නිලාවැලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති එකම දූපත් ජාතික උද්‍යානය ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරක අාකර්ෂණය දිනාගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි.
සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හඳුන්වන්නේ එහි පිහිටි ගල් කුළුවලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතටය. මෙම පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, 2003 දී 1291/15 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස මෙය ප්‍රකාශයට පත් කර තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියටමය.
මෙම දූපත %පරවි දූපත^ ලෙස හැඳින්වීමට හේතුව අප අවට ජනතාවගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අතීත ජනප්‍රවාදවලට අනුව ඈත අතීතයේදී මෙම දූපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ලෙස භාවිත කළ බවට සැලකෙන බවයි. ඒ සඳහා පුහුණු කළ පරවියන් මෙම දූපත තුළ ගාල්කොට සිට තිබේ. කෙසේ වෙතත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙහි පරවි ගහණයට ජීව විද්‍යාත්මක හේතුවක් වන්නේ මෙම පරිසර පද්ධතිය පරවියන්ගේ අභිජනනයට හිතකර සාධකයන්ගෙන් බහුල වීමයි .
පරවි දූපත වෙත විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අතර කාලය තුළදීය. මන්ද එම කාලසීමාව තුළදී මුහුදේ රළු ස්වභාවය අඩුවීම හේතුවෙන් කිමිදීම් කටයුතුවලට හා කොරළ් නැරඹීමට පහසු නිසාවෙනි.
සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් මෙහි වැඩි වශයෙන් පැමිණේ. සැප්තැම්බර් සහ පෙබරිවාරි කාලය තුළ මුහුද රළු ස්වභාවයක් ගනී. ඒ හේතුවෙන් මෙහි සංචාරක පැමිණීමද ඉතා අඩු අතර, ඇතැම් විට එම කාලයේදී දූපත පාළු ස්වභාවයක්ද උසුලයි.
සංචාරක පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත. එනම් පරවි දූපත ආශ්‍රිතව පිහිටා ඇත්තේ ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයකින් යුත් කොරල් පරයකි. මුහුද පත්ලෙහි පිහිටි ස්වභාව ධර්මයා විසින් කළ එම අද්විතීය නිර්මාණයේ අසිරිය විඳීමට යොමුවන්නේ 90෴ක්ම විදේශීය සංචාරකයන් පමණි.
දේශීය සංචාරකයින් බොහෝ විට සිදුකරන්නේ මෙම දූපතට පැමිණ කා බී විනෝද වීම හා මුහුදේ පිහිනීම පමණි. ඒ හැර මෙම කොරල් පරයේ හෝ පරිසර පද්දතිය පිළිබඳ සංවේදී වීමක් ඔවුන් තුළ එතරම් දක්නට නොලැබේ. එමෙන්ම අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කරමින් මෙම පරිසරයට වැඩිම විනාශයක් සිදු කරන්නේද දේශීය සංචාරකයන් විසින් බව දූපතේ සේවය කරන වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ විශාල ප්‍රමාණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ විවිධ මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ වූ පරිසර පද්ධතියක් වීම නිසාවෙනි. මෙම අපූරු විචිත්‍රවත් කොරල් පරය කොරල් විශේෂ 100කින් පමණ සමන්විත අතර, මත්ස්‍ය විශේෂ 200කට ආසන්න ප්‍රමාණයක් මේ අවට දැක බලාගත හැකිය. ROCK PIGEON^ නම් පරවි විශේෂය පරවි දූපතට නම්පට බැඳීමට හේතුවී ඇති බව පෙනේ.
පරවි දූපතෙහි පවතින ශාක පද්ධතියද සුවිශේෂීත්වයක් උසුලයි. කොහොඹ, සියඹලා, මලිත්තන් ශාක විශේෂද, පරවි දූපතටම ආවේණික වූ ටෙම්පිස්‌ඇසිඩ්යුලා වැනි ශාකද මේ අතර වේ. ලන්ටානා, පතොක් ආදී පඳුරු ශාක විශේෂද මෙහි සුලභව දක්නට ලැබේ. තවද පරවියන්ට අමතරව ප්‍රධාන වශයෙන් ගොළු කිරලා, බ්‍රාහ්මණ උකුස්‌සා, කළු කොකා ආදී කුරුලු විශේෂ ගණනාවක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.
පරවි දූපතෙහි ප්ලාස්ටික් භාජන පමණක් නොව කඩදාසි කැබැල්ලක් හෝ තැන තැන දැමීම තහනම්ය. ගෙන එන සියල්ල ආපසු රැගෙන යා යුතුය. එමෙන්ම බීමත්ව දූපතට පැමිණීම සපුරා තහනම් අතර, දූපතට මද්‍යසාර ගෙන ඒමටද තහනම්ය. මෙම අපූරු දූපතේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පොලිස් නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ කාර්යභාරය සැබවින්ම මෙහිදී පැසසිය යුතුමය.
කෙසේ නමුත් පරවි දූපතට පැමිණෙන සංචාරකයන් සඳහා විධිමත් විවේකාගාර සහ සනීපාරක්ෂක පහසුකම් හිඟ බව පෙනේ. පරවි දූපතේ ගොඩබිමේ ඇවිද යෑමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත්ය මන්ද වෙරළ පුරාම විසිරී ඇති බෙලි කටු නිසා දෙපා කැපී යාමේ අවදානමක් පවතින බැවිනි. එමෙන්ම කොරල්පර ආශ්‍රිතව කිමිදීමේදීද කොරල්වලට තුවාල වීමට ඉඩකඩ ඇති අතර, කිමිදීමේදී කිසිදු විටෙක කොරල් ඇල්ලීම, කොරල් මත ඇවිදීම, සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම නොකළ යුත්තේ කොරල්වලට මෙන්ම ඉන් ඔබටද හානි වීමට දැඩි අවදානමක් පවතින නිසාවෙනි.
අතිසංවේදී කොරල් පර සහිත කලාපය මෙහිදී වෙන්කර ඇති අතර, එම කලාපයට ඇතුළුවීමට සපුරා තහනම්ය.පරවි දූපත ආශ්‍රිතව ඇති විශේෂිත කොරල් පද්දතිය වෙත මෙහි පැමිණෙන සංචාරක බෝට්ටු හා තහනම් ධීවර කටයුතු නිසා සිදුවන හානි කිහිපයක්ම මෙහිදී හඳුනාගෙන තිබේ.
ඇතැම් අවස්ථාවන්වලදී බෝට්ටු පතුල කොරල් පරයේ ගැටීම නිසා කොරල් පරයට දැඩි හානි සිදුවේ. අනෙක් ගැටලුව නම් මෙම සියලු බෝට්ටු ද්විත්ව පහර එන්ජින් බෝට්ටු නිසා අර්ධ දහනයෙන් නිකුත්වන තෙල් කොරල් පරයට හා සමුද්‍ර පරිසරයට මුසුවීම හේතුවෙන් පරිසර පද්ධතියට, මත්ස්‍යයන්ට මෙන්ම කොරල් පද්ධතියටද විශාල ලෙස හානි සිදුවේ. ඇතැම් ධීවරයන් ඩයිනමයිට් යොදා මසුන් මැරීම හේතුවෙන් කොරල්පර සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක්ද මතුව තිබේ.
සංචාරක බෝට්ටු මගින් සිදුවන හානි වැළැක්වීමට මෙන්ම ඔවුගේ ජීවන තත්ත්වයටද බලපෑමක් නොවන ලෙසට මේ සඳහා විසඳුමක් ලෙස මාලදිවයින වැනි රටවල් අනුගමනය කරන විශේෂීත ලී පාලමක් (Bordwalk) ඉදිකිරීම සුදුසු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා යෝජනා කරයි. එය ක්‍රියාත්මක කිරීමට කිහිපවිටකම බලධාරීන් උත්සහ කළද යම් පිරිසකගේ අයුතු විරෝධතා හේතුවෙන් එය මේවන විට ඇනහිට තිබීම කණගාටුදායක කරුණකි.
සටහන - නඳුන් ශ්‍යාමාල්/ ඡායාරූප - ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර