පරිසරය කියන්නේ අපේ මවු කුස මවු කුසේ පරිසරය වෙනස් කළොත් ඒක කලලයට බලපානවා


මිනිසාට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ කිසිදු පැකිලීමකින් තොරව ලබාදෙන පරිසරය ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි. පරිසරය ආරක්ෂා කිරීම කෙසේවෙතත් පරිසරය දූෂණය කරන අවස්ථා නම් අතිමහත්ය. ලංකාවේ පාරිසරක නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කතාකරන විට දක්නට ලැබෙන්නේද එවැනි තත්ත්වයකි. පරිසර නීති හඳුන්වා දුන්නද ඒවා ක්‍රියාත්මක වීම මන්දගාමී ස්වරූපයක ඇත.  එක්වරක් පමණක් භාවිතකර ඉවත දමන පොලිතින්, ප්ලාස්ටික් නිෂ්පාදන ජනවාරි 01දා සිට තහනම් කරන බවට රජය ප්‍රකාශ කළද, එම නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට අමතක වී ඇත. මෙවැනි නීති ක්‍රියාත්මක නොකිරීමේ හානිදායක තත්ත්වය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍ර දාබරේ මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

එක්වරක් පමණක් භාවිතකර ඉවත දමන පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමේ නීතිය ප්‍රමාද වීම

එක්වරක් භාවිත කරලා ඉවතදමන පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන ජනවාරි මාසයේ සිට තහනම් කරන්න රජය තීන්දුවක් ගත්තා. නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අවශ්‍ය නීතිරීති සකස් කරලා නැහැ . අවශ්‍ය ගැසට්පත්‍ර ප්‍රකාශයට පත්කරලා නැහැ. ඒ වගේම එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදනය කරන පුද්ගලයන් සහ වෙළෙඳාම් කරන පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළක් නැහැ. මොකද ඔවුන් නීතියේ රැහැනට කොටු කරගන්නට පෙර නීතිරීති සකස්කර තිබිය යුතුයි. නමුත් ඒවා මේ වනවිටත් හුදු ප්‍රකාශ බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම පොලිතින්, ප්ලාස්ටික් සම්බන්ධයෙන් 2017 වසරේ සැප්තැම්බර් 01දා ගැසට් පත්‍ර 06ක් එකවිට නිකුත් කළා. ෂොපින් බෑග්, ලන්ච් ෂීට්, මයික්‍රෝන 20ට අඩු පොලිතින් නිෂ්පාදන, උත්සව සඳහා පොලිතින් භාවිතය තහනම් කිරීම ආදිය එහි අන්තර්ගතවෙලා තිබුණා. මේවා ගැසට්පත්‍ර මගින් තහනම් කර තිබුණත්, මේ දේවල් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තවමත් සිදුවෙනවා. ඒවා තහනම් කරන්න කිසිදු වැඩපිළිවෙළක් නැහැ. දැන් අපි 2021ටත් ඇවිත් තිබෙනවා. වසර තුනක් ඉක්මවෙලාත් මේ දේවල් භාවිතයේ තිබෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. පොලිතින්, ප්ලාස්ටික් සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රමාණවත් නීති නැති අතරම තිබෙන නිතිරීති ක්‍රියාත්මක කරන්නවත් වැඩපිළිවෙළක් නැති එක ඇත්තටම කණගාටුවට කරුණක්. 2017 වසරේ නිකුත් කරපු ගැසට්පත්‍ර උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මුල්කාලයේදී සොයාබැලීම් සිදුකළත්, මේ වන විට ඒවා සිදුවෙන්නේ නැහැ.

ප්‍රායෝගික නොවන නීතී

අපේ රටේ පරිසර නීතිය ගැන කතා කරද්දි දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව ලස්සන කතන්දර කියනවා. වැලි ප්‍රවාහන බලපත්‍ර සම්බන්ධයෙන් මෑතකදී විවිධ කතාන්දර කිව්වා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වශයෙන් වැඩපිළිවෙළක් නැහැ. දේශපාලඥයන්ගේ නම්වලට වැලි කැණීම් බලපත්‍ර ලබාදෙන්නේ නැහැ කියලා පසුගියදා රජය තීන්දුවක් ගත්තා.  දේශපාලඥයෝ කැණීම් බලපත්‍ර ගන්නේ කොහොමත් ඔවුන්ගේ නම්වලින් නෙවෙයි. වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් තමයි දේශපාලඥයෝ එවැනි බලපත්‍ර ලබාගන්නේ. එවැනි දේවල් නැවැත්වීම සඳහායි වැඩකටයුතු කළ යුත්තේ. ඒ මොකද අපි දන්නවා කිසිදු දේශපාලනඥයෙක් තමන්ගේ නමින් සෘජුවම පරිසර විනාශකාරී දේවල් සිදුකිරීමට, මත්පැන් බලපත්‍ර ලබාගැනීම සිදුකරන්නේ නැහැ.

රාජ්‍ය ආයතනවලට මඟහැරෙන නීති ක්‍රියාත්මක කිරීම

ඒ වගේම අපේ රටේ පරිසරය ආරක්ෂා කිරීමට තිබෙන අණපනත්වල පොලීසියට ඇති බලතල සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට ජාතික පාරිසරික පනතේ ජල දූෂණය පස දූෂණය, වායු දූෂණය ආදී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් පොලීසියට කටයුතු කරන්න හැකියාව තිබෙන බව සඳහන් කරමින් චක්‍රලේඛ පවා නිකුත්කර තිබෙනවා. අතැම්විට ඒවා පොලීසිය දන්නෙත් නැහැ. පොලීසිය ඒවා ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. උදාහරණයක් ලෙස ගංගා, ඇළදොළ, කාණු පද්ධතිවලට කුණු දැමීමෙන් ජල දූෂණය වෙනවා. නමුත් පොලීසිය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ වගේම වැලි ප්‍රවාහන සම්බන්ධයෙන් පොලීසිය හොයා බැලුවත් නීතිවිරෝධී වැලි කැණීම් ගැන සොයා බලන්නේ නැහැ. ඒ වගේම පරිසර දූෂණය වැළැක්වීම සඳහා කටයුතු කරන්න මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය,  මේ වගේ රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. මෙවැනි රාජ්‍ය ආයතන බොහොමයක් අද වනවිට බලපත්‍ර දෙන ආයතන බවට පත්වෙලා. බලපත්‍ර ලබාදුන් පසුව ඒ බලපත්‍ර කොන්දේසි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා නිසි ආකාරයෙන් සොයා බැලීමක් සිදුවෙන්නේ නැහැ. මේ ආකාරයට පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පසු විපරම් කිරීමට සිටින රාජ්‍ය ආයතන බොහොමයක් එම කාර්යය අතපසු කරල තිබෙන්නේ. පරිසරය සම්බන්ධයෙන් නීතියෙන් බලතල තිබෙන රාජ්‍ය ආයතන වන පළාත් සභා, ප්‍රාදේශීය සභා, මහනගර සභා වැනි ආයතන තමන්ගේ කුණු අපද්‍රව්‍ය බොහෝවිට නිසි ආකාරයෙන් බැහැර කිරීමක් සිදුකරනවා කියල අපි දකින්නේ නැහැ. මේ දේවල් පළාත්පාලන ආයතනවල සිටින පුද්ගලයන්ට අයථා ලෙස මුදල් උපයා ගැනීමේ ක්‍රම බවට පත්කරගෙන තිබෙනවා. ඇතැම්විට බොහොම ආකර්ෂණීය ව්‍යාපෘති වාර්තා අනුමත කරනවා. උදාහරණයක් ලෙස කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් ගත්තොත් එය අනුමත කරනවා පමණක් නොවෙයි, එය භාරගන්න පුද්ගලයාට සල්ලිත් දෙනවා. නමුත් ඒ කසළ ගන්න පුද්ගලයා ඒ කසළ කොහේ හෝ ගෙනිහින් දානවා. ඊට පසුව වෙන්නේ ලබාදෙන මුදල් දේශපාලඥයන් අතර බෙදා ගැනීමක් තමයි. කසළ වර්ග කරලා භාරදුන්නත්, නගරසභාව මගින් ඒවා පොදුවේ බැහැර කරනවා.

මේ නිසා රාජ්‍ය ආයතන ඇතැම් විට තමන්ගේ බලතල අවභාවිත කරනවා. නැතිනම් බලතල භාවිත කරන්නේ නැහැ, නැතිනම් බලතල දන්නෙ නැහැ. මේ නිසා අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න ලොකු බාධාවක් වෙනවා.

පරිසරයට ඇති අයිතිය මානව හිමිකමක්

මිනිසුන්ට සුවදායී පරිසරයකට තිබෙන අයිතිය අපේ රටේ නීතිය මගින් පිළිඅරගෙන නැහැ. ඒක පිළිගත යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ වගේම පරිසර ගැටලු සම්බන්ධයෙන් නඩු විසඳීම සඳහා වෙනම අධිකරණ පද්ධතියක් පිහිටුවීම කළ යුතුයි. ඒ වගේම අපේ රටේ පළාත්වල පළාත් පරිසර ප්‍රඥප්ති හදාගෙන තිබෙනවා. එවැනි ප්‍රඥප්ති මේ පරිසරය ආරක්ෂා කිරීමට හේතු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව වගේ පොඩි රටක පරිසරය පළාත් 09ට අවශ්‍ය විදිහට වෙනස් කරන්න දෙන්න බැහැ. පරිසරය හැමෝටම පොදුයි. ඇතැම්විට කර්මාන්ත ශාලාවකින් එන දුම අපේ රට තුළ පමණක් නොවෙයි, ඉන් එහාටත් යන්න පුළුවන්. පළාතකට අවශ්‍ය විදිහට පරිසරය නියාමනය කරන්න අවස්ථාව දුන් විට සිදුවෙන්නේ තවදුරටත් පරිසරය දූෂණය වීමයි. අපි සිදුකළ යුත්තේ එවැනි තත්ත්ව වැළැක්වීමයි.

ඒ වගේම කුඩා කල සිට දරුවන්ට පරසර අධ්‍යාපනය ලබාදිය යුතුයි. පරිසරය කියන්නේ අපේ දෙයක්, අනුන්ගේ දෙයක් නෙවෙයි කියන සංකල්පය දරුවන්ට කියල දෙන්න අවශ්‍යයි.

විධිමත් නොවන පරිසර තක්සේරු ක්‍රියාවලිය

අපේ රටේ දැනට තිබෙන පාරිසරක තක්සේරු කිරීමේ ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදුකෙරෙන්නේ නැහැ. එය අවභාවිත වෙනවා.  බොහෝ අවස්ථාවලදී පාරිසරික බලපෑම් තක්සේරුව හෝ මූලික පාරිසරික පරීක්ෂණය සිදුකරන්න රාජ්‍ය ආයතනවලට බලතල ලබාදී තිබෙනවා. විශාල වශයෙන් පරිසර හානි සිදුවන ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතන මෙම අවභාවිතාවන් සිදුකරනවා. මේ නිසා පරිසර බලපෑම් තක්සේරුව අනිවාර්ය කළ යුතුයි. මේ නීතිය වෙන්කර හඳුන්වා දීලා නැති නිසා බොහෝ අවස්ථාවල පරිසර හානිය වැඩියෙන් සිදුවෙනවා.

පරිසරය කියන්නේ අපේ මවුකුස

අපි ඉපදෙන්න කලින් මාස 09ක් මවු කුසේ ඉන්නවා. එලෙස මවු කුසේ ඉද්දි මවු කුසේ සංයුතිය වෙනස් කළොත්, මවු කුසේ පරිසරය වෙනස් කළොත් ඒක කලලයට බලපානවා. ඇතැම්විට කලලය විකෘති වෙන්න පුළුවන්. ඇතැම්විට කලලය මිය යන්නත් පුළුවන්. මේ මාස 09න් පසුව අපි මේ ලෝකයට බිහිවෙනවා. ඒ කියන්නේ එදා සිට අපි මිය යනතුරුම අපේ මවුකුස වෙන්නේ ස්වාභාවික පරිසරය.  ඒ මවු කුසේ සංයුතිය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. මිනිසා කියන්නේ සමස්ත ජීව පද්ධතියෙන් දශම ගණනක් පමණයි. එච්චර කුඩා මිනිසාට පරිසරය විනාශ කරන්න කොහොමවත් අයිතියක් නැහැ. එහෙම කළොත් එහි අනිටු ඵල මිනිසාටම ලැබෙනවා. පාරිසරික සෞඛ්‍යයයි, මිනිස් සෞඛ්‍යයයි දෙකම එකට බැඳිලා තියෙන්නේ. ඒ අනුව තමයි අපි ජීවත් වෙන්නේ. පරිසරය ආරක්ෂා විය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසා. පරිසරය නිසි ලෙස පැවතුණේ නැතිනම් අපිට ජීවත් වෙන්න අමාරුයි කියන එක අපි  සියලුදෙනාටම දැනුම් දිය යුතුයි. මොකද හොඳ පරිසරයක් නොතිබුණොත්, හොඳ මානව ප්‍රජාවක් බිහිවෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන හැමදේම ලබාදෙන පරිසරය වෙනස් කරන්න අපිට අයිතියක් නැහැ.



Recommended Articles