පණිවිඩකරුවාට වෙඩි තැබීම


පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ කතා කියමින් සිටිති. වැඩි දෙනෙකුගේ මතය මේ වාර්තාව පුස්සක් බවයි. මේ වාර්තවේ නිර්දේශ පවා ඉදිරියේදී රට තුළ නොතිබූ නොසන්සුන් බවක් ඇති කිරීමට හේතු විය හැකි බව වැඩිදෙනාගේ අදහසයි.

එහෙත් මේ වාර්තාවේ අනාගතයේ ආගමික අන්තවාදයක් ඇතිවීම වැළැක්වීමට ඉතාම හොඳ යෝජනා රැසක්ද අඩංගු වෙයි. එහෙයින් මේ සමස්ත වාර්තාව කෙසේ වෙතත් මෙයින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ගැන අවධානයක් යොමු කිරීම රජයකට මෙන්ම සාමකාමී අනාගතයක් සොයන ජනතාවටද වැදගත් වෙයි.

කෙසේ වුවද මේ රටේ බොහෝදෙනා බලා සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකළේ කවුද යන්න ගැන දැන ගැනීමටය. ඒ ගැන මේ වාර්තාවේ ඇති කතාව දෙස බලද්දී මේ ප්‍රහාරය වැළැක්වීමට තොරතුරු දුන් නොදුන් ක්‍රියාත්මක වූ නොවූ සියලුම දෙනාම වැරදිකරුවන් යැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. 

මේ කොමිසමේ වාර්තාව අනුව ප්‍රධාන වැරදිකරුවා හිටපු ජනාධිපති මෛත්‍රීය. ජනාධිපති වීමෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලිය නිවැරදිව රැස් නොකිරීම සම්බන්ධයෙන් මෛත්‍රීට චෝදනා එල්ල වෙයි. මත්ද්‍රව්‍ය මැඬලීම සම්බන්ධයෙන් තිබූ උනන්දුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොතිබූ බවද මෙහිදී නැගෙන චෝදනාවකි.

රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු මත සහරාන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට උපදෙස්දීමට තිබුණු බවද මෙහි සඳහන් බව මාධ්‍ය වාර්තා කළේය. අප්‍රේල් 04වැනිදා තොරතුරට පෙර කරුණු සැලකීමේදී හිටපු ජනාධිපතිවරයා සිය රාජකාරි සහ වගකීම් පැහැර හැර ඇති බව කොමිසම නිරීක්ෂණය කර තිබේ. එය හුදෙක් සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යාමක් ලෙසද දක්වා තිබෙන බව දැක්වෙයි. තමන් විදේශගත වන විට වැඩබලන්නෙකු පත් නොකිරීම ඔහුට ඇති ප්‍රධාන චෝදනාවකි. එමගින් මෙම ප්‍රහාරයට ඉඩ පෑදීමක් සිදුව ඇති බව කොමිසමේ මතයයි. මෛත්‍රීට නඩු පවරන්නැයි නිර්දේශ වෙන්නේ ඒ නිසා නම් මෛත්‍රී වැඩබලන්නෙකු පත්කර ගියා නම් මේ ප්‍රහාරය නතරවෙන්නේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

හිටපු ජනාධිපතිවරයා ආරක්ෂාව ගැන උනන්දුවක් නොදැක්වූ බව මේ කොමිසමේ නිරීක්ෂණයයි. එහෙත් යහපාලන ආණ්ඩුව තිබුණේ දෙකට බෙදීය. පොලීසිය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේය. සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය භාරව කටයුතු කළේය. මේ නිසා මෛත්‍රී පමණක්ම මේකට වගකිව යුතුයැයි කෙනෙක් අත පිහදා ගන්නේ නම් එය නිවැරදි නැත.

කවුරුත් දන්නා ක්‍රිකට් භාෂාවෙන් කතා කළොත් දිනන්නට තිබූ තරගයක් පිතිකරුවෙකු තමන්ගේ වරදින් දුවද්දී දැවී ගොස් පරාජය වූයේ නම් තරගයේ පරාජයේ වගකීම භාර ගතයුතු වන්නේ කණ්ඩායමේ නායකයාය. එහෙත් පැහැදිලි වරද ඇත්තේ නිරපරාදේ දුවද්දී දැවී ගිය ක්‍රීඩකයා අතේය. මේ කොමිසමේ තීන්දුවෙන් මෛත්‍රීද එවැනි නායකයෙකු වී ඇති බව පැහැදිලිය. රනිල්ලා, සාගලලා, මද්දුම බණ්ඩාරලා හිතා මතා කඬුල්ල දී තරගය පරාජය වූ විට වගකීම මෛත්‍රීගේ සහ කඩුල්ල නොදී එක පැත්තක් අල්ලාගෙන සිටි හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේය.

නිලන්ත ජයවර්ධන මේ කොමිසමේ දුන් සාක්ෂි අනුව ඔහු ඍජු තීරණ ගත් ධූරාවලිය අනුව කටයුතු කළ නිලධාරියෙකු බව පැහැදිලි විය. ඔහු ධුරාවලියට වාර්තා කළේය. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විගස කළේ කුමක්ද? ධුරාවලියට පිටින් ගොස් වැඩකටයුතු කළ සියලු රාජ්‍ය නිලධාරීන් හොරුන් ලෙස සලකා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමයි.

ඒවා දේශපාලන කටයුතු ලෙස හුවා දැක්වීමයි. මෙවැනි රජයක් පවතිද්දී එවකට බුද්ධි අධ්‍යක්ෂවරයා ධුරාවලියෙන් පිටත පැන්නේ නම් ඔහුට අත්වන ඉරණම ඔහු දැන සිටියා වන්නට ඇත. අනෙක් අතින් විනය ගරුක පොලිස් නිලධාරියෙකුට ධුරාවලියෙන් පිටත පනින්නට නොහැකිය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව නිරන්තරයෙන් වාග් ප්‍රහාර එල්ල කළේ මේ ප්‍රහාරය ගැන තමන්ට නොදැන්වීම වරදක් බව කියමිනි. එහෙත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පාර්ශ්වයන්ට එය දන්වා තිබියදී සිවිල් සමාජයට මෙය දැන්වීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නිවැරදිව ධූරාවලියට අනුව කටයුතු කරන නිලධාරියෙකුට නැත. එවැනි කටයුත්තක් අවශ්‍ය නම් හරීන් ප්‍රනාන්දුට කරන්නට තිබුණි.

නිලන්ත ජයවර්ධන මේ කොමිසමේ සාක්ෂි දුන් අවස්ථාවලදී ඔහු හෙළි කළ කරුණු බොහෝ දෙනා අමතක කරමින් තිබේ. තමන්ගේ සේවා කාලය වූ 2015 සිට 2019 දක්වා කාලයේදී සහරාන් ඇතුළු මෙම පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ සැකකරුවන් පිළිබඳ රහස්‍ය වාර්තා 347ක් ලිඛිතව ලබාදී තිබෙන බවත් ඒවාට ප්‍රතිචාර නොලැබුණ බවත්  හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ.

සහරාන් හෂීම් සමාජයේ සිටියහොත් මෙවැනි විනාශයක් සිදු විය හැකි යැයි බුද්ධි අධ්‍යක්ෂවරයා අවශ්‍ය පිරිසට දැනුම්දී තිබුණේ 2017දී සිට බවද කෙමිසමේදී හෙළි විය. එසේම 2019 අප්‍රේල් 04වැනිදා ලද තොරතුරුවලින් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් සියලු නියමිත පාර්ශ්වවලට දන්වා තිබේ. එපමණක් නොව අප්‍රේල් 20වැනිදා සවසද ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවට ඔහු සාක්ෂි කොමිසමට ඉදිරිපත් කර තිබේ.

මෙම කොමිසමේදී 24වැනි දිනට සාක්ෂි දෙමින් සිටි අවස්ථාවේ අගරදගුරු හිමියන්ගේ නීතිඥයන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අනාවරණය කළේ තම බුද්ධි අංශය නිරන්තරයෙන් සහාරන් පිළිබඳ අවශ්‍ය අංශ දැනුම්වත් කළ බවයි. එසේම තමන් ඇතුළු පිරිස උත්සාහ කළේ මේ ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට පත් කිරීමට බවත්, ඒ නිසාම නිරන්තරයෙන් මේ ගැන කියූ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සාක්ෂි දෙමින් පවසා සිටියේය.

විදෙස් බුද්ධි සේවයට සහරාන් සම්බන්ධයෙන් සියලු තොරතුරු දුන්නේ තම අංශය බවත්, තමාටත් වඩා තම  නිලධාරීන් තොරතුරු රැස් කර තිබූ බැවින් තමන්ගේ නිලධාරීන් ගෙන්වා විදෙස් බුද්ධි සේවා දැනුම්වත් කළ බවත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පවසා තිබුණි. &මේ රටේ වෙලා තියෙන්නේ විදෙස් රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩියි. අනික අපට සහරාන් ගැන තොරතුරු ලැබිලා තිබුණේ 2016 ඉඳලා. මට ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණේ අප්‍රේල් 04. මම ඒක 05වැනිදා ලිඛිතව ගෙන්වා ගත්තා. අප්‍රේල් 07වැනිදා පොලිස්පතිට හා ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දුන්නා. 08වැනිදා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් මට වාර්තාවක් ලැබුණා. එතැනදි මම කිව්වා මේක පොලිටිකල් ඉන්ක්වයරි එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු එකහමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා.

ඒ තමයි රිෂාද් බදියුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්නම් කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 09 රැස්වීමට ඇවිත් නිලන්ත ඒක කියයි කියලා. ස්වාමීනි මට පරචිත්ත විඥානය නෑනෙ එහෙම හිතන් හිටියට. 09වැනිදා රැස්වීමේදී මම ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඇහුවා සර් ඕක තාම අතේ තියන් ඉන්නවද ඕක ලෙඩක්නෙ කියලා. මම දන්නේ නෑ මේ ගැන ජාතික බුද්ධි ප්‍රධානී සහ ආරක්ෂක ලේකම් ගත් පියවර මොනවද කියලා. ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනාම මගේ ඇඟට දානවා* යැයි නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කර තිබිණි.

කොමිසම බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීමට නිලන්ත ජයවර්ධන දින 28ක් තිස්සේ ලබාදුන් සාක්ෂිද හේතු වූ බව පෙනේ. එසේම මේ ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටියේද රාජ්‍ය බුද්ධි සේවයයි. මේ රටේ ක්‍රියාත්මක අනෙක් කිසිදු බුද්ධි සේවයකට මේ තොරතුරු ලැබී තිබුණේ නැති බව කොමිසමේදී අනාවරණය විය. අවසානයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාම වරදකරුවන්ගෙන් කෙනෙකු වෙයි. ඔහු හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට උත්සාහ කළ බව නිරීක්ෂණය වූ බවත්, හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් දොස් තැබීමට පැකිළුනු බවත් නිරීක්ෂණය වූ බව කොමිසම සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා තොරතුරු සම්බන්ධයෙන් නිසි බරක් නොදුන් බවටත්, විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර එය නීතිය බලගැන්වීමේ ආයතන වෙත ඉදිරිපත් නොකළ බවටත් චෝදනාවක් එල්ල වෙයි. මෙහි නීතිය බලගැන්වීමේ ආයතනය යනු ජනාධිපතිවරයා බව පැහැදිලිය. ඊට හේතුව ආරක්ෂක ලේකම් දක්වා සියලු දෙනාටම මේ තොරතුර ලබාදී ඇති බව අනාවරණය වීමයි. ජනාධිපතිවරයාට තොරතුර නොදීම නිසා අනෙක් සියලු දෙනාටම තොරතුරු දුන්නත් ජයවර්ධන වැරදිකරුවෙකු වෙයි. එය ඔහුගේ ඉරණම දැයි දන්නේ නැත.

එහෙත් මේ නිරීක්ෂණ පසු කලෙක නිලධාරීන්ගේ ධෛර්යය හීන කරන්නට හේතු විය හැකිය. යහපාලනය විසින් කළේ නිලධාරීන්ට කිසිම ආකාරයක තීරණයක් ගැනීමට ඉඩ නොතැබීමයි. දැන් මේ කොමිසමෙන් පෙනෙන්නේ වැඩක් කරද්දී ලොක්කාට නොකියා වැඩේ කළ යුතු අනෙක් සියලු දෙනාටම කිව්වත් වැරදිකරු වෙන බවයි. එකල මේ රටේ සිටියේ කවි, සින්දු කියන රසකතා කියන උදේට පත්තරය බලා සියලු දේ දැන ගන්නා ජනාධිපතිවරයෙකි. පෙරහර මැදට පැන නටන, සින්දු කියන, මයික් එකක් දුටු විට පැය ගණනක් කතා කරන පොලිස්පතිවරයෙකි.

එක රස්සාවක් නොව රස්සා කිහිපයක් කරන ආරක්ෂක ලේකම්වරයෙකි. එහෙව් රටක තමන්ගේ කාර්යය පැහැර නොහැර තොරතුරු ගෙනැවිත්දී අවසන් මොහොත දක්වාම එය වළක්වා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාද වැරදිකරුවෙකු වෙයි. අර මොක්කුන්ද එක්ක නිදාගත් විට මොක්කුන්ද එක්ක නැගිටින්න වෙනවා කිව්වේ මේ වගේ අමාරුවේ වැටෙන ඒවාට විය හැකිය.

- ය.ස. දොරටුපාල



Recommended Articles