"අප්‍රේල් 25 නුවරඑළිය මහ නගර සභාව විසින් පැවැත්වූ අවුරුදු උත්සවයේදී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වීම සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්න මම නියෝග කරලා තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී යෝජනා කරගත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් වසන්ත උත්සවය පැවැත්වීමට තමයි අපි තීරණය කළේ. වසන්ත සමයේ අනිකුත් සියලු උත්සව පැවැත්වුණේ ඒ ක්‍රමවේද අනුවයි. නමුත් මහ නගර සභාව පැවැත්වූ අවුරුදු උත්සවය ඒ ක්‍රියා පිළිවෙත් උල්ලංඝනය කර අවසරයකින් තොරව පැවැත්වූ බවට වාර්තා වුණ නිසයි පරීක්ෂණයක් පැවැත්වෙන්නේ. එහිදී මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධයෙන් පවා අවධානය යොමු කරලා තිබුණේ නෑ."
ඒ අප කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පළ කළ අදහසයි. වසන්ත සමය හේතුවෙන් අති විශාල ජනතාවක් නුවරඑළියට පැමිණි අතර, එම ප්‍රමාණය ලක්ෂ පහකට අධික බව පැවසේ. අද වන විට කෝවිඩ් 3වෙනි රැල්ල රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඒ සඳහා නුවරඑළියේ පැවති වසන්ත සමය විශාල වශයෙන් බලපා ඇති බවත්, එයට නුවරඑළිය නගරාධිපතිවරයා සෟජුව වග කිවයුතු බවත් රට පුරා මතයක් ගොඩනැගී ඇත.
උත්සව ගණනාවකින් සමන්විත වූ වසන්ත සමයේදී, නුවරඑළිය මහ නගර සභා කම්කරුවන් පැවැත්වූ අවුරුදු උත්සවය කෙරෙහි සියලුදෙනාගේ නෙත යොමු වූ අතර, එයට හේතුව වූයේ මුව ආවරණ නොමැතිව කම්කරු සේවක සේවිකාවන් සතුටු වන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍යයට විවර වීමයි.
සම්බන්ධයෙන් නුවරඑළිය නගරවාසීන් කියන්නේ කුමක්ද යන්න සෙවීමට අප යුහුසුළු වූ අතර, එහිදී හමුවූ නුවරඑළිය හඬ සංවිධානයේ ලේකම් පියසේන කහඳගමගේ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
"මුළු රට පුරාම මාරාන්තික වසංගතයක් පැතිරෙන අවස්ථාවක කුමන අන්දමින් හෝ උත්සව, සැණකෙළි පැවැත්වීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් නුවරඑළිය වසන්ත සමය පැවැත්වීම දැඩි අවදානම් සහිත ක්‍රියාවක්. රජයේ ඉහළ බලධාරීන්ගේ හා රාජ්‍ය ආයතනවල අනුමැතිය ඇතුව තමයි මේ වසන්ත සැණකෙළිය පැවැත්වුණේ.
ඒ සඳහා ඉහළම දේශපාලන බලධාරීන් මෙන්ම ඔවුන්ගේ සමීපතම ඥාතීන් සෞඛ්‍ය නීතිරීති නොසලකා සහභාගි වුණා. මේ සඳහා අනුමැතිය, අනුග්‍රහය හා සහභාගීත්වය දැක්වූ සියලුදෙනාටම කෝවිඩ් රෝගය පැතිරවීමේ වගකීමෙන් ගැලවෙන්න බෑ. මෙතෙක් නිහඬව ඉඳලා දැන් පරීක්ෂණ පවත්වලා කිසිදු ප්‍රයෝජනයක් අත්වෙන්නේ නෑ.
විශාල හානියක් සිදුවීමේ පෙරනිමිති දැනටමත් පහල වෙලා තියෙනවා. හොර රහසේ අනුග්‍රහය ලබා දී පසුව යම් ව්‍යසනයක් ඇතිවෙද්දී තමන් අනුමැතිය ලබාදුන්නේ නෑ කියලා හරියන්නේ නෑ. මේ පරීක්ෂණ වලත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ කාටවත් දඬුවම් දීමක්වත්, වෙනත් කිසිදු දෙයක් වත් නෙමෙයි ජනතාව රැවැට්ටීම පමණයි."
එහෙත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසන්නේ මහ නගර සභාව විසින් පැවැත්වූ අවුරුදු උත්සවය හැර අන් සියලු උත්සව සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව අවසර ගෙන පැවැත්වූ බවයි. කෙසේ වුවත් එම වචනය අපට පිළිගැනීමට සිදුවන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ අනුව මෙම උත්සවයන් පැවැත්වීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි සෙවීමට අපි තිරණය කළෙමු.
වසන්ත සමයේ උත්සව හා ඉසව් පැවැත්වීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුත් සමංක DGHS/PD/CP/64/2021/BG හා 2021.03.31 දිනැති ලිපිය මගින් නුවරඑළිය වසන්ත සැණකෙළියට අදාළ උත්සව හා ඉසව් පැවැත්වීමට අනුමැතිය ලබාදිය නොහැකි බව දන්වා තිබුණි.
ඊට අමතරව රාජකීය තුරග තරග සමාජය මෙන්ම නුවරඑළිය 4x4 ක්‍රීඩා සමාජය, තමන් විසින් පැවැත්වීමට සංවිධානයකොට ඇති තුරග තරග හා ජීප් රථ තරග ඉසව් සඳහා අනුමැතිය ලබාදෙන ලෙසට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. ජේ. ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබූ නමුත්, ඒ සඳහාද අනුමැතිය ලබාදිය නොහැකි බවට ඔහු විසින් එකී ක්‍රීඩා සමාජ වෙත දන්වා තිබූ ලිපිලේඛණ අපට සොයාගත හැකි විය.
එහෙත් රාජකීය තුරග තරග සමාජය, අප්‍රේල් 15වෙනි දින ආණ්ඩුකාර කුසලාන තුරග තරගය තවත් විශේෂාංග රැසකින් සමන්විතව නුවරඑළිය රේස්කෝස් පිටියේදී විශාල ප්‍රේක්ෂක ජනතාවක් හමුවේ සිදුකරනු ලැබීය. ආණ්ඩුකාර කුසලාන තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා සහභාගී වූ අතර, සෙසු ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානපතිරණත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාත් සහභාගී වූහ.
එහි විශේෂත්වය වන්නේ වසන්ත සමයේදී පැවැති සියලු උත්සව අදාළ අනුමැතියන් හා සෞඛ්‍ය නීතිරීති වලට අදාලව පැවැති බවට ප්‍රකාශ කරන ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ ආණ්ඩුකාර කුසලාන තුරග තරගය පවත්වා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි අවසරකින් තොරව වීමයි.
එසේම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අප්‍රේල් 22වෙනි දින නුවරඑළිය 4x4 ක්‍රීඩා සමාජය සංවිධානය කරන ජීප්රථ තරග ඉසව්ව සඳහාද අනුමැතිය ලබාදී ඇත. විශේෂත්වය වන්නේ මෙම අනුමැතීන් දෙක ලබාදීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ අංක DGHS/PD/CP/64/2021/BG හා 2021.03.31 දිනැති ලිපිය මගින් නුවරඑළිය වසන්ත සැණකෙළියට අදාළ උත්සව හා ඉසව් පැවැත්වීමට අවසර ලබාදිය නොහැකි බව දන්වා ඇති ඡේදයද සඳහන් කොට තිබීමයි.
විශේෂිත කාරණය එය පමණක් නොවේ. මෙම වසන්ත සමයට ආදාළ උත්සව හා සැණකෙළි පැවැත්වීමට අවසර ලබාදිය නොහැකි බවට සමංක DGHS/PD/CP/64/2021/BG හා 2021.03.31 දිනැති ලිපිය තම අත්සනින් නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනම, සමංක EPID/400/2019/n-CoV/ හා 2021.04.16 දිනැති ලිපිය මගින් අප්‍රේල් 20 දින සිට 27 දින දක්වා නුවරඑළිය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී බැට්මින්ටන් තරගාවලියක් පැවැත්වීම සඳහා අවසර ලබාදීමයි.
ඉන්පසු ඔහුම මාධ්‍ය ඉදිරියට පැමිණ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා තමා කිසිදු අවසරයක් ලබානොදුන් බව පැවසීම, මෙවැනි කටයුතු වලදී පමණක් නොව අන් සියලු කාරණා වලදීද ඔවුන්ගේ වගකීමේ හා වග වීමේ ස්වභාවය ජනතාවට මැනවින් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය. ගෘහස්ත ක්‍රීඩාංගණය තුළ සිටිය යුතු උපරිමය 50ක් බව දක්වා තිබුණද ඊට වඩා විශාල සංඛ්‍යාවක් මෙහි සිටින ලද අතර, මේ සඳහා දිවයිනේ නන්දෙසින් ක්‍රීඩික කීඩිකාවන් 1200ක් පමණ සහභාගී වූහ.
ලිපි ලේඛන පිරික්සීමේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් අපූරු ලියවිල්ලක් සොයා ගැනීමට අපට හැකියාව ලැබුණි. එය වසන්ත සමයේ තාවකාලික බියර් හලක් පවත්වාගෙන යාම සඳහා කරනු ලැබූ ඉල්ලීමට අනුව නිකුත්කරන ලද්දක් විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගෙන් පෞද්ගලික ආයතනයක් කරනු ලැබු ඉල්ලීමක් මත, ඔහු විසින් පවතින විධිවිධාන යටතේ අදාළ කටයුත්ත ඉටුකර දෙන ලෙසට සමංක GCP/06/Meetings හා 2021.04.05 දිනැති ලිපිය මගින් නුවරඑළිය මහ නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ නුවරඑළියේ නගර සභා හා සෞඛ්‍ය බලධාරීන් වසන්ත සමය තුළ සැණකෙළි, සංගීත සංදර්ශන හා බියර් හල් පවත්වාගෙන යාමට අවසර ලබා නොදීමට තීරණයක් ගෙන තිබියදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්. එන්. වීරසුරිය, තාවකාලික බියර් හල සඳහා සමංක CPC/PDHS/E1/44/2021 දරණ 2021.04.01 දිනැති ලිපිය මගින් අවසර ලබාදී තිබීමයි. කුමන හේතුවක් නිසා හෝ නුවරඑළිය මහ නගර සභාව බියර් හල සඳහා අවසර ලබාදී නොතිබුණි. අප මේ සම්බන්ධයෙන් කළ විමසිමේදී නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, තමන් එවැනි ලිපියක් පිළිබඳව නොදන්නා බව පැවසූ අතර, නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන ඒ සඳහා පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටියේය.
කෙසේ වෙතත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, නගර සභා අවුරුදු උත්සවය පිළිබඳව පමණක් නොව සමස්ත වසන්ත සමය පිළිබඳවම පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඉතා කාලෝචිතය. අවශ්‍ය නම් අප ඉහතින් සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ හැකිය. කිසිවෙකුට චෝදනා එල්ල කිරීමට හෝ චෝදනා වලින් ගලවා ගැනීමට අපට අවශ්‍ය නැතිමුත් මෙම සිදුවිම් මාලාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඊට සම්බන්ධ සියලුදෙනාම මේ සඳහා වගකිව යුතු බව කිව හැකිය.