ප්ලාස්ටික් හිසරදයට උණ ගසින් පිළිතුරු සෙවූ අපූරු සිවිල් ඉංජිනේරුවා



පරිසර දූෂණය සම්බන්ධයෙන් කතා කිරීමේදී පොලිතින් මෙන්ම ප්ලාස්ටික් අවභාවිතය පිළිබඳවද විශේෂ අවධානයක් යොමුවේ. එදිනෙදා බොහෝ අවශ්‍යතා සඳහා අප විවිධාකාරයේ ප්ලාස්ටික් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර, ඉන් බහුතරයක්ම නැවත භාවිතයක් සිදුකළ නොහැකි නිසා පරිසරයට බැහැර කරනු ලබයි. මේ ආකාරයෙන් ලෝකය පුරා දෛනිකව අතිවිශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනු ලබයි. 

ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් ප්ලේට් ආදිය විශාල වශයෙන් එක්වරක් භාවිතකර පරිසරයට මුදාහරින ද්‍රව්‍යයන්ය. එක්වරක් භාවිත කරමින් බැහැර කරන ප්ලාස්ටික බීම බටය හා ප්ලේට් වෙනුවට පරිසර හිතකාමී ලෙසින් හා නැවත භාවිත කළ හැකි ආකාරයෙන් උණ ගසින් බීම බටයක් හා ප්ලේට් එකක් නිෂ්පාදනය කිරීමට සමත් වූ හරිත නිර්මාණකරුවෙක් පිළිබඳව අද සොබා බදාදා විශේෂාංගය තුළින් මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු. ඔහු SK Mass Holdings (Pvt) Ltd හී කළමනාකාර අධ්‍යක්‍ෂ සුජිත් කුමාර සමරවික්‍රමය.

&සිවිල් ඉංජිනේරුවෙක් විදිහට මගේ ප්‍රධානම ව්‍යාපාරය වුණේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය. ඒ ක්‍ෂේත්‍රයේ යෙදිලා හිටියත් මගේ විනෝදාංශය වුණේ නිතරම අලුත් දේවල් අත්හදා බලන එක. මම මුල් කාලේ කොස් මදුළුවලින් චිප්ස් වර්ගයක් නිෂ්පාදනය කළා. මේ විදිහට විවිධ දේවල් අත්හදා බැලුවා. හිනිදුම ප්‍රදේශයේ මට අයත් ඉඩමක් තියෙනවා. ඒක දූපතක්. හැම සෙනසුරාදාවකම මම ඒ ඉඩමට යනවා, එහේ වගා කටයුතු සිද්ධ කරන නිසා. 

මේ ඉඩම වටේට උණගස් විශාල වශයෙන් වැවිලා තියෙනවා. දවසක් මම මේ උණ පඳුරු දිහා බලලා කල්පනා කළා මට මේ උණ වලින් අලුත් දෙයක් කරන්න බැරිද කියලා. මම උණ පඳුරක් ළඟට ගිහින් ඒකෙ ගැලවිලා තියෙන කොළපතක් වගේ තියෙන කොටස් කිහිපයක් නිකමට වගේ ගෙදරට ගෙනාවා. මේ කො‍ෙළ් ගොඩක් ශක්තිමත්. ඒ නිසා මට හිතුණා මේකෙන් ප්ලේට් එකක් හදන්න. කිසිම කෘත්‍රිම ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතුව මාස දෙකක් විතර ගෙදර මුළුතැන්ගෙයට වෙලා අත්හදාබැලීම් කරලා මට හැකියාව ලැබුණා නැවත භාවිත කරන්න පුළුවන් ආකාරයේ ප්ලේට් වර්ගයක් විවිධ ප්‍රමාණ වලින් සහ හැඩයන් කිහිපයකින් නිෂ්පාදනය කරන්න.

ඊට පස්සෙ මම කල්පනා කරපු දෙයක් තමයි උණ බටෙන් මොකක්ද කරන්නේ කියන දේ. මේ අතරේ මට චීනයේ සංචාරය කරන්න අවස්ථාවක් ලැබුණා. චීනය කියන්නේ මේ වෙද්දි ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට විශාල වශයෙන් පරිසර හිතකාමී ආදේශක නිෂ්පාදන සිදුකරන සහ භාවිත කරන රටක්. ඒ නිසාම අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන ගැටලු ඉතාමත්ම අඩුයි. විශේෂයෙන් උණ ශාකය යොදාගෙන ඔවුන් බොහෝ නිෂ්පාදන සිදුකරන බව මට පෙනුණා. 

ඒ සංචාරයේදී ගත්ත අත්දැකීම් එක්ක මම ලංකාවට ඇවිත් මගේ ඉඩමේ තිබුණු උණ පඳුරු වල හීනි උණ බට භාවිත කරලා ප්ලාස්ටික් බීම බටය වෙනුවට සියයට සියයක් පරිසර හිතකාමී, දීර්ඝ කාලයක් නැවත භාවිත කළ හැකි ආකාරයෙන් ආදේශකයක් නිෂ්පාදනය කළා. මේ උණ බටෙන් කරන බීම බටයත් විවිධ ප්‍රමාණවලින් නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ අතරෙම මම උණ බට පාවිච්චි කරලා හැඳි වර්ග කිහිපයක් සහ ගෑරුප්පුවක් නිෂ්පාදනය කළා. මේ හැම නිෂ්පාදනයක් කරන්න මම මාස ගානක් අත්හදා බැලීම් කළා. ඒ වගේම නිෂ්පාදන කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මම විසින්ම නිර්මාණය කරගත්තා.

දෛනිකව ශ්‍රී ලංකාවෙත් ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු සහ ප්ලාස්ටික් ප්ලේට් විශාල ප්‍රමාණයක් නැවත භාවිතයකින් තොරව පරිසරයට මුදාහරිනවා. ඒක විශාල පාරිසරික ගැටලුවක් මේ වෙද්දි නිර්මාණය කරලා තියෙනවා. මේ හැම නිෂ්පාදනයකින්ම මම ඉදිරිපත් කරල තියෙන්නේ ප්ලාස්ටික් වෙනුවට භාවිත කරන්න පුළුවන් ස්ථිරසාර ආදේශකයක්. මේ නිෂ්පාදනවලට උණ ගස කැපීමක් කිසිම අවස්ථාවක් සිද්ධ වෙන්නේ නැති නිසා වන ගහණයට හානි වීමක් සිදුවෙන්නෙත් නැහැ. අද ලෝකයත් මෙවැනි හරිත නිෂ්පාදනවලට දැඩි නැඹුරුවක් දක්වන නිසා මම මේ නිෂ්පාදනවලට පේටන්ට් අයිතියත් ලබාගෙන වෙළෙඳ පොළට නිකුත් කරන්න තීරණය කළා.

ඇත්තටම මේ නිෂ්පාදන දෙක වෙළෙඳපොළට හඳුන්වලා දුන්නට පස්සේ ඒවට හිතුවාට වඩා ලොකු ඉල්ලුමක් ලැබුණා. දේශීය වශයෙන් විතරක් නෙවෙයි විදේශීය වශයෙනුත් මට විශාල වශයෙන් ඇණවුම් ලැබුණා. ගොඩක්ම ඉල්ලුම තියෙන්නේ සංචාරක හෝටල්වලින්. සංචාරකයන්ගේ ලොකු ආකර්ෂණයක් මේ නිෂ්පාදන දෙකට ලැබිලා තියෙනවා. අද වෙද්දි ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කොරියාව වගේ රටවල් කිහිපයකටම මගේ නිෂ්පාදන අපනයනය කරනවා. ඒ වගේම නව ආහාරමය නිෂ්පාදනයක් විදිහට ලොවි භාවිත කරලා චට්නි එකක් හදන්නත් මම සමත්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටකට හරිත සංකල්පය ඔස්සේ ව්‍යාපාර අවස්ථා රාශියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට අලුතින් හිතන්න ඕන.

හරිත නිෂ්පාදන ඔස්සේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙලා සාර්ථක ගමනක් එන්න මට නිවැරදි මාර්ගෝපදේශනයක් දුන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමන් උදයංග මහත්මයා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුක්මාල් වීරසිංහ මහත්මයා, ආචාර්ය අමිත පාදුක්කගේ මහත්මයා ඇතුළු ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ සියලු ආචාර්ය මණ්ඩලය. ඒ වගේම මගේ බිරිඳ සහ දියණියත් මේ කටයුතුවලදී මට විශාල සහයෝගයක් ලබාදෙනවා. 

සටහන - නඳුන් ශ්‍යාමාල්  / ඡායාරූප - ශමීර රාජපක්‍ෂ



Recommended Articles