පහනොවූ අවදානම කෝවිඩ්


මේ වනවිට කෝවිඩ් - 19 රෝගීන් මෙරට සමාජයෙන් වාර්තා නොවන තරමට යහපත් තත්ත්වයක් අපේ රටේ ඇති වී තිබේ. මේ නිසාම සෞඛ්‍ය බලධාරීන් කොතරම් නිර්දේශ නිකුත් කළද ඒවා ක්‍රියාත්මක නොකර සිටින තැනට ජනතාව ක්‍රම ක්‍රමයෙන් පත්වී තිබේ. නමුත් සෞඛ්‍ය බළධාරීන් පුන පුනා පවසනුයේ අවදානම තවදුරටත් අප අතර පවතින බවයි.

පහනොවූ කෝවිඩ් තර්ජනය

මේ වනවිට කෝවිඩ් රෝගීන් 3350ට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී තිබේ. එයින් බහුතරයක්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනුයේ දෙසීයකට ආසන්න රෝගීන් පිරිසක් වන අතර, 13 දෙනෙකු මිය ගොස් තිබේ. සමාජය තුළින් කෝවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම මේ වනවිට නතරවී ඇත. මේ වනවිට වාර්තාවන සියලුම රෝගීන් විදේශවල සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් වේ. විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන සියලුම දෙනා නිරෝධායනයට යොමු කරන අතර, එහිදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ හරහා රෝගීභාවය හඳුනා ගනු ලැබේ.

මෙරටට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරන නිසාම ඔවුන්ගෙන් සමාජයට වෛරසය බෝ වීමේ අවදානම ඇත්තේ ඉතාම අවම වශයෙනි. නමුත් එයින් කෝවිඩ් - 19 වෛරසයෙන් අපේ රට  සුරක්ෂිත යැයි කිව නොහැක. සෞඛ්‍ය බලධාරීන්ගෙන්  බොහෝ දෙනා නගන ප්‍රශ්නයක් වනුයේ කෝවිඩ් - 19 රෝගීන් සමාජයෙන් හමුවෙන්නේ නැත්නම් අපේ රට ආරක්ෂිතයි නේද? යන ප්‍රශ්නයයි. නමුත් කෝවිඩ් - 19 යනු වෛරස් රෝගයක් වීමත්, ගෝලීය වශයෙන් තවමත් පැතිරයන වසංගතයක් වීමත් මත මෙරටට තවමත් ඇත්තේ අවදානම් තත්ත්වයකි. 

ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ පැවසීය.

“ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ඇති වූ මේ රෝගය ලෝකය පුරා පැතිරෙන්නට ඉතාම ටික කාලයයි ගියේ. චීනයට වඩා වේගයෙන් කෝවිඩ් වෛරසය වෙනත් රටවල පැතිරුණා. ඒ තත්ත්වය යටතේ කුඩා දූපතක්වන අපේ රට කිසිසේත්ම ආරක්ෂාකාරී වෙන්නේ නැහැ. මොකද එය වෛරස් රෝගයක් නිසා. පී.සී.ආර් පරීක්ෂණ අපි දහ දෙනෙක්ගේ සිදු කළොත් ආසාධිත තුන්දෙනෙකුගේ පමණ ප්‍රතිඵල සෘණාත්මක බවට ලැබෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ රෝගීන් දහයක් අතරින් හත්දෙනෙකු හඳුනා ගනිද්දී තුන්දෙනෙකු මගහැරෙන්න අවස්ථාවක් තිබෙනවා. එය පී.සී.ආර් පරීක්ෂණවල සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අපි ඉතාම ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. යම්කිසි අවස්ථාවක මේ වගේ තත්ත්වයකදී මගහැරුණු රෝගියෙක් සමාජයට යන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි යම්කිසි විශේෂ අවස්ථාවකදී රෝගය සුව වුණා යැයි අපිට තහවුරුවන රෝගියෙක් රෝගයත් සමග සමාජයට යන්නට ඉඩක් තිබෙනවා. එලෙස සමාජයට රෝගියෙක් ගියොත් සමාජයට මේ රෝගය පැතිරෙන්නට පුළුවන්. මේ නිසයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි හේතුවක් නිසා සමාජයට රෝගය පැතිර යාමේ අවදානම අවම කරන්න අවශ්‍ය සියලුම පෙර සූදානමට අනුගත වෙන්නට කියලා.”

කෝවිඩ් සමග නව සාමාන්‍ය ජීවිතයක්

ගෝලීය වශයෙන්  සෑම රටකම පාහේ ජීවත්වෙන මිනිසුන්ට අලුත් ජීවන රටාවකට අනුගත වන්නට කෝවිඩ් - 19 වෛරසය බලපා තිබේ. ඒ අනුව 2019 වර්ෂයේ දෙසැම්බරයට පෙර ගෙවූ ජීවන රටාවට අනුගත වීමට තවත් වසර කිහිපයක් යනතුරු ලෝකයටම හැකියාවක් නොලැබෙනු ඇත.

එවන් තත්ත්වයක් ගෝලීය වශයෙන් තිබියදී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ඉතාම සතුටුදායක ආකාරයකට මෙම ගෝලීය වසංගතය රට තුළ මැඩ පවත්වාගන්නට කටයුතු කළේය. ඒ සඳහා රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පෞද්ගලික ආයතන හා සමස්ත ජනතාවගේම දායකත්වය ලැබිණි. ඒ අනුව අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකික ජනතාව නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යෑමේ නිදහස වර්තමානයේ භුක්ති විඳිමින් සිටී. නමුත් ඉහත කී හේතුන් මත මෙරට සමාජයට යළි මෙම වෛරසය ඇතුළු වුවහොත් මේ නිදහස නිසාම විය හැක්කේ විනාශයකි. විශේෂයෙන් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ හරිහැටි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් යළි රට ආපස්සට ගමන් කිරීමට ඉඩක් ඇත.

ඒ නිසා අපි තවදුරටත් නව සාමාන්‍ය ජීවිතයක් තුළ  අනුගමනය කළ යුතු සරල නමුත් අනිවාර්යය දේවල් කිහිපයක් ඇත. ඒවා නම්,

හැකිතාක් තමන්ගේ ගමන්බිමන් අවම කර සීමා කිරීම.

අවශ්‍යම කටයුත්තකට එළියට ආ පසු පුද්ගල දුරස්ථභාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම.

නිසි මුඛ ආවරණයක් නාසය හා කට වැසෙන සේ පැලඳීම.

නිතර අත් සබන් යොදා සේදීම හෝ 70෴ක ඇල්කොහොල් අඩංගු හේදුම් දියරයකින් අත් සේදීම

නාසය හා මුහුණ නිතර ඇල්ලීමෙන් වැළකීම.

මෙම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් යම්කිසි ආකාරයකට කෝවිඩ් 19 වෛරසය සමාජයට ඇතුළු වුවහොත් රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගන්නට හැකියාවක් ලැබේ. ඒ හරහා අපිට වර්තමානයේ පවතින කෝවිඩ් 19 පාලන තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇත.

“අපේ රටේ ජනතාව කෝවිඩ් - 19 කියන රෝගයේ පීඩාව  දැක්කේ නැහැ. ඒ නිසා මේ වෛරසය සරලව අරගෙන තිබෙනවා. අපේ රටේ කෝවිඩ් - 19 රෝගීන් වාර්තා වුණේ දිය රැල්ලක් වගේ සැරින් සැරේයි. ඇත්තටම අපි ලෝකයේ අනෙක් අටවල්වලට සාපේක්ෂව බොහොම නිදහස් ජීවිතයක් අද ගතකරනවා. ඒ අපි මේ වෙද්දී කෝවිඩ් - 19 පාලනය කරගෙන තිබෙන නිසායි. ඒ නිදහස් ජීවිතය අපිට දිගටම ගෙනියන්න පුළුවන් වෙන්නේ රෝගය සමාජයේ පැතිරීම අවම කරගන්නට ජනතා සහයෝගය ලැබුණොත් පමණයි. ඒ වගේම අපෙන් අහන දෙයක් තමයි කෝවිඩ් -19න් ආරක්ෂා වෙන්න අනුගමනය කළ යුතු නිර්දේශ ක්‍රියාත්මක නොකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි නේද කියන එක. කොයිතරම් පුළුල්ව මේ දේ කරන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. සමාජයේ හැමතැනකටම අපිට එහෙනම් කට්ටිය දාලා මේ ගැන හොයන්නට සිදුවෙනවා. එය ඉතාම දුෂ්කරයි. අපිට මේ තත්ත්වය පාලනය කරගන්නට පසුගිය කාලයේ ජනතාව ඉතා හොඳින් සහයෝගය ලබා දුන්නා. ඒ නිසා පාලනය කරගන්නත් ජනතාවගේ සහය අවශ්‍යයි. ජනතාව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරනවා නම් මේ භුක්ති විඳින නිදහස ඉදිරියටත් භුක්තිවිඳිය හැකියි. නව සාමාන්‍ය ජීවන රටාව ආරම්භ කළොත් අපිට යළි පාසල් වහන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නට හැකියි. අපේ රටේ ආර්ථිකය, වෙළෙඳ ව්‍යාපාර හා වාණිජ කටයුතු සාමාන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යාහැකියි. එහෙම වුණොත් අපේ ආර්ථිකය ශක්ති‍මත් වෙයි. නැත්නම් අපිට නැවත ආපස්සට යන්නට සිදුවෙයි. ” යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව එලෙස සඳහන් කළේය.

යළි වෛරසය සමාජගත වීම

 කෝවිඩ් - 19 වෛරසය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් අපේ රටට ලැබෙන්නට බලපෑ තවත් එක් කරුණක් වන්නේ නිරෝධායන ක්‍රියාවලියයි. එය ලෝකයේ අනෙක් රටවල්වල ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට සාපේක්ෂව වෙනස් වේ. එනම් වෙනත් රටවල කෝවිඩ් - 19 වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු වුවත් ඔවුන්ව නිරෝධායනය සඳහා යොමු කරනුයේ ඔවුන්ගේම නිවෙස් තුළදීය. නමුත් ලංකාවට විදේශයන්ගෙන් පැමිණෙන සියලු දෙනා මෙන්ම යම් අවදානමක් ඇතැයි සලකන සියලු දෙනාවද විශේෂ නිරෝධායන මධ්‍යස්ථාන තුළදී නිරෝධායනයට යොදවනු ලැබේ.

තවද විදෙස් රටවල රෝගය ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කරනුයේ ශ්වසන අපහසුතා මතුවූ පසුවය. නමුත් ශ්‍රී ලංකාවේ කෝවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ බවට සැක කරන පුද්ගලයන් පවා රෝහල් ගත කරනු ලබයි.  ලංකාවේ නිරෝධායන කටයුතු හා එම දින ගණන් පිළිබඳව වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස %අද^ට පැවසුවේය.

“විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන සියලුම දෙනාව අනිවාර්යය නිරෝධායන කාලය එනම් දින 14ක් නිරෝධායනයට යොමු කරනු ලබනවා. එය නිමකළ පසු ඔවුන්ගේ නිවෙස් තුළ යළි ස්වයං නිරෝධායනයේ දින 14ක් යොදවනවා. එලෙස නිවෙස්වලට යොමු කළ කෙනෙක්ට කෝවිඩ් - 19 වෛරසය වැලඳී ඇති බවට යම් හෙයකින් දැක ගත්තද ඔවුන්ගෙන් ප්‍රජාවට කෝවිඩ් වෛරසට පැතිරීමේ හැකියාවක් ඇත්තේ ඉතාම අවම මට්ටමකයි. ලෝකයේ සාමාන්‍ය නිර්දේශය වී තිබෙන්නේ දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදවිය යුතුයි කියන එකයි. නමුත් අපි තවත් දින 14ක් නිවසේදී ස්වයං නිරෝධායනයට යොමු කරන්නේ මගහැරුණු අයෙක්ගෙන් හෝ ප්‍රජාවට මේ වෛරසය පැතිරීම මගහරවා ගැනීමටයි. ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවලින් නිවැරදි ප්‍රතිඵල නොපෙන්වා සමාජයට රෝගියෙක් යන්න පුළුවන්. ඒ වගේම ආසාධිත අයෙක් සුව වී ඇති බවට වැරදියට ප්‍රතිඵල පෙන්වීමක් සිදු වුණොත් ඒ පුද්ගලයා සමාජගත කළ පසු වෛරසය ශරීරයේ තිබී රෝගය බෝ වෙන්න යම් හැකියාවක් තිබෙනවා. ඒ අනුව බොහෝම කලාතුරකින් වුවත් එහෙම දෙයක් සිදුවෙන්නට පුළුවන්. අපි ගත්තොත් දහදාහක් අතරින් එක් අයෙක්ගෙන් මෙහෙම වෙන්න පුළුවන් කියලා එහෙම කියලා අපිට දහදාහක් මාස දෙකක කාලයක් නිරෝධායනය කරන්න බැහැනේ. හරියටම අවදානම හඳුනා ගන්නකන් නිරෝධායනයේ මාස දෙකක කාලයක් තබාගන්න ඕන. නමුත් එම කටයුතු සඳහා යන වියදම පිළිබඳ සලකා බැලුවම මාස දෙකක කාලයක් නිරෝධායනයට ලක්කිරීම තේරුමක් නැති දෙයක්. ඒ නිසයි ලෝකයේම සම්මතයක් විදිහට වසංගත රෝග විද්‍යාත්මකව නිරෝධායනය සඳහා සති දෙකක කාලයක් නිර්දේශ කර තිබෙන්නේ. අපි වැඩි හොඳට තමයි තවත් සති දෙකක් ස්වයං නිරෝධායනයේ යෙදෙන්නට කියන්නේ. ”

වගකීම අතදරා ගත් ජනතාව

මේ අනුව මෙරට ආරක්ෂක අංශය මගින් පවත්වාගෙන යන රජයේ හා පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක පුද්ගලයන් හත්දහසකට ආසන්න පිරිසක් නිරෝධායනයේ යෙදෙමින් සිටී.

එලෙස නිරෝධායනයේ යෙදෙන අතරතුර, ඇතැම් ස්ථානවල පිරිස් වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය අපි පසුගිය සතියේ මාතර සිදුවීමේදී අත්දැක්කෙමු. මෙවැනි සිදුවීම් හරහා හෝ වෙනත් ආකාර හරහා මෙරටට යළි කෝවිඩ් - 19 වසංගතය සමාජගත වීමට ඉඩක් පවතී. ඒ නිසා සියලුම දෙනා තමන්ගේ වගකීම හරිහැටි හඳුනාගෙන කටයුතු කිරීම ඉතාම වටිනා බව මෙහිලා පැවසිය යුතුමය. ඒ බැව් අවධාරණය කරමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ සිය හඬ යළි අවධි කළේය. 

“දැනට ලංකාවේ කෝවිඩ් - 19 රෝගීන් සමාජයෙන් වාර්තා නොවීම නිසා ලංකාව ආරක්ෂිතයි කියලා කාටවත් කියන්න බැහැ. මොකද ලෝකයේ අනෙක් හැම රටකම මේ වෙද්දී කෝවිඩ් - 19 වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම ලෝකයෙන් මේ වසංගතය දුරු වෙනකම් අපේ රට ආරක්ෂිතයි කියලා කිසිසේත්ම කියන්න බැහැ. ඉන්දියාවෙන් අපේ රටට නීති විරෝධීව රෝගීන් පැමිණෙන්නත් පුළුවන්. ගෝලීය වශයෙන් ඉදිරි මාස කිහිපය අවදානම් යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා. මෙය අපේ රටට බලපාන්නේ විදේශයන්ගෙන් පුද්ගලයන් අපේ රටට ඇවිත් ඉහත කී ආකාරයට යම්කිසි සිදුවීමක් වුණොත් වෛරසය සමාජගත වීමට හැකියාවක් තිබීමයි.

දවසට පාරේ අනතුරුවලින් කීදෙනෙක් මැරෙනවාද? පොලිස් නිලධාරීන් හෝ අධීක්ෂණයට නිලධාරීන් යොදවලා අපිට කී දවසක් මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ නිසා කරන්න අවශ්‍ය වන්නේ ජනතාව සෞඛ්‍ය පුරුදු නිවැරදිව පිළිපැදීමයි.

අපේ රටේ වගකිව යුතු මාධ්‍ය මොකක්ද මේ වෙලාවේ කරන්නේ. අර ස්ටාර් මේ ස්ටාර් කිය කිය මිනිස්සු රැස්කරනවා. ආදර්ශ දෙන්න ඉන්න අය වගකීම් විරහිතව වැඩ කරනවා. ඉහළින් ආදර්ශ දෙන්න ඕන වගේම මේ සඳහා මිනිස්සු පොලඹවන හැඟීම දෙන්න ඕන. එහෙම නැතිව නීතියෙන් අපිට මේ දේවල් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන්න ඕන මේක අපේ වගකීම කියන එක.”

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ කරුණු හා එහිදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පුවත්පත සමග කළ විශේෂ සාකච්ඡාවක් ඇසුරෙණි)



Recommended Articles