දශක ගණනක් මෙරට වාමාංශික දේශපාලනය තුළ කැපීපෙනෙන චරිතයක් වන නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ඒ අලියා ලකුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
සමිත් බෝධිපක්ෂ
උග්‍ර සමාජවාදී මතවාදයක් දරපු ඔබ ඊට හාත්පසින්ම වෙනස් උග්‍ර දක්ෂිණාංශික මතවාදයක් දරන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ ඇයි?
ඔය උග්‍ර වාමාංශික සහ දක්ෂිණාංශික යන කාරණා ගැන අපි පවතින තත්ත්වයන් ඇතුළෙ බැලිය යුතුයි. මේ වෙනකොට සමාජය තුළ ජාතිවාදය, ආගම්වාදය අවුස්සන දරුණු ෆැසිස්ට්වාදී ලක්ෂණ මතුවෙලා තිබෙනවා. එවැනි තත්ත්වයන් තුළ අපි බලන්න ඕන සමාජය තුළ සාධාරණය, යුක්තිය සහ ප්රජාතන්ත්රවාදය ගරු කරන සංවිධාන මොනවද කියලා. එතනදි එක්සත් ජාතික පක්ෂය ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධව දැඩි ලෙස පෙනීසිටි පක්ෂයක්. එතකොට අපට මේ වෙලාවේ සම සමාජය සහ එක්සත් ජාතික පක්ෂය අතරේ එකඟතාවකට එන්න පුළුවන්, සුළු ජාතිකයන් සහ සුළු ආගමිකයන් සිටින මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථාව ඉදිරියට ශක්තිමත්ව ගෙන යන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඒ නිසයි ඒ තීරණය ගත්තෙ.
ඔය කියන විදියට ඔබ මේ පැත්ත මාරු කිරීම ගැන අර්ථ දක්වන්නේ ජාතිවාදය හෝ ආගම්වාදය කියන කාරණාවට කොටු කරලා. තමන් දශක ගණනාවක් පෙනීසිටි සම සමාජ මතවාදය එහෙම ලඝු තැනකින්, එක මොහොතකින් පාවාදෙන්න ඔබට පුළුවන්ද?
නෑ, මම කිසි ලෙසක සම සමාජ මතවාදය පාවාදීමක් සිදු කර නෑ. නමුත් සම සමාජ මතවාදයට අවශ්‍යයි, මේ රට තුළ ප්රජාතන්ත්රවාදය ඇති කිරීම සඳහා උදව්වක්. ප්රජාතන්ත්රවාදය නැතිව සමාජවාදයට යන්නත් බෑනේ. ඒ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ආරක්ෂා කරන්න අපට කවුද ඉන්නේ? අන්න එතකොට අපට පේනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය දැඩි ප්රජාතන්ත්රවාදී තැනක් විදියට. එතකොට අපේ බලවේග දෙක එකතු වෙලා ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි. මොකද කාල් මාක්ස් පවා කියපු දෙයක් තමයි ජාතිවාදී හෝ ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළවල් එනකොට ඒවා පරාජය කිරීම සහ නිදහසේ සටන ඉදිරියට ගෙන යෑම සඳහා ධනපතිද නැද්ද නොබලා ප්රජාතන්ත්රවාදීන් එකතු කළ යුතුයි කියන කාරණාව.
එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිහින් ඔය ජයග්‍රහණය ලබාගන්න පුළුවන් කියලා ඔබට තියෙන සහතිකය මොකක්ද?
මෙහෙමයි, දේශපාලනයට පූර්ව සහතික නෑ. මේක අපේ හැකියාවන් සියල්ල එකතු කරලා කරන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිව කටයුතු කළ යුතුයි. අනික මේක අද ඊයේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඉතිහාසයෙත් මෙහෙම එකතු වීම් වෙලා තියෙනවා. ඒ වගේ හිට්ලර්ගෙ කාලෙ හිට්ලර්ට විරුද්ධව ලෝකයම එකතු වුණා නම් දෙවැනි ලෝක යුද්ධය වුණත් නවත්තන්න තිබුණා. ඒක කෙරුණෙ නැති නිසා තමයි ඒ තරම් විනාශයක් වුණේ. ඒ නිසා අපි මෙතනදි කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නායකත්වය යටතේ එම පක්ෂය සමග එකතුව, නොසැලී ජාතිවාදයට විරුද්ධව, 13 වැනි සංශෝධනය සමග ඉදිරියට ගමනක් යන්න උත්සාහ කරන එක.
දැන් ඔබ කියන විදියට ඔබ උත්සාහ කරන්නේ උග්‍ර ලිබරල්වාදී තැනක ඉඳගෙන මාක්ස්වාදී න්‍යායන් සහ කාරණා ක්‍රියාත්මක කරන්න. ඒක කොයි තරම් දුරට ප්‍රායෝගිකද?
උග්‍ර මාක්ස්වාදයයි, උග්‍ර ප්රජාතන්ත්රවාදයයි අතර තියෙනවා පොදු කොටසක්. පොදු කොටස තමයි යුක්තිය, සාධාරණය, නිදහස කියන දේවල් සමාජය තුළ ඇති වෙන්න ඕන කියන එක. ආර්ථිකමය වශයෙන් ඒක ධනවාදී සමාජයක්ද, සමාජවාදී රාජ්‍යයක්ද, වෙන වර්ගයේ සමාජයක්ද කියන එක වෙනම කතාවක්. නමුත් මනුෂ්‍යයාට නිදහස, ප්රජාතන්ත්රවාදය තිබිය යුතුයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන සමාජය. අපි දෙගොල්ලොම ඒ මතයේ ඉන්නවා නම්, අපට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියන්නේ නිශ්චිත ප්රජාතන්ත්රවාදියෙක්. නිදහස් වෙළෙඳාම ගැන ඔහුගේ විශ්වාසය තිබුණත්, ප්‍රජාතන්ත්‍රවාදීව යුක්තිය, සාධාරණය ඉටුවිය යුතුයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. මගේ අදහසත් එහෙමයි. සමාජවාදයට යන්න බෑ ඔය කියන සාධාරණය නැතිව. ඉතිං ඒ විදියට එකතු වෙලා සමාජයට සාධාරණය ගෙනාවට පස්සෙ අපට තීරණය කරන්න පුළුවන් අපි වෙනම කොහේද යන්නෙ කියලා.
ඔබ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීමේ නිශ්චිත අරමුණකින්ද?
ඔව්, මේ සමාජය තුළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස ඇති කිරීමේ සටන ජයගැනීම සඳහා මට දේශපාලන බලයක් අවශ්‍යයි.
නමුත් ඔබ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඔබට හුරුපුරුදු, හැදුණු වැඩුණු, ඔබේ මතවාදය ගරු කරන බොහෝ පිරිසක් සිටින කොළඹ අත්හැරලා, ඔබට ආගන්තුක කළුතරට යෑම අවාසියක් නෙවෙයිද?
මට අවශ්‍ය වුණා මම කතා කරන දේ නාගරික දෙමළ, මුස්ලිම් ජනතාව විතරක් නෙවෙයි ගම්බද ජනතාව අතරටත් අරන් ගිහින් ඒක ප්රත්යක්ෂයක්ය, ඉටු කරන්න පුළුවන් දෙයක්ය කියලා පෙන්නන්න. මොකද සිංහලයන්ගේ පිරිසකටවත් ඒ ගැන මට කතා කරන්න බැරිද කියන අභියෝගය මට තිබුණා. අනිත් පැත්තෙන් මට චෝදනාවක් තිබුණා කොළඹට පැනලා දෙමළ ඡන්දවලින් දිනාගන්නවාය කියලා. ඉතිං ඒකට උත්තර දෙන්න මට අවශ්‍ය වුණා. මොකද මට එහෙම පොරකාලා දිනාගන්න අවශ්‍ය නෑ. ඒකයි කළුතරට ආවේ.
නමුත් කොළඹින් බැහැරට, ඒ කියන්නෙ ග්‍රාමීය ප්‍රදේශ බහුල කළුතර වගේ දිස්ත්‍රික්කයකට යනකොට ඔබට හරහට හිටින දෙයක් තමයි සාමාන්‍ය සමාජයේ ඔබට හැදිලා තියෙන එන්.ජී.ඕ.කාරයෙක්ය කියන ලේබල් එක. ඒ වගේම ඒ ප්‍රදේශවල බහුතර ජනතාව ජාතිකවාදී මතයන්ගෙන් පෝෂණය වුණ අය. මේ කාරණා එක්ක ඔබ කොහොමද ඔබේ අදහස කළුතර ජනතාව අතරට අරගෙන යන්නේ?
ඒ අභියෝගය ගැන දැනගෙන තමයි මං කළුතරට ආවේ. ඔය කියන එන්.ජී.ඕ. කතාව හෝ වෙනත් ගැටලු තියෙනවා නම්, ඒ ජනතාවට මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ චෝදනා මට එල්ල කරන්න පුළුවන්. නමුත් මේ වෙනකං කිසිම කෙනෙක් එහෙම මට චෝදනා කරලා නෑ, ප්‍රශ්න කරලා නෑ. අනික මේක මගේ අම්මගෙ ගම් පළාත. පොඩි කාලෙ ඉස්කෝලෙ ගියේ, පදිංචි වෙලා හිටියේ, මහගෙදර තියෙන්නෙ කළුතර. ඒ නිසා මං කරලා තියෙන්නෙත් සාමාන්‍ය විදියට මගේ තැනට ආපු එක විතරයි. ඒක චෝදනා කරන්න හෝ තර්ජනය කරන්න හෝ ප්‍රශ්න කරන්න දෙයක් නෙවෙයි.
එතකොට ඔබේ මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ සඳහා ලැබෙන ජන ආකර්ෂණය කොහොමද?
මම ප්‍රධානවම කරන්නෙ පාරට බැහැලා, ඇවිදගෙන ගිහින්, කොළ බෙදලා, කතාබහ කරලා අපේ අදහස පැහැදිලි කරන එක. ඒකට විශාල ඉඩක් කළුතර තියෙනවා වගේම කිසිම බාධාවක් මෙතෙක් සිද්ධ වෙලා නෑ. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය, රේඩියෝ, ටෙලිවිෂන් ආදිය හරහා මගේ අදහස මං ප්‍රචාරය කරනවා. ඉතිං ඒ අදහස් අහන කියවන අයට පැහැදීමක් ඇති වෙනවා නම්, පුළුවන් මට ඡන්දයක් දෙන්න.
ඔබ පාර්ලිමේන්තුවට තේරී පත් වුණොත් ඔබට ඡන්දය දෙන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඔබට වගකීමක් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සේවය කිරීම සඳහා ඔබ සතු සැලසුම් මොනවාද?
බොහෝ පිරිසක් හිතනවා මේ රටේ වැඩ කරන ජනතාවගෙන් බහුතරය ඉන්නෙ කොළඹ කියලා. නමුත් පහුගිය කාලය ගැන අපි සලකා බැලුවොත් පේන දේ තමයි දියුණු කම්කරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඒ කාලය පුරාම ගලාගෙන ගිහින් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයට. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම මට තියෙනවා. ඒ වගේම කළුතර කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ සම සමාජ අදහස් සංසරණය වන, ඒ අදහස් කාවැදුණු තැනක්. ඒ නිසා සම සමාජ ව්‍යාපාරයකට මෙහේ සෑහෙන ඉඩක් තියෙනවා. බොහෝ කාලයක් තිස්සේ සම සමාජ මන්ත්‍රීවරුන් මෙහෙන් දිනලා තියෙනවා. ඒ වගේම සම සමාජ පසුබිමක් නැතත් සම සමාජ අදහස් තියෙන මිනිස්සු කළුතරින් හැදිලා තියෙනවා. උදාහරණයකට පාලිත තෙවරප්පෙරුම සහෝදරයා ගන්න. ඔහු කවුරුවත් කියලා සම සමාජකාරයෙක් වුණ මනුස්සයෙක් නෙවෙයි. ඔහු සමාජය තුළින්ම බිහිවෙලා සටන් කරන සම සමාජකාරයෙක්. ඒකෙන්ම පේනවා දිස්ත්‍රික්කයේ තියෙන හැඩරුව. මං බලාපොරොත්තු වෙනවා ඒ මිනිස්සු එක්ක කළුතර තවදුරටත් සම සමාජ අදහස් ව්‍යාප්ත කරන්න.
අවසාන වශයෙන් ඔබ මැතිවරණය ජය ගෙන මන්ත්‍රී ධුරයක් ලබාගත්තා යැයි අපි හිතමු. එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමග ජාතික ආණ්ඩුවක් හදන්න තීරණය කළොත් ඔබ ගන්නා තීරණය කුමක්ද?
පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ එවැනි තීරණයක් ගනියි කියලා මට හිතන්න බෑ. ඔහු එතරම් ළාබාලයෙක් නෙවෙයි. නමුත් යම් හෙයකින් එහෙම වුණොත් අනිවාර්යයෙන් මං ඒකට විරුද්ධ වෙනවා. ඔවුන් සමග ඇති මගේ ගනුදෙනුව අවසන් කරනවා.
ඒ වගේම මම පාර්ලිමේන්තු ගියත් නැතත් ඉදිරියටත් ප්රජාතන්ත්රවාදය, නිදහස හා යුක්තිය වෙනුවෙන් පටන්ගත්ත සටන ඉදිරියටම අරගෙන යනවා. ඒක රනිල් වික්‍රමසිංහ සමග එකට ඉඳලා හෝ නැතුව හෝ තවත් අය සමග එකතු වෙලා හෝ කරගෙන යනවා. මොකද සමාජවාදයට පිවිසෙන්න තියෙන එකම විදිය සාධාරණය, නිදහස, ප්රජාතන්ත්රවාදය සහ යුක්තිය සහිත තැනක් බවට සමාජය පත් කිරීම පමණයි.