සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර නීතිවිරෝධී ලෙස මවුවරුන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට මේ වනවිට වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව ආහාර ද්‍රව්‍යවලට, ඇඳුම්පැලඳුම්වලට රසායනික ද්‍රව්‍ය එක්කර කාන්තාවන්, පිරිමින් වන්ධ්‍යකරණයට ලක්කරන බවටද පසුගිය කාලයේ විශාල කතාබහක් ඇති විය. ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ගැටලු ඇතිවීම හා ඖෂධ මිලදී ගැනීම්වලදී දූෂණ වංචා සිදුවන බවටද පසුගිය කාලයේදී විවිධ ප්‍රචාරයන් දියත් විය. %අද^ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග කතාබහක නිරතවිය.
සිසේරියන් සැත්කමක් කිරීමේදී සහභාගී වන සේවක ප්‍රමාණය
රෝගියාගේ සංකූලතා මත සැත්කම සිදුවෙනවා. දළ වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටින්නට ඕන. ඒ වගේම එම කටයුතුවලට සහය වීමට හෙදියක් ඉන්නවා. තව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු පමණ සහභාගී වෙනවා. මීට අමතරව මේ සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු ඉන්න ඕන. අඩුම තරමින් සිසේරියන් සැත්කමකට හත්දෙනෙක් විතර සහභාගී වෙනවා.
සිසේරියන් සැත්කමකදී රහසිගතව වන්ධ්‍යකරණ සැත්කමක් කළ හැකිද?
මවට නොදැනෙන්න සිදුකළ හැකියි. එහෙත් ශල්‍යකර්මයට සහභාගී වන අයට නොදැනෙන ආකාරයට මෙය සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් තාක්ෂණික ගැටලුවක් තිබෙනවා. කෙසේ නමුත් සංවිධානාත්මක ආකාරයකට මවට හොරා මෙය සිදුකළ හැකියි.
සිසේරියන් සැත්කමක් සිදුකිරීමට ගතවන කාලය
අතේ තියෙන හුරුව හා වෛද්‍යවරයාගේ පුරුද්ද මත තමයි වෙලාව තීරණය වෙන්නේ. ඒක විනාඩි 15න් හෝ 20 සිදුවිය හැකියි. වැදගත් වෙන්නේ මවගේ සංකූලතා රහිතව සිදුකිරීම.
සැත්කමක් සිදුකිරීමේදී සැකකටයුතු දෙයක් සිදුවෙනවා නම් සිදුකළ යුත්තේ කුමක්ද?
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න පුළුවන්. මොකද තාක්ෂණික තොරතුරු විමර්ශනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා. මීට අමතරව වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මොකද වෛද්‍යවරයා ලියාපදිංචියෙන් පසු නියාමනය වන්නේ වෛද්‍ය සභාවෙන්. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටත් පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම අසාධාරණයට පත්
පාර්ශ්වයට සිවිල් නඩුවක් ඔස්සේ නීතියේ පිළිසරණ පතන්නත් පුළුවන්.
ආයතන හතරක් තිබුණත් යම් දෙයක් සිදු වූ විට ජනතාව පසුගාමීව සිටින තාක් කල් බලධාරීන්ට හා පාලකයන්ට වාසි අත්වෙනවා. ඒ වගේම තමයි ජනතාව තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කළොත් බොහෝ දේවල්වලට විසඳුම් ලැබෙනවා. අපේ රටේ වෛද්‍යවරයෙකු බෙහෙතක් ලබාදුන්නාම ඒ බෙහෙත මොකක්ද කියලා අහන්නවත් මේ රටේ රෝගීන් කටයුතු කරන්නේ නැහැ. මේ දේවල් වෙනුවෙන් ජනතාව අනාගතයේදී වෙනස් විය යුතුයි. මේ තත්ත්වය හරහා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය දියුණු වෙනවා. අඩුමතරමින් රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් හෝ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අය හෝ මේ පිළිබඳව හඬ අවධි කළ යුතුයි.
වෛද්‍යවරයෙකු වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් කළහොත්
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අනුව වැරදිකරු වුවහොත් යම් කාලයකට වැඩ තහනමක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම වරදේ ස්වභාවය අනුව ජීවිත කාලයටම වෛද්‍ය වෘත්තියේ යෙදිය නොහැකි ආකාරයේ දඬුවමක් ලැබෙන්නත් පුළුවන්. මේ කටයුතු වෛද්‍ය සභාව හරහා සිදුවෙන නිසා අදාළ ලේඛනවලින් නම ඉවත් කරන්න පුළුවන්. මේ දෙකටම වඩා වැදගත් වෙන්නේ ඒ වෛද්‍යවරයා අදාළ කටයුත්ත හිතලම කළොත් ඔහුගේ හෘදසාක්ෂිය හරහාත් දඬුවම් ලැබෙනවා.
සිසේරියන් සැත්කම
සිසේරියන් සැත්කමක් සිදුකරන්නේ දරුවා ස්වාභාවික ආකාරයට ප්‍රසූත නොකරන අවස්ථාවක. එහිදී වෛද්‍යවරුන්ට තීරණය කරන්න පුළුවන් ඒ අම්මාගේ උදරයේ කැපුමක් නොහොත්, සිසේරියන් සැත්කමක් සිදුකර පහසුවෙන් දරුවා එළියට ගන්න. හැබැයි සිසේරියන් සැත්කමක් හරහා වන්ධ්‍යකරණයට ලක්කරන්න බැහැ. නමුත් සිසේරියන් සැත්කමට කලින් සැත්කමට භාජනය වන මවගේත් ඇයගේ ස්වාමිපුරුෂයාගේත් කැමැත්ත ලිඛිතව ලබාගෙන සැත්කම අතරතුර වන්ධ්‍යකරණයට ලක්කරන්න පුළුවන්.
වන්ධ්‍යකරණයට ගතවන කාලය
එහෙම වෙලාවක් ගැන කියන්න බැහැ. නමුත් සිසේරියන් සැත්කම කිරීමට ගතවන කාලයට අඩුවෙන් මෙම කටයුත්ත සිදුකරන්න පුළුවන්. ඒකට මවුවරුන්ගෙන්, මවුවරුන්ට වෙනස් කාලයක් ගතවෙන්නේ.
යට ඇඳුම්වලට හෝ ආහාරවලට රසායනික ද්‍රව්‍ය කලවම් කර වන්ධ්‍යකරණයට ලක්කළ හැකිද?
මේ ආකාරයට විවිධ දේවල් පිළිබඳව පසුගිය කාලයේ ප්‍රකාශ වුණා. ඒත් තාමත් විද්‍යාත්මක පරීක්ෂණයකින් ඒ දේවල් ඔප්පු වෙලා නැහැ. එහෙම කියලා අපි මේ කාරණය බැහැර කරන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් සිදුකර අදාළ කරුණ තහවුරු කළ යුතුයි.
යම් කාන්තාවක් වන්ධ්‍යකරණයට ලක්කර ඇති බවට සොයා ගැනීම
සිසේරියන් සැත්කමකදී මව කැමැත්තෙන් වන්ධ්‍යකරණයට ලක්වුණා නම් ඒ පිළිබඳව ඒ මව හා පියා ලිඛිතව දන්නවා තිබිය යුතුයි. ඒත් මව නොදැනුවත්වම වන්ධ්‍යකරණයට රහසිගතව ලක්කර තිබෙනවාද යන්න සොයාගත හැකි සාක්ෂියක් තමයි මව යම් කාලයක් දරුවෙකු හදාගන්න උත්සාහ කිරීමේදී පිළිසිඳ ගන්නේ නැත්නම් පෙර සැත්කම හරහා යම් දෙයක් සිදුවෙලා කියලා සැකයක් ඇතිකරගන්න පුළුවන් වීම. රහසිගතව වන්ධ්‍යකරණයට ලක්ව තිබේද යන්න වෛද්‍ය පරීක්ෂණයක් මගින් සොයාගත හැකියි. යම් ගැටලුවක් ඇතිවී තිබෙනවා නම් ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්‍ෂට පැමිණිලි කළ හැකියි.
රහසිගතව සිදුකළ වන්ධ්‍යකරණ සැත්කමක් අහෝසි කරගත හැකිද?
නැවත ආපසු හැරවීමේ ශල්‍යකර්ම තියෙනවා. නමුත් ඒ ශල්‍යකර්ම හරහා වන්ධ්‍යකරණයට ලක්වීම කොතරම් ප්‍රතිශතයකින් අහෝසි වී යනවාද කියලා හරියටම කියන්න බැහැ.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යභාරය
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. ඒක අපි කියනවට වඩා විගණන වාර්තා හරහා, ජනාධිපති විමර්ශන කොමිෂන් හරහා, අධිකරණය හරහා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඇති නිර්දේශ ගත්තමත් ඒක පේනවා. මේ නිර්දේශ හරහා සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම රෝහලක් ඉදිරිපිටට ගොස් රෝගීන්ගෙන් ඇහුවත් සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්යභාරය ඉටු නොකරන බවට ජනතාවගෙන් දැනගන්න පුළුවන්.
ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම දරන්නේ කවුද?
ඉතිහාසයේ සිටම රටේ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව වගකීම පැවරිලා තිබුණේ සෞඛ්‍ය ඇමතිවරයාට. ඒත් කවුරුවත් හිතන්නෙ නැතිව ඇති රාජිත සේනාරත්න වැනි කෙනෙකු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වේවි කියලා. ඒකෙ අවාසනාවේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. අද දවසේ අපි ඖෂධ මිල අඩුවීම ගැන කතා කරනවා. ඒත් මේ රටේ ජනතාවට සමහර බෙහෙත් කියලා පොවල තියෙන්නේ තත්ත්වයෙන් බාල ලෙඩ හොඳ වෙන්නෙ නැති ඖෂධ කියලා අද තහවුරු වෙලා තියෙනවා.
ඖෂධ මාෆියාවක්?
ඖෂධ මිලදී ගැනීමේදී මහා පරිමාණ වංචා දූෂණ සිදුවෙනවා. උදාහරණ ලෙස කියනවා නම් ඖෂධ හිඟයක් නිරතුරුවම නිර්මාණය කරනවා. මේ ආකාරයට ඖෂධ හිඟයක් නිර්මාණය කරලා 2015 වසරේදී පමණක් ක්ෂණික මිලදී ගැනීම යටතේ රුපියල් මිලියන 4310ක ඖෂධ මිලදී ගෙන තියෙනවා. 2016 වසරේදී රුපියල් මිලියන 4065ක ඖෂධ මිලදී ගෙන තියෙනවා. ක්ෂණික මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීමට යාම හරහා ඖෂධයේ සාමාන්‍ය මිලට වඩා විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම විගණන වාර්තාවකින් පෙන්වා දුන්නා පසුගිය කාලයේ අවස්ථා 243කදී ක්ෂණික මිලදී ගැනීම් යටතේ රුපියල් මිලියන 168ක ඖෂධ මිලදීගෙන තියෙනවා කියලා.
2015 වසරේ සිට 2017 වසර දක්වා මිලදී ගත් ඖෂධ කල් ඉකුත්වීම නිසා රුපියල් මිලියන 1122ක ඖෂධ ඉවත දමා තිබෙනවා. මෙවැනි කටයුතු සිදුවෙන්නේ කල් ඉකුත්වෙන්න මාස කිහිපයක් තියෙන ඖෂධ මිලදී ගැනීම නිසා සහ රටට අවශ්‍ය නොවන ආකාරයට ඖෂධ තොග විශාල ලෙස මිලදී ගැනීම නිසා.
උදාහරණයක් ලෙස කියනවා නම් කිසිදු සොයා බැලීමක් නොකර 2016 වසරේදී ඖෂධ වර්ග තුන්දහසක් අලුත් සමාගම් හරහා ලියාපදිංචි කරගෙන තියෙනවා. මේ හරහා විශාල වංචා දූෂණ සිදුවෙන්න පුළුවන්.
ඔෟෂධවල තත්ත්ව පරීක්ෂාව
ඒ සඳහා රට තුළ නිසි ලෙස පහසුකම් නැහැ. ඒක නිසා යම් ඖෂධයක් තත්ත්වයෙන් බාල බවට සොයා ගන්නාවිට එම ඖෂධ වර්ගය ජනතාවට ලබාදීලා අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 80% ,90%ක් භාවිත කරලා අවසන් වෙන්න පුළුවන්. මේ අනුව රෝගී ජනතාව තමන්ගේ රෝගය සුව කරගන්න භාවිත කරල තියෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ. ඒක නිසා තමයි අපි හැමවිටම කියන්නේ ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමට රසායනාගාර ඇති කරන්න කියලා.
රටේ සෞඛ්‍ය නීති පෞද්ගලික රෝහල්වලට බලපාන ආකාරය
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරියක් තියෙනවා. ඒත් මේ පනත හරහා අධිකාරිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අප සංගමය සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද මේ අධිකාරිය බිම් මට්ටමට නිලධාරීන් පත්කරලා ඒ යාන්ත්‍රණය නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. ඉහළ මට්ටමේදී නිලධාරීන් පත්කරලා තියෙනවා. ඒත් පහළ මට්ටමේදී එය නිසි ලෙස සිදුවී නොමැති නිසා ගුණාත්මකභාවය පහළට ගලාගෙන යාමේ ගැටලුවක් තියෙනවා.
සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරයෙකු නැවත සේවයට පැමිණීම
සාමාන්‍ය ක්‍රම‘වේදය තමයි යම් වෛද්‍යවරයෙකු සේවයෙන් ඉල්ලා අස්වෙලා නැවත සේවයට එනවා නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන්න ඕන. ඉන්පසුව සීමාවාසික පත්වීම් ලැයිස්තුවට නම ඇතුළත් කරලා සේවයට ඇතුළත් කරගන්නවා. මෙතනදී වෛද්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වෙනවා. ඒ වගේම දුෂ්කර සේවයේ යෙදෙන්න වෙනවා. ඒත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට මෙම ක්‍රම‘වේදය භාවිත වුණාද කියන ප්‍රශ්නය තියෙනවා.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණ
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද මේ සඳහා සෞඛ්‍ය ඇමති බලපෑම් කරනවා කියලා අප සංගමයේ කුරුණෑගල රෝහල් ශාඛාව අපිට දන්වලා තියෙනවා. ඒ කොහොම වුණත් අප සංගමයෙන් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව සති දෙකක් තුළ අපිට ලැබෙනවා. එම වාර්තාව ලැබුණට පස්සේ අපි සංගමයක් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි කියන්නේ නීතිය සැමට සාධාරණව පොදුවේ ක්‍රියාත්මක කරන්න කියලා.
වෛද්‍ය සභාවේ කාර්යභාරය
වෛද්‍ය සභාවට කාර්යභාරයන් කිහිපයක් තියෙනවා. ඒ අතර එක් වගකීමක් වන්නේ වෛද්‍ය පීඨයකට පිළිගැනීම ලබාදීම. වෛද්‍ය පීඨවලින් එළියට එන වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබාදීම, ඒ පිළිබඳව නියාමනය කිරීමත් සිදුකළ යුතුයි. නියාමනය කියන කාරණයේදී වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන පැමිණිලි පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කිරීම සිදුකළ යුතු වෙනවා. ඒත් මේ වනවිට වෛද්‍ය සභාවේ කමිටු තනතුරු විශාල ප්‍රමාණයක් පුරප්පාඩු වෙලා තියෙන්නේ. මේ පුරප්පාඩු සම්පූර්ණ නොකරන්නේ නිලවරණයේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් වෛද්‍ය සභාවට පත්වෙයි කියන බිය නිසා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගකීම
අපේ සංගමය වෘත්තීය සමිතියක්. වෘත්තීය සමිතියක වගකීම තමයි සාමාජිකත්වයේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම.
ඒත් අපි සෑමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක නිසා වැරදි කරන කිසිම සාමාජිකයෙකු රැකගන්නේ නැහැ. ප්‍රමුඛතාව සාමාජික සුභසාධනය වුණාට අපි සැමවිටම සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන එක හා ජනතාවගේ පැත්තේ හිටගෙන ජනතාව සුරක්ෂිත කරන්න පුළුවන් දායකත්වයත් නිරතුරුවම ලබාදෙනවා.