දැන් රට එළඹ තියෙන තත්ත්වය තුළ රටේ අනාගතය රැකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණොත් පමණි. ඒ සඳහා මූලික පියවර වන්නේ පාර්ලිමේන්තුව ශිෂ්ට සම්පන්න ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කළ යුතු සම්පාදනය සිදුකිරීමයි.
දැනුමෙන්, ගුණයෙන් හා ශිෂ්ටත්වයෙන් යුක්ත චරිත මේ සඳහා ඉදිරි පෙළට පැමිණිය යුතුය. එබඳු චරිතවලට ඉදිරියට පැමිණෙන ආකාරයේ සාකච්ඡාවක් හා විවෘත අවකාශයක් නිර්මාණය කළ යුතුය.
පාර්ලිමේන්තුව යනු රටේ සමස්ත ප්‍රජාවගේ මහා නිරූපණයකි. නියෝජනයකි. සංකේතයකි. පාර්ලිමේන්තුව යන්නෙන් රූපකාත්මකව කියවෙන්නේ පොදු මහ ජනතාවගේ බලයේ සමස්ත එකතුවේ විශිෂ්ටතම ප්‍රකාශනයයි. එය රටක මූලික නීති සම්පාදන ඒකකය, මණ්ඩලය මෙන්ම ඒ නිසාම උත්තරීතර මණ්ඩලයද වෙයි.
මේ කියන දේවල් මෑත දශක කිහිපයක සිට අවතක්සේරුවකට ලක් වී ඇති බව සත්‍යයකි. ශිෂ්ට සම්පන්න සංවාද, අර්ථ සම්පන්න අදහස් දැක්වීම් වෙනුවට අසභ්‍ය වචන හුවමාරුව හා ගුටි බැට හුවමාරුවීම් යනාදිය පවා පාර්ලිමේන්තුවේ ඇති වූ ආකාරය කවුරුත් දනිති. එහෙත් එහිදී අවධානයට ලක්විය යුතු වැදගත් කරුණ වන්නේ මේ තත්ත්වය නිර්මාණය වූයේ සියලු නියෝජිතයන් අතර නොව යම් සීමිත පිරිසක් අතර බවයි. මේ යම් සීමිත පිරිස ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරන බවත්, මේ සීමිත පිරිසේ සාමාජිකයන් වරින් වර, කලින් කල ප්‍රධාන පක්ෂ දෙකේ දෙපසට පිල් මාරු කරන බවත් රහසක් නොවේ.
මෙබඳු තත්ත්වයක් තුළ පවා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත්, විශිෂ්ටත්වයත් මුළුමනින්ම විනාශ නොවන බව අපගේ හැඟීමයි. මන්දයත් සමස්ත සමාජයේම මානව ගනුදෙනුව බිඳ වැටුණු අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ පමණක් විශිෂ්ටත්වයක් හෝ පූර්ණ පිරිසුදු බවක් පැවැතිය නොහැකි නිසාය.
වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා රටෙහි දේශපාලන සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ සිටින එතරම් කලබල නොවන අප අර ඉහත කී පිරිහුණු කල්ලියට නොවැටුණු ශිෂ්ට සම්පන්න පිරිස පෙරට ආ යුතුය. ක්‍රියාකාරී ලෙස මැදිහත් විය යුතුය. ඉහළ මට්ටමේ නිලතල ලබා ගනිමින් සක්‍රීය ලෙස තම දායකත්වය දේශපාලනයටද, රටේ ඉදිරි ගමනටද ලබා දිය යුතුය. එසේම ඊට සමාන්තර ලෙස රට තුළද ශිෂ්ට සම්පන්න මිනිසුන් අශිෂ්ටයන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව ශිෂ්ට සම්පන්නව නැගී සිටිය යුතුය. උද්යෝගිමත්ව ක්‍රියාකාරී විය යුතුය. පාර්ලිමේන්තුව තුළ සහ පිටත යන දෙකෙහිම ඇතිවන මෙම ශිෂ්ට සම්පන්න පිබිදීම තුළ පමණක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන ජීවිතය සුරක්ෂිත වනු ඇත.
මේ මොහොතේ ප්‍රධාන පක්ෂ දෙකම අභ්‍යන්තර අර්බුදවලින් පෙලෙයි. ජවිපෙ සාපේක්ෂව නිරවුල්ව එක්සිත්ව පෙරට එනමුත් පාලන බලය ලබා ගැනීමේ විභවතාවක් එයට නැත. පොහොට්ටු කණ්ඩායම එක් අයෙකුගේ නායකත්වයෙන් පෙරට එනමුත් සුළු ජාතීන් හා සිවිල් සමාජයේ විශිෂ්ට බහුතරය තමා වෙත දිනා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් ඔවුන් සතු නොවේ.
එජාපය තුළ ඇත්තේ වෙනස්ම තත්ත්වයක් වන අතර, වඩා විශිෂ්ට ප්‍රා‘යෝගික හා බුද්ධිමය නායකත්වයක් වෙත යෑමට ඔවුන් දක්වන්නේ පුදුමාකාර අසමත්කමකි. වගකීම් පැහැර හැරීම, වැනෙන සුළු බව හා අභියෝග භාර ගැනීමට ඇති මන්දොත්සාහී නොහැකියාව එහි සිටින බහුතර නායකයන්ගේ මූලික චරිත ලක්ෂණ බවට පත් වී තිබේ.
මේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය දරුණු ලෙස අභියෝගයට ලක් වූ පසුගිය සතියේ මෙම වගකීම් විරහිත බවත්, බුද්ධි හීන බවත් කැපී පෙනුණි. මේ තීරණාත්මක මොහොතේ නායකයන්ට අවශ්‍ය වන්නේ මහජන ගැලරිය පිනවන හුදු ජනප්‍රියවාදී නිර්භීත බවක් නොව බුද්ධිමය සංවේදී භාවයකින් යුත් සංහිඳියාවක් සහිත නිර්භීත බවකි. මේ තත්ත්වය යටතේ එජාපය දැන් එබදු නායකයකු වෙත හැරිය යුතුය. එවැන්නකුට තම දොරගුළු විවර කළ යුතුය. අප සිතන ආකාරයට නම් මේ මොහොතේ එම විභවය විශාල වශයෙන් තිබෙන්නේ කරු ජයසූරිය මහතාටය.
මන්දයත්, මේ අර්බුද අවස්ථාවේ කථානායක ලෙස සංයමශීලි නිර්භීත බවක් ඇති කර ගැනීමටත් ඒ මත පිහිටමින් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වීමටත් ඔහුට හැකියාවක් ඇති බැවිනි. එජාපය තුළ මේ වනවිට එකම අයෙකු දශක දෙකකටත් වඩා නායකත්වය දරා තිබේ. එහෙත් එම නායකත්වය රටේ පාලන බලය ලබා ගත්තේ ඉතා අඩු කාලයක් තුළය.
යටිපෙළ නායකත්වයත් ඉස්මතු වෙමින් ගම් මට්ටමින් ජනප්‍රිය වෙමින් පැවැතියද මෙබදු අසීරු බැරෑරුම් දේශපාලන වශයෙන් අර්බුදකාරී මොහොතක ජනප්‍රියවාදී සාපේකෂ්ව අපරිණත නායකත්වයක් ඉදිරියට ගැනීම කිසිසේත්ම සිදු නොකළ යුතු ක්‍රියාවලියකි. එය පක්ෂයේ මතු නොව රටේද අනාගතයට යහපතක් සිදු නොකරනු ඇත.
මේ අනුව ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කර ගනිමින් රට ආරක්ෂා කර ගැනීමට නම් මේ මොහොතේ කරු ජයසූරිය වැනි අවංක හා ශිෂ්ට සම්පන්න පරිණත දේශපාලනඥයකු රටේ නායකත්වයට රැගෙන ඒමේ ප්‍රබල අවශ්‍යතාවක් පවතින බව අපගේ අදහසයි.