නීතිවිරෝධී වැලි කැණීම් අවම කිරීම කියන තරම් සුන්දර නෑ


මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ වැලි ගොඩ දැමීම මාෆියාවක් බවට පත් වනුයේ ඒ හරහා ගොඩ ගැහෙන මහා ධනස්කන්ධය උල්පතක් බවට පත්වීමත් සමගිනි. ගංගා, ඇළ, දොළ ආශ්‍රයෙන් අදටත් එදාවේල සොයා ගන්නට වෙර දරන අහිංසක සරල ගැමියාගේ දෑත් ගං වැල්ලට දියවද්දී ධනපතියන් බවට පත්වන්නෝ  බොහොමයක් නිල බලයෙන්, මැර බලයෙන් ගාල කඩා ඒ මේ අත දුවද්දී ඒවාට බලපත්‍රද ලබා දෙමින් අඳ, ගොළු, බීරන් සේ සිටින බොහෝ බලධාරීන්ද විය. තත්ත්වය මෙසේ වෙද්දී වැලි කැණීම් සම්බන්ධයෙන් වන නියාමනය හා පසු විපරම වගකීම කොටගත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයද සිය වගකීම් පැහැර හරිනු පසුගිය සමයේදී දිගින් දිගටම දක්නට ලැබිණි. අණ පනත් හරහා ලද කාර්ය පටිපාටිය ඇපයට තබමින් කාර්යාංශයේ බොහෝ නිලධාරීන්ද වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට පමණක් හුරුවනු විනා ඉන් ඔබ්බට වූ වගකීම් පැහැර හැරීම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ වැලි මාෆියාවට එරෙහිව වූ මාධ්‍ය මෙන්ම පරිසරවේදී අංගුලියන්ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දෙසට නිරන්තරයෙන් එල්ලවනු දිගින් දිගටම දක්නට ලැබිණි.භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපති අසේල ඉද්දවෙල මහතා පෙන්වා දෙන පරිදි හරිත වැලි තොටුපොළ^ යනු වගකීම් විරහිත එම සම්ප්‍රදාය වගකීම් සහගත මාවතකට ගෙනයෑම සඳහා දරන උත්සහයක මූල බීජයකි. එය දිවයින පුරා වැලි තොටුපොළවල් ආශ්‍රිතව අද (01දා) සිට ක්‍රියාත්මක වන අනිවාර්ය නීතියක් වන අතර, ඊට යටත් නොවන වැලි කැණීම් බලපත්‍ර අහෝසි වනු ඇති බවද සභාපතිවරයා අවධාරණය කරයි. 


හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක වීමේ පසුබිම මොකක්ද?

මුහුදට වැටෙන ඇළ, දොළ, ගංගා 103ක් ලංකාවේ තිබෙනවා. මේ සෑම එකකම නීත්‍යානුකූලව හෝ නීතිවිරෝධීව වැලි කැණීම් සිදුවෙනවා. ලංකාවේ දැනට 5600ක පමණ ප්‍රමාණයක් වැලි මංකඩවල් ක්‍රියාත්මක වෙනවා. මේ තුළ අවම වශයෙන් 25000ක මිනිස් ශ්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුරදී පවුල් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ සෘජුව යැපෙනවා. ආර්ථිකමය අතින් වැදගත් ස්ථානයක් වැලි කැණීම්වලට හිමි වෙනවා.
රටේ සෑම පුරවැසියෙක්ම පරිසර හිතකාමීයෙකු නොවුණහොත් පරිසරය ආරක්ෂා කළ නොහැකියි. මධ්‍යම පරිසර අධිකාරීයට, පරිසරවේදීන්ට පමණක් නොවෙයි සිවිල් ජනතාවටත් පරිසරය පිළිබඳ කැමැත්තක් ඇතිවිය යුතුයි. එසේ නොමැතිව පරිසරය ආරක්ෂා කරන්න බෑ.

ඇතැම්විට වැලි කැණීම්හි නිරතවන්නන් මේ පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිව එය සිදු කරනවා විය හැකියි. ඒ අය බොහෝ විට සිටින්නේ ග්‍රාමීය, ආර්ථික මානසිකත්වයෙන්. මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින්, නීති විරෝධීභාවයන් අවම කරමින් ලබාදෙන නියාමනයන් අනුව වැලි කැණීම් සිදු කිරීමට පුරුදු කිරීමට මෙම සංකල්පය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙහිදී අනුගමනය කෙරෙන විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිදු කළොත්?

වැලි කැණීම් සඳහා නිශ්චිත ස්ථාන අපි ලබාදෙන්නේ භූ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුවයි. භූ විද්‍යාඥයන් තමයි ක්ෂේත්‍රයට ගොස් ගඟේ හෝ ඇළ දොළේ ගමන් මාර්ගයට බාධා නොවන අයුරින් කැණීම් කටයුතු සිදු කළ යුතු ස්ථානය කුමක්ද? කොතරම් ප්‍රමාණයක් වැලි ලබාගත හැකිද? යන්න පිළිබඳ නිර්දේශයන් සිදු කරන්නේ.

කැණීම් කටයුතු සිදු වන්නේ කැණීම් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේයි. මෙය ප්‍රධානතම කාර්යභාරයක්. මේ සඳහා තමයි හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක වන්නේ.
මේ වන විට ඌව පළාතේ මොනරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල යම්තාක් දුරකට මේ හරිතවැලි මංකඩවල් අවිධිමත් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ මංකඩ සඳහා කැණීම් බලපත්‍ර ලබාදීමේදී කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර යොදා වැලි හැරීමට ඉඩ දෙන්නේ නෑ. එතැනදී අපි මිනිස් ශ්‍රමය පමණක් යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. 
ඒ වගේම වැලි මංකඩ ලබාගෙන ඒ පරිසරය තුළ ගස් සිටුවා හරිත කලාපයක් කිරීමට කටයුතු කරනවා.


රාත්‍රී කාලවලදී කැලෑවල බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැණීම් කටයුතු සිදු නොකරනවා නොවෙයි. වල් අලිත් ගැවසෙන කැලෑවල මිනිස්සු කොහොම මෙවැනි දෑ සිදු කරනවද කියලා අපි දන්නේ නෑ. මේ සඳහා අපි ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිකුණාමලය වැනි ප්‍ර‘දේශයන්වලදී නාවික හමුදාවත්, ඒ වගේම අපේ ආයතනයේ වැටලීම් ඒකකයත් එක්කර ගනිමින් වැළැක්වීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.

ගංගා මතුපිට ජලයේ හා පතුලේ ජලජ ජීවී ශාක සහ සතුන් ජීවත් වෙනවා. එම ජෛව විවිධයත්වයද රැක ගනිමින් වැලි කැණීම් සිදු කිරීමට භූ විද්‍යාඥයන්ගේ හා කැණීම් ඉංජිනේරුවන්ගේ නිර්දේශ පමණක් ප්‍රමාණවත් නැහැ නේද?

සමහර අවස්ථාවන්හිදී අපිට සිදු වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අනෙකුත් රාජ්‍ය ආයතන හා ඒකාබද්ධව කටයුතු කිරීමට. අවශ්‍ය අවස්ථාවන්හිදී අපි ඒ ආයතන සම්බන්ධ කර ගනිමින් 

එම ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ට මුදල් ගෙවා සේවය ලබා ගැනීමක් සිදු කරනවා.

මේ වන විට නිර්දේශ කර ඇති වැලි කැණීම් තොටුපොළවල් එවැනි විශේෂඥයන්ගේ අධ්‍යයනයට යටත් වූ ඒවාද?

අපි මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ අද. ජුලි මාසය ආරම්භයේදී අපි අපේ කැණිම් ඉංජිනේරුවන් හා සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් එක්දින වැඩමුළුවක් පැවැත්වූවා. මෙහි ඇති වැදගත්කම හා නියාමනයන් පිළිබඳව. ඒ වගේම, මේ මස 06 වැනිදා මධ්‍යම පරිසර අධිකාරීයේ ප්‍රා‘දේශීය කාර්යාලයන්හි සියලු ක්ෂේත්‍ර නිලධාරීන් මධ්‍යම පරිසර අධිකාරීයට කැඳවා අපි දැනුවත් කිරීම් සිදු කරනවා.

වැලි කැණීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඇති සත්‍යය තත්ත්වය නම්, එය පාතාලය සහ දේශපාලන බලය මත ක්‍රියාත්මක වන මාෆියාවක් බවට පත්ව තිබීමයි. එවැනි වාතාවරණයක් තුළ මෙවැනි සංකල්ප විධිමත්ව ක්‍රියාත්මක වීම ප්‍රායෝගිකද?

විශේෂයෙන් මම මෙතැනදී පැවසිය යුතුයි ගරු ජනාධිපතිතුමා ප්‍රධාන කරුණු 02ක් පිළිබඳ මට උපදෙස්දී තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි මේ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු කර ගන්න එපා කියන එක. සෘජු ආයතනයක් ලෙස කටයුතු කළ යුතුයි කියලා එතුමා කියා තිබෙනවා.

දෙවැන්න නම්, එතුමා මට විශේෂයෙන් නියෝග කර තිබෙනවා ගමේ දුප්පත් මිනිහාට මේ බලපත්‍රය දෙන්න. ඒ මිනිහාගේ දේශපාලනය බලන්න එපා කියලා^ %ජාවාරම්කරුවන්ට මෙය ලබාදෙන්න එපා. පිට මිනිහාට වඩා ගමේ මිනිසාට, ගමේ පරිසරයට ආදරයක් තියෙනවා  කියලා. ඒ අනුව මේ වන විට තිබූ බොහෝ බලපත්‍ර අහෝසි කරලා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය මට්ටමින්, විශේෂයෙන් ප්‍රජා සමිති හෝ සණස සමිති වැනි ඒවාට බලපත්‍ර නිකුත් කරන්න කටයුතු  කරමින් සිටිනවා.
කියන තරම් මේ ක්‍රියාවලිය සුන්දර නෑ. අභියෝග තිබෙනවා. දැනටමත් මට විවිධාකාරයෙන් තර්ජන, බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. නමුත් මම උඩුගම් බලා පිහිනනවා. බලපත්‍ර ලබා දෙන්නේ මාස 03කට පමණයි. අපි ඒවා දීර්ඝ කරන්නේ නෑ.

ජනාධිපතිවරයා එවැනි උපදෙස්දී තිබුණත් පරිසර සංරක්ෂණය භාරව සිටින ඇතැම් අමාත්‍යවරුන්, පවා මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේවාට මැදිහත් වනු දක්නට ලැබෙනවා. වැටලීම් සිදු කරන ආරක්ෂක අංශවලට පවා

බලපෑම් කරමින් දේශපාලකයන් එලෙස හැසිරෙද්දී ඔවුන් යටතේ සිටින රාජ්‍ය නිලධාරීන්ට මෙය පහසු කටයුත්තක් වේවිද?

හිත ඇත්නම් පත කුඩාද කියනවනේ. මම ඇවිල්ලා ඉන්නේ වැරැද්ද වැරැද්ද විදියට ඉදිරියට ගෙන යන්න නොවෙයි. මම කියන්නෙ නෑ මට මෙය සියයට සියයක් හරියට කරන්න පුළුවන් වේවි කියලා. නමුත් අවම කරන්න පුළුවන්. මම නිවැරදි නායකත්වයක් දෙනවා නම්, පසුපසින් එන නිලධාරීන් එය ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා.

හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එහි නිරතවන්නන් දිරිමත් කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් දියත් කරමින් තිබෙනවාද?

බලපත්‍රලාභියාට වඩා වැලි කැණීම් කරන කම්කරුවා, තමයි මම මෙතැනදී අරමුණු කරන්නේ. මොකද ඔහු අතිනුයි පරිසර හානිය සිදු වන්නේ. ඒ නිසා නිවැරදිව කටයුතු කරන අය හඳුනා ගැනීමට කටයුතු යොදනවා. බොහෝ අවස්ථාවල බලපත්‍රලාභියාම කැණීම් කටයුතු සිදු කරන අවස්ථා තිබෙනවා. ව්‍යාපාර වශයෙන් කරන අයත් සිටිනවා. වැලි කැණීම් කරන කම්කරුවා දිරි නොගන්වා බලපත්‍රලාභියා පමණක් දිරි ගන්වා මෙම සංකල්පය ඉදිරියට ගෙන යා නොහැකියි.

ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා මෙම පවුල්වලට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට. 

ඒ වගේම එම පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට. අද (01දා) සිට මෙම වසරේ දෙසැම්බර් 01 වැනිදා දක්වා මාස 04ක කාලසීමාව තුළ මූලික පියවරක් වශයෙන් දිස්ත්‍රික්, පළාත් සහ ජාතික යන කාණ්ඩ 03 යටතේ හොඳම වැලි මංකඩ තෝරා ඒවා ඇගයීමට අපි බලාපොරොත්තු වෙනවා. අද සිට එහි අයදුම්පත් ලබාගත හැකියි. මධ්‍යම පරිසර අධිකාරීය හා පරිසර වෘත්තිකයන්ගේ සංගමයට අපි ආරාධනය කර තිබෙනවා මේ වෙනුවෙන් විනිශ්චය ලබාදෙන ලෙස. අපේ කාර්යාංශය කිසිදු සහභාගි වීමක් විනිශ්චයක් සිදු කරන්නේ නැහැ.



Recommended Articles