නේරු-ගාන්ධි පවුල


නේරු-ගාන්ධි පවුල යනු ඉන්දියානු දේශපාලනයේ දීර්ඝ කාලයක් බලය ව්‍යාප්ත කළ පවුලකි. ඉන්දීය නිදහස් සටනේ සිට ඉන්දියානු දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් හිමිකර ගැනීමට සමත් වූ මෙම පවුලේ ගාන්ධිවරුන් සම්බන්ධයෙන් වැරදි වටහාගැනීම් ලෝකයේ මතු නොව ඉන්දියාවේද ඇතැම් අය තුළ පවතී. 

ඇතැම් අයෙකු තුළ පවතින වැරදි අදහසක් නම් ඉන්දිරා ගාන්ධි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් මහත්මා ගාන්ධිගේ ඥාතීන් යන්නයි. ඉන්දිරා ගාන්ධිගේ විවාහයට පෙර නම වූයේ ඉන්දිරා නේරුය. 
ඇය ජවහර්ලාල් නේරුගේ දියණියයි. ඇය ෆෙරෝස් ගාන්ධි සමග විවාහ වීමෙන් පසු ඉන්දිරා ගාන්ධි යන නම භාවිතයට යෙදිණ. 
ෆෙරෝස් ගාන්ධි සහ මහත්මා ගාන්ධි අතර කිසිදු ඥාති සම්බන්ධතාවක් නොමැත. ෆෙරෝස් ගාන්ධි පාර්සි ජාතිකයෙකි. පාර්සි ජනතාව යනු ලෝකයේ ඉතාම පැරණි ආගමක් වන සොරොස්තන්ත්‍ර ආගම අදහන මුළු ලොව පුරාම ලක්ෂ දෙකකටත් අඩු ජනගහනයක් ඇති ජනකොට්ඨාසයකි. 

ෆෙරෝස් ගාන්ධිගේ මුල් නම ෆෙරෝස් ජෙහන්ගීර් ගාන්ධි (FerozeJehangirGhandy)ය. මහත්මා ගාන්ධි වෙත යෙදෙන Gandhi වාසගම සමග සැලකූ විට එහි උච්චාරණයේ අක්ෂර වින්‍යාසයේ සියුම් වෙනසක් ඇති අතර ෆෙරෝස් ගාන්ධි ගාන්ධි සමග සමීපව ඉන්දීය නිදහස් සටනේ විශාල කාර්ය භාරයක් ඉටු කළ අයෙකි. 

ෆෙරෝස් ගාන්ධි නිදහස් සටනේ කටයුතු කරන අවධියේදී ඉන්දිරා නේරු  සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් අතර, ඔවුන්ගේ විවාහයට ජවහර්ලාල් නේරු විරුද්ධ විය. 
ඊට හේතු වූයේ නේරු පවුල කාෂ්මීර් පණ්ඩිත් කුලයට අයත් වන හින්දු බැතිමතුන් වීමත් ෆෙරෝස් පාර්සි පවුලකට අයත් වීමත්ය. 
මහත්මා ගාන්ධිගේ මැදිහත් වීම යටතේ එම විවාහයට ආශිර්වාදය ලැබී ඇති අතර, ෆෙරෝස් ගාන්ධි සිය Ghandy යන නම වෙනුවට Gandhi යන්න භාවිත කිරීමට පටන් ගත්තේය. එසේම ජෙහන්ගීර් යන කොටසද අත්හළේය. 

ෆෙරෝස් සහ ඉන්දිරාගේ විවාහය සිදුකෙරුණේ ද හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුවය. ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ජවහර්ලාල් නේරු ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ අතර, ෆෙරෝස් සහ ඉන්දිරා අලහ්බාද් නගරයේ පදිංචි වූහ. නේරු විසින් ආරම්භ කරන ලද The National Herald නම් පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය පසුව දැරුවේ ෆෙරෝස් විසිනි. 
1952 වසරේ පැවති ඉන්දියාවේ ප්‍රථම මහ මැතිවරණය සඳහා උත්තර් ප්‍රදේශ්  ප්‍රාන්තයෙන් ඉදිරිපත් වුණු ෆෙරෝස් ගාන්ධි මන්ත්‍රීවරයෙකු ලෙස ලෝක් සභාවට තේරී පත්විය. 1958 වසරේදී ෆෙරෝස් ගාන්ධි හෘදයාබාධයකින් ජීවිතය හැර ගියේය. 

රජීව් ගාන්ධි සහ සංජේ ගාන්ධි ෆෙරෝස්ගේ දරුවන් දෙදෙනා වූ අතර, සංජේ 1980 වසරේදී ගුවන් අනතුරකින් අකාලයේ මරණයට පත්විය. මවගේ අඩිපාරේ ගිය රජීව් පසුව ඉන්දියාවේ අගමැති ධුරයට පත් විය. රජීව් ගාන්ධිගේ දරුවන් වූයේ රාහුල් සහ ප්‍රියංකා ගාන්ධිය. 



Recommended Articles