පරිසරයට ආදරය කළ අපේ උරුමයක රසඥතාව


පරිසරය සමග බැඳුණු අපේකම, අපේ උරුමය සහ අපේ අනන්‍යතාව මේ වනවිට නැවත ජනතා සංවාදයට විවෘත වූ කතාබහකි. එහිලා අප දැනුවත් කරමින් අපේකම පිළිබඳ මතකය අවදි කළ මහනුවර ජාතික කෞතුකාගාරයේ අධිකාරී කේ.ඩී.වී. චන්දිමාල් මහතාට සවන් දෙමු.


 විද්‍යාත්මක පසුබිම

මේ මැටිපිඩ ගැන නැවත හිතමු. මෙයින් කර ඇති නිර්මාණ මොනවාද? එහෙමනම්, මා පළමුව ඔබට මේ පණිවුඩය දෙන්නම්. යම් දෙයක් නිර්මාණය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය, %මාධ්‍ය^ ලෙස අප හඳුන්වනවා.
මම ඔබට තවත් විද්‍යාත්මක සාධකයක් පෙන්වා දෙන්නම්. ඒ ඒ නිර්මාණ මගින් ඒ ඒ සමාජයන්හි, ඒ කියන්නේ මේ  කෞතුකාගාරය තුළදී නම් එකල පැවැති කාලීන සමාජ ප්‍රවෘත්ති උපයෝගී කර ගනිමින් කලා රසඥතාව ඇති පුද්ගලයන් විසින් මේවා නිර්මාණය කර සමාජයට පරිත්‍යාග කර තිබෙනවා.

එවැනි යම් භාණ්ඩයකින් ඔබ කුමක්දැයි හෝ ඔබ කවරෙක් දැයි යනුවෙන් නැවත විමසනවා. මැටි වළඳකින් ඔබ එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් එයට දෙන පිළිතුර අවධාරණය කරමු. එහිදී මතු කරුණු සම්බන්ධයෙන් පහත පිළිතුරු ලැබෙනු ඇත. මෙන්න මගේ තාක්‍ෂණික දක්‍ෂතාව. ආ මෙන්න මගේ උපයෝගිතාව. මෙන්න මගේ ඵලදායිතාව^  යනුවෙන්, මේ භාණ්ඩය අපට සමාජයීය වශයෙන් සිදු වන දිගු ක්‍රියාදාමයක් සිහිපත් කර දෙයි.

ඒ තුළ තියෙන්නේ මොනවාද?

ඒ තුළ අපේ උරුමයන් තියෙනවා. අපේකම එහි හැමතැනම විදහා දැක්වෙනවා. අපේ සදාචාරය ගැන කතාවකුත් ඒ තුළ කියැවෙනවා. ආරක්‍ෂාව ගැන යමෙකුත් එහි තියෙනවා. පරිසරයට හිතකාරි බව එහි තවත් වැදගත් අංගයක්. ඒ සමගම භාණ්ඩය සමග ඇතිකර ගත් %මමායනය^ ගැනත් පැවසේවි. ඇයි ඒ විතරක්ද අපි කතා කරන ඉල්ලුමට ඇති සැපයුම වැනිදේත් මේ නිර්මාණ තුළ ගැබ්ව ඇතැයි  කෞතුකාගාරයක තැම්පත් කර ඇති දේ නිරීක්‍ෂණය කරන ඔබ සිතුවාද?
ඒ මෙම නිර්මාණයන්හි පවතින විද්‍යාත්මක චින්තනය කිව්වොත් වඩා නිවැරදියි. මෙම චින්තනය නිදහස් මනසින් බුද්ධිමත්ව තාර්කික පදනමක් තුළ විඳ ගැනීම කෞතුකාගාරයට එන අයගේ වගකීමක්.
මේ භාණ්ඩ නමැති අපේ උරුමය දැවමය, ශෛලමය, මැටි ආදී වශයෙන් රාජ සභාවක හෝ ජනසමාජයේ තිබිය යුතු දේ විදහා දැක්වෙනවා. ඒ නිර්මාණ කුසලතාව විදහා දැක්වීමට අපූර්ව රසඥතාවක් යම් පුද්ගලයෙකුට තිබිය යුතුයි.

 පරිසරය සමග බැඳුණු රසඥතාව

එතැනදී කලා රසඥතාව තිබුණාට පමණක් මදි. ව්‍යුත්පත්ති ඥානය යන උපතින්ම එන ඥානයත් එයට තිබිය යුතුයි. අපි උපදින විට යමක් අරගෙන එනවා. මේ රැගෙන  ඒම තුළ මම කියන ඒ රසඥතාව තියෙනවා. එය තවත් ඔපමට්ටම් කර ගනිමින් වැඩිදියුණු කිරීමත්, එය ජන සමාජයේ යහපත, සුභසාධනය සහ යහපත් පරසරයක් වෙනුවෙන් නිර්මාණය කිරීම සමාජ හිතකාමී මිනිසුන්ගේ මෙහෙවරක් බව කිව යුතුයි. ඒ බව අපේ හෙළ ගැමියා මෙයට වසර සිය ගණනකට පෙර සිට මැනවින් පසක් කරගෙන තිබුණා. ඒ අය උසස් අධ්‍යාපනයක් නොලැබුවද, මේ මහපොළොව මත පයගැසූ තැන් පටන් ඒ රසඥතාව වැඩිදියුණු කර ගන්නවා.
මෙම චින්ත්නය නිර්මාණශීලී බව ලෙස අප සරලව කතා කරනවා. ඒ නිර්මාණාත්මක අප සෞන්දර්යවාදීන් බවට පත්වෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව වශයෙන් අප විවිධ දේ ගැන අද කතා කළත් මේ හැම දේකටම විද්‍යාවක් තිබෙනවා.

අදින් වසර එක්ලක්‍ෂ විසිපන්දහසකට පෙර සිට එදාමෙදාතුර විවිධ සාක්‍ෂි තිබෙනවා. එහිදී ක්‍රි.පූ. 03 වැනි සියවස දක්වා වන දේ ලිඛිත සාක්‍ෂි ලෙස පිළිගන්නවා. එයට පෙර ඒවා අලිඛිත සාක්‍ෂි ලෙස දැක්වෙනවා.
අද මිනිසා  භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව වශයෙන් විද්‍යාවන් ගැන වෙන් කළත් එදා ගැමියාට මේ හැමදෙයක්ම ඔවුන්ගේ නිර්මාණශීලී රසඥතාව තුළ ගැබ්ව තිබුණා. ඔවුන්ට කාලීන ප්‍රවෘත්ති හඳුනා ගත් හොඳ විඥානයක් තිබුණා.

මහාවංශයේ වීහි රාගී සදිසො මහා රාජධි යැයි දක්වනවා. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමග ද්විත්ව කතිකාවතක් සිදු වුණා. මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියෙන් අඹ ප්‍රශ්නය ගත්තා. එයද පරිසරය ඇසුරෙන් පරීසරක සාධක සමග ගත් න්‍යායක්. දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු හිමියන් පැවසුවේ, මහරජ මේ රටේ සිටින්නේ කෘෂිකාර්මික පදනමක් ඇති පිරිසක්. ඒ අය වී ඇටයක ගුණසුවඳ මැනවින් දන්නවා. ඒ නිසා බැතක් හෙවත් වී ගොඩක් ලෙස චෛත්‍ය ඉදිකරන්න. ථූපාරාමය ඉදිවෙන්නේ එවැනි අදහසකින්.

ඒ නිසා දාගැබ ජනතාවට වඩාත් සමීප දෙයක් වුණා. පරිසර සංරක්‍ෂණය, කෘෂිකාර්මික පදනම මෙහි තේමාව වුණා. නමුත් අද වනවිට මේ හෙළ කෘෂිකාර්මික සංකල්පයට වසවිස රසායනික එකතු කර එය විනාශ කරවන තැනට යමින් පරිසරයට හානි කරගෙන  තිබෙනවා. එහෙම නම් අපි අපේ උරුමය තුළින් ඒ රසඥතාව සහ නිර්මාණයන් පරිසරය ඇසුරු කළ සම්පත් මගින් සකස් කර ගත්අයුරු විමසමු.

 බෝගාව 

මෙය අලුත් පරපුර සමහර විට නොදන්නවා විය නොහැකියි. මෙය ගොවිතැන් කටයුතු සමග පරිසරයේ පැවැත්ම තහවුරු කරන අපූර්වතම නිර්මාණයක්. කුඹුරේ වල්පැළ නෙළන විටත්, පැළ සිටුවන විටත් මෙය භාවිත කළා. පෙනුමෙන් කුල්ලක් හැඩය ගත් මෙය ප්‍රමාණයෙන් දෙදණ හිසෙන් මදක් පහළට දිගයි.

බෝගාව නිර්මාණය වෙන්නේ මීමන ශාක කුලයට අයත් බේදුරු කියන කොළවලින්. එය වර්ග දෙකක් තියෙනවා. එකක් කොළ පාටයි. අනෙක් වර්ගය දුඹුරු පාටයි. දුඹුරු පත්‍ර මගින් ප්‍රභාසංස්ලේෂණය සිදුවෙන්නේ නැහැ. හොඳින් සූර්යාලෝකයට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. සූර්යාලෝකය පරාවර්තනය වෙනවා. ඒ නිසා දැඩි හිරු රශ්මියට සුදුසුයි. එහි පත්‍ර මත ඉටි ගතියක් ස්වභාවයෙන්ම නිෂ්පාදනය වී තිබෙනවා. ඒ නිසා වැසි ජලය ලිස්සා යනවා. මෙය සරල සමාජයට වඩා පහසු ගුණාත්මක ආකාරයෙන් පමණක් නෙවෙයි. එයින් සිදුවන පාරීසරික මෙහෙවර හෝ උද්භිද විද්‍යාත්මක දැනුම එදා ගොවියා විශ්වවිද්‍යාලයකින් ලබාගත් දැනුම තරම්ම පුද්ගලයාටත්, පරිසරයටත් අනුබලයක් වුණා.

 සොකඩය

ඔබ සොකඩය ගැන දන්නවාද? එය ඇතැමුන්ට අලුත් යමක් විය හැකියි. මෙය සන්නිවේදන උපකරණයක්. කෘෂිකාර්මික සමාජයේ කටයුතු කරන්න මෙය අනුබලයක් සප්න අපූර්වතම අදහසක්. එදා කෘෂිකාර්මික සමාජයේ වැඩිදෙනෙකුට විශාල ගව සමූහයක් සිටියා. ඔවුන් තණබිම්වලට යැවීමේදී එම සතුන් පාලනය සහ කළමනාකරණය අවශ්‍ය දෙයක්. ගවරැල සිටින තැන සිදුවන දේ වගේම නියමිත සීමාමායිම ඉක්මවා ගොස් ඇති බව තීරණය කිරීමට මෙම සන්නිවේදන උපකරණය අනුබලයක් වුණා.

ඒ කොහොමද? පරිසරයේ හමුවන මියගිය සතෙකුගේ ඇටකැබලි දෙකක් එකට ගැට ගැසීමෙන් මුල් අවස්ථාවේ සාදා ගත් සොකඩය එම ගව සමූහයේ නායක ගවයාගේ බෙල්ලේ එල්ලනවා. එය සතා තණකොළ උලාකන හැම වාරයක් පාසා සෙලවී නාදයක් ඇති වෙනවා. එයින් මම කලින් කී දුර සීමාවන් පවා ගොපල්ලා දුරක සිට වුවද තීරණය කරනවා.

පසුකාලීනව ඒ සඳහා ලී කැබැල්ලක් සිදුරු කර ඇටකැබලි දෙකක් එල්ලුවා. එතැනදී ධ්වනිය, ඒ කියන්නේ දෝංකාරය ඇති කරවන ලී වර්ග තෝරා ගැනීමට ගැමියා බුද්ධිමත් වුණා. ඒ සඳහා මිල්ල, බුරුත, කොහොඹ වැනි වියළි කලාපයේ සුලභ ගස්වල ලෑලිකෑලි යොදා ගත්තා. ඔවුන්ට පරිසරයේ දැව සහ ඒවායෙන් හඬක් නිකුත් කර ගැනීමේ දැනුම තිබුණා. ඒ ඔවුන් ඒ තරමටම පරිසරය සමග සම්බන්ධතාවක් තිබුණු නිසයි.
ඒ හඬ මතුකර ගැනීමට නම්, ඒ ලෑල්ලේ පවතින ජල ප්‍රමාණය ඉවත් විය යුතු බව එදා ගැමියා තේරුම් ගත්තා. එහිදී පදම් කිරීමේ නූතන තාක්‍ෂණය ජලය ඉවත් කිරීමේ ක්‍රමවේදය ලෙස එදා ඔවුන් හඳුනා ගෙන සිටියා.
තවත් දෙයක් කිව යුතුයි. එදා ලෝහ භාවිත කරමින් එවැනි දේ නිර්මාණය කිරීමට ගැමියා එතරම් උනන්දු වුණේ නැහැ. අකුණු වැඩියෙන්ම බලපෑම් ඇති කරන්නේ එළිමහන් තැන්වලට සහ ලෝහමය වැනි දේට බව ගැමියා තේරුම් ගෙන සිටියා. එ් නිසා ඔවුන් ගවයන්ගේ සොකඩයට එවැනි ලෝහවර්ග සම්බන්ධ කළේ නැහැ. නමුත් එවැනි නිර්මාණත් තිබෙනවා. නිර්මාණය සහ දැනුම වෙනුවෙන් ඔවුන් ඒ තරමට පරිසරය සමග බැඳී සිටියා.
සොකඩ වර්ග කිහිපයක් තිබෙනවා. මීගවයන්ට එල්ලන්නේ %මී සොකඩය^යි. ගොනුන්ට %ගොන් සොකඩය^ එල්ලනවා. අලින්ට %අලි සොකඩය^ ලෙසත් ඒවා හඳුන්වනවා.

 මැටි කර්මාන්තය

මැටි මුට්ටි බලන්න. පරිසරය හැමවිටම උපයෝගිතාව ඉල්ලා සිටිනවා. ඔබ මැටි වළං කර්මාන්තයේ යොදා ගන්නා %සකපෝරුව^ ගැන අසා ඇති. එය අතින් කරවන සරල යන්ත්‍රයක් වුවත්, එයින් මහපොළවේ මැටි කුට්ටියකට ලබාදී ඇති විශ්මිත නිර්මාණය ගැන සිතන්න.

එදා විජය රජු ගෙනා ආහාර පිසීමට කුවේණිය කටයුතු කළ බව ක්‍රි.පූ. 03 වැනි සියවසේ තොරතුරු සපයනවා. ඒ කියන්නේ එදත් මැටි මුට්ටි වළං කර්මාන්තය තිබුණා. කු‍වේණිය රෙදි වියමින් සිටියා නම්, චරකය සහ කපුනූල් කෙටීමේ තාක්‍ෂණය තිබී තියෙනවා. ඒ දැනුම තුළ ඔවුන් පරිසරයේ සම්පත් අමුද්‍රව්‍ය සමග නිමි භාණ්ඩ සපයාගෙන තිබෙනවා. එසේ ඔවුන් පරිසරය සමග ගනුදෙනු කර තිබෙනවා.
බැලූබැල්මට එහි නිර්මාණශීලීත්වය ගැන අප හිතනවා. එහි ගෙන යා හැක්කේ මොනවාද කියන දේ අදාළ වෙන්නේ නැහැ. කළයක් ජලය මෙන්ම පැණි ගෙන යෑමට වුවද පාවිච්චි කළ හැකියි. ඔහු එතැනදී එහි උපයෝගිතාව ගැන හිතනවා. ජනතාව ඒවා භාවිතයට ගන්නවා. 

මැටි යනු අර්ධ පාරගම්‍ය පටලයක්. මෙහි කුඩා සිදුරු තුළින් මේ ජලය පහළට ගමන් කරනවා. සිදුරු හරහා ජලය පහළට ගමන් කිරීමේදී වාතය සමග ගැටෙනවා. වාතය සමග ගැටීමේදී ජලය වාෂ්ප වීමේ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. එහි රැඳි ගුප්ත තාපය නිසා ජලය මෘදු සීතල බවට පත් වෙනවා.

කළයක් නිර්මාණය කිරීමේදී එය මිනිස් උකුළක හැඩය ගත්තා. එහිදී ලලනාවකගේ උකුළ යම් රසඥාතාවක් නිර්මාණය කරමින් එයත් පරිසරයට එකතු වූ තවත් අපූරු සුන්දරත්වයක් නොවේදැයි අපට සිතේ. 

 බරණිය

ප්‍රභූවරුන්ගේ සුසාන ද්‍රව්‍ය හෙවත් භෂ්මාවශේෂ තැම්පත් කිරීමටත්, මැටි භාජන විශේෂයක් භාවිත කළා. %බරණිය^ යනුවෙන්ද හඳුන්වන මෙය කුම්භීය නිකණනය යනුවෙන්  දැක්වෙනවා. කුම්භ යනු කළයයි. නිකණ යනු වළදැමීමයි. විශාල බරණිද හමුවී තිබෙනවා. ඒවායේ තිබී හමුවූ මිනිස් සිරුරු වකුටු වී රවුමට නවන ලද ඒවා බව සොයා ගෙන තිබෙනවා. ඒ මවුකුසේ සිටි ආකාරයෙන්ම මියගිය පසුත් ඒ පුද්ගලයාගේ සිරුරු තැම්පත් කිරීමෙන් උපත, විපත ස්මරණය කිරීමක්. එයින් විශාල ඉඩකඩක් ඉතිරි කර ගනිමින් පරිසරයට අලාභයක් නොවන පරිදි ඒ කටයුතු සිදුව තිබෙනවා.

මැටි භාණ්ඩ සැලකීමේදී තවදුරටත්  ඌරාකැටය, පිළිහැලි, ස්වර්ණාභරණ මංජුසා, බුම්මැඩිය, මධ්‍යසාර පෙරා ගන්නා ලද මුට්ටි විශේෂ, නුවර සමයේ අපූර්වත්වය මෙන්ම  කලාත්මක අගය දනවන නිර්මාණ කිහිපයක්.

 උඩහල්ල

උඩහල්ල යනු අපේ ස්වාභාවික පරිසරය තුළින් අපේ ආහාර රැස්කර තබා ගැනීමට යොදා ගත් ක්‍රමයක්. එතැනදී ඔවුන් එය වැල්පට හෝ වේවැල් මගින් තට්ටු වශයෙන් යොදා ගනිමින් සකස් කර ගත්තා. එයින් මනා ගබඩාකරණයක් සහ සැලසුම්කරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබුණු කළමනාකරණ කුසලතාව තහවුරු කළා.
උඩහල්ල වැල්පට තුන බැගින් එකිනෙක පටලවා ඉහළට තට්ටු වශයෙන් වේවැල් වට්ටි වැනි තට්ටු යොදා සකස් කර ගනිමින් නිර්මාණය කර ගත්තා. එහි පොල්බෑය, කරවල,  පැණි වර්ග වැනි දේ තැම්පත් කළා. එහි ඒවා රැඳවීමෙන් කුහුඹුවන් වැනි කෘමි සතුන්ගෙන් රැක ගත්තා.

දුම්ගැසීමේ ක්‍රමය මුළුතැන්ගෙය තුළ දැල්වෙන ලිපෙන් ඒ අනුව ඔවුන් පිරිමසා ගත්තා. පොල්බෑය ධූමායනය මගින් පුස්වර්ග සෑදීම වළක්වා ගත්තා. ඕනෑම දුර්භික්‍ෂ සමයක ගැමියාගේ දුම්මැස්ස අතපත ගෑමෙන් කුමන හෝ දෙයක් සොයාගත හැකි බවට එදා ගැමියන් අතර කතාබහක්ද තිබුණා. අපි එතරම්ම අගහිඟකමෙන් ගත නොකළ මිනිසුන් පිරිසක් බව තහවුරු වෙනවා* යැයි කෞතුකාගාරයේ ප්‍රධානී  චමින්දලාල් කොඩිකාර මහතා පැහැදිලි කළේය. 

ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මිය මෙරට කෞතුක භාණ්ඩ විසින් පරිසර හිතකාමී දැක්ම පිළිබඳ දක්වන විග්‍රහයට සවන් දෙමු.
“අපේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව තුළ භාණ්ඩ දසදහස් ගණනාවක් තියෙනවා. ඒ හැම එකකින්ම අපි උත්සාහ කර තිබෙන්නේ අපේ ජාතියට, අපේ ජනතාවට සහ අපේ මතු පරපුරට අපේ පරිසරය යනු කුමක්දැයි ඒ භාණ්ඩ අතරින් පෙන්වාදීමටයි. ඒ යථාර්ථය හැම භාණ්ඩයක් තුළම සැඟව තිබෙනවා.

ඒ සඳහා අපි එදා භාවිත කළ උපකරණ සහ ඒවා භාවිත කළ අයුරු මෙහිදී පෙන්වා තිබෙනවා. එයින් අපි උත්සාහ කරන්නේ අපේ  කෞතුක භාණ්ඩ පරිසරය සහ මිනිසා සමග අනුබද්ධ කර ගැනීමයි.
ඔබ හිතන්න. මේ වනවිට යුරෝපය හරිත සංකල්පය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට විවිධ උත්සාහයන් දරනවා. එය යහපත් ප්‍රයත්නයක්. එහෙත් අපේ එදා උරුමයන් එකිනෙක වෙනවෙනම විමසුවොත් අද යුරෝපයට වඩා ඉදිරියෙන් එදා අපේ පැරන්නන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ තාක්‍ෂණය තුළ අන්තර්ගතව තිබුණා. එ නිසා හරිත සංකල්පය යුරෝපයට පෙර වසර දහස් ගණනාවක් තිස්සේ අපේ රටේ ගැමියා තේරුම් ගත් අපේ සංකල්පයක් බව ඔබට මේ භාණ්ඩ නිරීක්‍ෂණය කරන විට පැහැදිලි වන්නට ඇති.

මම හිතනවා අද අපේ රටේ තැන තැන යම් යම් පරිසර ගැටලු තිබෙනවා. එහෙත් මේ භාණ්ඩ එකින් එක මැනැවින් හැදෑරීම් කරන්නේ නම්, ඒ පරිසර ගැටලුවලට විසඳුම් සෙවීම අපහසු නැහැ. අපේ පැරණි ජන සමාජයේ රසඥතාවට, ඒ බුද්ධිය දැඩි බලපෑමක් කර තිබෙනවා.

ස්වාභාවික පරිසරයෙන් ස්වාභාවිකව ලැබෙන දේ සපයා ගනිමින් ස්වාභාවික පරිසරයට හානි නොකරමින් සහ ඉදිරි කාලයක හෝ ඒ නිර්මාණයන් තුළින් පරිසරයට හානියක් නොවන පරිදි නිර්මාණයන් කිරීමට අපේ උරුමයේ අපේ පැරන්නන් කටයුතු කර ඇති ආකාරය දැක අත්විඳ ඔබටත් යමක් කළ හැකි බව වටහා ගැනීමට කෞතුක වස්තු හැදෑරීම කරන ලෙස මම පරිසරයට ආදරය කරන හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.*
මේ සෑම විවරණයක් තුළම ඇත්තේ පරිසරය සමග ජීවත් වූ මිනිසා පරිසරය ඇසුරෙන් තම දෛනික ක්‍රියාකාරකම් වෙනුවෙන් පරිසරයේ සම්පත් යොදා ගත් අපූරුව දක්වන ජීවන ක්‍රියාවලියක්
බව පැහැදිලිය.



Recommended Articles