මෙවර ලෝක සාගර දිනයේදී මෙරට වැඩි අවධානය යොමු වුණේ දැති මෝරුන් පිළිබඳවය. එයට හේතුව වූයේ තරුණ සත්වවේදීන්ගේ සංගමය මෙම මත්ස්‍යයා සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ නිසාම වඳ වීගෙන යන දැති මෝරුන් පිළිබඳව අපේ අවධානය මෙලෙස යොමු විය.
කවුද මේ දැති මෝරා
සාගර දිනයේදී දැති මෝරා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ ඇයි? යන්න පිළිබඳව සොයා යෑමේදී ඒ පිළිබඳ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ පොදු උප සභාපති හසන්ත විජේතුංග මෙලෙස දැති මෝරුන් පිළිබඳව තොරතුරු වාර්තා කර සිටියේය.
“ලෝකයේ වාර්තා වන කරදිය මත්ස්‍යයන් අතරින් වඩාත්ම අනතුරුදායක මට්ටමට පත්ව ඇති මත්ස්‍ය විශේෂයන් ලෙස දැති මෝරුන් (Sawfish) හඳුන්වන්නට පුළුවන්. ප්‍රිස්ටිඬේ කුලයට (Pristidae) අයත් කාටිලේජීය මත්ස්‍ය විශේෂයක් වන දැති මෝරුන් විශේෂ කිහිපයක්ම ජීවත් වෙන්නේ ඉන්දු පැසිෆික් සාගරය ආශ්‍රිතවයි. මෙම මසුන් ලංකාව ආසන්න මුහුදෙන් වඳවී ගොස් ඇති හෝ ඉතා සුළු පිරිසකට පමණක් සීමා වී ඇතැයි සැලකෙන නමුත්, ශ්‍රී ලංකාව මේ පිළිබඳ නිසි අවධානයක් යොමුකර නැති තත්ත්වයක් තිබෙනවා.
දැති මෝරා ලෙස හැඳින්වුවද මොවුන් සැබෑවටම මඩුවන් විශේෂයක්. මෙම මත්ස්‍යයාගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ඉහළ හනුව වර්ධනය වීමෙන් සෑදෙන කියතක ස්වරූපයක් ගන්නා කොටසයි. මෙම කොටස එම මත්ස්‍යයන්ගේ හිස් කබලටම සමබන්ධ වී තිබෙනවා. රොස්ට්‍රම් (Rostrum) නමින් හැඳින්වෙන මෙම කොටසේ දෙපසින් සුදු පැහැ උල්වූ දත් වැනි නෙරුම් පෙළක් පිහිටනවා. මොවුන් ගොදුරු සොයාගැනීම සඳහා මෙම කියතක ආකාරයේ ව්‍යුහය භාවිත කරනු ලබනවා. මොවුන්ගේ හිසේ හා මෙම රොස්ට්‍රම් තුළ සංවේදී ඉන්ද්‍රියන් වන ලොරෙන්සීනි ජිද්‍ර (Ampullae of Lorenzini) දහස් ගණනක් පිහිටා තිබෙනවා. අන් සතුන්ගෙන් විමෝචනය වන විද්‍යුත් ක්ෂේත්‍ර ග්‍රහණය කර ගැනීමට ඊට හැකි අතර, එමගින් අනෙකුත් ජීවීන්ගේ චලනයන් හඳුනා ගැනීමට හා නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබෙනවා. මොවුන් බොහෝවිට මුහුදු පතුල ආසන්නව සිටින මත්ස්‍ය කොට්ඨාසයක් බැවින් මොවුන්ගේ ගොදුරු බවට පත්වනුයේ පතුල ආසන්නයේ ජීවත් වන මාළුවන්, කකුළුවන්, ඉස්සන් හා මොලුස්කාවන් වැනි සතුන්.
වර්තමානය වන විට ලොව පුරා දැති මෝරුන් විශේෂ 5ක් සිටින බව වාර්තා වන අතර, එම විශේෂ අතරින් Narrow Sawfish, Dwarf Sawfish, Green Sawfish යන විශේෂ තුන ඉන්දු පැසිෆික් සාගරය ආශ්‍රිතව ජීවත් වෙනවා. Largetooth Sawfish විශේෂය ඉන්දු පැසිෆික් සාගරයේ මෙන්ම නැගෙනහිර පැසිෆික් සාගරයේ හා අත්ලාන්තික් සාගරයේද වාසය කරන අතර, Smalltooth Sawfish විශේෂය ජීවත් වනුයේ අත්ලාන්තික් සාගරයේ පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අයත් මුහුදෙන් දැති මෝරුන් විශේෂ හතරක් හමුවීමේ ඉඩකඩ තිබෙනවා.
උක්ත මත්ස්‍ය විශේෂ 5 අතුරින් Narrow Sawfish, Dwarf Sawfish යන විශේෂ දෙක තර්ජනයට (EN) ලක් වූ විශේෂ වන අතර, Smalltooth Sawfish, Green Sawfish, Largetooth Sawfish යන විශේෂ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට (CR) ලක්වී ඇති බව රතු දත්ත ලේඛනය පෙන්වා දෙනවා.
වර්තමානය වන විට ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවකින් මෙම මත්ස්‍ය විශේෂ වඳ වී ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම මසුන්ගේ ගහනය මෙලෙස අඩු වීමට මිනිස් ක්‍රියාකාරකම් දැඩි ලෙස බලපා තිබෙනවා. විශේෂයෙන්ම ධීවරයන්ගේ දැල්වල පැටලී මෙම මසුන් මියගිය අවස්ථා ගණනාවක්ම වාර්තා වෙනවා. ඒ වගේම මෙම මෝරුන්ගේ කොටස්, විවිධ රෝග සුව වීමට උපකාරී වන බවට මතයක් පැවතීම මෙම මසුන්ට දැඩි තර්ජනයක් වී තිබෙනවා. මෑතක් වනතුරු මෙම කියත් සංචාරකයන්ට අලෙවි කිරීම සිදුකළ අතර, මිථත්‍යා මත පදනම් වූ ඇතැම් සංස්කෘතිවල තම නිවසේ මොවුන්ගේ කියත් ප්‍රදර්ශනයට තැබීම ගෙහිමියාට වාසනාව ගෙන දෙන්නක් යැයි සැලකීම මෙම සතුන්ගේ පැවැත්මට තව තවත් තර්ජන ගෙන දෙන්නක්.
වඳ වී යන සතුන් සහ ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ප්‍රඥප්තිය අනුව දැති මෝරුන් විශේෂ සියල්ලම 2012 සිට එහි පළමු උපලේඛනයට ඇතුළත් කරලයි තිබෙන්නේ. ඒ අනුව, දැති මෝරුන් කිසිදු වෙළෙඳ කටයුත්තක් සඳහා අපනයනය හෝ ආනයනය කිරීමට නොහැකියි. නමුත් ඒ තුළින් රටක් තුළදී මෙම මත්ස්‍යයන් ඇල්ලීම, මරා දැමීම හෝ වෙළෙඳාම් කිරීම යන ඒවා කෙරෙහි කිසිදු ආකාරයකින් බලපෑමක් සිදුවෙන්නේ නැහැ.
තත්ත්වය එසේ පැවතියත්, මෙම දුර්ලභ මසුන් ආරක්ෂා කිරීමට මෙතෙක් ධීවර හා ජල සම්පත් පනතින් හෝ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ කිසිදු නීතිමය ආරක්ෂාවක් ලැබී නැහැ. එසේනම් මෙම මත්ස්‍ය විශේෂයන්ට නෛතිකව ආරක්ෂාව සපයා දී, ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් වඳවී යාමට නොදී ආරක්ෂා කර ගැනීමට අපි සියලුදෙනාම නොපමාව කටයුතු කළ යුතුයි. එලෙස සිදුකිරීම මගින් ජාත්‍යන්තර වශයෙන් ලංකාවට අත්වන්නේ කීර්තියක් බව සඳහන් කරන්නට කැමතියි.”
දැති මෝරා සංරක්ෂණයට අපේ රටේ නීති නැද්ද?
ලෝකයේ රටවල් රැසක් දැති මෝරුන් සංරක්ෂණය කෙරෙහි නීති හා අනපනත් ගෙන ඇතත්, ලෝකයේ හමුවන දැති මෝරු විශේෂ පහෙන් හතරක්ම හමුවෙන ශ්‍රී ලංකාව ඒ පිළිබඳ අවධානය යොමුකර නැත. එසේ වීමට හේතුව ලංකාවේ අණපනත් ප්‍රමාණවත් නොවීමද යන ගැටලුවට අපට පිළිතුරු ලබාදුන්නේ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතායි.
ලංකාවේ නීතියෙන් ආරක්ෂා කරන්නට අවශ්‍ය බවට අප හඳුනාගෙන තිබෙන වඳ වීගෙන යන මුහුදු සතුන් අතර මුහුදු මත්ස්‍යයන්ගේ ප්‍රමුඛතාව තිබෙන්නේ දැති මෝරුන් සම්බන්ධවයි. එයට හේතුව තමයි ලෝකය පුරාම අද වන විට වඩාත්ම තර්ජනයට ලක්වූ මුහුදු මත්ස්‍යයන් කොට්ඨාසය බවට දැති මෝරුන් නම් කර තිබීම. ලංකාවෙත් දැන් මේ මත්ස්‍යයන් හමු නොවන තරමට දුර්ලභ වී තිබෙනවා. දැති මෝරුන් ආරක්ෂා කරන්නට භාවිත කළ හැකි පනත් දෙකක් ලංකාවේ තිබෙනවා. ඉන් එකක් තමයි වනසත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ ආඥා පනත. එහි 31(අ) කියන වගන්තිය අනුව දැති මෝරුන් ආරක්ෂා කරන්නට ප්‍රතිපාදන සකස් කරන්නට පුළුවන්. වර්ගීකරණ ගැටලු හා කොයි මෝරාද හමුවුණේ කියන එක පිළිබඳ හඳුනා ගැනීමට විශේෂඥ මත ගැනීමේ ගැටලුව මඟහරවා ගන්නට දැති මෝරුන්ගේ කුලය වන ප්‍රිස්ටිඬේ කුලයම ආරක්ෂා කරන්නට හැකියි. මෙම කුලයට අයිති මත්ස්‍යයන් සිටින්නේ පස්දෙනයි. ඉන් හතරක් ඉන්දීය හා පැසිෆික් සාගරයේ ජීවත් වෙන නිසා මුළු කුලයම ආරක්ෂා කිරීමෙන් අපට පහසුවක් ඇති වෙනවා. ඒ අනුව දැති මෝරෙක් කියලා හඳුනා ගැනීම පමණක් අපට ප්‍රමාණවත් වෙනවා.
දෙවනුව ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වගන්තියෙන් පුළුවන් දැති මෝරුන්ට නීතිමය ආරක්ෂාවක් සපුරන්නට. 29 වගන්තියෙන් ඉහත සඳහන් කළ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතට සමානව ආරක්ෂාවක් දැති මෝරාට සපයන්නට හැකි වුණත්, එම පනතට වඩා යම් දුර්වලකමක් මේ පනතේ දැකගත හැකියි.
උදාහරණයක් ලෙස වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 31(අ) යන්න යටතේ සිදුකරන ඕනෑම වරදක් සංඥේය වරදක් බවට පත්වෙනවා. ඒ අනුව එම වරද කරන අයෙක්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නට පොලීසියට හෝ වනජීවී නිලධාරීන්ට හැකියි. නමුත් ධීවර හා ජලජ සම්පත් පනතට එවන් හැකියාවක් නැහැ. කොහොම නමුත් මේ පනත් දෙකටම මේ මත්ස්‍යයාව ඇතුල් කරන්න පනත් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නැහැ. එය අමාත්‍යවරයා විසින් සකස් කරන නියෝගයකින් සිදුකළ හැකියි. ඒ අනුව ධීවර හා ජලජ සම්පත් විෂය භාර අමාත්‍යවරයාට හෝ වනජීවී අමාත්‍යවරයාට නියෝගයකින් සිදුකළ හැකි පහසු දෙයක් මේක. නමුත් මේ පනත් දෙකෙන් එකකටවත් මේ සත්ත්වයා ඇතුළත් කර නොමැති වීමයි අපට තිබෙන ගැටලුව වගේම කනගාටුව. මොකද මේ දැති මෝරු සියල්ලම දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙනවා. ඒ වගේම කිසිම ආකාරෙකට ජාත්‍යන්තර වෙළෙඳාමක් සිදුකරන්න නොහැකි ආකාරයට 2012 වර්ෂයේ සිට ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ප්‍රඥප්තිවලින් තහනම් කර තිබෙනවා. ඇයි එහෙනම් අපිට මේ දක්වා මේ සත්ත්වයාව ආරක්ෂා කරන්න බැරි වුණේ කියන ගැටලුව අපිට තිබෙනවා. තරුණ සත්වවේදීන්ගේ සංගමය මේ පිළිබඳව විෂය භාර අමාත්‍යාංශ දැනුවත් කර තිබෙනවා. ඒ වගේම ලෝක පරිසර දිනයේදී හා ලෝක සාගර දිනයේදී මේ පිළිබඳ විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය හරහා ලබාදෙන්න ඔවුන් කටයුතු කර තිබුණා. මේ සත්ත්වයා ආරක්ෂා කරන්න අවශ්‍ය නියෝග සකස් කරන්න මාස ගණන් ගතකරන්න අවශ්‍ය නෑ. මේ ආයතන දෙකට මේ සම්බන්ධයෙන් නියෝග සකස් කරන්න අවශ්‍ය නම් මට එය නොමිලේම සිදුකරන්නට හැකියාවක් තිබෙනවා.
දැති මෝරා සංරක්ෂණය අවශ්‍ය ඇයි?
පරිසර දිනයේදී මෙන්ම සාගර දිනයේදී තරුණ සත්වවේදින්ගේ සංගමය දැති මෝරුන් සංරක්ෂණය පිළිබඳව වැඩි කතාබහක් ආරම්භ කළා. එයට හේතුව අපි විමසනු ලැබුවේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපති දිලුක්ෂ සොයිසාගෙනි.
දැති මෝරුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අපි කිහිප තැනකම කතාබහ කළා. අපි දැති මෝරා සංරක්ෂණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව කතා කළාට, හැම අවුරුද්දේම ඒක අතහැරෙන දෙයක් බවට පත්වුණා. දැනට ලංකාවේ නීතියෙන් මෝරුන් පස්දෙනෙක් ආරක්ෂිත සත්ත්වයන් ලෙස නම් කර තිබෙනවා. ඒ අතරට දැති මෝරා අයත් නැහැ. දැනට ලංකාව ඇතුළත කාටිලේජමය මාළුන් වන මඩුවන් හා මෝරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී නැහැ. වනසත්ව හා තුරුලතා ආඥා පනතේ හැම සත්ත්වයෙකුටම ලබාදී ඇති සාමාන්‍ය ආරක්ෂාව පමණයි මේ සතුන්ට ලබා දී තිබෙන්නේ. අපි දැති මෝරා ගැන කතා කරන්නට හේතු වුණේ ලෝකයේ වාර්තා වන දැති මෝරුන් 5 දෙනාම වඳ වීමේ තර්ජනයට මුහුණ දුන් සත්ත්වයන් ලෙස නම්කර තිබීම නිසයි. වෙනත් රටවල්වල නීතිප්‍රකාරව මෙම දැති මෝරෙක් දැලකට අහු වුණොත් දැල කපලා සතාව නිදහස් කළ යුතුයි. ඒක කරන්නම වෙනවා. ලංකාවේ එලෙස නීති නැහැ. ලංකාවේ මෑතකාලීනව මේ සතුන් හමුවෙන්නේ නැහැ. දැනටමත් අපි දන්නෙ නැහැ මේ සතා අපේ මුහුදෙන් වඳ වී ගොසින්ද කියන තොරතුරවත්. නමුත් මේ දැති මෝරු වර්ග 5න් හතරක්ම අපේ රට අවට මුහුදෙන් හමුවෙන්නට හැකියාව තිබෙනවා. දැලක් එළුවොත් මේ සතෙක් ලෙහෙසියෙන් හසුවෙනවා. නමුත් ඒ සතාව මුදාහැරිය යුතු බවට අපේ රටේ නීති නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේ සතාට තිබෙන ආරක්ෂාව තර කරන්න කියලා. මේ නීති ගෙනාවම මාළු කන එකට තර්ජනයක් වෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් මේ දැති මෝරුන් පස්දෙනා ආහාරයට ගත්තෙ නෑ කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ. දැති මෝරු පමණක් නොවේ, අපි දැක්කා මෑතකදී විශාල මඩුවෙක් අසුවුණ පුවතක්. මේ මාළුත් ආරක්ෂා කළ යුතුයි. නමුත් ධීවර කර්මාන්තය සමග ගැටෙන නිසයි අපි මේ සම්බන්ධයෙන් කතා කළේ නැත්තේ. දැති මෝරුන් සම්බන්ධයෙන් ගත්තාම ලෝකයම මේ සතාව ආරක්ෂා කරන්න නීති ගෙනත් තිබෙනවා. මරන්න බැහැ. වෙළෙඳාම් කරන්න බැහැ. දැලකට හසුවුණත් නිදහස් කරන්න ඕන. ඒ තරමට නීති තදයි. මේ සතාගේ කියත ලබාගන්නට මීට අවුරුදු ගාණකට කලින් මරනු ලැබුවා. Largetooth Sawfish ගේ කියත අඩි 4කට වඩා දිගු වෙනවා. ඇතාගේ දල ගලවනවා වගේ මේ සතාවත් ඇල්ලුවා. ඒ නිසා තමයි අපි නීතියෙන් මේ සතාට තිබෙන ආරක්ෂාව තර කරන්න කියලා ඉල්ලන්නේ. ඒ සඳහා අපි වනජීවී අමාත්‍යාංශයට, ධීවර අමාත්‍යාංශයට හා පරිසර අධිකාරියට දැනුම් දෙනු ලැබුවා. විශේෂයෙන් ප්‍රිස්ටිඬේ කියන කුලයටම අදාළ වන ලෙස ආරක්ෂිත නීති සැලසීම අවශ්‍යයි.
බලය සහිත ආයතන නිදිද?
ආරක්ෂා කළයුතු සත්ත්වයෙක් පිළිබඳ අවධානය මෙතරම් යොමු වෙද්දී බලය සහිත ආයතනවල අවධානය දැති මෝරුන්ගෙන් ගිලිහී ගොස් ඇති ස්වභාවයක් පෙන්නුම් කෙරෙයි. ඒ නිසාම බලය සහිත ආයතන කිහිපයක නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ විමසීමට අපි ගත් උත්සාහය මෙලෙස දක්වමු.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ටර්නි ප්‍රදීප් කුමාර.
මෙම සත්ත්වයා ආරක්ෂා කිරීම සම්බන්ධ විෂයපථය අයත් වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට හෝ ධීවර දෙපාර්තමේන්තුවටයි. මේ දෙපාර්තමේන්තුවල මේ සත්ත්වයා සංරක්ෂණය කිරීම් සඳහා වන සාකච්ඡා සඳහා අපිට කැඳවීම් ලැබෙනවා. අපි ඒවාට සහභාගී වෙනවා. එහිදී අපි තේරුම් ගත් දෙයක් තමයි මේ සත්ත්වයා සංරක්ෂණය කළයුතු සත්ත්වයෙක් බව. නමුත් ඒ සත්ත්වයා සංරක්ෂණයට අදාළ බලය තියෙන්නේ ධීවර දෙපාර්තමේන්තුවටයි. අපි රැස්වීම්වලට කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස සහභාගී වුණාට අපේ පනත අනුව අපිට බලයක් නැහැ සතුන් සංරක්ෂණය කරන්නට. වනජීවී එකේ අය ගොඩබිමේ සතුන් සංරක්ෂණයට වැඩි අවධානයක් යොමු කරන නිසා ධීවර දෙපාර්තමේන්තුවෙන් තමයි මේ කටයුතු සිදුවෙන්නේ.*
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳමාලි හේරත්
&2015 එළිදැක්වූ ගැසට් එකකින් අපි මෝරු විශේෂ පහක් සංරක්ෂණය කරනු ලැබුවා. නමුත් එම ගැසට් එකට දැති මෝරා අන්තර්ගත වී නැහැ. ඉදිරියේදී අපි ගැසට් එකක් නිකුත් කිරීමට සැලසුම් කිරීමේදී එයට මේ සත්ත්වයාවත් ඇතුළත් කරන්නට පුළුවන්. නමුත් දැනට එය ප්‍රමුඛතාව දක්වන්නක් නොවෙයි. අපිට අපේ කොටස්කරුවන් වන අපනයනකරුවන්, නාරා ආයතනය ඇතුළු සියලුදෙනාගේ අදහස් විමසා තමයි මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි වන්නේ.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර
දැති මෝරා කියන්නේ අතිශය දුර්ලභ මත්ස්‍යයෙක්. අපිට දැන් අවුරුද්දට එක්කෙනෙක් දෙන්නෙක් තමයි වාර්තා වෙන්නේ. සමහර වර්ෂවල එක්කෙනෙක්වත් වාර්තා වෙන්නේ නැහැ. ලංකාවේ අපි මේ සත්ත්වයාව ආරක්ෂා කර නැහැ. නමුත් අපේ රට අත්සන්කර තිබෙන ප්‍රඥප්ති අනුව මේ සත්වයාට නිසඟයෙන් ආරක්ෂාවක් ලැබී තිබෙනවා. ඒ අනුව සයිටීස් කන්වෙන්ෂන් එක යටතේ පළමු උපලේඛනයෙන් සතා වෙළෙඳාම් කිරීම, ඇල්ලීම තහනම්. ඒ නිසා සතාට ආරක්ෂාවක් තිබෙනවා. නමුත් මේ සතා අපේ මුහුදු කලාපයේ අතිශය දුර්ලභයි. ඒ නිසා අපි කරුණු සොයනවා ඉදිරියේදී සංරක්ෂණ කටයුත්තක් කරන්න සුදුසුද යන්න පිළිබඳව. සතා අතිශය දුර්ලභ නිසා මේ වෙලාවේ තොරතුරු සොයන්න විශේෂ ප්‍රයත්නයක් යොදන්න බැහැ. ඒ නිසා තිබෙන තොරතුරු අනුව කුමක්ද කරන්න අවශ්‍ය කියලා බලන්නට අපි විමර්ශන කරනවා. හැත්තෑ ගණන්, අනූ ගණන්වල අපේ රටේ මේ සතුන් විශාල ප්‍රමාණයක් මරා දමා තිබෙනවා. මේ හා සමාන පෙනුම තිබෙන සත්ත්ව කොට්ඨාස අපේ රටේ හමුවෙනවා. ඒ නිසා උන් සම්බන්ධයෙන් අපි යම් ක්‍රියාමාර්ග ගන්නවා.