නෙත් පහන් කඳුළු උල්පත මානවසිංහ...


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

“ගමන නොනිමෙයි ලෝකයේ මේ

පුරුදු ජීවන මංතලේ

ගැටෙන සැප දුක මාරු වී යයි

පුරුදු ජීවන මංතලේ”

1964 වර්ෂයේ තිරගත වූ එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ 'සිකුරු තරුව' සිනමා සිත්තමට ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට නාරද දිසාසේකර ගායනා කළ මේ ගේය පද සිත්තම්කරුවා 'ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්'ය. මෙරට විශිෂ්ට ගණයෙහිලා සැලකෙන ගේය පද රචකයෙකු ලෙසත්, ක්ෂේත්‍ර ගණනාවක අපරිමිත හපන්කම් පෑ කලාකරුවෙකු ලෙසත් මානවසිංහයන් අදද ජීවමානය.

දකුණු පළාතේ, රුහුණු ගිරුවාපත්තුවේ, බෙලිඅත්තට නුදුරු පුවක්දණ්ඩාව නම් සොඳුරු ගම් පියසේදී "චන්ද්‍රරත්න දියෙස් සූරිආරච්චි මොහොට්ටි" නමින් පිරිමි දරුවෙකු ජන්ම දායාදය ලැබීය. වර්ෂ 1913ක් වූ ජුනි මස 19 වනදා ජෝන් ජෙරාඩ් සූරිආරච්චි මොහොට්ටි සහ පුංචි එතනා ඕබඩආරච්චි මවුපිය දෙපළට දාව මෙලොව එළිය ලැබ පසුකලෙක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නමින් රට පතල වූයේ මේ දරුවාය.

භාෂා ඥානයෙන් පිරිපුන් අයෙකු වූ පියාගේ මගපෙන්වීමෙන් දැනුමෙන් හා ගුණ නුවණින් පිරි ළමා දිවියක හිමිකම මානවසිංහයන්ට උරුමව තිබිණි. කුඩා මානවසිංහයන් සිය මූලික අධ්‍යාපනය හැදෑරුවේ බෙලිඅත්ත ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙනි. එකල්හි ප්‍රකට ලේඛකයෙකුව සිටි ජී.පී. ජිනදාස මහතාගේ ඇසුරෙහි කාව්‍ය ශාස්ත්‍රය සහ ප්‍රාචීණ භාෂා දැනුම ලැබුම මානවසිංහයන්ගේ සාහිත්‍ය දිවියට මනා පිටිවහලක්ම වී ඇත. 1924 වර්ෂයේදී දොළොස් හැවිරිදි වියට එළැඹ සිටියදී බෙලිඅත්ත පංචථූපාරාමයේදී 'පුවක්දණ්ඩාවේ චන්දරතන හිමි' නමින් පැවිදිව පාලි, සංස්කෘත සහ සිංහල භාෂා පිළිබද මනා දැනුමක් ලබා ඇත්තේය. මෙසමයෙහි පුවක්දණ්ඩාවේ සාරානන්ද හිමියන්ගේ ඇසුරෙහි කවීත්වය ඔපවැටීමද, ජ්‍යෝතිෂ්‍ය හැදෑරීමද අනාගත ගමන් මග මත වැටුණු විසල් ආලෝක ධාරාවක්ම වී ඇත. කෙසේ වී නමුදු මේ අන්දමින් කහ සිවුර දෙවුර දැරීමේ පින් මහිමයෙන් යුතු වුවද පැවිදි දිවිය තුළ ඇතිවූ විවිධ කම්කටොලු සහ උපද්‍රව හේතුවෙන් පසුකලෙක උපැවිදිව ඇත.

අනතුරුව අසල්වැසි භාරත දේශය කරා ගොස් ඇති මානවසිංහයන් එහිදී බෙංගාලි බස හා හින්දි බසද, භාරතීය සංස්කෘතික වටිනාකම්ද මනාව හදාරා යළි මෙරටට පැමිණ තිබේ. එයින් ලද පන්නරයද සමග පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා ඇති මානවසිංහයන් එකල්හිම සම සමාජ පක්ෂයට බැඳී එහි දේශපාලනික ක්‍රියාධරයෙකු ලෙසද සක්‍රීය වී ඇත.

එවක රට පතළ කවියන් වූ ජී.එච්. පෙරේරා, සෝමවීර චන්ද්‍රසිරි, ජී. මළල්ගොඩ ආදී වියතුන්ගේ ඇසුරට මුහුව ඇත්තේද මේ අවදියේමය. එවක මෙසිරිලක අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමේ වරදට මානවසිංහයන්ට සිරගත වීමට සිදුවීමද දෛවෝපගතය.

1944 වර්ෂයේ ඔක්තෝම්බර් 27 වනදාවක ශ්‍රීමති වසන්තා කුමාරිහේවා කළුගමගේ මෙනෙවිය සමග අතිනත ගැනීම මානවසිංහයන්ගේ ජීවන ගමන් මග නව මානයකට යොමු කරන්නක්ම වී ඇත. සිය විසිවසක යුග දිවියෙහි ගෙවුණු හැම මොහොතකම පාහේ බිරිය සෙවනැල්ල මෙන් පසුපස වූවාය. මානවසිංහයන් කොතැනක ගියද හැකි හැම විටකම පාහේ ඇය ඔහු සමග වූවාය. මානවසිංහයන්ගේ කවි සිතෙහි ජනිත වූ ගී,කව්, විවිධ ලේඛන ආදිය බොහෝ විට ලියැවී ඇත්තේද වසන්තාගේ අත් අකුරිනි. ඒ අනුව මානවසිංහ - වසන්තා සෙනෙහේ කැදැල්ලේ දියණියන් සිවුදෙනෙකු හා පුතුන් තිදෙනෙකු සෙවණ ලැබීය.

වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස මානවසිංහ ලකුණ අදත් ජීවමානය. රාජ නීතිඥ ශ්‍රී නිශ්ශංක මහතාගේ 'හෙළදිව' පුවත්පතෙහි සහ විද්‍යාලංකාර පිරිවෙන මගින් පළ කළ 'කාලය' පුවත්පතෙහි  සංස්කාරකත්වය දැරූ මානවසිංහයන්ගේ ලේඛන දිවියෙහි ස්වර්ණමය අවදිය උදාව ඇත්තේ 1947 වර්ෂයේදී ලංකාදීප පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එකතුවීමත් සමගය. මෙසමයෙහි දිනපතා මානවසිංහයන් අතින් ලියැවුණු 'වගතුග' තීරු ලිපිය මෙරට පුවත්පත් කලාවේ විශේෂ මංපෙතකි. එහිදී සමාජයේ කාලීන ප්‍රශ්න හා ගැටලු දෙස නවමු මානයකින්, නිදහස් මනසකින් බැලීමට ගෙන ඇති වෑයම අතිමහත් එකකි.

ඩී.බී. ධනපාල සූරීන් ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ වකවානුවේ එහි කර්තෘ මණ්ඩලයේ සිටි මානවසිංහයන් මෙපරිද්දෙන් ලියූ පන්දහසක් පමණ වූ වගතුග තීරු ලිපි

පත්‍ර කලාවේදියෙකුගේ බුද්ධි මහිමයට මනා නිදසුනක්ම විය. මානවසිංහයන්ගේ භාෂා ඥානය කොතෙක්දැයි පිරික්සීමට සමත් වූ විභාගයක් හෝ ලද සහතිකයක් හෝ ලැබූ උපාධියක් හෝ නොවුවද ඔහුගේ දැනුම පිළිබද කැටපත බවට වගතුග පත් විය. මානවසිංහයන්ගේ කවිත්වය මෙන්ම භාෂා ඥානයද සැබෑ මානව දයාවෙන් හා දේශ වාත්සල්‍යයෙන් මනාව මුවහත් වූ අසිපතක්ම විය.

මානවසිංහයන්ගේ සාහිත, ගී, කව් රස සංකලනය තුළ ඇත්තේ ඔහු ළමා කළ ගත කළ ගිරුවාපත්තුවේ ගැමි ජීවන වටිනාකම් සහ සෞන්දර්ය ඇසුරෙන් ලද මතක මාත්‍රයන් බව මනාව පැහැදිලි වේ. ඔහුගේ සාහිත මෙහෙවර ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, ගීත නිබන්ධන, ළමා ගී සහ කවි, ගීත නාටක, කෙටි කතා ආදියෙන් විචිත්‍රවත්ව තිබිණි. ඔහු අභීත බව, අවංක බව, ප්‍රතිපත්තිගරුක බව, දේශප්‍රේමය, ජාතිකානුරාගය යනාදී වටිනා ගුණාංගයන්ගෙන් පිරී තිබූ චරිත සෝභාවෙන්ද යුතු විය. වැවේ, වෙලේ, හේනේ, කමතේ ජීව ගුණයත්, කුරුලු ගීත කූජනයත්, වන මල් සුවඳත් ඒ තුළ ගැබ්ව තිබිණි. ඔහුගේ මානව දයා ගුණය සහ සංවේදී බව කොතෙක්ද යන්නට මානවසිංහයන් සිය 'කෝමල රේඛා' නම් ගීත රචනා කෘතියට ලියූ පහත පූර්විකාවම නිදසුනක් ලෙස දැක්විය හැක්කේය.

“දුක්බර හැඟුම් ඇති වන අවස්ථාවලට වැඩියෙන් මාගේ නෙත්වලින් කඳුළු හැලෙන්නේ පහන් හැඟුම් ඇතිවන විටදීය. සැබෑ වීරත්වය, සැබෑ භක්තිය, සැබෑ ප්‍රේමය, කලාතුරකින් දක්නට ලැබෙන විදිහේ උතුම් මිනිස් ගුණ ප්‍රකාශ වන අවස්ථා ගැන අසන විට මගේ නෙත් පහන්, කඳුළු උල්පත් බවට පැමිණෙයි.”

ගුවන්විදුලි ගීත නාටක කලාවේ පුරෝගාමීයා ලෙසද මානවසිංහයන් සැලකිය හැක්කේය. 'මනෝහාරි' ගීත නාටකය ජාතික ගුවන් විදුලියේ සේම මානවසිංහයන්ගේද ප්‍රථම ගීත නාටකය විය. 1955 වර්ෂයේ දෙසැම්බර් මස 08 වනදාවක 'මනෝහාරි' ගුවනට මුසුවනුයේ පී. ඩන්ස්ටන්ද සිල්වාගේ සංගීතයෙන්ද, තේවිස් ගුරුගේ සූරීන්ගේ අධ්‍යක්ෂණයෙන්ද තවද රසවත් වෙමිනි. මනෝහාරියෙන් අනතුරුව උල්පත, සීතාවක, රණගුරු, ශ්‍රී වල්ලි, සේනානායක විරායණය, විශාකා ආදී ගීත නාටක පහළොවක් පමණ මානවසිංහයන් අතින් ලියැවිණ. 'උල්පත' ගීත නාටකයට ඔහු ලියූ 'ප්‍රේම තටාකේ මේකයි මැණිකේ' ගීතය අදද මිහිරි මතක සැමරුමකි.

මානවසිංහයන්ගේ චිත්‍රපට ගීත කලාවද මෙරට සිනමාවේ සදාතනික මතක මංපෙතකි. 1959 වර්ෂයේදී දෛවයෝගයට ගීත ලියමින් ඇරඹි ඔහුගේ සිනමා ගී ගමන් මග චිත්‍රපට හතකට පමණක් සීමා වී තිබිණි. එහිදී ලියූ ගීත රචනා ගණන 18කි. දෛවයෝගයට ලියූ 'ජීවන ගමනේ', 'ආදරියේ රුචිරාණනියේ', 'හද ගිලෙයි අම මිහිරේ', 'දොයි දොයි දොයිය පුතා' වැනි ගීතත්, මෙරට ප්‍රථම වෛවර්ණ සිනමා සිත්තම වූ 'රන්මුතු දූව' ඔප කළ 'පාරමිතා බල පූරිත පුජිත', 'ගලන ගඟකි ජීවිතේ', 'පිපී පිපී රේණු නටන' වැනි ගීතත් මානවසිංහයන්ගේ සිනමා ගී කෙතෙහි රන් අස්වනු විය.

'ලා දළු', 'සැපත සොයා', 'සීතල වතුර', 'සිකුරු තරුව', 'හෙට ප්‍රමාද වැඩියි' ආදි සිනමා සිතුවම් ඔහුගේ ගී පද උල්පතෙන් ජීවය ලැබීය. 'සිකුරු තරුව' සිනමාපටයට මානවසිංහයන් ලියූ 'ඉර හඳ පායන ලෝකේ', 'ගමන නොනිමෙයි' වැනි ගී නිර්මාණ ඔහුගේ ජීවන දහමට මනා නිදසුනක්ම විය. 'රන්මුතු දූව'ට මානවසිංහ ලියූ “ගලන ගගකි ජීවිතේ” ගීතය පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වනුයේ වසරේ හොඳම ගී පද සිත්තම සඳහා වූ සම්මානය මානවසිංහයන්ට හිමිකර දෙමිනි. නාරද දිසාසේකර සහ නන්දා මාලනීද හොඳම ගායනා වෙනුවෙන් එහිදී සම්මාන ලැබූහ. මෙම පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේදී 'ජගන් මෝහිනී - මධුර භාෂිනී' නම් සරස්වතී අභිනන්දන ගීතය ආචාර්ය අමරදේවයන් සංගීතවත් කර ගායනා කළ අතර එය සංස්කෘත බසින් ලියැවී ඇත්තේද මානවසිංහයන් අතිනි.

මානවසිංහයන්ගේ ගේය පද රචනා කලාව නව මගකට යොමුව ඇත්තේ එකල්හි

ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා නමින් ප්‍රකටව සිටි ආචාර්ය අමරදේවයන් මුණගැසීමත් සමගය. අමරදේව - මානවසිංහ සුසංයෝගය සිංහල ගීත කලාවේ නව යුගයක් බිහිවීමට හේතුපාදක විය. මෙරට බොදු ගීත කලාවක තරු ලකුණු මේ සුසංයෝගය හරහා එළිදකින්නට විය. මානවසිංහයන්ගේ විශිෂ්ටතම නිර්මාණ කාර්යයක් සේ පිළිගැනෙන %මහ බෝ වන්නම^ ගීතය නිර්මාණය වනුයේද මේ සුසංයෝගයට පින්සිදු වන්නටය.

මානවසිංහයන් ලියූ අමරදේවයන් ගැයූ මුල්ම ගීය 'කුසුම් පිපේ අතු පතරේ සතර දිගන්තේ' නම් ගීතයයි. මානවසිංහයන්ගේ සුලලිත, සුගම, සරල පදරුත් සඳහා අමරදේවයන් මනා ගමන් සගයෙක් වී ඇති අන්දම මන බඳිනසුලුය.

ජාතිකානුරාගය සහ සොබා සෞන්දර්ය කෙරෙහි දරුවන්ගේ සිත් අවදි කළ මානවසිංහයන් මෙරට ළමා ගේය පද රචනා කලාව තුළද නොමැකෙන භූමිකාවකි. 'පන් තරුව', 'සරුංගලේ','ටිකිරි සිනා','වැහි කුමරිය', 'හා පැටියා' ආදි ළමා ගී රචනා ඒ මතකය අලුත් කරවයි. මවක් සහ දරුවෙක් අතර ඇතිවන දෙබසක ස්වරූපයෙන් ලියැවුණු 'මල් මිහිර' ගී පද සිත්තම ඒ සඳහා කදිම නිදසුනකි.

'මොනවද අම්මේ අකුරු ජාතියක්

මල් පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේව ලියන්නේ

පාට පාට ඉරි හැඩ ගහලා'

යනුවෙන් කිංස්ලි ජයසේකර සහ ප්‍රසිලා ඕපාත ගුවන් විදුලියට ගායනා කළේ මල් මිහිර පද සිත්තමයි. 'ඉතිරුණු කිරිබත', 'පුංචි අපට', 'යෝද බලය',
'වැහි කුමරිය', 'උරුමය', 'දුරුතු කුමරි', 'කිඳුරු ගීය', 'ජාතික අනුහස' වැනි ළමා ගී කෘති ඔහු ලියා පළ කළේය. 'සේපාලිකා' නමින් ඔහු ළමා ගීත නාටකයක්ද ලිව්වේය. 'බුදු සසුන' සහ 'කෝමල රේඛා' නමින් ගේය පද රචනා කෘති දෙකක්ද මානවසිංහයන් ලියා පළ කළේය. 'ගොළු දැරිය' සහ 'හදවත් නැත්තෝ' ඔහු ලියූ කෙටි කතා කෘති වේ. සාහිත්‍ය රසය, ප්‍රජාතන්ත්‍ර ප්‍රගතිය මෙන්ම පුවත්පත් තීරු ලිපි එක්කොට පළකළ 'වගතුග' කෘතිය ආදිය මානවසිංහයන්ගේ අපරිමිත සාහිත වෑයමට දෙස් දෙයි.

1948ට පෙර යුගයේ අධිරාජ්‍යවාදී පාලනයේ කටුක බව හොඳින් දත් අයෙකු ලෙස මානවසිංහයන්ගේ විශ්වාසය වූයේ ඉංග්‍රීසින්ගෙන් පාලන බලය ලබාගැනීමෙන් ඔබ්බට ගිය ජාතික නිදහසක් දිනාගත යුතු බවයි. භාෂාව, සංස්කෘතිය, දේශීත්වය හා ජාතිකත්වය එහිලා මුදුන්පත් විය යුතු බව ඔහු ඇදහූ දහම විය. මේ හේතුවෙන් ගැමි ජීවන සම්ප්‍රදාය සහ සොබාදහමේ සැබෑ ජීවන දහම ප්‍රිය කළ මානවසිංහයන් අගනුවර කළු අහස යට දිවි ගෙව්වද හදවතින් හද්දා පිටිසර ගැමියෙක්ම විය.

“සොම්නස හෝ සන්තාපය හමුවේ

සිහිවේ සිහිවේ අම්මා

කරුණා ගුණයේ සාරය සොයලා

නිමකළ පිළිරුව අම්මා”

මානවසිංහයන් සිය මව අරඹයා එසේ ලියනුයේද සකල අම්මාවරුන් වෙනුවෙනි.

කෙසේ වෙතතත් ජ්‍යෝතිර්වේදය පිළිබඳ මනා පරිචයකින් යුතු වූ මානවසිංහයන්, 1954 වසරේ දිනක “මම තව ජීවත් වෙන්නේ දහ අවුරුද්දයි” යනුවෙන් කළ ප්‍රකාශය පුදුම උපදවනසුලුය. ඒ අනුව 1964 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක මානවසිංහයන් ගිලන්ව රෝහල්ගත වනුයේ ඉහත අනාවැකිය සඵල වන දිනය ළංවෙමින් ඇති බව සං කරමිනි. රෝහල කරා යන්නට මත්තෙන් ඔහු නිවැසියන් හැමට සිය දෑත් එක්කර ආචාර කිරීමටද එහිදී අමතක නොකළේය.

1964 වසරේ ඔක්තෝම්බර් හතරවැනිදාට හිරු උදාවිය.

“මට අද සනීපයක් දැනෙනවා. ඔයා අද දවසෙම මා ළගම ඉන්න” යැයි මානවසිංහයන් සිය බිරිඳ වසන්තාට කීවේය.

මළ හිරු බැසයත්ම මළානික මුහුණින් පිරිත් කියැන්නැයි ළඟ උන් අයගෙන් ඉල්ලා සිටි ඔහු පිරිත් හඬ අසමින්ම පියෙවි සිහියෙන් යුතුවම පණස් එක් වසරක දිවිසැරිය නිමා කළේය. එහෙත් අදද ඇහැළ ගස් අතු පතරක මානව සංවේදී මානවසිංහ කවියා නමින් කුරුළු ගීත කූජන ගැයෙන බව නම් නොඅනුමානය.

 



Recommended Articles