නීතිය නොදැන සිටීම කිසි විටෙකත් වරදට සමාව ලැබීමට හේතුවක් නොවේ යන ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙන්නේ නීතිය නොදැන සිටීම පවා වරදක් බවත්, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් රටේ උත්තරීතර නීතිය පිළිබඳ අනිවාර්යයෙන්ම අවබෝධයෙන් සිටිය යුතු බවත්ය. නමුත් මහපොළොවේ යථාර්ථය එය නොවන බව අප පිළිගත යුතු තිත්ත ඇත්ත වන්නේය. එම හේතුව නිසා අප තවමත් සැලකිය යුතු මට්ටමකින් හෝ නීතිගරුක සමාජයක් නිර්මාණය කර ගැනීමට නොහැකිව ලත වන අතරම, ජනතාව නීතිය නොදැන සිටීම තම වාසියට හරවා ගන්නා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන්ගේ ඇතැම් පිරිස් තමන්ට අවශ්‍ය ආකාරයෙන් නීතිය නිර්වචනය කරමින් ජනතාව පෙළමින් සිටිති. මේ පිළිබඳ අප අද විග්‍රහය ගෙන එනුයේ නීතිඥ අරුණ පතිරණ ආරච්චි මහතා සමගිනි.
නීතිය රටක ව්‍යවස්ථාදායකය, විධායකය මෙන්ම අධිකරණය යන ආයතන ත්‍රිත්වයේම සංයුක්ත වචනයකි. ව්‍යවස්ථාදායකය හෙවත් නීතිය කෙටුම්පත් කරන ආයතනයත්, විධායකය හෙවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයත්, අධිකරණය හෙවත් දඬුවම් පමුණුවන ආයතනයත් යන ආයතන තුනේම සංයුතියක් ලෙස නීතිය කරළියට පැමිණෙන්නේ නීතිය එකී ආයතනවලින් බැහැරව ගමන් නොකරන හෙයිනි.
නීතිය යනු හුදෙක්ම අධිකාරියකි. එනම් යමක් කිරීමට කරන බලකිරීමකි. නමුදු නීතිය තුළ සිරිත්විරිත් සම්ප්‍රදායන් නැතුවාම නොවේ. සිරිත්විරිත් සම්ප්‍රදායන් අනුගමනය කිරීමට මිනිසාට නීතියෙන් බලකිරීමක් නොමැති වුවද, සදාචාරාත්මක වශයෙන් යුතුකමක් ඇත.
ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිය හුදෙක්ම රෝම - ලන්දේසි නීතියේ මෙන්ම ඉංග්‍රීසි නීතියෙන් සම්මිශ්‍රණයකි. එබැවින් රෝම - ලන්දේසි නීතියේ මෙන්ම ඉංග්‍රීසි නීතියෙන්ද සුවිශේෂී තත්ත්වයන් ලාංකිය නීතිය තුළ ක්‍රියාත්මක වෙයි.
නීතිය කෙටුම්පත් කරන ආයතනය ලෙස පාර්ලිමේන්තුවත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ලෙස ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය ආයතනත්, නීතියට දඬුවම් පමුණුවන ආයතන ලෙස අධිකරණ පද්ධතියත් ලංකාව තුළ ක්‍රියාත්මක වීම හරහා ලංකාවේ නීතියේ ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.
නමුත් අවාසනාවකට මෙන් දෙකෝටියක් පමණ ලාංකේය ජනතාව අතරින් මෙම නීතිය හා එහි පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ඇත්තේ අතළොස්සකි. දඬුවම් පැමිණ වීම සඳහා හා නඩු කටයුතු පවත්වාගෙන යෑමට මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම කම්කරු විනිශ්චය සභා නමැති අධිකරණ ධූරාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක වුවද, එවැනි අධිකරණ ධූරාවලියක් ක්‍රියාත්මක වන බව බොහෝ පිරිසක් දන්නේ නොදනිති.
තවද මෙම අධිකරණ ධුරාවලිය තුළ අපරාධ හා සිවිල් නීතිය වෙන වෙනම අධිකරණ තුළ ක්‍රියාත්මක 6වන අතර, විශේෂයෙන්ම මුල්ම අපරාධ නීතිය ක්‍රියාත්මක වන අධිකරණය වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයයි. යම් අපරාධ වරදක් සම්බන්ධව ලංකාව තුළ නීතිය, දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ හා විශේෂ පනත්වල අන්තර්ගත වන අතර, යම් අපරාධ වරදක් සම්බන්ධව අත්අඩංගුවට පත්වන යම් අපරාධකරුවෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට පත්ව ආසන්තම මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට රැගෙන යා යුතු වෙයි. එහිදී මහේස්ත්‍රාත්වරයෙකු එකී අපරාධකරුට ඇප ලබා දීම හෝ නොදීම තීරණය කරයි. නමුත් අපරාධකරුවෙකු පැය 24කට වැඩි කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කළ යුතු බවට පොලීසිය තීරණය කරන්නේ නම්, ඒ පිළිබඳ අදාළ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන් පසු ඔහු හෝ ඇය රඳවා ගෙන ප්‍රශ්න කළ හැකිය. බොහෝ පිරිස් මෙකී ක්‍රියාදාමය පිළිබඳ නීතියේදී දන්නා අතර, එමගින් බොහෝ විට ඔවුන් ලංකාවේ ක්‍රියාත්මක වන එකම අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය බවද වැරදි වැටහීමක් ඇතිකර ගනී. විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණවලට එරෙහි අභියාචනා මහාධිකරණයටත්, ඉන් අනතුරුව අභියාචනාධිකරණයටත්, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ලෙස අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර, විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණාව වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලංකාවේ ක්‍රියාත්මක වන අවසාන තීරණය වන බවත්, ඉන් අනතුරුව අභියාචනා කළ නොහැකි බවත්ය.
සිවිල් නීතිය ක්‍රියාත්මක වන මූලිකම අධිකරණය දිසා අධිකරණය වන අතර, ඉන් අනතුරුව අභියාචනා, සිවිල් අභියාචනා මහාධිකරණයටත්, ඉන් අනතුරුව අභියාචනාධිකරණයට හා අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා කළ හැකිය.
නීතිය නොදැනීමේ තත්ත්වයන් අද වන විට ලංකාවේ බහුලව දැකිය හැකිය. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පිරිමි, ගැහැනු දෙපක්‍ෂයම ලංකාවේ පවතින නීතිය යටතේ වලංගු රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලීම් කළ හැකිය. ඉල්ලීමෙන් අනතුරුව මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත හා ප්‍රායෝගික වැඩසටහන්වලින් අනතුරුව අද වන විට වසර අටකට වරක් අලුත් කළ යුතු වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගත හැකිය. සැබැවින්ම මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත පරීක්‍ෂණයට අදාළ වන්නේ මොනවාද? එහි සැබැවින්ම අන්තර්ගත වනුයේ රියදුරෙකු ලෙස පිළිපැදිය යුතු නීතිරීති නොවේද? රටේ අවාසනාවකට අද වන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මුහුණ දෙන ලිඛිත පරීක්‍ෂණයෙන් ප්‍රශ්න හා උත්තර ඇතුළත් පොතපත විකිණීමට ඇත. පහසුවෙන්ම ලිඛිත පරීක්‍ෂණය සමත් වීම හරහා වලංගු රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සිහින දකින බොහෝ දෙනා ලිඛිත පරීක්‍ෂණයෙන් දැනුමක් ලබනවා වෙනුවට අන්ධයන් මෙන් පිළිතුරු සැපයීමට පුරුදුව සිටින්නේ කඩහිමියන්ට අවශ්‍ය අරමුණ ද සපුරාලමිනි. කෙසේ හෝ ලිඛිත පරීක්‍ෂණය සමත්ව වලංගු රියදුරු බලපත්‍රය ලබා ගත්ත ද, මාර්ග නීති පිළිබඳ ඔවුහු අවබෝධයක් නොලබති.
වලංගු රියදුරු බලපත්‍රයක් තිබූ පමණින්ම, වාහන ධාවනය කිරීමට හැකි පමණින්ම එය සුබදායක වන්නේ නැත. රියදුරන් විනීත විය යුතුය. විනීත වීමට ඔවුන් මාර්ග නීති පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. අද වන විට බොහෝ අනතුරුවලට ප්‍රධාන හේතුව වන්නේ නියමිත මාර්ග නීති අනුගමනය නොකරමින් ධාවනයේ යෙදෙන රියදුරන් නිසාවෙනි. මාර්ග නීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමෙන් අසරණ වන්නේ තවත් අහිංසක ජීවිතය. තවද නීතිය නොදැන වන වැරදි වුවත්, ඊට දඬුවම් හිමි වනු නිසැකය.
තවද සාධාරණාත්මක ගති පැවතුම්වලින් පිරි ලංකාව වැනි රටක වුවද, පවුල් ආරවුල් නැතුවාම නොවේ. කාන්තා හිංසනය රට පුරාම පැතිර ඇත. බසයකදී, සාප්පුවකදී, ආයතනයකදී හිංසනයට ලක්වන කාන්තාවෝ බොහෝ වෙති. තවද තම පවුල තුළ තම ස්වාමි පුරුෂයාගෙන් හිංසනයට ලක්වන කාන්තාවෝද වෙති. නීත්‍යනුකූල විවාහයකට එළැඹ තම භාර්යාව ලෙස පිළිගන්නා කාන්තාවට පහර දීමට හෝ හිංසනයට ලක් කිරීම වරදක් නොවන බවට බොහෝ ස්වාමිපුරුෂයෝ කල්පනා කරති. නමුත් අඹු-සැමියන් වුවද, නීතියට අනුව තම බිරිඳ හිංසනයට ලක්කළ නොහැකිය. යම් විටක එවැනි හිංසනය දරා ගත නොහැකි තත්ත්වයන් තුළ භාර්යාව පැමිණිල්ලක් කළේ නම්, එවිට අදාළ විමර්ශන කටයුතු කර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ ස්වාමි පුරුෂයාට එරෙහි දඬුවම් නියම කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට ඇත්තේය.
නීතිය හා අධිකරණ පද්ධතිය දෙස අවධානය යොමු කිරීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ සිවිල් නීතිය යටතේ ඉඩම් ආරවුල් බහුල වීමය. විශේෂයෙන්ම ගම්බද පළාත් ආශ්‍රිතව මෙම තත්ත්වය බහුලව දැකිය හැකිය. සාමාන්‍ය සිවිල් නීතිය යටතේ යම් ඉඩමක් සම්බන්ධව, ඉඩම් ආරවුලක් පවතින්නේ නම් නඩුව පවතින අතරතුර එකී ඉඩම් තුළ නව ඉදිකිරීම් හෝ ඉදිකර ඇති ගොඩනැගිලි කඩාබිඳ දැමීම හෝ වගාකර ඇති හෝ වැඩී ඇති ගස් කපා ඉවත් කිරීමට පාර්ශ්වයන්ගේ තනි කැමැත්ත මත කළ නොහැකිය. එසේ ඉවත් කළ යුතු වන්නේ නම්, ඒ පිළිබඳ අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයෙන් ග්‍රාම නිලධාරිවරයා මුල් අවස්ථාවේම දැනුවත් කළ යුතු අතර, ඉන් අනතුරුව නීත්‍යනුකූලව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත කළ හැකි වන්නේය. නමුත් ජනතාව මේ පිළිබඳ දැනුවත් නැත. විශේෂයෙන්ම නඩුවක් පවතින අතරතුර නීතියෙන් වන බැඳීම් පිළිබඳ දැනුවත් වීම ඉතා අල්පය. එහෙයින් තම හිතුමතේට කරන ක්‍රියාවන් හරහා අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ දඬුවම් කළ හැකිය.
අද වන විට තාක්‍ෂණය ඉතා ඉහළ මට්ටමක පවතී. කුඩා දුරකථනය දක්වා, එහි විවිධ ක්‍රියාකාරකම් දක්වා තාක්‍ෂණය පෙරමුණට පැමිණ ඇත. මිනිස්සු බොහෝ විට මුහුණුපොතේ දවස ගත කරති. දැන් මිනිසා කියවන්නේ නැත. ලියන්නේ ද නැත. කියවීමක් නොමැතිකම මත සාහිත්‍ය රසයක් දන්නේ ද නැත. එහෙයින් ලිවීමට දන්නේ ද නැත. එදා ප්‍රේමවන්තයෝ තම අදහස් එක්කෝ කවියකට නැගූහ, නැත්නම් පෙම් හසුනකට කොටු කළහ. එබැවින් එදා ප්‍රේමය රාගයෙන් තොර වූ සුන්දර එකක් විය. නමුත් අද අවාසනාවකට ප්‍රේමය තාක්‍ෂණයට හසු වී හමාරය. අද කවි ද නැත, පෙම් හසුන් ද නැත. ඇත්තේ රාගය මුසු වූ කතාවක් පමණි.
ලංකාවේ නීතිය ළමයින් වෙනුවෙන් ඉතා දැඩිය. දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති පරිදි වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකු සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එකී වරද ලංකාවේ නීතිය යටතේ ව්‍යවස්ථාපිත %ස්ත්‍රී දූෂණය^ නම් වරද වෙයි. මෙම වරදෙහි ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ කාන්තාවගේ කැමැත්ත ඇතිව ඇය හා ලිංගික සංසර්ගයේ යෙදීම වුවත් නීතිය ඉදිරියේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වීමය. පාසල් යන වයසේ පසුවන ආදරවන්තයෝ මෙම නීතිමය තත්ත්වයන් පිළිබඳ නොදනිති. බොහෝ විට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයසේ පසුවන දරු දැරියන් මෙම තත්ත්වයට ගොදුරුවීම අද දක්නට ඇති සුවිශේෂී තත්ත්වයකි. ඔවුන් ආදරය රාගයට පෙරලා ගනිමින් කරන වැරදි, නීතියෙන් වැරදි බව නොදැන සැබැවින්ම කරන ඒවාය. නමුත් නීතිය දැන හෝ නොදැන යම් වරදක් ඔවුන් අතින් සිදු වූයේ නම් එය නීතිය ඉදිරියේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.
බොහෝ විට අද ලංකාවේ ජනතාව අතර දැකිය හැකි විශාල අඩුපාඩුවක් වනුයේ නීතිය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීමය. සාමාන්‍යයෙන් යම් වරදකරුවෙකු තමන්ගේ නිදහස තකා ගරු අධිකරණය ඉදිරියේ නීතියෙන්ම පෙන්වා ඇති අන්‍යස්ථික භාවය/මත් වීම යන විත්ති වාචක ලබා ගත්ත ද, නීතිය නොදැනීම විත්ති වාචකයක් ලෙස නීතියෙන් දක්වා නැත. එබැවින්ම නීතිය නොදැනීම යම් වරදකට අදාළව සමාව ලැබීමට තරම් ප්‍රමාණවත් සාධකයක් නොවේ.
නීතිය නොදැනීම පිළිබඳ ජනතාවට දොස් කිව නොහැකිය. යමෙකුට ලබාදෙන දඬුවම් පිළිබඳ මාධ්‍ය මගින් සාමාන්‍ය ජනතාව අවබෝධයක් ලබා ගත්ත ද, එම දඬුවම්වලට අදාළ කරගත් නීතිය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැත.
මෙම තත්ත්වය වෙනස් කරමින් සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබඳ නිසි අවබෝධය ලබාදිය යුතු කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම කුඩා කල සිටම දරුවාට නීතිය පිළිබඳ විෂයයක් තුළින් පාසල තුළම අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම්, නීතිය මේ තරම් වල් නොවදිනු ඇත. තවද ගම් මට්ටමින් අදාළ පොලිස් ස්ථාන හරහා හෝ වැඩසටහන් ආරම්භ කිරීම මගින් යම් නීතිමය තත්ත්වයන් හෝ ඊට අදාළ දඬුවම් පිළිබඳ ජනතාව දැනුවත් කළ හැකිය. මෙවන් වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක නොවන්නට නීතිය පිළිබඳ ජනතාවට දැනුම වර්ධනය කර ගත නොහැකි වනු ඇත. එය එසේ වන්නේ නම්, රට තුළ දිනෙන් දින වර්ධනය වන අපරාධ රැල්ල මර්දනය කළ හැක්කේ ද නැත.