙනවා. වේගයෙන් වාහනය පදවන්න බැහැ. මේ ප්‍රදේශවල වාහන පදවන රියැදුරන්ට, මේ පළාත්වලට සංචාරයට එන අයට මම කියන්නේ තමන්ගේ වාහනය තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයකින් ධාවනය කරන්න කියලා. මේ මාර්ගවල ධාවනය කරන්න පුළුවන් නියමිත ගියර් එකේ වාහනය ගෙනයන්න. ගොඩක් අය වේගයෙන් ගිහිල්ලා බ්රේක් පද්ධතියෙන්ම පාලනය කරන්න උත්සාහ කරනවා. එහෙම ගිහිල්ලා අනතුරුවලට ලක්වෙනවා. ඒ වගේම මේ වගේ පාරක වාහනයක් පදවද්දි දුරකථනය භාවිත කිරීමත් අඩුවෙන් කළොත් තමන්ගේ ජීවිතය වගේම අනෙක් අයගේ ජීවිතත්, දේපළත් ආරක්ෂා කරගන්න පුළුවන්.'
හදිසි අවස්ථාවකදී අමතන්න - 071-4440544 / 070-2550544 / 076-5550544