මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සාපේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුෙටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පීඩාදියෙන් පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය.
එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර, එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර දෙමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි.
එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සාපේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ
සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම ඔබ වෙත ගෙන එන මෙම මනුෂ්‍ය චරිත අවංකවම තම ජීවිතයේ සියලු සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන්ය. මෙවරද අප ගෙන එනු ලබන්නේ එවන් වූ තවත් පුද්ගල චරිතයක වගතුගයි.
?ඔබවහන්සේ ලබන වසරේදී උසස්පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිතව සිටි කෙනෙක්
මම පාසලින් ඉවත්වෙද්දී සංයුක්ත ගණිතය තමයි හදාරමින් හිටියේ. ත්‍රිකෝණමිතියේ පළමු කොටසත් අවසන් කරලයි හිටියේ. අපට හොඳ ආර්ථික පසුබිමක් තිබුණා. විශාල අගහිඟකම් තිබුණේ නැහැ.
?එතකොට ඔබවහන්සේගේ ජීවිතය වෙනස් වෙන්නේ කොතැනින්ද
මට නම් ඇත්තටම මුලින් පැවිදිවෙන්න අදහසක් තිබුණෙම නැහැ. මොකද මම ඒ කාලයේදී ධර්මයට උනන්දු කෙනෙක් නෙමෙයි. ඒත් අපේ මාමා කෙනෙක් අපට ධර්ම දේශනා ඇතුළත් සංයුක්ත තැටි වගයක් ගෙනත් දීලා තිබුණා. අපේ අම්මා නම් නිතරම ඒක ඇහුවා. මම නම් ඒවා ගණන් ගත්තෙවත් නැහැ. ඒත් අම්මගේ පෙරැත්තය හින්දම දවසක් මම ඒක ඇහුවා. පළවෙනි, දෙවෙනි බණ අහද්දිම ජීවිතේ සෑහෙන වෙනසක් වුණා. ඒ කාලේ ගත කළ ජීවිතේ ඇති වැඩක් නැහැ නේද කියල හිතුණා. සතුට නැතුව නෙමෙයි. ගිහි ජීවිතේදී මට ලැබිය හැකි සතුට මම ලැබුවා. ඒත් ඊට වඩා සතුටක් තියෙනවා නේද කියලා මේ ධර්ම දේශනා ඇහුවට පස්සේ මට තේරුම් ගියා. ඉන්පස්සේ සසර භයත් මට දැනෙන්න පටන් ගත්තා. මොකද මට ඕන කළේ නැහැ මරණයෙන් පස්සේ කුණු පෙරේතයෙක් වෙන්න. ඒ හින්දම තමයි මට පැවිදිවෙන්න ඕන කියන අවශ්‍යතාව ආවේ. හැබැයි මම ඉන්පස්සේ මාසයක් විතර එක දිගට බණ ඇහුවා. ඊටත් පස්සෙයි අවබෝධයක් ඇතුව පැවිද්දට ආවේ. දෙවැනි මල්ලිත් මා එක්ක එදා පැවිද්දට එළඹුණා.
?ඔබවහන්සේ මේ තීරණය ගන්නේ යෞවනයේ පොපියන චමත්කාරය අතහැරලා
ඔව්. මම දැක්කා ඒ ගිහි දුක. මේ තීරණයත් එක්කම, හරසුන් ක්‍රියාකාරකම්වලට සංඛාර වැඩීමට තියෙන මහන්සිය මගෙන් බොහෝ දුරට දුරස් වුණා. මොකද දෙයක් අල්ලගන්නවා කියන්නෙම ලොකු දුකක්. ඒක මට අවබෝධ වුණා. අතහැරීමේදී තියෙන ශාන්ත, ප්‍රණීත බවත් මට ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා.
?අම්මා කෙනෙකුට තමන්ගේ මුළු පවුලම ශාසනයට පූජා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි
ඔව්. එතැනදි තමයි අපේ අම්මා සුවිශේෂී කෙනෙක් වෙන්නේ. ඇයට ඒ මානසිකත්වය මුල ඉඳලම හැදිල තිබ්බා. ඇය අපටත් කලින් බණ අහල තිබුණා. මොකද ඇයටත් කවදා හරි ඕන කළේ පැවිද්දට යන්න. ඒ අධිෂ්ඨානය ඇයට තිබුණා. ඒ නිසා මට මේ ගමන එන්න අවශ්‍ය පසුබිම හැදුවෙත් අම්මා. ඒ අනුවයි මම දැන් පැවිද්දට එළඹිලා ඉන්නේ.
?යහළුවන්ගේ ප්‍රතිචාර කොහොමද
එයාලට මේක හිතාගන්නවත් බැරිවුණා. මොකද මම පාසලේ හිටපු ජනප්‍රිය චරිතයක්. ගුරුවරු පවා මං හින්දා ඇඬුවා. අනික මම කාටවත් කලින් කියල තිබුණේ නැහැ මේ තීරණය ගැන. ටියුෂන් පන්තියෙන් පවා සමුගන්න අන්තිම දවසෙදි තමයි මගේ මේ තීරණේ ගැන එයාලට කිව්වේ. ඒ නිසා එයාලට ඒක උභතෝකෝටික ප්‍රශ්නයක් වුණා. නැවතත් මාව ලෞකික ජීවිතයට ඇදල ගන්න එයාලා සෑහෙන මහන්සියක් දැරුවා. හැබැයි මම ඒ වෙද්දි අවබෝධයෙන් තමයි පැවිද්දට එළඹිලා හිටියේ. ඒ හින්දා මට ඔවුන්ව ගැටලුවක් වුණේ නැහැ. දැන් එයාලත් ධර්මයට ළැදියි. නිතරම බණ අහනවා. ඒ නිසා තව අවුරුදු පහක් හයක් යද්දි එයාලත් මං එක්ක එකතුවෙයි කියලයි මට දැන් හිතෙන්නේ.
?පෙම්වතිය මොකද කිව්වේ
පැවිදිවෙන්න එපා කිව්වෙ නැහැ. හැබැයි මේ තීරණය පුළුවන් තරම් පස්සට දාන්න කියලයි ඇය කිව්වේ. ඇය ඒ වෙද්දි මං තරම් බණ අහල හිටියෙ නැහැ. ඒ නිසා මමම තමයි දවසක් බස් එකේදි ඇයට ධර්මය අහන්න සැලැස්සුවේ. ඒ අනුවයි ඇයත් පැවිද්දට යොමු වුණේ.
?ඒ ආදරය සම්බන්ධයෙන් දැන් මොකද හිතන්නේ
තනිකරම පිස්සුවක්. ඒක මට දැන් අවබෝධ වෙලා ඉවරයි. තමන්ම හිතින් හදාගෙන තමන්ම පෙළි පෙළී ඉන්න වැඩපිළිවෙළක තමයි අපි නියැළිලා ඉඳල තියෙන්නේ. ඒ නිසා දැන් මම ඒ මුළාවට අහුවෙන්නේ නැහැ. මම අද එහි යථාර්ථය අවබෝධ කරගන්න තරම් දියුණු මට්ටමකට ඇවිත් ඉන්නේ.
?එතැනදි ආත්මාර්ථකාමී වුණා කියලා ඔබවහන්සේට හිතෙන්නේ නැද්ද
තථාගතයන් වහන්සේ අපට ආදර්ශයෙන්ම පෙන්වා වදාළේ සසර නිමා කරගන්නට යන ගමනේ තමන් වෙනුවෙන් කරගත යුත්ත මුලින් තමන්ම කරගත යුතු බවයි. එතකොටයි අපට පරාර්ථකාමයේ යෙදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනුන් ගැනත් සිතන කෙනෙකුට ආත්මාර්ථකාමී බව කියල කියන්නේ නරක දෙයක් නෙමෙයි. තමන්ට වැඩ පිණිස කියන එක තමයි ආත්ම අර්ථකාමී කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙම නැතුව අනුන්ව තළල පෙළලා තමන්ගේ වැඩේ කරගන්න ඕන කියන එක නෙමෙයි. ඒක නෙමෙයි අපි සම්බුද්ධ චරිතයෙන් ගත යුතු ආදර්ශය.
?පැවිදි නොවුණා නම් ඔබවහන්සේ අද කොතැනද
මට ජනාධිපති බුද්ධි අංශයේ පරිගණක හැකර්වරයෙකු වෙන්න ඉඩ තිබුණා. මම ඒකටයි ඒ කාලේ ඉඳලම හීන දැක්කේ. අනික මට සාමාන්‍ය පෙළට A සාමාර්ථ 7ක් සහ B 1ක් තිබුණා. ඒ හින්දා මට ඕනෑ කළේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න. මං Dj කළා. ප්‍රසංගවල මම කරපු Dj තාමත් ඇති අන්තර්ජාලයේ. ඒ හින්දා ඒ අංශයෙන් යමක් කරන්නත් මට අදහසක් තිබුණා. ඒ ඇරෙන්න මට තිබුණේ හයිබ්‍රිඩ් එකක් අරන් එහාට මෙහාට පදින්න සහ කොල්ලො එක්ක එකට ඉන්න වගේ බලාපොරොත්තු තමයි. හැබැයි අද ඒ සියල්ල අතඇරලා තමයි මම මේ සතුට ළඟා කරගෙන ඉන්නේ. ඒ හින්දා එදාට වඩා හොඳට මම අද ඇත්ත දකිනවා කියලයි මට හිතෙන්නේ.
?හැබැයි ගිහි ජීවිතේ හිටියා නම් ඔබවහන්සේට මීටත් වඩා යමක් සමාජය වෙනුවෙන් කරන්න තිබුණා
මම දැන් තමයි සමාජයට මගෙන් ඉටුවිය යුතු හොඳම සේවාව ඉෂ්ට කරන්නේ. මොකද මම ගිහි ජීවිතේ කටයුතු කළේ ධර්මය එක්ක නෙමෙයි. දැන් මට මම අවබෝධ කරගත්තු දහම සමාජයට
දෙන්න අවස්ථාව සැලසිලා තියෙනවා.
?ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබීම කොහොමද පැවිද්දට බලපෑවේ
දෙයක් දිහා හැම ආකාරයෙන්ම බැලීමට ප්‍රඥාව අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළට මට ඒ විෂය ධාරාව හැදෑරීම සෑහෙන්න උදව් වුණා. නිවන් මගට මට ඒ පුහුණුව හුඟක් උදව් වෙනවා. මොකද නිවනට අත්‍යාවශ්‍යම දේ තමයි ප්‍රඥාව. ඒ බුද්ධිමත්කම ප්‍රඥාවට හුඟක් වටිනවා. බුද්ධිමත්කම කවදාහරි දවසක දහම් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව උදාකරල දෙන්න උදව් වෙනවා. උදාහරණයක් විදිහට කාන්තාවක් දිහා බැලීමේදී සිතේ මායාවක් ලෙස ඇතිවන කාම රාගය, යථාර්ථය, විදර්ශනා කරලා කෙලෙස් ප්‍රහීන කිරීමට මට ක්‍රමවේද රාශියක් තියෙන එක ඉතා වැදගත්. ඒ නිසා මට ඒ පුහුණුව හුඟක් වැදගත්.
?ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන් මොකද හිතෙන්නේ
අතිශයින් සාර්ථකයි. මට මේ සතුටම ඇති නිවන කරා යන්න. මොකද මට ඒ සතුට වචනයෙන් විස්තර කරගන්න බැහැ. දහම් අවබෝධයත් එක්කම තමයි මට ඒ සතුට එන්නේ. මටත් ඒ අත්දැකීම් තියෙන නිසා, දහම් අවබෝධයක් නොලැබූ ගිහි ජිවිතයක් ගතකරන කෙනෙක්ට මේ සතුටින් ප්‍රකෝටියෙන් පංගුවක්වත් ලැබිල තියෙනවද කියල මට හිතාගන්නවත් බැහැ. මෙතෙක් ආපු සසර ගමනේදී මම අනාථයෙක් වෙලා හිටපු බව මට දැන් තේරෙනවා. ඒක ඉතා පැහැදිලියි. මොකද මට ඉන්නේ මම විතරයි. ඒ හින්දා මට ඉස්සර වගේ වෙන එක උවමනාවක්වත් නැහැ. ඇලෙන්න උවමනාවකුත් නැහැ. අල්ලගන්න උවමනාවකුත් නැහැ. ගත්තු තීරණේ අතිශයින් නිවැරදියි කියල හිතෙන්නේ ඒකයි. ආපස්සට හැරිලා බලද්දි කිසිම කණගාටුවක් නැත්තෙත් මේ නිසා.
?හැබැයි තමන් අකමැති ස්වභාවයන් ජීවිතයට අභියෝගයක් කරගෙන ලැබූ ජීවිතය යහපත්ව සාර්ථක කරගත්තු තවත් එක් මනුෂ්‍යයෙක් වෙන්න වෙනමම උත්සාහයක් ගන්න ඔබවහන්සේටත් තිබුණා
ඒ වැඩපිළිවෙළෙන් මට නිවන් දකින්න බැහැ. හැබැයි පැවිද්දට ආවම මට ඉතා ඉක්මනින් නිවන කරා යන්න පුළුවන්. මොකද ඊට අවශ්‍ය පසුබිම එහි සැකසිලා තියෙනවා.
?ගිහි ජීවිතේ අරමුණු සහ පැවිදි ජීවිතේ අරමුණු යන්න කොතැනින්ද වෙනස් වෙන්නේ
දහම් අවබෝධයත් එක්කම තමයි ඒක වෙනස් වෙන්නේ. අනාදිමත් සසරේ නොලැබූ දහම් අවබෝධය පූර්ණය කරගන්නමයි මම අද ජීවත් වෙන්නේ. මම ගිහි කාලයේ ජීවත් වුණේ ලෝකය අල්ලන බලාපොරොත්තු සහ හීන එක්ක. මොකද බොහොමයක් ගිහියන්ගේ මනස හැදිලා තියෙන්නේ හැමතැනටම දුවන විදිහට. ඒත් පැවිද්දෙදි එහෙම නැහැ. හිත කෙළින් වෙනවා. මේ සංසාරේ දුකක් කියල අපටම අවබෝධ වෙද්දි කෙලෙස් අඩු වෙවී හීන වෙනවා. එතකොට අතහරින්න අවශ්‍ය කරන්නේ නැහැ. නිවනට බාධා වෙන දේවල් ඉබේම අපෙන් අතහැරෙනවා.
?මග වැඩීමේදී පැමිණිය යුතු ප්‍රතිඵලවල ප්‍රමාදයක් දැනෙද්දි ඉච්ඡාභංගත්වයට පත්වුණු අවස්ථා එහෙම නැද්ද
නැත්තෙ නැහැ. මෙච්චර දේවල් කරලත් මට මේක බැරි වුණානේ වගේ හැඟීම් ඇතිවුණ මොහොතවල් තියෙනවා. හැබැයි මේක විනිවිද පෙනෙන දහමක්. හරියට ජලය වගේ. අනික අරිහතුන් වහන්සේලා පමණයි බලාපොරොත්තු රහිතව ජීවත් වෙන්නේ. අපි තාම ඒ තත්ත්වයට ඇවිත් නැහැ. ඒත් අපි යන්නේ ඒ මාර්ගයේ. මග වඩන්නේ ඒ සඳහා. එතකොට ඒ උද්ධච්ච බව ටිකෙන් ටික අපෙන් පහවෙනවා. හෙමින් හෙමින් තමයි මේ ගමන යා යුත්තේ කියල කිව්වෙත් ඒ නිසා. අනික ඊට මනා පුහුණුවක් අවශ්‍යයි.
?ජීවිතයට ළං කරගත්තු අරමුණු දිහා ඔබවහන්සේ බැලුවේ සාපේක්ෂවද? නිරපේක්ෂවද
ගිහි ජීවිතේදී බැලුවේ සාපේක්ෂව. මොකද මට ඒ කාලේ දහම් අවබෝධයක් තිබුණේ නැහැ. තව කෙනෙක්ට වඩා දේවල් ළං කර ගන්නවා කියන මතේම තමයි මාත් හිටියේ. ඒත් දැන් උත්සාහ කරන්නේ නිරපේක්ෂ ඇත්ත දකින්නයි.
?විද්‍යාව ඇත්තක් කියලා ඔබවහන්සේ පිළිගන්නවද
තථාගතයන් වහන්සේ පෙන්වා දුන් පරමාර්ථ හැරෙන්න මේ ලෝකේ නිශ්චිත සාධක කිසිවක් නැහැ. සියලුම දේවල් මිනිසුන්ගේ අර්ථකථන. ඒ නිසා ඒක සාපේක්ෂයි.
?ඔබවහන්සේට අනුව සතුට සහ අවබෝධය කියලා කියන්නේ මොකක්ද
නිදහස, භය නැතිකම, තමන්ට ඕනෑ විදිහට නිදහසේ මැරෙන්න තියෙන හැකියාව සහ තමා අවට ලෝකේ පෙරළෙන විදිහට අනුව පෙරළෙන්නේ නැතිකම තමයි සතුට කියන්නේ. ඒ නිරාමිස සතුට තමයි මම සොයමින් ඉන්නේ. අවබෝධය කියන්නේ ඇත්ත යථාර්ථය තේරුම් ගැනීමට. ඒ ඇත්ත යථාර්ථය තේරුම් ගැනීම තමයි නිරාමිස සතුට
බවට පත්වෙන්නේ.
?ඒත් ඒ ඇත්ත ලෞකික ජීවිතයෙන් වුණත් සොයාගන්න පුළුවන්නේ
පුළුවන් නම් මට එහෙම දෙයක් පෙන්නන්න බලන්න. අනික තමන්ගේ රාමුව තුළ පෙනෙන ඇත්ත සහ ලෝකයේ යථාර්ථය කියල කියන්නේ දෙකක්. මිනිස්සු බොහොමයක් ඔය කියන ඇත්ත දැක්කට යථාර්ථය දකින්නේ නැහැ. ඒකයි වෙනස. ඒ නිසා එයාලට වැටහෙන්නේ නැහැ ඇත්ත කියල හිතාගෙන ඉන්න දේවල් අල්ලගෙන ඉන්නතාක් කල් දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. එතැන තියෙන්නේ පෙළීමක් කිව්වේ ඒ නිසයි. යථාර්ථය වැටහුණාම අපට වගේම මේ අතහැරීමේ ගුණය ඔවුන්ටත් ප්‍රගුණ වෙනවා. කරන්න තියෙන්නේ පුළුවන්තරම් යථාර්ථය දකින්න උත්සාහ කරන එකයි.
?ඔබ වහන්සේ එදා හිතපු, කරපු, කියපු දේවල්, මේ මොහොතේ ඔබවහන්සේ හිතන කියන
කරන දේවල්වලින් වෙනස් වෙද්දි එයින් ලැබෙන ප්‍රතිඵලයට සූදානම්ද අනිවාර්යයෙන්ම. ඒ අවබෝධය නැත්නම් මම අද මේ ගමන එන්නේ නැහැ.
?අතීත මතකයන් ආපහු හිතට එද්දි කොහොමද ඔබවහන්සේ මේ මොහොත සුවපත් කරගන්නේ
මතකය කියන්නේ මතකයක්ම විතරයි. මම මොකටද ඒ හින්දා නැවතත් පෙළෙන්නේ. ඇයි ඒ ජීවිතයට ආයෙමත් යන්නේ. මොකද නිරාමිස සුවය සොයාගෙනයි අපි මෙතැනට ආවේ. එතකොට ඔවැනි අරමුණු අපෙන් අතහැරෙනවා.
?මේ මොහොතේ ඒ උතුම් වූ නිර්වාණය පූර්ණය කරගැනීමේදී පැමිණෙන ප්‍රධානතම අභියෝගය මොකක්ද
හිත එක්කයි මේ ගනුදෙනුව කළ යුත්තේ. ඒ ගනුදෙනුව තමයි ප්‍රධානතම අභියෝගය. හුඟක් අමාරුයි හිත දමනය කරගන්න. ඒ හින්දා මේ වෙනුවෙන් යෙදිය යුත්තේත් ඉතා තියුණු නුවණකින් කළයුතු වැඩපිළිවෙළකයි.