විපක්ෂනායක මෙන්ම මෙරට වැඩිම වාර ගණනක් අගමැති තනතුර හෙබවූ නමුත් තනතුරට හිමි ධුර කාලය කිසිදා සම්පූර්ණ නොකළ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) සිය ධුරය අත්හැර ගියේය. මේ සටහන ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙනි.
පොදුවේ සැලකීමේදී මෙරට අග්‍රාමාත්‍ය ධුරය ඇති කළ දින සිට මේ දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩිම වාර ගණනක් කටයුතු කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසු නැවත අගමැති ධුරයට පත් කාලයද ගණනය කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා පහකදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ. එහෙත් නිදහස් ශ්‍රී ලංකාව තුළ අගමැති තනතුරු දැරූ පස් දෙනෙකු ජනාධිපතිවරුන් බවට පත්වුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම අවස්ථාව මෙතෙක් හිමි වී නැත.
රනිල් වික්‍රමසිංහ මහතා මුල්වරට අගමැති තනතුරට පත් වී තිබෙන්නේ 1993 මැයි 07 වැනි දිනය. එවකට ජනාධිපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් පසු මැතිවරණයක් පවත්වන තුරු ජනාධිපතිවරයා ලෙසට පත්වූයේ එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩී.බී. විජේතුංග මහතාය. 1978 සිදුවූ ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති නොමැති අවස්ථාවේ වැඩ බැලීමේ තනතුරට අගමැතිවරයා පත් කිරීමේ නීතිමය ප්‍රතිපාදන හිමිව තිබේ. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා 1993 මැයි 07 වැනිදා සිට 1994 අගෝස්තු 19 වැනිදා දක්වා අග්‍රාමාත්‍ය ධුරය දරා තිබේ.
ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලයේ ඇති වූ මන්ත්‍රී ආසන ප්‍රමාණයේ වෙනසත් සමග 2011 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ආසන ප්‍රමාණයක් දිනාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්විය. 2001 වසරේ දෙසැම්බර් 09 වැනිදා සිට 2004 අප්‍රේල් 06 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ කටයුතු කර තිබේ. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එම මැතිවරණයෙන් ජය ගැනීමට ඔහුට නොහැකි විය. ඉන්පසුව විපක්ෂනායක ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වන්නේ 2015 වසරේය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ මහතා ජනාධිපති වූ පසු 2015 ජනවාරි 09 වැනිදා අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා එම වසරේ අගෝස්තු 16 වැනිදා තෙක් අගමැති තනතුර දැරීය. අගෝස්තු 16 වැනිදා මැතිවරණයෙන් ජයගත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති තනතුරට පත්විය. ඉන් පසුව පිහිටුවාගත් යහපාලන ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය නිසා එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙසට අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළේය. එහෙත් එම ඉල්ලීම්වලට අනුව තනතුරින් ඉල්ලා අස්නොවීම නිසා 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද අගමැති ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය නැත. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළේය. මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය වැරදි බවට අධිකරණය තීරණය කළ අතර, දින 52කට පසු රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අගමැති ධුරය හිමිවිය.
කෙසේ නමුත් ඉකුත් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත් අතර, පරාජය භාරගනිමින් ආණ්ඩුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ සමහර අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස් වූහ. මේ නිසා ජනමතයට ගරු කර අගමැති තනතුරින් ඉවත් වී ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදෙන ලෙසට විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) අගමැති තනතුරින් ඉල්ලා අස්විය.
1949 මාර්තු 24 වැනි දින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට හා නාලනී වික්‍රමසිංහ මහත්මියට දාව දෙවැනි දරුවා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපත ලබා තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නීති පීඨයට තේරී පත් වී නීතිඥවරයෙකු බවට පත් විය. මෙරට විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් සහිතව අගමැති තනතුරට පත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා බවටද රනිල් වික්‍රමසිංහ මහතා පත් වී තිබේ. 1970 වසරේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ සංවිධායකවරයා ලෙසට පත් විය. ඉන්පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් රනිල් වික්‍රමසිංහ මහතා එවකට පැවැති ආණ්ඩුවේ ළාබාලතම අමාත්‍යවරයා බවටද පත් විය. තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවකදී විපක්ෂනායක ධුරයද දරා තිබේ.
මේ අනුව 1994 වසරේ අගෝස්තු 25 වැනිදා සිට 2000 වසරේ ඔක්තෝබර් 01 වැනිදා දක්වාත්, 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09 වැනිදා දක්වාත්, 2010 මාර්තු මාසයේ 09 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 08 වැනිදා දක්වාත් ඔහු විපක්ෂනායක ධුරය හෙබවීය.
අග්‍රාමාත්‍යවරුන් දැරූ ධුර කාල සැලකීමේදී ඩී.එස් සේනානායක මහතා 1947 සැප්තැම්බර් 24 වන දින සිට 1952 මාර්තු 22 දක්වාත්, ඩඩ්ලි සේනානායක මහතා 1952 මාර්තු 26 වන දින සිට 1953 ඔක්තෝබර් 12 දක්වාත්, ජෝන් කොතලාවල මහතා 1953 ඔක්තෝබර් 12 වන දින සිට 1956 අප්‍රේල් 12 දක්වාත්, බණ්ඩාරනායක මහතා 1956 අප්‍රේල් 26 සිට 1959 සැප්තැම්බර් 26 දක්වාත්, විජයානන්ද දහනායක මහතා 1959 සැප්තැම්බර් 26 සිට 1960 මාර්තු 20 දක්වාත්, ඩඩ්ලි සේනානායක මහතා 1960 මාර්තු 21 සිට එම වසරේ ජූලි 21 දක්වාත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි 21 සිට 1965 මාර්තු 25 දක්වාත්, ඩඩ්ලි සේනානායක මහතා 1965 මාර්තු 25 සිට 1970 මාර්තු 29 දක්වාත් අගමැති ධුරය දරනු ලැබිණි.
මේ අනුව එම කාලය තුළදී ඩඩ්ලි සේනානායක මහතා අවස්ථා තුනකදී අගමැති ධුරය දරා ඇත. 1972 මාර්තු 29 සිට එම වසරේ මැයි 22 දක්වාත්, එම වසරේ මැයි 22 සිට 1977 ජූලි 23 දක්වාත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දරා තිබේ.
1977 වසරේ ජූලි 23 සිට 1978 වසරේ පෙබරවාරි 4 දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතාත්, 1978 පෙබරවාරි 06 සිට 1989 ජනවාරි 2 දක්වා රණසිංහ ප්‍රේමදාස මහතාත්, 1989 මාර්තු 06 සිට 1993 මැයි 07 දක්වා ඩී.බී. විජේතුංග මහතාත් අගමැති ධුර දරා ඇත.
1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වා රනිල් වික්‍රමසිංහ මහතාත්, 1994 අගොස්තු 19 සිට එම වසරේ නොවැම්බර් 12 දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත්, 1994 නොවැම්බර් 14 වන දින සිට 2000 අගෝස්තු 09 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, 2000 අගෝස්තු 10 සිට 2001 දෙසැම්බර් 07 දක්වා රත්නසිරි වික්‍රමනායක මහතාත්, 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 දක්වා රනිල් වික්‍රමසිංහ මහතාත්, 2004 අප්‍රේල් 06 සිට 2005 නොවැම්බර්19 වන දින දක්වා මහින්ද රාජපක්ෂ මහතාත්, 2005 නොවැම්බර් 19 සිට 2010 අප්‍රේල් 21 දක්වා රත්නසිරි වික්‍රමනායක මහතාත්, 2010 අප්‍රේල් 21 සිට 2015 ජනවාරි 09 දක්වා දිමූ ජයරත්න මහතාත්, එතැන් පටන් ඊයේ දිනය දක්වාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරේ රාජකාරී කටයුතු කර තිබේ.
මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අවස්ථා තුනකදී අගමැති ධුරය දරා තිබෙන අතර, රත්නසිරි වික්‍රමනායක මහතා අවස්ථා දෙකකදී අගමැති ධුරය දරා ඇත. මේ අනුව 1947 වසරේ සිට ඊයේ (21දා) දිනය දක්වා පුද්ගලයන් දසදෙනෙකු අග්‍රාමාත්‍ය ධුර දරා තිබෙන අතර, එහිදී වැඩිම වාර ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.