පරිසර හානියට අතවනන පරිසරයේම ශාකවල, ව්‍යාප්ති වර්ධනයක්


මෙරට පරිසර පද්ධති සහ දේශීය සත්ත්ව විශේෂයන්වලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කෙරෙන ආක්‍රමණශීලී ශාක විශේෂ හා සත්ත්ව විශේෂ බොහොමයක් පවතින අතර, ඒවා මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබයි. ඒ අතරින් යෝධ නිදිකුම්බා ශාකය ආක්‍රමණික ශාකයක් ලෙස විශාල හානියක් අප පරිසර පද්ධතිය වෙත පමුණුවයි. 


මෙම ආක්‍රමණශීලී යෝධ නිදිකුම්බා ශාකය ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මෙන්ම අග්නිදිග ආසියාවට අයත් තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව ආදී රටවලද ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. මෙම ශාකය මුල්වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැණුනේ 1977 වසරේදීය. එදා සිට මෙරට ජන වහරේදී මෙම ශාකය යෝධ නිදිකුම්බා ලෙස හැඳින්වේ.

මෙම ආක්‍රමණශීලී වූ යෝධ නිදිකුම්බා ශාකය මෙරට පරිසර පද්ධති තුළට සංක්‍රමණය වීම හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික බලපෑම් ප්‍රමාණයකට අපට මුහුණදීමට සිදුව තිබේ. ශාක හා සත්ත්ව විශේෂයන්ට අහිතකර බලපෑම් මතු කිරීම, පරිසර පද්ධතීන්වල ප්‍රමුඛ ජීවියා බවට පත්වීම, ආහාර දාම සහ ආහාර ජාලයන් වෙත බලපෑම් එල්ල කිරීම, කෘෂිකාර්මික බිම් සහ ජලාශ ඉවුරු ආක්‍රමණය කිරීම, පසේ පෝෂණ තත්ත්වයන්ට හානි කිරීම, ජල මූලාශ්‍ර වෙත ප්‍රවේශවීමේ අපහසුතා නිර්මාණය කිරීම හා පාරිසරික නිකේත තත්ත්ව විනාශ කිරීම මෙම ශාකයෙන් සිදුකෙරෙන බලපෑම් වේ.

දකුණු ඇමෙරිකාව නිජබිම කරගත් යෝධ නිදිකුම්බා ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Mimosa pigra^ (මිමෝසා පිග්රා) යන නාමයයි. මෙම ශාකය ජෛව රාජධානි වර්ගීකරණය අනුව %plantae^ (ප්ලාන්ටේ) රාජධානියට අයත් ශාකයක් වන අතර, මෙම රාජධානියද නැවත උපමට්ටම් කිහිපයකට බෙදා දක්වා තිබේ. එනම්,

රාජධානිය - plantae 
ගෝත්‍රය - Fabales
කුලය/පවුල - Fabaceae
ගණය - Mimosa
විශේෂය - M.pigra

යෝධ නිදිකුම්බා ශාකයක් උපරිම වශයෙන් මීටර් 06ක් පමණ උසට වැඩේ. මෙය සාමාන්‍යයෙන් පොළෝ මට්ටමට ඉහළින් දක්නට ලැබෙන සමාන ප්‍රමාණයේ කඳන් කිහිපයකින් සමන්විත කාෂ්ඨීය ශාකයකි. කඳ නොමේරූ යෝධ නිදිකුම්බා ශාකය කොළ පැහැයෙන් යුක්ත වන අතර, මේරූ ශාකය දුඹුරු පැහැයට හුරු වර්ණයක් ගනී. 

සංයුක්ත පත්‍රවලින් සමන්විත වන මෙම ශාකයේ කඳෙහි මිලිමීටර 6ත් 10ත් අතර ප්‍රමාණයේ උල් කටු දැකගත හැකිය. මෙය මුදුන් මුලක් සහිත ශාකයක් වේ. යෝධ නිදිකුම්බා ශාකයේ මුදුන් මුල මීටර් 3.5ක් පමණ පොළව ගැඹුරට විහිදී යයි. සංයුක්ත අනියත පුෂ්ප මංජරියක් මෙහි දක්නට ලැබෙන අතර විෂ්කම්භය මිලිමීටර 10ත් 20ත් අතර වන ප්‍රමාණයේ කුඩා පුෂ්පයකින් සමන්විත වේ. පුෂ්ප පරාගණය ඔස්සේ විශාල බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සමත්වීම යෝධ නිදිකුම්බා ශාකය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමට හේතුවක් ලෙස හඳුනාගත හැකිය.

පරාගණයෙන් අනතුරුව මෙම ශාකයේ සෑම පුෂ්ප මංජරියකම තද කොළ පැහැති කරල් 10ත් 20ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. එම එක් කරලක් මිලිමීටර 60ත් 80ත් අතර ප්‍රමාණයක දිගින් යුතුවේ. ඒ තුළ මිලිමීටර 4 - 6 ප්‍රමාණයේ දිගින් යුතු බීජ දක්නට ලැබෙන අතර, එහි කණ්ඩික 12ත් 26ත් අතර සංඛ්‍යාවක් පවතී. එක් යෝධ නිදිකුම්බා ශාකයක් සිය සජීවී කාලය තුළදී බීජ 2000ත් 20,000ත් අතර ප්‍රමාණයක් ජනනය කරයි.
ආක්‍රමණශීලී නිදිකුම්බා ශාකයේ ඇති තවත් විශේෂයක් වන්නේ මෙහි ඇති බීජ ප්‍රරෝහණය වීමට පෙර සුප්ත කාලයක් අවශ්‍ය වීම සහ එම සුප්ත කාලයෙන් පසුවද පැළ හට ගැනීමේ හැකියාවක් මෙම බීජ සතුව තිබීමයි. බීජ ප්‍රරෝහණය වීමේ හැකියාව දල වශයෙන් වසර 30ක් තරම් දීර්ඝ කාලයක් පවතියි. එමෙන්ම බීජ ප්‍රරෝහණය වීමෙන් පසුව වැඩුණු ශාකය පරිණත අවධියට පත්වීම සඳහා මාස 03ක් හෝ 04ක කාලයක් ගතවේ.
යෝධ නිදිකුම්බා ශාකයේ බීජ ව්‍යාප්තිය සැලකීමේදී පරිසර පද්ධතීන් තුළ සාර්ථක පැතිරීමක් පෙන්නුම් කරයි. එම සාර්ථක ව්‍යාප්තිය සඳහාම වූ විශේෂිත අනුවර්තන කිහිපයක් මෙම ශාකයේ බීජවල දැකගත හැකිය. මෙහි බීජ කරල් කටු සහිතව පවතින බැවින් සතුන්ගේ ලෝමවල ඇලීමෙන් තැනින් තැනට ව්‍යාප්ත වීම සිදුවේ. එමෙන්ම මෙම බීජ ආහාරයට ගන්නා ගවයන් හා මුවන් වැනි සතුන්ගේ මාර්ගයෙන්ද බීජ ව්‍යාප්තිය සිදුවේ. මෙම සතුන් බීජ ආහාරයට ගත්තද එම බීජවලට කිසිදු හානියක් සිදු නොවන නිසා වසුරු පිටකිරීමේදී ඒ සමග ව්‍යාප්තිය සිදුවේ. තවද, මෙම බීජ ඉතාම සැහැල්ලු ස්වභාවයකින් යුක්ත වන නිසා ජල මාර්ග වෙත බීජ වැටීමෙන් දිගු දුරක් මෙන්ම කාලයක් පාවී යාම තුළින් ව්‍යාප්තිය සිදුවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක්ම මෙම ආක්‍රමණිකයාගේ ග්‍රහණයට මේ වනවිටත් නතුවී හමාරය. මහවැලි ඉහළ කලාපයේ පවතින ජලජ පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව මෙම ශාකය ව්‍යාප්ත වී තිබේ. කොත්මලේ ජලාශය ආශ්‍රිතව හෙක්ටයාර 41ක්ද, කොත්මලේ සිට පොල්ගොල්ල හැරවුම දක්වා හෙක්ටයාර 11.6ක් ද, පොල්ගොල්ල ජලාශය ආශ්‍රිතව හෙක්ටයාර 10ක් ද, වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හෙක්ටයාර 200කට ආසන්න ප්‍රමාණයක් ද, සුදු ගඟ ආශ්‍රිතව හෙක්ටයාර 2ක් සහ බෝවතැන්න ජලාශය ආශ්‍රිතව හෙක්ටයාර 111ක් වශයෙන් මෙම යෝධ නිදිකුම්බා ශාකය ආක්‍රමණය කර තිබේ.

ඉහළ මහවැලි ජලාශවල සිට පහළින් පිහිටි කලාප දක්වාද යෝධ නිදිකුම්බා ශාකය ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. එම නිසා මහවැලි C, B, D සහ H කලාපවල මෙම ශාකය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී තිබේ. මහනුවර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්කයන්ද යෝධ නිදිකුම්බා ශාකයේ ආක්‍රමණයට ලක්ව ඇත.

මෙම ශාකය මගින් සිදුවෙන දැඩි පාරිසරික බලපෑම මර්දනය කිරීම සඳහා මහවැලි අධිකාරියේ පාරිසරික සහ වන සංරක්ෂණ අංශය විසින් සැබවින්ම ප්‍රශංසනීය සේවයක් ඉටුකරනු ලබයි. එම අංශය විසින් මෙම ශාකය මර්දනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද ත්‍රිත්වයක් ඔස්සේ කටයුතු කරනු දක්නට ලැබේ.

එහිදී ජෛව විද්‍යාත්මක ප්‍රවේශය යටතේ හොඳින් පොළොවට සෙවණ ලබාදෙන ශාක විශේෂයන් වන මාර, කුඹුක්, ජෑම් සහ උණ වැනි ශාක විශේෂ උපරිම ජල ධාරිතා මට්ටමකදී වගා කිරීම ඔස්සේ යෝධ නිදිකුම්බා ශාකයේ වර්ධනය අඩාළ කරවන බව සොයාගෙන තිබෙන අතර, ඒ අනුව ආවරණ භෝග සහ වන වගා ව්‍යාපෘති සිදුකෙරේ. මේ වනවිට බ්‍රසීලය, කියුබාව, මෙක්සිකෝව, වෙනිසියුලාව, කොස්ටරිකා සහ හොන්ඩියුරාස් යන රටවල් මෙම ශාකය මර්දනය කිරීම සඳහා කෘමි විශේෂ 200ක් සහ දිලීර විශේෂ දෙකක් හඳුනාගෙන තිබේ. එම විකල්පයන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන්වලට හානි නොවන සේ භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට පර්යේෂණ කටයුතු සිදුකෙරේ.

යාන්ත්‍රික ප්‍රවේශය යටතේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම මගින් යෝධ නිදිකුම්බා ශාකය මුලිනුපුටා දමා ගිනි තබා විනාශ කරනු ලැබේ. තුන්වැනි ප්‍රවේශය වන්නේ දැනුවත් කිරීම මගින් ජනතා දායකත්වයද මේ සඳහා ලබාගැනීමයි. මෙහිදී ඔබ වෙසෙන ප්‍රදේශය ආශ්‍රිතව මෙම ශාකය තනි ශාකයක් ලෙස නැත්නම් ශාක කිහිපයක් ලෙස දැකගත හැකිවුවහොත් අතින් හෝ  උදැල්ලක් වැනි උපකරණයක් භාවිතයෙන් මුල් සියල්ල සමගම ගලවා දමා ගිනි තබා විනාශ කිරිමට කටයුතු කිරීමෙන් සහ මෙම යෝධ නිදිකුම්බා ශාකය ඉහළ තාප ශක්තියකින් යුතු බැවින් ඉන්ධන දැවයක් ලෙස භාවිතයට ගැනීමෙන් මෙම හානිකර තත්ත්වයෙන් ඔබත්, මමත් මේ ජීවත්වන සුන්දර පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට දායක විය හැකිය.

(තොරතුරු සඳහා ස්තූතිය - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය)

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles