ප්‍රතිපත්ති හරහා සිදුකෙරන පරිසර හානියට එරෙහි වෙමු


අද (05දා) ජාත්‍යන්තර පරිසර දිනයයි. මෙවර ජාත්‍යන්තර පරිසර දිනයේ තේමාව වන්නේ 'පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමය'. පසුගිය කාලය පුරාවට ලංකාව තුළ සිදුවුණු පරිසර විනාශයන් අති විශාලය. විශේෂයෙන් ස්වාභාවික වනාන්තර විනාශය, ඉඩම් ගොඩකිරීම්, වෙරළ ගොඩකිරීම් ඇතුළු විශාල හානියක් දක්නට ලැබිණි. මේ මෙවර පරිසර දින තේමාව සමග අප කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ගෙන එන සටහනකි.


පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම යන්නෙහි අදහස වන්නේ දැනට තිබෙන තත්ත්වයෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසද යන්නය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍යය. පසුගිය කාලය පුරාවට රජයේ තීන්දු තීරණ හරහා වනාන්තර පද්ධතීන් ඇතුළුව ස්වාභාවික පද්ධතීන් දැවැන්ත හානියකට ලක්වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එම තීන්දු තීරණ රාජ්‍ය ප්‍රතිපත්තීන් බවට පත්කිරීම විශාල ගැටලුවකි. ඒවා කිහිපදෙනෙකු එකතුව සිදුකරන පරිසර හානීන්ට වඩා ඔබ්බට ගිය දරුණු තත්ත්වයකි. විශේෂයෙන් අණපනත් සංශෝධනය කිරීම, අණපනත්වල තිබෙන නීති ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම් මත ස්වාභාවික පරිසර පද්ධතීන් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

උදාහරණයක් ලෙස 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීම, රක්ෂිත වනාන්තර තුළ සහ ඒ වටා පිහිටා තිබෙන රජයේ ඉඩම් පරිහරණය කරන අයට ඒ ආකාරයෙන්ම එම ඉඩම් ලබාදීම, පස්, වැලි සහ මැටි කැණීම් ප්‍රවාහන බලපත්‍ර ලබාදීම, මහා පරිමාණයේ ක්‍රියාකාරකම් සඳහා පහසුවෙන් ඉඩම් ලබාදීමට හැකි ක්‍රියාවලියක් සඳහා පනත් සංශෝධනය කිරීම, ඉඩම් බැංකුවක් පිහිටුවීමට සූදානම් වීම දැක්විය හැක. මෙවැනි ප්‍රතිපත්ති තීන්දු තුළින් ඇතිවන විශාලම ගැටලුව වන්නේ දැනට පරිසර පද්ධතිය හෝ ආරක්ෂා කරගැනීමට ඇති අභියෝගයයි.

මෙවර ජාත්‍යන්තර පරිසර දිනයේදී අපි සාකච්ඡා කරනුයේ ලෝක පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධවය. නමුත් අපට අද වනවිට විශාල අභියෝගයක්ව පවතින්නේ, රාජ්‍ය යාන්ත්‍රණය විසින් ලබාගන්නා ප්‍රතිපත්තිමය තීන්දු හරහා දැවැන්ත වනාන්තර සහ ස්වාභාවික පරිසර පද්ධතීන් විනාශ කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමය.

රජය සිදුකරන වනාන්තර විනාශය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සහ ඔවුන්ව ක්‍රියාකාරී කිරීමේ සටනක් නිර්මාණය කිරීම මෙහිදී මතුවිය යුතුය. එය ඉතා අභියෝගාත්මක කාර්යයකි. එම අභියෝගය ජයගැනීමට ජනතාව ඥානනය වීම, සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම්ද උල්ලංඝනය කරමින් ස්වාභාවික පරිසර විනාශය කරන ප්‍රතිපත්තිමය ව්‍යුහයන් පරාජය කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 - 17 උප ව්‍යවස්ථාවට අනුව පැහැදිලිවම පරිසරය ආරක්ෂාකොට සුරක්ෂිතකොට වැඩිදියුණු කිරීමට රාජ්‍ය බැඳී සිටියි. නමුත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන යාන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන වගන්තියේ තිබෙන සොබාදහම ආරක්ෂා කිරීම ජනතාවගේ යුතුකමක් යන්න ඉටුකිරීමට සිවිල් පුරවැසියන් ලෙස සියලුදෙනා තමන්ගේ මැදිහත්වීම සිදුකළ යුතුය. ඒ ආකාරයෙන් කටයුතු කළහොත් රාජ්‍ය යාන්ත්‍රණය විසින් ප්‍රතිපත්තීන් මත සිදුකෙරෙන විනාශය නතර කළ හැක.

වනජීවීන්, වනාන්තර, ගහකොළ, කුරුල්ලන්, ජල පද්ධතීන් ලෙස වෙන් නොකොට පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය. පරිබාහිර සංරක්ෂණය ලෙසින් හඳුන්වන්නේ සම්පූර්ණ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමය. අලි ආරක්ෂා කර ගැනීමට එක් ක්‍රමයක්, කොටි ආරක්ෂා කර ගැනීමට තවත් ක්‍රමයක් ලෙසින් මෙය බෙදා වෙන් කරගෙන කටයුතු කිරීමට නොහැකිය.

උදාහරණයක් ලෙස අලි ඇතුන් ආරක්ෂා කිරීම අලින් රඳවා තබාගෙන කළ නොහැක. ඒ සඳහා වියළි කලාපීය වනාන්තර පද්ධතිය ආරක්ෂා කළ යුතුය. තෙත්බිම්, වියළි කාලාපීය වනාන්තර, අතරමැදි කලාපීය වනාන්තර, වනජීවීන්, මුහුදු ජීවීන් යන සියල්ලම අයත් වන්නේ ස්වාභාවික පරිසර පද්ධතියටය. එබැවින් ජනතාවගේ සහ රාජ්‍යයේ කාර්යභාරය විය යුත්තේ මෙම පද්ධතිය ආරක්ෂා කිරීමය. ඒවාට බලපෑම් වන තීන්දු තීරණ සහ ප්‍රතිපත්තිමය ව්‍යුහයන් අප පරාජය කළ යුතුය. එම ප්‍රතිප්ති ව්‍යුහයන් පරාජය නොකොට පද්ධතිය කොටස් වශයෙන් කඩා ආරක්ෂා කිරීම සිදුකළ නොහැක.

පසුගිය දිනවල සිදුවුණු සාගර හානිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සාගරය සම්බන්ධව විශාල ප්‍රඥප්තීන් ප්‍රමාණයකට ලංකාව අත්සන් කර තිබෙන බව පැවසිය යුතුය. ලංකාවේ මුළු භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක සාගර කලාපයක් අප සතුව තිබේ. එය ආරක්ෂා කිරීමට අප ඈත අතීතයේ සිටම විවිධ සම්මුතීන්වලට අත්සන් තබමින් කටයුතු කර තිබේ.

උදාහරණ ලෙස සාගරයේ හානිකර රසායනික ද්‍රව්‍ය දේශ සීමා අතර ප්‍රවාහනය කිරීම, පාලනය කිරීම සඳහා වන සම්මුතිය, තෙල් මගින් සිදුවන සාගර දූෂණය සම්බන්ධ සම්මුතිය, සමුද්‍ර දූෂණය සම්බන්ධ පනත (2008), සාගර දූෂණය සම්බන්ධයෙන් සිවිල් වගකීම පිළිබඳ සම්මුතිය දැක්විය හැක. වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය පවා සිදුවන්නේ මෙම සාගර දූෂණය සම්බන්ධ සිවිල් වගකීම පිළිබඳ සම්මුතියෙනි.

ඊට අමතරව න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන්, මත්ස්‍යයන් සම්බන්ධයෙන් ඇතුළු විශාල සම්මුති ගණනාවකටම අප අත්සන් තබා ඇත. නමුත් ගැටලුවක් ලෙස දැකිය හැක්කේ මෙම රාජ්‍ය යාන්ත්‍රණයන් ඒවාට අනුව කටයුතු නොකිරීමයි. විශේෂයෙන් දැවැන්ත සමාගම් සමග සිදුකෙරෙන මුදල් ගනුදෙනු හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය මෙම සම්මුතිවලට පටහැනිව ගොස් කටයුතු කිරීම පිළිබඳව විශාල කණගාටුවක් ඇත. මෙවැනි දේ හේතුවෙන් ඉදිරියේදී රටේ පරිසර පද්ධතීන් විශාල අගාධයකට යන බවද පැවසිය යුතුය.

විශේෂඥ උපදෙස් - පරිසරවේදී සජීව චාමිකර මහතා

 

 



Recommended Articles