නූතනවාදය යනු දාර්ශනික ව්‍යාපාරයක් මෙන්ම කලා ව්‍යාපාරයක් වේ. එය සංස්කෘතික ප්‍රවණතා හා සමාජ ආර්ථික වෙනස්වීම් සමග 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ බටහිර සමාජය තුළ වර්ධනය වූවකි.
නූතනවාදය හැඩගැස්වීම කෙරෙහි බලපෑ සාධක අතර, නූතන කාර්මිකකරණයේ වර්ධනය හා නගරවල ශීඝ්‍ර වර්ධනය පෙන්වා දීමට පුළුවන. දාර්ශනික හා ඓතිහාසික වශයෙන් නූතනවාදය වර්ධනය වීමට හේතු වූ ප්‍රධාන කරුණක් වූයේ පළමුවැනි ලෝක සංග්‍රාමයයි.
පළමු ලෝක යුද්ධයෙන් ඇති වූ භීෂණය බොහෝ චින්තකයන්ගේ චින්තන මාදිලිය වෙනස් කිරීමට පාදක වූ අතර, මනුෂ්‍යයාගේ ජීවිතය මෙන්ම පැවැත්ම සම්බන්ධයෙන්ද මිනිසා විසින් පිළිගත් විශ්වාසයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් පළමු ලෝක යුද්ධයෙන් පසු බටහිර සමාජ තුළ ඇතිවිය.
නූතනවාදය විසින් බුද්ධිමය චින්තනයේ නිශ්චිතභාවය ප්‍රතික්‍ෂේප කළ අතර, සමස්තයක් වශයෙන් ගත්කල බොහෝ නූතනවාදීහු ආගමික විශ්වාසයන්ද ප්‍රතික්‍ෂේප කළහ. මේ අනුව, නූතනවාදය තුළදී තර්කය සම්බන්ධයෙන්ද, ඇදහීම සම්බන්ධයෙන්ද දෙපසටම ප්‍රශ්න කිරීම සිදුවිය. එනයින්, නූතනවාදය යනු තනි චින්තන ධාරාවක් වශයෙන් හඳුන්වා දීමට නොහැකිය.
19 වැනි සියවස වන විට නූතනවාදීන් දුටු කරුණක් වූයේ සාම්ප්‍රදායික කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍යය, ආගමික ඇදහීම්, දර්ශනය, සමාජ සංවිධානය, එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් සහ විද්‍යාවන් තවදුරටත් කාර්මිකකරණය සමගින් ඉස්මතු වූ ලෝකයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නුසුදුසු වන බවයි. එබැවින් නූතනවාදය සෑම විටම ආමන්ත්‍රණය කරන්නට වූයේ නැගී එන කාර්මික ලෝකයක් තුළ දළුලමින් තිබූ නව ආර්ථික, සමාජීය හා දේශපාලන පරිසරයක් වෙතය.
එස්රා පවුන්ඩ් නම් කවියා විසින් 1934 වර්ෂයේදී රචනා කරන ලද එය අලුත් කරන්න (Make it new) නම් කවිය මීට මනා නිදර්ශනයක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. එනම් අතීතයට අයත්, යල් පැනගිය සංස්කෘතිය වෙනුවට නව ඇවතුම්, පැවතුම් පද්ධතියක් ප්‍රතිස්ථාපනය කරන ලෙසට වන උද්ඝෝෂණය එම කවිය තුළ ගැබ් වී තිබේ.
නූතනවාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සාහිත්‍ය හා සමාජ සම්ප්‍රදායන් පිළිබඳ ස්වයං විඥානාත්මක ස්වරූපය සහ උත්ප්‍රාසයයි. මෙම නව තත්ත්වය සමග සාහිත්‍යය සහ කලාව තුළ බොහෝ නව ආකෘති අත්හදා බැලීමට මග පෑදූ අතර, චිත්‍ර, කවි, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සකලවිධ කලාවන් පරිවර්තනීය යුගයක් කරා පිය මැන්නේය. නූතනවාදය විසින් තාත්විකවාදයේ දෘෂ්ටිමය පදනම පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කෙරිණි. මේ නිසා, නව අරුත් මතු වන ආකාරයෙන් අතීතයේ කෘති නැවත භාවිත කිරීම, සංස්ථාගත කිරීම, නැවත ලිවීම, නැවත සකස් කිරීම, සංශෝධනය කිරීම හා උපහාසාත්මක ලෙස යොදා ගැනීම නූතනවාදය තුළ කැපී පෙනෙන ලෙසින් දැක ගැනීමට ලැබිණි.
පශ්චාත් නූතනවාදය මගින් දර්ශනවාදයක් මෑත කාලීනව ගොඩනැගුණද ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ නූතනවාදය තවමත් අවසන් වී නොමැති බවයි. ඔවුන්ගේ මතය වන්නේ නූතනවාදය විසි එක්වැනි සියවස තුළදී තවදුරටත් විකාශනය වී නව්‍ය නූතනවාදයක් (Late modernism) හෝ උසස් නූතනවාදයක් දක්වා විකාශනය වී ඇති බවයි. මෙහිදී පශ්චාත් නූතනවාදය යනු නූතනවාදයෙන් බැහැර වූ සහ නූතනවාදය ප්‍රතික්‍ෂේප කරන කලාපයක් ලෙසින් අර්ථ ගැන්වේ.