පවුල් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය පහසුකම් නිසි ලෙස ලැබෙන්නේ නෑ


උපතේ සිට මරණය දක්වා වූ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදෙන සේවාවක් ලෙස පවුල් සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් මෑතක සිට රජය පවුල් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහන් කරන කාරණයකි. මේ පිළිබඳව %අද^ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය සමග කතාබහක නිරත විය. 


පවුල් සෞඛ්‍ය සේවාව

පවුල් සෞඛ්‍ය සේවාව මුලින් ආරම්භ වන්නේ වින්නඹු කර්මයෙන්. මේ අනුව අතීතයේදී දරුවෙකු බිහිකිරීමේ කාර්යයට මවට උදව් කළේ ගමේ සිටි ශක්තිමත්, හිත හයිය කාන්තාවක්. මේ ක්‍රමය ඉදිරියට ඇවිත් වින්නඹු මාතාව කියන තනතුරක් ඇතිවුණා. වින්නඹු මාතාව දරුවෙකු බිහිකිරීමට මවට උදව් කිරීම හා ඉන්පසුව දරුවා වෙනුවෙන් මව කළයුතු දේ පිළිබඳ දැනුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළා. තාක්ෂණය දියුණු වීමත් සමග වින්නඹු කටයුතු පමණක් නොවෙයි මවු මරණ, ළදරු මරණ වළක්වා ගැනීම ප්‍රතිශක්තීකරණ කටයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වගකීම පැවරුණා. ඒ ආකාරයට දියුණු වූ වින්නඹු මාතා සේවය පවුල් සෞඛ්‍ය සේවාව බවට පත්වුණා. ඉන්පසුව රටේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට පැවරුණා. අඩු පහසුකම් තත්ත්වයෙන් වුණත් අපේ නිලධාරිනියන් වගකීම අකුරට ඉටුකිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවාව ගැන කතා කළා.

පවුල් සෞඛ්‍ය සේවා ව්‍යාප්තිය

රට තුළ ග්‍රාමසේවා වසම් දාහතර දහසකට (14000) අධික ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ රාජ්‍ය සේවා ක්‍රියාත්මක වෙන්නේ ග්‍රාම නිලධාරී වසම් මූලික කර ගනිමින්. ඒත් රටේ සමස්ත ජනතාවගේම සෞඛ්‍යය වෙනුවෙන් කටයුතු කරන පවුල් සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස. මේ නිසා එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට ග්‍රාමසේවා වසම් තුන හතරක රාජකාරී කරන්න වෙලා තියෙනවා. යාපනය දිස්ත්‍රික්කය හා අවට දිස්ත්‍රික්ක ගත්තම එක් නිලධාරිනියකට ග්‍රාම සේවා වසම් හත අටක සේවය කරන්න ඕන.

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ ප්‍රමාණය

පවුල් සෞඛ්‍ය සේවාව ගත්තම ක්ෂේත්‍ර රාජකාරී වගේම රෝහල් රාජකාරීත් පැවරිලා තියෙනවා. පොදුවේ ගත්තම මේ කාණ්ඩ දෙක යටතේම රාජකාරී කරන්න ඉන්නේ නිලධාරිනියන් හත්දහස් නවසීයක (7900) ප්‍රමාණයක්. සෞඛ්‍ය බලධාරීන්ගේ ගණනය කිරීම්වලට අනුව අඩුම තරමේ රට තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසය දහසකට වැඩිය ඉන්න ඕන. ඒත් පවුල් සෞඛ්‍ය සේවාවට සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලනඥයන් අඩු සැලකිල්ලක් දැක්වීම නිසා දැනට සේවයේ යෙදී ඉන්න ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පුරප්පාඩු වෙලා තියෙනවා. ඒක කනගාටුවට කරුණක්. පවතින නිර්ණායකවලට අනුව ක්ෂේත්‍ර‘යේ රාජකාරී සඳහා යොදවන ප්‍රමාණයෙන් 20෴ක් රෝහල් තුළ සේවය කරන්න ඕන. ඒත් සේවය කරන්නේ පොඩි ප්‍රමාණයක් නිසා රෝහල තුළ සේවය කරන්නෙත් පොඩි ප්‍රමාණයක්.

රාජකාරී පැවරීම හා රාජකාරී වෙලාව

ක්ෂේත්‍ර‘යේ ඉන්න නිලධාරිනිය පැය 24 පුරාම සේවය කරන්න ඕන. මූලික වශයෙන් ගත්තම ක්ෂේත්‍ර‘යේ සිටින නිලධාරිනිය උදේ 6ත් 7ත් අතර කාලයේදී අදාළ වසමට යනවා. මෙහිදී ගැබිනි මවුවරුන්ගේ තත්ත්වය සොයා බැලීම, අලුත උපන් දරුවන්ගේ තත්ත්වය සොයා බැලීම ඇතුළුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලනවා. දරුවන්ගේ බර කිරනවා. ළදරුවන්ට, ගැබිනි මවුවරුන්ට අවශ්‍ය ත්‍රි‘පෝෂ ටික ලබාදෙනවා. වැඩිදුර වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා යොමු කරනවා. මේ රාජකාරී කරන්න පැය දහයක් දොළහක් යනවා. මොකද ග්‍රාම නිලධාරී වසම් හතරක පහක යන්න විශාල වෙලාවක් ගතවෙනවා. රෝහල් තුළ පවතින පුරප්පාඩු නිසා සේවය කරන නිලධාරිනියන් දිනකට විශාල පැය ගණනක් සේවය කරන්න ඕන. ක්ෂේත්‍ර රාජකාරී කරන කෙනා රාජකාරී අවසන්වෙලා ගෙදර ගියත්, තමන්ගේ වසමේ ගැබිනි මවකට යම් ප්‍රශ්නයක් උනොත් රාත්‍රියේ පවා යන්න වෙනවා. 

ගමන් පහසුකම

රජය මැදිහත් වෙලා වරප්‍රසාදයක් ලෙස ප්‍රවාහන පහසුකම ලබාදීලා නැහැ. ඒත් මීට වසර කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රුපියල් පනස්දහසක (50,000) මුදලක් ගෙවලා යතුරුපැදි මිලදී ගත්තා. හැබැයි යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ටික වෙනුවෙන් නිසි මුදලක් දෙන්නේ නැහැ. රජය මැදිහත් වෙලා යතුරුපැදි දුන්නත්, වර්තමානය වන විට සේවයට එක්වන අයට යතුරුපැදි නැහැ. ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට එක යතුරුපැදියක් වත් නැහැ. හැබැයි හැමකෙනාම නියමිත ලෙස රාජකාරී කරන්න ඕන. අඩුපාඩු තිබුණා කියලා රාජකාරිය කිසිදු අඩුපාඩුවක් නැතිව කරනවා. මේ නිසා සෑම කෙනෙකුටම යතුරුපැදියක් ලබාදීම, ඊට අවශ්‍ය ඉන්ධන ලබාදීම සහ නඩත්තුවට අවශ්‍ය මුදලක් ලබාදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.

නිලඇඳුම් දීමනාව

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වසර පුරාම සේවය කරන්න ඕන. මේ සේවාව විධිමත් ලෙස ක්‍රියාත්මක උනාට පස්සේ ලොන්ඩරි දීමනා, සපත්තු දීමනා, නිලඇඳුම් දීමනා කියලා වෙන වෙනම ලබාදුන්නා. ඒත් වර්තමානයේදී නිලඇඳුම් දෙකක් වෙනුවෙන් කියලා රුපියල් දහතුන්දහස් පන්සීයක මුදලක් ලබාදෙනවා. හැබැයි නිලඇඳුම් දෙක වෙනුවෙන් එම මුදල ප්‍රමාණවත් නැහැ. මොකද නිලඇඳුම් යටතේ සපත්තු මේස් පවා ගන්න ඕන. අනිත් එක නිලඇඳුම් දෙකක් වසරකට ප්‍රමාණවත් නැහැ. මොකද රෝහලේ කෙනා සේවය කරන්නේ යම් යම් තත්ත්වයන් යටතේ ඉන්න ගැබිනි මවුවරු හා දරුවන් සමග. නිලඇඳුම් කිළිටි වෙන ප්‍රමාණය වැඩියි. ක්ෂේත්‍ර‘යේ කෙනාගේ නිලඇඳුමත් ඒ තත්ත්වයට පත්වෙනවා.

කාර්යාල දීමනාව

ක්ෂේත්‍ර‘යේ ඉන්න නිලධාරිනියන් කාර්යාලයක් පවත්වාගෙන යන්න ඕන. මොකද උපතේ සිට මරණය දක්වා වූ සේවා බොහොමයක් කරන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය. රාජකාරියට අදාළ ලිපිලේඛන ප්‍රමාණයක් පවත්වාගෙන යන්න ඕන. සායන පවත්වන්න ඕන, බර කිරන්න ඕන, දැනුවත් කිරීම් කරන්න ඕන. මේ සඳහා ඉඩකඩ සහිත කාර්යාලයක් අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය මධ්‍යස්ථානවල කාර්යාල පවත්වාගෙන යන පිරිසත් ඉන්නවා. ඒත් අනෙකුත් සියලුමදෙනා කාර්යාල පවත්වාගෙන යන්න ඕන. ඒ වෙනුවෙන් මාසයකට ලැබෙන්නේ රුපියල් දෙසිය පනහක මුදලක්. ලංකාවේ කිසිම තැනකින් මේ මුදල ගෙවලා කුඩා කාමරයක් වත් ගන්න බැහැ. මේ නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වැටුපෙන් කාර්යාලයට අදාළ මාසික කුලිය ගෙවනවා. ඒ වගේම ජලබිල්, විදුලි බිල් හා නඩත්තු කටයුතු කරන්න ඕනත් නිලධාරිනියන්ගේ වැටුපෙන්.

බඳවා ගැනීම

පවතින පුරප්පාඩු ගණනය කරලා වසරක් පාසා බඳවා ගැනීම් සිදුකළ යුතුයි. ඒත් මෑතකාලයේදී බඳවා ගැනීම් සිදුකරන්නේ වසර කීපයකට වරක්. බඳවා ගැනීම සිදුකළත් එය සිදුකරන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. පුහුණුවට බඳවාගෙන අදාළ දැනුම ලබාදුන්නත්, සේවයට බඳවා ගැනීමට යම් කාලයක් ගතවෙනවා. මීට මාස හත අටක පෙර පුහුණුව අවසන් කළ හයසීයකට (600) අධික පිරිසකට තාම පත්වීම් ලබාදීලා නැහැ.

පුහුණුව

වර්තමානය වනවිට පුහුණුවට බඳවා ගන්න පිරිස්වලට පවා නිසි ලෙස පුහුණුව ලබාදෙන්නේ නැහැ. මේ වසරේ මාර්තු මාසයේදී පවුල් සෞඛ්‍ය සේවා පුහුණුවට අටසිය හතළිහකට ආසන්න ප්‍රමාණයක් බඳවා ගත්තා. බදුල්ල හා ගාල්ල හෙද විදුහලේ ඉගෙනුම ලබන පිරිසට නිසි ලෙස ඉගැන්වීම් කටයුතු කරනවා. ඒත් අනෙකුත් හෙද විදුහල්වල පුහුණුව ලබන අයට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්නේ නැහැ. හම්බන්තොට හෙද විදුහල ගත්තම එහි පුහුණුව ලබන අයට නිසි ලෙස දැනුම ලබාදෙන්නේ නැහැ. පවුල් සෞඛ්‍ය සේවාවට බඳවාගන්නා අය වසරක පුහුණුවක් ලබාගන්න ඕන. එම වසරක කාලය තුළ ඉගැන්විය යුතු විෂය කරුණු තියෙනවා. රෝහල් පුහුණුව තියෙනවා. ඉන්පසුව අවසන් විභාගයට පෙර ක්ෂේත්‍ර පුහුණුවට යායුතු වෙනවා. අද වනවිට මේ දේවල් අවුල්සහගත තත්ත්වයක තියෙන්නේ. හෙද විදුහල්වල පුහුණුව ලබන පවුල් සෞඛ්‍ය සේවා සිසුවියන්ගේ පුහුණු කටයුතු සඳහා හෙද විදුහලේ ආසන්න රෝහලට යවන්න ඕන. ඒත් ළඟම රෝහලට යොමු නොකර දුර ප්‍ර‘දේශවල රෝහල් පුහුණුවට යවනවා. මේ දේවල් ඉතාමත් අසාධාරණයි.

ත්‍රි‘පෝෂ ලබාදීමේ ප්‍රමාදය සහ ලබාදීම සීමා කිරීම

ත්‍රි‘පෝෂ ලබාදීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ බලධාරීන්. මොකද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඉල්ලුම් කරන ත්‍රි‘පෝෂ ප්‍රමාණය ලබාදෙන්නේ නැහැ. ලබාදෙන ප්‍රමාණය අඩුකරන්න කාලෙන් කාලෙට විවිධ නිර්ණායක ඉදිරිපත් කරනවා. මෙතැනදී කියන්න ඕන මුලින්ම ත්‍රි‘පෝෂ නිෂ්පාදනය රජයේ ආයතනයක් යටතේ සිදුවුණා. ඒත් දැන් ත්‍රි‘පෝෂ පෞද්ගලික සමාගමක තමයි නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා ත්‍රි‘පෝෂ නිකන් දෙනවට වඩා මුදලට විකිණීම ඉදිරියට ගියා.

හෙද සේවය හා පවුල් සෞඛ්‍ය සේවය අතර පවතින ගැටුම

හෙද සේවය හා පවුල් සෞඛ්‍ය සේවය කියන්නේ ඉතාමත් සමගියෙන් හිටිය කණ්ඩායම් දෙකක්. ඒත් සමහර පිරිස් මේ සමගිය බිඳ දැමීමට අවශ්‍ය වැඩපිළිවෙළක් අවස්ථාවාදීව ක්‍රියාත්මක කළා. මේ නිසා සූතිකාගාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා හෙද නිලධාරිනිය අතර ගැටුමක් නිර්මාණය වුණා. සමහර වෘත්තීය සමිතිත් මේ දේවල්වලට අනවශ්‍ය ලෙස අතපෙවීම් කළා. ඒක නිසා ගැටුම නරකම තැනකට ගමන් කරමින් තියෙන්නේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තමයි සූතිකා කර්මය වෙනුවෙන් ඉන්න කෙනා. හෙද නිලධාරිනියට වෙනත් රාජකාරී තියෙනවා. මොකද අපි දෙගොල්ලොම කටයුතු කරන්නේ මවගේත්, දරුවාගේත් ආරක්ෂාව වෙනුවෙන්. මේ නිසා මේ ගැටුම නිර්මාණය කරන බලධාරීන් තේරුම් ගන්න ඕන අදාළ රාජකාරිය නිසි කෙනාට පැවරීමට. එහෙම නොකර පවුල් සෞඛ්‍ය සේවාව දියකර හැරීමට කටයුතු කිරීම අසාධාරණ ක්‍රියාවක්. 

වැඩ බැලීමේ දීමනාව

සැලකිය යුතු නිලධාරිනියන් ප්‍රමාණයක් වසම් තුළ වැඩ බැලීමේ රාජකාරී කටයුතු කරනවා. සමහර පළාත් සභා වැඩ බැලීමේ පත්වීමත් ලබාදීලා, වැඩ බැලීමේ දීමනාවත් ලබා දෙනවා. ඒත් සමහර පළාත් සභාවල ඒ දේ සිදුවන්නේ නැහැ. මේ නිසා තවමත් වැඩ බැලීමේ දීමනාව ලබා නොදෙන පළාත් සභා දීමනාව ලබාදීමට කටයුතු කළයුතු වෙනවා. එහෙම නැති වුණොත් පළාත් සභාවේ නමින් අදාළ අසාධාරණය හෙළිකරනවා.



Recommended Articles