ජනාධිපතිවරණයට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. දිනෙන් දින උණුසුම් වන ජනපති සටනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර සූදානම් වන්නේ කෙසේද යන්න, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා සමග සංවාදයක යෙදුෙණමු.
?ඔබේ කඳවුරු අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා වීමට ඇති සුදුසුකම් මොනවාද
ජනාධිපති ඡන්ද ව්‍යාපාරය ඉතාම සාර්ථකව කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකකමට ප්‍රවේශ වීමම ලොකු පිබිදීමක් වුණා. රටේ දේශපාලනය එපාවෙලා ඉඳපු අයට, දේශපාලනය ගැන කලකිරීමෙන් සිටි උදවියට එය අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක්. ජනාධිපතිවරණයට කොතරම් අපේක්ෂකයෝ ඉදිරිපත් වී සිටියත්, අරගලය තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතරයි.
රාජපක්ෂ පවුල ජනාධිපතිවරණයට සූදානම් වුණේ ඔවුන් පැරදුන දවසෙමයි. නමුත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකකම ලැබුණේ මැතිවරණයට මාස දෙකකටත් අඩු කාලයකදී. අපේක්ෂකකම ලැබෙනවාද කියලා අන්තිම මොහොත වෙනකම් තීරණය වෙලා තිබුණේ නැහැ. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න හවුල්කාර පක්ෂ සියල්ල අවසානයේදී කිව්වෙ දිනන්න පුළුවන් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියලයි. සජිත්ව අපේක්ෂකකමට ඉදිරිපත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරය අත්සන් කරලා කිව්වා. සජිත් ප්‍රේමදාස තමයි අපේක්ෂකයා කියලා අවසානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව කිව්වා. සැබවින්ම එය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක්.
මේ සිදුවීම සමග මට මතක් වෙන්නේ ඩී.එස් සේනානායක මහත්තයව. සුද්දො අපිට නිදහස දෙන්න හදද්දී ඔවුන් අපිට අභියෝග කළා. ඔවුන් කිව්වා &උඹලා බෙදිල ඉන්න ජාතියක්, උඹලට දැන් නිදහස දුන්නොත් උඹලා මීනි මරා ගනීවි. ඇනකොටා ගනීවි* කියලා. ජාති, ආගම් උඩරට, පහතරට ආකාරයට බෙදිලා කියලා ඔවුන් අපිට ලොකු අභියෝගයක් කළා. ඒ වෙලාවේ සිංහල මහා සභාව, දෙමළ මහා සංගමය, මුස්ලිම් සංගමය, මැලේ සංගමය, නඩේසන්ලා, ජායලා, බණ්ඩාරනායකලා මේ හැමෝම එකතුවෙලා තමයි ඩී.එස් සේනානායකව තෝරා ගත්තේ. ඉතිහාසය යළි යළිත් අපිට පාඩම් කියල දෙනවා කියල මේ අවස්ථාවේදී අපිට මතක් වෙනවා. මොකද හේතුව මේ පාර සජිත්ව තෝරාගත්තේ චම්පික රණවකලා, රාධා ක්‍රිෂ්ණන්ලා, රවුෆ් හකීම්ලා, දිගම්බරම්ලා, අර්ජුන රණතුංගලා වගේ හැමෝම එකතු වෙලා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය එතන පෙන්නුවා.
ඒ වගේම බලන්න අපේ ප්‍රතිවාදීන් අපේක්ෂකයාව තෝරා ගත්තෙ කොහොමද කියලා. ඔවුන් මැදමුලන වලව්වේදී පවුලේ සාමාජිකයන් එකතුවෙලයි ඔවුන්ගේ අපේක්ෂකයා තෝරා ගත්තේ. ඒ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය අධිකරණය ඉදිරියේදී ප්‍රශ්නාර්ථයට මුහුණ දුන් වෙලාවේ ඇප තැම්පත් කළේ චමල් රාජපක්ෂ. පක්ෂයේ තීන්දුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඔවුන් අපිට පෙන්නුම් කළේ දහඅටවෙනි සියවසේ වැඩවසම් මානසිකත්වය සහ වැඩවසම් සමාජය. මේ වගේ තේරීම් ගැන මිනිස්සු ආපසු හැරී බලනවා කියන්නේ ලංකාව ලෝකයට දෙන පාඩම මොකද්ද? අපිත් හරියට අප්‍රිකාවේ රටක් වගේ. නිලමෙලා යනකොට වහල්ලු ලේන්සුව අතට අරගෙන කානුවට බහිනවා. එවැනි යුගයකට යනවද කියලා සැකය ජනතාවට තිබෙනවා. එකපැත්තක වැඩවසම් මානසිකත්වය සහිත පවුල් සමාජයක තේරීම. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී තේරීම. ගෝඨාභය රාජපක්ෂ කියද්දී ඔළුවට එන්නේ මොකක්ද? සජිත් ප්‍රේමදාස කියද්දී ඔළුවට එන්නේ මොකද්ද කියලා සාධාරණව හිතල බලන්න. ප්‍රගතිශීලී පිරිස් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර සමග, සජිත් ප්‍රේමදාස සමග එකතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර සමගද සිටිය යුත්තේ, එහෙම නැතිනම් මිල්ටරිවාදී ආඥා දායකත්වය සහ අනතුර සමගද සිටිය යුත්තේ කියා ජනතාව තීරණය කළයුතුව තිබෙනවා.
?රණසිංහස ප්‍රේමදාස යුගයේදී එම ආණ්ඩුවේ සාමාජිකයෙක් ලෙස ඔබ කටයුතු කළා. සජිත් ප්‍රේමදාස යුගයක් පැමිණියහොත් ඔබේ අදහස අනුව එය කෙබඳු වේවිද
එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් රටේ නායකයා වුණ අන්තිම අවස්ථාව තමයි ආර්. ප්‍රේමදාස මහතා නායකයා වුණ අවස්ථාව. ඉන් දශක දෙකකට වැඩි කාලයකට පසුව මෙවර අපි ඒ අවස්ථාවට යනවා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. නිදාගෙන හිටපු එක්සත් ජාතික පාක්ෂිකයෝ දැන් පෙරට එනවා අපි දකිනවා. ඒක තමයි යථාර්ථය. ප්‍රේමදාස ජනාධිපතිතුමා සමග එදා තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට මම ඒ රැස්වීම් සියල්ලටම සහභාගී වුණා. දැඩි භීෂණ සමයක අපි ඒ මැතිවරණය කළේ. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නය හමුදා වෙඩි උණ්ඩවලින් විසඳන්න පුළුවන් කියලා එතුමා කල්පනා කළේ නැහැ. 71 කැරැල්ලේ නඩු අවස්ථාවේදී නඩුව අහපු හැම දවසකම එතැනට ප්‍රේමදාස ජනාධිපතිතුමා ගියා. බලයට ආවට පස්සේ තරුණ කොමිසමක් පත්කළා. එහි ප්‍රතිඵලය ලෙස ජනසවිය දුන්නා. දුප්පත් පවුලක කෙනෙක් රස්සාවකට ආවොත් වැඩිපුර ලකුණු දුන්නා. අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ලංකාවේ නිවාස ව්‍යාපාරය ලෝකයටම ආදර්ශයක් වෙන මට්ටමට ගෙනාවා. සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ගමන අපේ පක්ෂයට උරුමයි කියලා මට හිතෙනවා. නිදහස් අධ්‍යාපනය මෙරටට දායාද කළේ එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමියෝ වුණ කන්නන්ගර මහත්තයා, ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දීලා එම ව්‍යපාරය ආරම්භ කළේ ඩී.එස් සේනානායක මහත්තයා, නිදහස් සෞඛ්‍ය සේවය රටට දායාද කළේ එක්සත් ජාතික පක්ෂය, මහපොළ ශිෂ්‍යත්වය, නිලඇඳුම, දිවා ආහාර මේ හැමදේම දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක උරුමය අපිට තිබෙනවා. ඒ අදහස්වලට නායකත්වය දෙන කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. මම හිතන්නේ අපි දැන් තීරණාත්මක මොහොතට ඇවිත් තිබෙනවා කියලයි.
?අලුත් ඡන්ද, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද ඔබේ පිලට ලබාගැනීම සඳහා ඔබ කණ්ඩායම ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද
තරුණ ප්‍රජාවට සැබෑ ආමන්ත්‍රණයක් අපේ කණ්ඩායමෙන් සිදුවෙනවා. පවුල් පාලනයක් සහිත වැඩවසම් මානසිකත්වයකට යන්න අලුත් පරපුර කැමති නැහැ. තරුණයන්ගේ ප්‍රශ්නවලට විසඳුම වෙඩි උණ්ඩය නෙවෙයි. ඒවා තේරුම් ගත්ත පිරිසක් අපි සතුව ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයයි, ගෝඨාභය මහත්තයයි මැතිවරණ ව්‍යාපාරය ගෙනයන ආකාරය බලන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා මාධ්‍ය හමුවකදී වුවත් ඉතාම තැන්පත්ව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට සවන්දීලා ඒවාට උත්තර දෙනවා. එය වර්තමාන පරම්පරාවේ සැබෑ සංෙක්තයක්. ඕනෑම විෂයක් ගැන එතුමා උත්තර දෙනවා. %ශ්‍රී මුඛය^ වගේ වචනයක් දෙකක් වැරදුනාම මඩ ගහනවා. මේ රටේ සෝවාන් වුණ රාජ්‍ය නායකයෝ හිටියෙ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පවා අඩුපාඩු තිබෙන්න ඇති. ඉතාම බුද්ධිමත් තරුණයෙක් ලෙස තමන්ගේ පියාගේ අඩුපාඩු පවා හදාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන නායකත්වයක් අපිට සජිත් තුළින් පෙනෙනවා. නමුත් ගෝඨාභය මාධ්‍යවේදීන්ට උත්තර දෙන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවලට තනියම එන්න කැමති නැහැ. තමන්ට ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් මිනිස්සුන්ට මුහුණ දෙන්න ඕන. ගෝඨාභය මහත්තයා ඇතුළු කණ්ඩායම ප්‍රධාන රැස්වීම් 24ක් පවත්වන විට, මෑත ඉතිහාසයේ කිසිවෙක් නොකළ ආකාරයට සජිත් මහත්තයා ඇතුළු කණ්ඩායම රැස්වීම් 154ක් අමතනවා.
ඒ වගේම කීර්තිමත් වැඩ වාර්තාවක් සජිත්ට තිබෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ නිවාස ඇමති විදිහට කටයුතු කරද්දී මට තිබුණු නිවාස අමාත්‍යාංශයෙන් පහෙන් එකයි සජිත්ට තිබෙන්නේ. එතුමාට වතුකර නිවාස අයිති නැහැ, උතුරේ නිවාස අයිති නැහැ, නාගරික නිවාස අයිති නැහැ. මේ ආකාරයට සම්පූර්ණ නිවාස අමාත්‍යාංශයෙන් හයෙන් එකක් පමණක් අයිති සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ කාලය ඇතුළතදී කරපු වැඩ කොටස බලන්න. වැඩ තුළින් එතුමා විශ්වාසය දිනාගෙන තිබෙනවා. ජාතික සමගිය ඇති කළ හැකි නායකත්වයක් යළිත් ඇතිවෙලා තිබෙනවා. සජිත් මේ යන ගමන පාකිස්තානයේ ඉම්රාන් ඛාන් යන ගමන වගේ. එය මෙරටට හොඳ අවස්ථාවක්. එය වරද්දා ගතහොත් ජාතියක් හැටියට අපිට පසුතැවිලි වෙන්න වෙනවා. අපේ රටේ ප්‍රශ්න අවම කරගත්තොත් පමණයි අපිට ඉදිරියක් තියෙන්නේ.
?ප්‍රශ්න අවම කරගත යුතුයි කියලා ඔබ පැවසුවා. සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ජනාධිපති වුවහොත් බලය බෙදීම, විධායකය, ජාතික ප්‍රශ්න ආදිය විසඳන්නේ කෙසේද
එක්සත් ජාතික පක්ෂය හැමදාම හිටියේ ප්‍රගතිශීලී ස්ථාවරයක. එහි වෙනසක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මත ආරම්භ කළ ගමන අපි යනවා. සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශ්වාස කළ හැකි ආකාරයට අපි කටයුතු කරනවා. දේශප්‍රේමීත්වය ගැන කියලා බෞද්ධකම, හින්දුකම, මුස්ලිම්කම දේශපාලන ආයුධයක් කරගනිමින් හැඟීම් අවුස්සන දේශපාලනය කරන්න හරි ලේසියි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ අපි කවදාවත් ඒ තැනට ගිහින් නැහැ. අපි හැමදාමත් ගියේ දුරදැක්මෙන් යුතු ගමනක්. සජිත් ප්‍රේමදාස මහත්තයත් යන්නේ ඒ විදිහෙම ගමනක්. ඩී. එස් සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා ගිය ගමන තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නෙත්.
?බොහෝ කාලයකට පසුව ඔබ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ දකින්නට ලැබෙනවා. මොකක්ද සිදුවුණ වෙනස
රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කරන්න ගිය ගමන වගේ අද දෛවය විසින් ඉතිහාසය විසින් මට අවස්ථාවක් ලබාදී තිබෙනවා, අන්තිමට හිටපු එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයාට පසුව තවත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් බිහිකරන්න උරදෙන්න. මම මගේ හෘදසාක්ෂියට එකඟව දේශපාලනය කරන්න උත්සාහ කළා. මම හරි, අනිත් අය වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් හෘදසාක්ෂියට එකඟව මම කරපු දේශපාලනය නිසා අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව එළියට දැම්මා. එක්සත් ජාතික පක්ෂ සම සභාපතිකමෙන් ඉවත් කළා. නමුත් මම එක්සත් ජාතික පක්ෂය දාල ගියේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සමග මට තිබෙන්නේ පුද්ගල බැඳීමක් හෝ තනතුරු සමග තිබෙන බැඳීමක් නෙවෙයි. එය ප්‍රතිපත්තිමය බැඳීමක්. රටේ සමාජ සාධාරණය සඳහා, ජාතික එකමුතුවක් සඳහා සුදුසු මග තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ.
?ඉදිරි පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතයෙක් ලෙස ඔබේ කාර්යභාරය ඉටුකිරීමට සූදානම්ද
පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වෙලා, ඡන්ද අරගෙන, තනතුරු ගන්න මට උවමනාවක් නැහැ. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව ඉවත් නොකළොත් එක්සත් ජාතික පක්ෂය තුළ දිගටම කටයුතු කරන්න මට ලොකු උවමනාවක් තිබෙනවා. රටේ ජාතික එකමුතුව සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා, සමාජ සාධාරණත්වය පදනම් කරගත්තු ගමනක් සඳහා මට මේ පක්ෂය ශක්තිමත් කිරීම තුළින් දායකත්වයක් දෙන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය සමග මම ක්‍රියාකාරීව ඉන්නවා.
ජනතාවට මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කතිරය දීලා ඡන්දය පාවිච්චි කිරීම පමණක් නොවෙයි. ඡන්දය දීමෙන් අනතුරුවත් එය තිබිය යුතුයි. කඳවුරු දෙකේ අපේක්ෂකයෝ දෙන්නගේ අතීත වාර්තාවන් සහ වර්තමානයේ හැසිරෙන ආකාරය බලලා අපේ අයිතීන් ආරක්ෂා වෙන්න පුළුවන් සමාජයක් අනාගත පරපුරට උරුම කරන්න කියලා ඉල්ලා සිටිනවා.