පරිසරයට සිදුවී තිබෙන හානිය ටෙලිවිෂන් වැඩසටහන්වලින් විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි


ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරන ඔහු පරිසරයේ අසිරිය සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම පසක් කිරීම උදෙසා සිදු කළ සන්නිවේදන කාර්යය සුළුපටු නොවේ. වාර්තා වැඩසටහන් නිෂ්පාදනයේදී පරිසරය සම්බන්ධ වැඩසටහන් සඳහා පුළුල් අවකාශයක් ලබාදුන් ඔහු, ශ්‍රි ලංකා ජාතික ජායාරූප කලා සංගමයේ සභාපතිවරයා සේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක කංචන මාරසිංහ ය. මේ කතාබහ ඔහු සමගිනි. මෙම සටහන සමග පළවන වනජීවී ඡායාරූප ඔහුගේ ඡායාරූප එකතුවෙන් ලබාගත් ඒවා වීමද විශේෂය.


ඔබ මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය තුළ  කටයුතු කිරීමේදී පරිසරය සම්බන්ධ වැඩසටහන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න යොමු වුණේ ඇයි?

මුලින්ම මම ඡායාරූප ශිල්පියෙක් ලෙස පරිසරය ගැන අධ්‍යනයේ යෙදෙමින් වැඩකටයුතු  කළ කෙනෙක්. ඒ ඡායාරූපකරණයත් එක්ක පරිසරය ගැන ඇල්මකින්, ආදරයකින් කටයුතු කරන්න මට පුළුවන් වුණා. මම ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ පසු වාර්තා වැඩසටහන්වලට එහි ලොකු ඉඩක් වෙන්ව තිබුණා. මගේ සේවා ස්ථානය බවට පත්වුණෙත් වාර්තා වැඩසටහන් ඒකකය. ඒ නිසාම පරිසරයට අදාළ විෂයයන් එක්ක, වාර්තා වැඩසටහන් එක්ක කටයුතු කරන්න හැකි වුණා. ඡායාරූප ශිල්පියෙක් ලෙස පරිසරයට කළ ආදරයයි, කැමැත්තයි නිසා ස්වභාවිකවම ඒ දේවල්වලට යොමු වුණා කියලත් කියන්න පුළුවන්.

ලංකාවේ රූපවාහිනී ප්‍රේක්‍ෂකාගාරය තුළ වාර්තා වැඩසටහන්වලට ලොකු ඉඩක් නැහැ. ඔබට මේ කාරණා සන්නිවේදනය කරන්න සිදු වෙන්නේ ඒ රූපවාහිනී ප්‍රේක්‍ෂකාගාරයට?

ලංකාවේ වගේම ලෝකයෙත් වාර්තා වැඩසටහන් නරඹන ප්‍රේක්‍ෂකයන් ගොඩක් නැහැ තමයි. නමුත්  ලෝකයේ සමහර රටවල ඒ වෙනුවෙන් වෙන් වූ නාළිකා තිබෙනවා. ලංකාවේ ගත්තොත් ඒ තත්ත්වය ඊටත් වඩා වෙනස්. මේ වෙන කොට ලංකාවේ නාළිකා විසින්ම රූපවාහිනී ප්‍රේක්‍ෂකයා යොමුකරලා තියෙන්නේ හුදු විනෝදාස්වාදය පදනම් වූ වැඩසටහන් නරඹන්න. එහිත් උසස් විනෝදාස්වාදයකටත් වඩා අවරගණයේ විදේශීය නාට්‍යයක් නරඹන්න. එවැනි නාට්‍යය තමයි විකාශය කරන්නෙත්. එවැනි ප්‍රේක්‍ෂකාගාරයක් තමයි අද නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවේ වාර්තා වැඩසටහන්වලට ඒ ප්‍රේක්‍ෂකාගාරය නැහැ. නමුත් අනෙක් නාළිකාවලට සාපේක්‍ෂව ගත්තොත් ජාතික රූපවාහිනිය වාර්තා වැඩසටහන් සඳහා අතීතයේ සිට මේ දක්වා සැලකිය යුතු අවධානයක් යොමුකරලා තියෙනවා. මම හිතනවා ඒ ප්‍රේක්‍ෂකාගාරය කුඩා වුණත් වැඩසටහන් නැරඹීම සඳහා එකතු වෙලා ඉන්න ප්‍රේක්‍ෂකාගාරය රටකට හරි වැදගත් කියලා. යම්කිසි මතයක් තිබෙන, හැදෑරීමක් තියෙන, අධ්‍යයනයක් තියෙන ප්‍රේක්‍ෂකයො තමයි වාර්තා වැඩසටහන් එක්ක වැඩිපුර ඉන්නේ. රටකට වැදගත් වෙන්නේ එහෙම කතිකාවක් තිබෙන පුද්ගලයන් අතර මේ කාරණා සන්නිවේදනය කිරීම.

ලෝකයේ අනෙක් රටවල වාර්තා වැඩසටහන් හදන්නේ ටෙලිවිෂන් එකට විතරක් නෙමෙයි. ඒවා තියටර්වලත් ප්‍රදර්ශනය කරනවා. විශාල ප්‍රේක්‍ෂකයන් ප්‍රමාණයක් මේ වැඩසටහන් නරඹනවා සේම විශාල අාදායමකුත් ලැබෙනවා. මේ නැරඹීමෙන් පසුව තමයි එය ටෙලිවිෂනයේ විකාශය වෙන්නේ. ලංකාවේ එවැනි සංස්කෘතියක් බිහිවෙලා නැහැ. ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කරලා තිරගත කිරීමේ සම්ප්‍රදායක් ලංකාව තුළ නැහැ. අපි අපට පුළුවන් විදිහට මෙය කරනවා. එක් වැඩසටහනක් පමණක් විකාශය වෙලා ඉන් පසුව එය දකින්නවත් ලැබෙන්නේ නැහැ තමයි. සමහර අවස්ථාවල ඩී.වී.ඩී. ලෙස වෙළෙඳ පොළට යොමුවෙනවා. ඔබ කියූ කාරණාව හරි. වාර්තා වැඩසටහනක් බලලා එකපාර ඉවත් කරන කාරණයට වැඩිය මේ හරහා සමාජ කතිකාවක් ගොඩනගන්න පුළුවන් නම් තමයි වඩා වටින්නේ. ඒ ඉඩකඩ අප විසින්ම හදාගත යුතුයි. නමුත් ලංකාවේ ඔබ කියූ ලෙස පුළුල් ඉඩකඩක් ඒ වෙනුවෙන් නිර්මාණය වෙලා නැහැ කියන අදහස තමයි මටත් තියෙන්නේ.

පොලිතින් සම්බන්ධ කාරණාවේදීත් ඔබ විශාල මැදිහත්වීමකින්  සන්නිවේදන කටයුතු සිදු කළා. නමුත් ඒ කතිකාව වැඩසටහනට පමණක් සීමා වුණා කිව්වොත්?

වැඩිම පරිසර හානි පොලිතින්, ප්ලාස්ටික් නිසා සිදු වෙනවා කියන දේ ලෝකයම හඳුනා ගෙන තිබෙනවා. පරිභෝජනවාදී සමාජ රටාව තුළ පොලිතින් ප්‍රධාන රෝල් එකක් ඇක්ට් කරනවා. අපි සුපර්මාකට් එකකට ගියත්, කොහේ ගියත් භාණ්ඩ පහක් ගේනවා නම්, පොලිතින් මලු පහකට ගේන තත්ත්වයක්නෙ ඇතිවෙලා  තියෙන්නේ. පොලිතින් දිරන්නේ නැහැ. පරිසරයේ සංයුතිය වෙනස් කරනවා. මේක ඉතා බරපතළ විදියට බලපාන ප්‍රශ්නයක්. ඒ ගැන අපි කතා කළා. ලංකාවත් මෙය හඳුනා ගත්තා. ඊට යම්යම් ප්‍රතිකර්ම යොදන්න උත්සාහ කළා මතක ඇති. වරක් පොලිතින් කවර නොමිලේ ලබාදීම  තහනම් කළා. නමුත් උසාවි නියෝගයක් මත නැවත එය නොමිලේ දෙන්න සිදු වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ පොලිතින්වල ඝනකම යම් ප්‍රමාණයක් සඳහන් කළත්, එය නීතියක් ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. රටක් වුණාම නීති ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ නීති හැදුවට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. පසුගිය වසරේ සිට මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් ඝනත්වයෙන් වැඩි පොලිතින් තහනම් කර ඝනත්වයෙන් අඩු පොලිතින් භාවිත කරන්න කියලා සඳහන් කළා. ඉතා ව්‍යසනයක් වෙලා තිබුණු ලන්ච්ෂීට් තහනම් කරලා එයට දිරාපත් වන ලන්ච්ෂීට් භාවිත කරන්න කියලා ඔවුන් කිව්වා. රිජිෆෝම් ලන්ච් බොක්ස් සම්පූර්ණයෙන් තහනම් කළා. නීති ගෙන ඒම යම්තාක් සාධනීය තත්ත්වයක් ලෙස මම දකිනවා. නමුත් මේ පවතින වාණිජ ආර්ථිකයත් සමග ව්‍යාපාරිකයාට රටේ අනාගතයට මේ වන හානියට වඩා වැදගත් වෙන්නේ මුදල්. ඒ නිසා පොලිතින් ව්‍යාපාරිකයන් ඒ ගනු ලැබූ තීරණවලට විරුද්ධව ලොකු විරෝධතා පැවැත්වුවා. ඒ පුද්ගලයන්ගේ අනාගතය හෝ කර්මාන්ත, ව්‍යාපාරවලට වෙනත් වැඩපිළිවෙළක් සකසමින් රටේ හානිය වළක්වා ගැනීමෙන් අදාළ පාර්ශ්ව කටයුතු  කළ යුතුයි. නමුත් ඔවුන් සීමිත ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයක් වෙනුවෙන් රටක පරිසරය විනාශ වෙන්න දී බලා සිටිනවා කියන දේ පිළිගත හැක්කක් නෙමෙයි. ඒ නීති ගෙනාවත් අද සිදු වෙන්නේ මොකක්ද?

අද නිෂ්පාදකයන්ට තහනම් කළ පොලිතින් අදටත් නිෂ්පාදනය කරනවා. ඔවුන් වැටලීම් කළත් එයින් වළකින්නේ නැහැ. උසාවියට යොමුකළත් සුළු දඩයක් ගෙවා පැමිණ නැවත ඒ ව්‍යාපාරයේ නියැළෙනවා. ශත 35ට, ශත 40ට පැවැති ලන්ච්ෂීට් එක බයෝගෙඩ් වන විට 2.50, 3 වැනි මුදලක් යනවා කියා සඳහන් කර  අද වන විට පරණ ලන්ච්ෂීට් එකම ඒ ගාණට විකුණනවා. මේ සම්බන්ධයෙන් නීතියක් හැදිලා නැහැ. මිනිසුන් හිතන් ඉන්නේ දැන් වෙළෙඳ පොළේ තිබෙන පොලිතිත් මල්ල දිරනවා කියලා. එහෙම එකක් නැහැ. අපි කියනවා වනඅලින් කියන්නේ රටේ සම්පතක් කියලා. තාමත් සමහර මිනිස්සු කුණු ගිහින් දාන්නේ කැලේට. පොලිතින් තමන්ගේ ගුද මාර්ගයේ හිරවෙලා මැරුණ අලි කීදෙනෙක් ගැන වාර්තා වුණාද? මියගිය සමහර සතුන්ගේ කුස තුළ පොලිතින් කොතරම් තිබුණද? අපේ රටේ එහෙම වුණත් ලෝකයේ ඒ කුණු පරිසරයට යොමු කරන්නේ සතා සිවුපාවට හානි නොවන ලෙස. අපි එහෙම මුකුත් කරන්නෙ නැහැ. ස්වාභාවික පරිසරයට ගිහින් කුණු කඳු පිටින් ගොඩ ගහනවා.එහෙම කුණු ගොඩගහලා සිදු වූ විනාශයන් පසුගිය කාලයේ අපි අත්වින්දා. 

මීට අවුරුදු ගණනකට පෙර මිනිසුන්ගේ ජීවිතේම කොටසක් බවට පරිසරය පත්වෙලා තිබුණා. නමුත් අද වන විට විනාශය අත්දකිනකම් ඒ ගැන දැනුවත් නැහැ. මේ සිදුව තිබෙන විපර්යාසය කොහොමද දකින්නේ?
පරිසරයට සිදුවී තිබෙන හානිය ටෙලිවිෂන් වැඩසටහන්වලින් විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පුළුල් සමාජීය ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට එය ලෝකය පුරා භෞතික සංවර්ධනයත් එක්ක ඇතිවන ප්‍රශ්නයක්. ලංකාවේ අසූව දශකයෙන් පස්සේ තමයි අපි වැඩිපුරම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ. අසූව දශකයෙන් පසු ලංකාව ශීඝ්‍ර සංවර්ධනයකට යොමු වුණා. සංවර්ධනයේ අනිත් පැත්ත තමයි පරිසර විනාශය. පරිසරය ඉතා හොඳින් තිබෙන වෙලාවක පරිසරය විනාශ වුණොත් මොකද වෙන්නේ කියලා කාටවත් දැක්මක් නැහැ. ඒ ගැන ලෝකයේ හැදෑරීම් තිබුණත් අපට අවශ්‍ය අද පේන සංවර්ධනය මිසක් තවත් අවුරුදු විස්සකින්, තිහකින් වන විනාශය දෙස බැලීම නෙමෙයි. මෙවැනි රටවල සංවර්ධනය සිදු වෙන්නේ එහෙමනේ. අද පරිසර විනාශ වී අපේ ඔළුවට කඩා වැටෙද්දි තමයි අපි හිතන්නේ අපි කළ දේ නිසා පෙරළා පරිසරය අපට පහර දෙනවා, දැන් අපි බේරෙන්න මොකක්ද කරන්නේ කියලා. තවමත් තියෙන්නේ ආත්මාර්ථය. මීතොටමුල්ල ඔළුවට කඩාවැටුණු නිසා තමයි අපි කසළ කළමනාකරණයට ව්‍යාපෘති හදන්නේ. නැත්තම් තාම කරන්නේ කුණු ගොඩගහන එක. ඒක අපේ තියෙන ආත්මාර්ථය. මේක අපට වන හානිය වළක්වා ගන්න කරන වැඩක් විදියට තමයි මම දකින්නේ. එහෙම නැතුව ඔබ කියන පරිදි අතීතයේ මිනිසුන් ස්වාභාවික පරිසරය එක්ක ජීවත් වූ විදියට දැන් ජීවත් වෙන්න හදන එක නෙමෙයි මේ වෙන්නේ. අතීතයේ මිනිස්සු පරිසරය පාවිච්චි කරන්නේ පරිසරයට අවම හානියක් කරමින්. එහෙම වුණාම පෙරළා පරිසරය අපට පහර දෙන තැනක නැහැ. අද රට වටේ තිබෙන මුහුද බලන්න. එය බරපතළ විදියට අපවිත්‍ර කරන රටක් බවට අපි පත්වෙලා. එහි ප්‍රතිඵල දැන් අපට ලැබෙනවා. කොරල් විනාශ වෙලා, මත්ස්‍ය සම්පත විනාශ වෙලා. රට මැද කරන මේ විනාශය ගංගා සියල්ල හරහා යන්නේ මුහුදට. මුහුද කියන්නේ ඕන කුණුගොඩක් දාන්න පුළුවන් තැනක් නෙමෙයි. අසූව දශකයෙන් පසු සිදු වූ ශීඝ්‍ර සංවර්ධනයට ඉතා බරපතළ ලෙස ගංගාවලින් වැලි ගත්තා. ඒ වැලි ගැනීමේ අතුරුවිපාකය තමයි වෙරළ ඛාදනය. ග‍ඟේ වැලි තමයි වෙරළට යන්නෙ. අපි වෙරළ ආරක්‍ෂා කරන්න ඕන නම්, ගඟ ආරක්‍ෂා කරන්න ඕන. අද වැලි සම්පත වෙනුවෙන් මිනීමරා ගන්න තැනට පත්වෙලා තියෙනවා. එය මැණික් හා සමවෙලා තියෙනවා. මෙවැනි අදූරදර්ශීකම් නිසා තමයි මෙය අත්විඳින්න වෙලා තියෙන්නෙ.

මාධ්‍යවේදියෙකු ලෙස ඔබ පරිසරය සම්බන්ධ කරණාවලට මැදිහත්වුවත් ඉන් ලද ප්‍රගතිය ගැන තෘප්තියක් නැද්ද?

මම මේ වන විට පරිසරයට ඉතා සංවේදී පුද්ගලයෙක්. රටක් ලෙස ගත්තොත් අපි ඉන්නේ හොඳ තැනක නෙමෙයි. අපි කවුරුත් අපට හැකි ප්‍රමාණයෙන් හෝ මැදිහත්වීම වැදගත්නේ. අද අපි මැදිහත් නොවී හිටියොත් හෙට දවස තවත් කනගාටුදායක වෙනවානේ. අද අපි මැදිහත්වීමේදී මාරයි කියන්න දෙයක් නැතිවෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේ මේ සන්නිවේදනයට බිහිවෙන පුද්ගලයො ඉන්නවා. අසූව දශකයෙන් පසුව ඇතිවූ කනගාටුදායක තත්ත්වයක් වුණත්, මේ වන විට මේ පරම්පරාව පරිසරය ගැන හිතන්න පෙලඹිලා තියෙනවා. මුහුද ගැන අධ්‍යාපන විෂයධාරාවේවත් නැහැ. නමුත් මුහුද රටකට කෙතරම් වැදගත්ද? අධ්‍යාපන විෂයධාරා හදන අයගේ මාතෘකාවක්වත් වෙලා නැහැනේ. නමුත් දැන් ටිකෙන් ටික මේ දේවල් ගැන කතා කරනවා. සමුද්‍ර ආරක්‍ෂණය ඇතුළත්ව පාසල් විෂයධාරාවටත් එක්වෙන්න සැලසුම් හදලා තියෙනවා. මම කතා කළ දේවල් එක්ක මම හිතපු දේ සිදු වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේ තව කෙනෙකුට ඇහැ අරින්න, රට මේ පවතින කනගාටුදායක තත්ත්වයෙන් මුදවා ගන්න එක් කෙනෙකු හෝ  පෙලඹෙන්න අපි හරි යමක් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

නිදුක් මදුෂික



Recommended Articles