මෙරට ජාතික ලිතෙහි පොහොය විස්තරයට අනුව තවත් පොසොන් පොහොයක් අද (24දා) උදාවේ. ඒ මුළුමහත්ම රටම නොතිත් වියවුලක පැටලී ඇති මොහොතකය. ඉකුත් වසර ගණනාවක අත්දැකීමට අනුව පොසොන් පොහොයදා මෙන්ම ඉන් පෙර හා පසු දින කිහිපය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ප්‍රධාන අටමස්ථානයත්, විශේෂයෙන් මිහින්තලා පූජා භූමියත් ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගෙන් පිරී යති. ආසන්න වශයෙන් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් මෙසේ එන බව ගණනය වී තිබේ. අවශේෂව පවතින තන්තිරිමලය, අවුකන, විජිතපුර, රැස්වෙහෙර ආදී සිද්ධස්ථානද ජන ගඟකින් මෙසමයෙහි වෙහෙසට පත්වෙයි. එසේ පැමිණෙන පිරිස වෙනුවෙන් ආහාර, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය සැපයීමට මෙන්ම ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් වෙනම වෙහෙසක්, වියදමක් දැරීමට සිදුවේ.
එහෙත් මෙවර එවැනි අමතර වෙහෙසක් හෝ වියදමක් දැරිය යුතු නැත. ඒ පොහොය දිනය අරඹයා මෙවර ජනතා සහභාගීත්වයෙන් කිසිදු කටයුත්තක් සිදුනොවන බැවිනි. පොසොන් පොහොය අරඹයා මතක ඇති කාලයක මෙවැනි අත්දැකීමක් පූජා නගරයේ වැඩිහිටියන්ට පවා නැති තරම්ය. මහමෙව්නාවේ සෑම අහුමුල්ලක්ම මහා පිරිවරකින් පිරී යෑම ඔවුනට හුරු අත්දැකීමයි. අනුරාධපුරය, අභයගිරි ප්‍රදේශයේ ජීවන හුස්ම අල්ලන හැටහය වියැති පී.ඩී. දයානන්ද මහතා එවැනි පොහොය දින කීයක් නම් සියැසින් දකින්නට ඇද්ද? අතීතයේ ගෙවී ගිය පොහොය දින ගැන වියපත් ඔහු කීවේ මෙවැනි කරුණුය.
“මේ පාරත් එක්ක දැන් අවුරුදු තුනක් තිස්සේ පොසොන් එක පාළු වෙනවා. මගේ ජීවිත කාලේ මතක ඇති කාලෙක මේ විදිහට මිනිස්සු නැති පෝයක් ඇවිල්ලා නෑ. මේ පාර වෙසක් එකටත් මිනිස්සු නෑ. පොසොන් එකටත් නෑ. අපි ජීවත් වුණේ ඒ එන මිනිස්සුන්ට වෙළෙඳාමක් කරලා කීයක් හරි හොයාගෙන. ඒත් මගේ මේ වයසත් එක්ක දැන් මට හිතෙනවා ලක්ෂ ගාණක් මිනිස්සු ගෙන්නගෙන තියෙන උත්සව වලින් ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඒ ගැන ටිකක් හිතලා බලන්න මේක හොඳ වෙලාවක්. පාරක් පාරක් ගානේ වාහන හිර කරගෙන පොසොන් පෝයට මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. මොකටද එහෙම දුකක් විඳින්නේ කියලා මට නම් හිතාගන්න බෑ. මේ කාලේ මේ දේවල් ගැන හිතනවා නම් මිනිස්සුන්ගේ තියෙන අමනුස්සකම් ටිකක් හරි අඩු වෙයි.”
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසුවේ ශ්‍රී මහා බෝධිය සහ මිහින්තලය පූජා භූමිය ආදී සිද්ධස්ථානවල කිසිදු ජනතා සහභාගීත්වයකින් තොරව මහා සංඝරත්නය විසින් ප්‍රතිපත්ති පූජාවන් පමණක් පවත්වනු ඇති බවය. සති පිරිත් දේශනාව සහ දොරකඩඅස්න පුණ්‍යානුමෝදනාව මෙවර පැවැත්වෙන්නේ නැත. පොලීසියේ විශේෂ රථ වාහන සැලසුම්ද මෙවර අවශ්‍ය නොවේ. දන්සැල් කිසිවක්ද නැත. දන් දීමට කැමැති අයෙකු වේ නම් මේ අසීරු කාලයේ එදා වේල ගැට ගැසීමට වෙහෙසෙන මේ සාවියේ ඈත දුෂ්කර ගම්වල මිනිස්සුන්ට යමක් ගෙනැවිත් දිය හැකිය.
ඉකුත් පොසොන් පොහොය සමයන්හිදී මුළු පූජා නගරයම දෙවනත් කරමින් අනුරාධපුර මහ නගර සභාව පැවැත්වූ පොසොන් සැණකෙළිය මෙවරද අතහැර දමන්නට සිදුව තිබේ. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය පෙනෙන මානයේ එකම ඝෝෂාවකින් ඇලලී ගිය මේ විසූක දස්සන වලින් යථාවත් වූයේ කවර නම් බුද්ධාලම්භන ප්‍රීතියක්දැයි එවර බොහෝදෙනෙකුට නොවැටහුනේය. එහෙත් ඒ හැමට මෙවර නිහඬ නිසංසල බවේ ජීවන දහම වටහා ගැනීමට සොබාදහම මග සකසා ඇත.
ජනයා ගැවසී ගත් මහා බෝධිය, මහා සෑය පමණක් නොව අභයගිරිය, ජේතවනය, ථූපාරාමය, ලංකාරාමය, කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, සඳකඩ පහන, මිරිසවැටිය ආදී මහමෙව්නාවේ වෙහෙර විහාර සහ ස්මාරක ජන ශූන්‍ය වී ගියේය. ඒ වග පසක්කොට කුට්ටම් පොකුණ අසලට වී කලක් තිස්සේ එළවළු, පලතුරු වෙළෙඳාමේ නියුතුව ඇති එම්.ඩබ්ලිව්. අනිල් පැවසුවේ මෙවැනි කතාවකි.
“අපි විකුණන්න එළවළු, පලතුරු ගන්නේ අහල පහල අයගෙන්. අපි වෙළෙඳාමක් කෙරුවොත් තමයි ඒ කට්ටියටත් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ. අපිට වෙළෙඳාමක් නෑ කියන්නේ ඒ මිනිස්සුත් අසරණ වෙනවා. දැන් මේ පැත්තම පාළුවට ගිහිල්ලා තිනේනේ. මේ තැන්වල වෙළෙඳාම් කරපු ගොඩක් දෙනෙක් දැන් පේන්නවත් නෑ. ඒ මිනිස්සු මොනව කරලා ජීවත් වෙනවද කියලා දෙයියො තමයි දන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉස්කෝලෙ යන වයසේ. මේ දවස්වල ළමයින්ගේ ඔන්ලයින් පංතිවලට වියදම් කරන්න ඕන. කරදර අමාරුකම් එකක් නෙමෙයි. මෙතැනට ඇවිල්ලා කීයක් හරි හොයාගත්තෙ නැත්නම් හැමදේම ඉවරයි.”
මෙපරිද්දෙන් වසර පහළොවක පමණ කලක සිට අටමස්ථානයේ මල් අලෙවි කොට දවස සරිකරන එස්. කරුණාරත්න තිස්පස් හැවිරිදිය. ඔහු දෙදරු පියෙකි. හිටිහැටියේ මතුව ආ ජීවන දුෂ්කරතාවයන් ගැන ඔහු කීවේ මෙවැනි කරුණුය.
“මේ කරදර එන්න කලින් දවසකට රුපියල් දාහක් එක්දාස් පන්සීයක් විතර හොයාගත්තා. ඒකෙන් තමයි දවසේ වියදම පියවගෙන දරුවන්ට ඉගැන්නුවේ. පහුගිය ටිකේ රටම වහල තිබ්බ හින්දා අපිට කරකියා ගන්න දෙයක් නැතිවුණා. තැන් තැන්වල තියෙන කඩකෑලි ඔක්කොම වගේ වැහිල ගිහිල්ලා තියෙන්නේ. අපි වගේ පාරට වෙලා මල් විකුණන අය ගොඩක් ඉන්නවා. ඉස්සර පොසොන් කාලෙට මේ හැම තැනක්ම මිනිස්සුන්ගෙන් පිරෙනවා. දැන් අවුරුදු තුනක් තිස්සේ අපි කවුරුවත්ම හිතපු නැති දෙයක්නේ වුණේ. මොනව කරන්නද එක අතකින් මේක තමයි ජීවිතේ.”
ඉකුත් වසරවල පොසොන් සතිය නිමාවෙත්ම කැළිකසළ කන්දකින් මුළු මහමෙව්නාවම වැසී යන තරමින් මිනිසුන්ගේ චර්යාව අශිලාචාර වී තිබිණි. ස්නානය ආදී කටයුතු සඳහා එසමයෙහි කාගෙත් පිහිටට ඇති බසවක්කුලම වැව ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි ආදියෙන් පිරී යයි. හෙවනක් ඇති හැමතැනකම අඩු තරමින් ප්ලාස්ටික් බෝතල් කිහිපයක් හෝ හැල්මේ අතහැර යෑමට තරම් මනුසතුන් අකාරුණික වෙයි. මේ කසළ කඳු ඇදීමට වෙනම මුදලක් , පිරිසක් අවැසි විය. මෙවර මේ කරදර සියල්ලක් මඟහැරී තිබේ. සිංහ කණුවත්, පෙත් මගත් එකිනෙක යා කරවන මග දෙපස දවස් කිහිපයකට අටවන පොසොන් කඩ පොකුර මෙවරද ඉදිවන්නේ නැත. අනුරාධපුරයේ සිට මිහින්තලයට වසරකට වරක් ගමන් අරඹන දුම්රියටද මෙවර විවේකයක් ලැබී තිබේ.
කාටත් රහසේ හුණු පිරියම් වූ රුවන්වැලි මහා සෑය ඈතින් ඈතට දිස්වේ. මේ හැමට ඉහළින් මෙවර පොසොන් සඳ පායනු ඇත්තේ අඳුරු වළාවන් රොත්තකට මැදිවය. එහෙත් පාපී මිනිසුන්ගේ පා පහසින් මෙවර මේ බිම අපවිත්‍ර නොවීමේ සතුට, සැනසීම සොබාදහම නිහඬවම විඳිනවා නොවේද යැයි කාට නම් පැවසිය හැකිද?
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග