ඇඳිරිනීතිය යන්න මේ වන විට මෙරට ජනතාවට අලුත් වචනයක් නොවේ. නමුත් පොලිස් ඇඳිරිනීතිය, නිරෝධායන ඇඳිරිනීතිය ආදී වශයෙන් නම් කරමින් ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීම් සිදුවන නිසාම ඇඳිරිනීතිවලද වර්ග පවතින්නේද යන කුකුස ඇතිවේ. ඒ නිසාම ඇඳිරිනීති පිළිබඳව වැඩිදුර විග්‍රහයක් අප මෙලෙස ලබාගත්තේ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමග සිදුකළ සාකච්ඡාවකිනි.
ඇඳිරිනීතියක් පැනවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
අපි ඇඳිරිනීතියට ඉංග්‍රීසියෙන් කියන්නේ Curfew කියලයි. ඇඳිරිනීතියක් කියලා කියන්නේ නියෝගයක්. යම්කිසි කාලසීමාවකට රෙගුලාසියක් යටතේ පනවනු ලබන්නක්. ඒ අනුව පුද්ගලයන්ට නිවාස වල රැඳී සීටීම වෙනුවෙන් හා නිවාසවලින් පිටවී සිටින අයට නැවත නිවාසවලට පැමිණෙන ලෙසයි මේ නියෝගයෙන් අදහස් කරනු ලබන්නේ. ලංකාවේ මෙම නියෝග නිකුත් කිරීමේ බලය තිබෙන්නේ මහජන අධිකාරීන්ටයි. මේ මහජන අධිකාරීන්ට බලතල ලබාදී තිබෙන්නේ පනත් අනුවයි. ඒ අනුව තමාගේ නිවසේ හෝ තමා රැදී සිටින ස්ථානයෙන් පිට නොවී යම්කිසි නිශ්චිත කාලයක් සඳහා රැඳී සිටීම යන කාරණය තමයි අපි ඇඳිරිනීතිය යනුවෙන් හඳුන්වන්නේ. ලංකාවේ රැඳවුම් මධ්‍යස්ථාන තිබෙනවා. රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීම ඇඳිරිනීතිය යනුවෙන් හඳුන්වන්නට බැහැ. ඒ අනුව ඇඳිරිනීතිය පැනවීමෙන් අදහස් කරන්නේ තමාගේ නිවසේ හෝ තමන් සිටින ස්ථානයේ රැඳී සිටීමයි.
අපේ රටේ නීති ප්‍රකාරව පනවනු ලබන ඇඳිරිනීති වර්ග මොනවාද?
1865 අංක 16 දරණ පොලිස් අඥාපනත යටතේ පනවන පොලිස් ඇඳිරිනීතිය, 1957 මහජන ආරක්ෂණ පනත යටතේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පනවන ඇඳිරිනීතිය, 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ අඥාපනත යටතේ නිරෝධායන ඇඳිරිනීතිය, 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පනත යටතේ ව්‍යසන අවස්ථාවක පනවන ඇඳිරිනීතිය, 1949 යුදහමුදා පනත යටතේ ලංකාවට විදේශ ආක්‍රමණයක් ඇතිවීමේ අවස්ථාවක එය වළක්වා ගැනීම වෙනුවෙන් පනවන ඇඳිරිනීතිය ලෙස ඇඳිරිනීති පනවන පනත් අනුව වෙනස් වන ඇඳිරිනීති කිහිපයක් පවතිනවා.
ලංකාවේ ඇඳිරිනීතිය පැනවීමේ බලය හිමි බලාධිකාරයන් මොනවාද?
බලාධිකාරයන් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව. ඒ අනුව පොලිස් ආඥා පනත හා විවිධ පනත් අනුවත් පොලිස් ඇඳිරිනීතිය පනවන්නට හැකියාවක් තිබෙනවා.
ඒ අනුව පොලිස් ඇඳිරිනීතිය පැනවෙන්නේ ප්‍රදේශ අනුවයි. විශේෂ ප්‍රදේශ තෝරා ගනිමින් යම්කිසි කාලයක් තුළ සාමය ආරක්ෂා කිරීම, නීතිය පවත්වාගෙන යෑම සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවනු ලබනවා. මෙම ඇඳිරිනීතිය පනවන්නේ කෝලහාලයක් නිසා වෙන්න පුළුවන්, නැත්නම් පැතිරිලා යන රෝගයක් නිසා වෙන්න පුළුවන්. ඇඳිරිනීතියක් පනවන්නේ මනුෂ්‍යයන් එහෙ මෙහේ සංසරණය වන විට ඇතිවන ගැටලු වළක්වා ගැනීමටයි.
මීළඟට ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා ඇඳිරිනීතිය පනවන්නට. මහජන ආරක්ෂණ පනත නමින් පනතක් තිබෙනවා. මේ පනත යටතේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ජනාධිපතිවරයාට ඇඳිරිනීතිය පනවන්න හැකියාවක් තිබෙනවා. ඒ අනුව මුළු රටටම බලපැවැත්වෙන ආකාරයට හෝ රටේ කොටසකට ක්‍රියාත්මක වන ආකාරයට මේ ඇඳිරිනීතිය පනවන්නට හැකියාවක් තිබෙනවා. හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුවෙන් සම්මත නොකර මාසයක කාලයක් සඳහා පැනවිය හැකි මේ ඇඳිරිනීතිය ඉන්පසුව පාර්ලිමේන්තුවට යොමුකර, පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කිරීමෙන් පසුව දීර්ඝ කරගත හැකියි. මෙයින් සිදුවන්නේත් ප්‍රවාහනය, තැනකින් තැනකට ගමන් කිරීම සීමා කිරීමක්.
ඇඳිරිනීතිය පනවන කාලසීමාව තුළ බලයලත් පුද්ගල කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමයි පොලීසිය හා යුද හමුදාව. ඔවුන්ට පුළුවන් ඇඳිරිනීති බලපත්‍ර රහිතව ඇඳිරිනීති කාලසීමාවේ ගමන් කරන්න. නමුත් අනෙක් සියලුම පුරවැසියන්ට අත්‍යාවශ්‍ය කාරණා සම්බන්ධයෙන් ගමන් කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඇඳිරිනීති බලපත්‍රයක් සකස් කර ගැනීම අත්‍යාවශ්‍යයි. ඇඳිරිනීති කාලසීමාවක් තුළදී ගුවන්තොටුපළට ප්‍රවේශ වන්නට අවශ්‍ය නම් හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා පිටතට යන්නට අවශ්‍ය නම් ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඇඳිරිනීති බලපත්‍රයක් ලබාගත යුතුයි.
මීළඟට 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ අඥා පනත යටතේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ හැකියාවක් තිබෙනවා. මේ වෙද්දී අපේ රටේ පනවා තිබෙන්නේ නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයයි. නිරෝධායන ඇඳිරිනීතිය පනවන විට කරුණු කිහිපයක් වැදගත් වෙනවා. නිරෝධායන ඇඳිරිනීතිය පනවන 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ අඥා පනතේ දෙවන වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයාට හැකියාව ලැබෙනවා රෙගුලාසි පනවන්නට. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි මේ යටතට ගැනෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව ලැබෙනවා යම් යම් ගමන්බිමන් සීමාකිරීම් සිදුකරන්නට. ඒ අනුව මේ ඇඳිරිනීතිය පනවන්නේ පොලීසියත් සමග එකට එකතු වෙලයි. ඒ කියන්නේ පොලිස් අඥාපනතත් සමග එකට එකතු වී තමයි මේ ඇඳිරිනීතිය පනවනු ලබන්නේ. අමාත්‍යවරයා පවරනු ලබන බලතල අනුව සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහායි මේ ඇඳිරිනීතිය පනවනු ලබන්නේ. විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයේ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. එම ගැසට් පත්‍රය යටතේ රෝගය පැතිරෙන ප්‍රදේශ අනුව බලය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම කෝවිඩ් 19 පාලනය කිරීම වෙනුවෙන් අංක 55 නමින් පොදු රෙගුලාසියක් පනවා තිබුණා. මෙහිදී කෝවිඩ් කමිටුවක් පත්කර තිබෙනවා. එහි ශ්‍රී ලංකාවේ යුද හමුදාපති, සෞඛ්‍ය අංශයන්ගේ නියෝජිතයන් සිටිනවා. ඒ අනුව මෙම කමිටුවේ යුද හමුදාපතිවරයා තමයි මේ මේ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමට අවශ්‍ය බව දන්වන්නේ. එවිට පොලිස්පතිවරයා (වර්තමානයේ වැඩබලන පොලිස්පතිවරයා) හරහා තමයි ඇඳිරිනීතිය පැනවීම නිකුත් කෙරෙන්නේ. වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළාම අදාළ පොලිස් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් හා එක්ව යුද හමුදාපතිවරයා (කෝවිඩ් කමිටුව) තමයි මේ ඇඳිරිනීතිය පැනවීම සඳහා තීරණයන් ගනු ලබන්නේ. නමුත් මහජනතාවට මූලික මිනිස් අයිතිවාසිකම් තිබෙනවා. ගමන් බිමන් සීමා වුණත් අත්‍යාවශ්‍ය කාරණා සඳහා ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා.
විශේෂයෙන් මේ ඇඳිරිනීතිය පැනවෙන කාලසීමාවක් තිබෙනවා. 1865 අංක 16 දරණ පොලිස් අඥාපනත යටතේ මූලික වශයෙන් සාමය පවත්වාගෙන යෑම නීතිය සම්බන්ධයෙන් කලින් කලට පොලිස් ඇඳිරිනීතිය පැනවීමේ බලතල තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරනවා මෙකී කාලයට තමයි මේ ඇඳිරිනීතිය ප්‍රකාශ කරන්නේ කියලා. මේ වෙද්දි ඇඳිරිනීතිය පනවා තිබෙන්නේ රෝගය මර්දනය කර ගැනීමටයි. ඒ අනුව මේ රෝගය මර්දනය කරගන්නා තුරු ප්‍රදේශයෙන් ප්‍රදේශයට හෝ මුළු ලංකාවටම ඇඳිරිනීතිය පනවන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුව තිබෙන නිසා 1957 මහජන ආරක්ෂණ පනත යටතේ එසේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේ ඇඳිරිනීතිය බොහොම තදයි. දැන් පනවා තිබෙන පොලිස් ඇඳිරිනීතියත් තදයි. මෙහිදී මූලික වගකීම පැවරෙන්නේ ආරක්ෂක අංශවලටයි. මේ ඇඳිරිනීති පැනවෙන්නේ යම් යම් සීමා යටතේයි. ඒ සීමාවන් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන සීමාවන්. ඒ අනුව අවශ්‍යතා ඇති අයට ඇඳිරිනීති බලපත්‍ර ලබාදීම සිදුකළ යුතුයි.
මීළඟට 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පනතක් තිබෙනවා. ඒ අනුව ගංවතුර වගේ ව්‍යසනයක් ඇති වූ විටක ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට එම පනතේ 11වැනි වගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂණ පනත යටතේ ඇඳිරිනීතිය පැනවිය හැකියි.
මීළඟට ලෝකයේ තිබෙනවා මාර්ෂල් ලෝ නමින් හමුදාමය නීතියක්. 1949 යුද හමුදා පනත යටතේ ලංකාවට විදේශ ආක්‍රමණයක් සිදුවෙනවා නම් එය වළක්වා ගැනීම සඳහා ඇඳිරිනීතිය පනවන්නට හැකියාවක් ලැබෙනවා.
ඇඳිරිනීති කාලසීමාවේ අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් සංචරණයට හැකියාවක් පවතියිද?
1983 වර්ෂයේ ප්‍රධාන නඩු තීන්දුවක් තිබෙනවා සිරිවර්ධන එදිරිව ලියනගේ නමින්. එහි පැහැදිලිව කියනවා මහජන සෞඛ්‍යයට දරුණු ලෙස වසංගතයක් ලෙස පැනවෙනවා නම් ජනතාවට සෞඛ්‍ය රැකවරණයක් අවශ්‍යයි. ඒ වගේම එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාගන්නට අවශ්‍ය බවත් සඳහන් වෙනවා. වර්තමානයේ ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය යටතේ රෝගය තැනින් තැනට පැතිරීම වැළැක්වීම සඳහායි ඇඳිරිනීතිය පනවන්නේ. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නෙත් ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගෙනයි. ඒ අනුව ජනතාවට සීමාවන්ට යටත්ව කටයුතු කරන්නට සිදුවෙනවා.
අපි වර්තමානයේ පවතින තත්ත්වය ගැන කතා කළොත් කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් වසා දැමූ තත්ත්වයක් නැහැ. රජය දැනුම් දී තිබෙන යම් යම් ආයතන කිහිපයක් තමයි වසා තබා තිබෙන්නේ. එසේ නම් මේ වසා නොමැති ආයතනවල රැකීරක්ෂාවන්ට යෑම සඳහා සේවකයන්ට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ සඳහා බලපත්‍රයක් නිකුත් කළ යුතුයි. ඒ වගේම යමෙක්ට රෝහලකට යන්නට අවශ්‍යතාවක් ඇතිවිය හැකියි. ඒ අවශ්‍යතා වළක්වන්න බැහැ. අපි හිතමු ඉදිරි කාලයේදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නට සියලුම ආයතන වසා දමා රටටම බලපැවැත්වෙන ලෙස සංචරණ සීමා කරන්නට සිදුවෙනවා කියලා. එහිදී අපි බලන්නට අවශ්‍යයි අත්‍යාවශ්‍ය සේවාවන් මොනවාද කියන දෙය. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා යනු මොනවාද කියන එක කෝවිඩ් කමිටුව තීරණය කළ යුතුයි. මේ මොනවා වුණත් ආහාර ගැනීම ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. මේ නිසා රජයෙන් ඔවුන්ට ආහාර සැපයුම් ලබාදීම හෝ ඒවාට ප්‍රවේශ වීම සඳහා අවසර පත්‍රයක් ලබා දිය යුතුයි.
රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන යම් දිනයක සිට වසා දමන ලෙස නියෝග කළත් වරාය, යුද හමුදාව, පොලීසිය, ලංගම, සෞඛ්‍ය යන ආයතන සේවය කළ යුතුයි. එසේම මාධ්‍ය ආයතනත් මෙයට ඇතුළත් කරන්නට අවශ්‍ය නම් ඔවුන්ගේ හැඳුනුම්පත් හෝ පොලීසිය මගින් නිකුත් කරන විශේෂ අවසරපතක් අනුව සේවයට පැමිණීමේ අවස්ථාව සලසාගත හැකියි. මෙහිදී අපි දකිනවා අත්‍යාවශ්‍ය සේවා සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගේ විස්තර අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට ලබා දී ඔවුන්ට රාජකාරී සඳහා ගමන් කිරීමට පහසුකම් සකස් කරදීම සිදුකෙරෙනවා. මූලික වශයෙන් මෙහිදී බියක් ඇති කරගත යුතු නැහැ. ගමනාගමනය සීමා වුණත් ජනතාවට ආහාර ලබා ගැනීම, අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීම, තොරතුරු ලබා ගැනීම යන අයිතීන් සපුරාගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් ජනතාව මෙවැනි වසංගතයකින් ආරක්ෂා කර ගැනීම සඳහා යම් යම් සීමාවන් පැනවීම සිදුකරන්න පුළුවන්.
අපේ රටේ එකවරම ඇඳිරිනීතිය පනවන බව සමාජ මාධ්‍ය තමයි මුලින්ම දැනුම් දෙන්නේ. ජනතාව එතකොට දන්නෙ නැහැ එහි සත්‍ය අසත්‍යතාව. ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙලා රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ප්‍රකාශ පිළිගන්නා තත්ත්වයක් ජනතාව තුළ ඇති කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ජනතාව තැති ගැනීමකට ලක්විය හැකියි. මේ නිසා මුද්‍රිත, විද්‍යුත් හා අනෙකුත් මාධ්‍ය ආයතන සමග කිට්ටුවෙන් කටයුතු කරන සම්බන්ධීකාරක නිලධාරීන් රජය විසින් පත්කිරීම මේ අවස්ථාවේදී ඉතාම අවශ්‍යයි. ඒ අනුව මෙවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීමේ අයිතිය පවා යම් යම් සීමාවන්ට යටත් කළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජීවත් වීමේ අයිතිය මූලිකව සඳහන් වෙනවා. ඒ නිසා මේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් යම් සීමා පැනවීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නයි මේ ඇඳිරිනීතිය පනවන්නේ කියන දෙය වටහාගත යුතුයි.
එසේ නම් අපේ රටේ මේ වෙද්දී නිවසේ සිට වැඩ කරන්න ක්‍රමවේදයක් සකස් වෙලා තිබෙනවා. ඇඳිරිනීතිය නිසා ආයතන තුළට ප්‍රවේශ වෙන්නට හැකියාවක් නැත්නම් මේ ක්‍රමවේදයට අනුගත වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම යම් ආයතනයක සේවය කරන්න සේවකයන් කැඳවනවා නම් ඒ සඳහා ආරක්ෂක අංශත් එක්ක සම්බන්ධ වෙලා පොලීසියෙන් අවශ්‍ය අවසරපත් ලබාගත යුතුයි. ඒ අනුව සියලුම ආයතන ආරක්ෂක අංශත් සමග සහයෝගයෙන් හා කිට්ටුවෙන් කටයුතු කිරීම මෙවැනි අවස්ථාවකදී සිදුවිය යුතුයි.
නමුත් අපේ රටේ මිනිස්සු ඇඳිරිනීති කාලසීමාවේ අත්අඩංගුවට පත්වෙන්නේ අත්‍යාවශ්‍ය දේවල් සඳහා සංචාරය කළ නිසා නොවෙයි. බොහෝවිට අත්අඩංගුවට පත්වෙන්නේ නිකරුණේ එළියට බැහැලා ගමන් කරන අයයි. ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නඩු පවරනු ලබනවා. කෙසේ නමුත් මේ පනවා ඇති ඇඳිරිනීතිය මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පනවන ඇඳිරිනීතියක් මිස ජනතාවගෙන් පළිගැනීමට පනවන ඇඳිරිනීතියක් නොවන බව මහජනතාව වටහා ගත යුතුමයි.
දැනට සිදුවී තිබෙන්නේ යම් යම් ප්‍රදේශයන්වලට ප්‍රවේශ වීම හා පිටවීම අවහිර කිරීමයි. ඒ අනුව එකී ප්‍රදේශවල සිට පිටස්තර ප්‍රදේශවල පිහිටි ආයතනවල සේවයට පැමිණෙන්නන්ට යම් සීමාකිරීමක් සිදුවෙනවා නේද?
මෙවැනි අවස්ථාවක එම සේවකයා සේවය කරන ආයතනයෙන් යම් ප්‍රශ්නයක් ඇති විය හැකියි. පොලිස් ඇඳිරිනීතියක් කියන්නේ ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව සඳහා පනවන ඇඳිරිනීතියට වඩා වෙනස් තත්ත්වයක්. එනම් යම් යම් සීමාවන්ට අනුවයි මේ ඇඳිරිනීතිය පනවන්නේ. වර්තමානයේ පනවා තිබෙන ඇඳිරිනීති තත්ත්වයේදී කෝවිඩ් කමිටුව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආයතන හා අදාළ පෞද්ගලික ආයතන යන සියල්ල එක්ව කටයුතු කිරීම සිදුවිය යුතුයි. එකවරම සංචරණ සීමා පැනවීමෙන් මිනිසුන්ට රැකීරක්ෂා සඳහා යෑමේ අයිතිය සීමා වෙනවා. නමුත් මේ සේවකයන්ට නිවාඩුත් නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයතන අතර හොඳ සහසම්බන්ධතාවක් තිබිය යුතුයි. ඒ හරහා සේවා ස්ථානවල රාජකාරීන් සිදුවෙනවා නම් අත්‍යාවශ්‍ය සේවකයන් කැඳවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අවසර පත්‍ර නිකුත් කිරීම සිදුවිය යුතුයි. එසේ නොමැති වුණොත් රටේ ආර්ථිකය බිඳවැටීමක් සිදුවී රට ඉදිරියට ගෙනයාමට නොහැකි වේවි.
නමුත් ඇඳිරිනීති අවසර පත්‍ර භාවිත කර වෙනත් කර්තව්‍යයන්හි නිරත වෙන අය සිටියොත් ඔවුන්ව අත්අඩංගුවට ගත හැකියි. යම් අයෙක් අවසරපතක් සහිතව තමන්ගේ රැකියාවට යන අවස්ථාවක අත්අඩංගුවට පත්වුණොත් ඔහුට විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා.
ඒ අනුව මෙවැනි අවස්ථාවකදී ග්‍රාමසේවක නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, දේශපාලන අධිකාරිය හා ආරක්ෂක නිලධාරීන්, පොලිස් ස්ථානය යන ආයතන එක්ව වැඩකටයුතු සම්පාදනය කළ යුතුයි. අපි හිතමු මේ වසංගතය දරුණුවට පැතිරිලා අපිට නිවෙස් වසාගෙන ඉන්න සිදුවුණොත් මොකද වෙන්නේ කියලා. ස්පාඤ්ඤ උණ වසංගත කාලයේ එහෙම ලෝකයේ වසංගත පැතිරුණා. ඒ නිසා බල ප්‍රදේශයෙන් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවන විට අනෙක් ප්‍රදේශවලට එම ප්‍රදේශවලින් රැකියාවට යන අයට ගමන් කිරීම සඳහා අවසරපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුයි.