නීතියේ ආධිපත්‍යය


නීතියේ ආධිපත්‍යය පිළිබඳ අදහස මුලින්ම දක්නට ලැබෙන්නේ ඉපැරණි ග්‍රීසියේයි. ඒ ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් ඔස්සේය. ඇරිස්ටෝටල්හට නීතියේ ආධිපත්‍යය පිළිබඳ අදහස ගෙන ඒමට සිදු වූයේ ඔහුට පෙර ප්ලේටෝ විසින් දයාර්ද්‍ර ඒකාධිපතියන් (benevolent monarchy) පිළිබඳ අදහසක් ගෙනැවිත් තිබූ නිසාය. ප්ලේටෝ  විශ්වාස කළේ ඉහළ ම ආණ්ඩුකරණයක් සිදු වන්නේ ඉතා විශිෂ්ට මිනිසුන් පාලනය සිදු කරන විට බවයි. 

එබැවින්, දයාර්ද්‍රභාවයකින් ද ජනතා හිතෛෂීභාවයකින් යුතු පුද්ගලයන් ආණ්ඩු කරන විට ලෝකයට වඩාත් යහපත සිදු වන බව ප්ලේටෝ විශ්වාස කළේය.  එනයින්, දාර්ශනික රජවරුන් පිළිබඳ අදහසක් ප්ලේටෝ ගෙනාවේය. ප්ලේටෝ සඳහන් කළ මෙම දාර්ශනික රජවරුන් (philosopher king) සෑම විටම නීතියට ඉහළින් සිටින දයාර්ද්‍ර පුද්ගලයන් පිරිසකි. 

එහෙත් ඇරිස්ටෝටල් මෙම මතයට විරුද්ධ විය. ඇරිස්ටෝටල්ගේ මතය වූයේ කිසිවෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකි බවයි. එනයින්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා විය යුතු බව ඇරිස්ටෝටල් විශ්වාස කළේය. එහෙත් නීතියේ ආධිපත්‍යය පිළිබඳ ‍ඍජු යෙදුම යෙදෙන්නට පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 1,500දී පමණය. ඒ එංගලන්තයේදී ය. 

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය මැනීමේ ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට මේ වන විට නීතියේ ආධිපත්‍යය පත් වී තිබේ. නීතියේ ආධිපත්‍යය මත ක්‍රියාත්මක වන රටවල් විධික්‍රමිකවාදය (nomocracy) යටතේ පාලනය වන රටවල් ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි පාලන ක්‍රමයක් තුළදී තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඇති බලය බෙහෙවින් දුර්වල වේ. සියලු නීතියට අනුකූල විය යුතු වන අතර තනි පුද්ගලයන්ට හෝ කණ්ඩායම්ලට නීතිය වෙනස් කිරීමට ඇති අවකාශය ද ඉතා අඩු වේ. 

මෙහිදී මිනිසුන්ගේ නිදහසටද සමානාත්මතාවට ද ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන අතර ම නීතිය සාධාරණ (Just Law) ද විය යුතුය. ඇතැම් රටවල නීති සාධාරණ නැත. උදාහරණයක් ලෙස කාන්තාවන්ට, සුළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් නොලැබෙන ආකාරයට නීති සකස් කෙරී ඇත. එවැනි රටවල නීතිය සාධාරණ නොවන බැවින් නීතියේ ආධිපත්‍යය පරිපූර්ණ නොවේ. 

නීතියේ ආධිපත්‍යයේ මූලික අරමුණක් නම් ආණ්ඩුකරණයකට තමන්ට හිතු පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමත්  (nonarbitrary form of government,) තනි පුද්ගලයන්ගේ අයිතීන් රැකීමත්ය. නීතියේ ආධිපත්‍යයට බැහැරින් හිතුවක්කාරී පාලනය ආකාර ගණනාවක් වේ. ඉන් එකක් නම් පරම බලධාරීත්වයයි (despotism). අනෙක පරමවාදය (absolutism) වන අතර ප්‍රාධිකාරවාදය (authoritarianism) තව‍කකි. 

සර්වාධිකාරීවාදය (totalitarianism) ද නීතියේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන පාලන ක්‍රමයකි. මෙම ආණ්ඩු ක්‍රමවල දී නීතියට නොව රජෙකුට, ජුන්ටාවකට හෝ දේශපාලන පක්ෂ කමිටුවකට පූර්ණ බලතල හිමි වේ. එවැනි බලයක් ලැබූ පුද්ගලයෙකුට හෝ ආයතන පද්ධතියකට තමන්ට අභිමත පරිදි ඕනෑම හිතුවක්කාර තීරණයක් ගැනීමට හැකි වේ. 

නීතියේ ආධිපත්‍යය සඳහා නිශ්චිත පනවන ලද එක් ක්‍රමයක් නොමැත. විවිධ රටවල දී විවිධ ආකාරයෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙයි. එය කලින් කලට ද වෙනස් වෙයි. 



Recommended Articles