නිෂ්පාදන වියදම පදනම් කරගෙන කෘෂි නිෂ්පාදනවලට ස්ථිර අවම මිලක් හඳුන්වා දෙනවා


අස්වැන්නට නිසි මිලක් නොලැබීම මෙරටේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මීට අමතරව පොහොර නිසිලෙස නොලැබීම කෘමි උවදුර වැනි ක්‍රියා නිසාත් මෙරටේ ගොවීහු දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. කිරිවලින් රට ස්වයංපෝෂිත කරන බවට සඳහන් කළද එය මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බවට විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරති. මේ පිළිබඳ %අද^ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කතාබහක නිරත වීමු.


සේනා දළඹුවා මර්දනය කිරීම

සේනා දළඹුවා ලංකාවට විතරක් ආවේණික වූ සතෙක් නෙවෙයි. මේ වනවිට ඉන්දියාව, පකිස්තානය හා අප්‍රිකානු රටවල හා ඇමෙරිකාවෙත් ඉන්න සතෙක්. මර්දනය කිරීමට ස්ථිර ලෙස කෘෂි රසායන ද්‍රව්‍යයක් සොයාගෙන නැහැ. හැබැයි මෙම උවදුර මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රසායනික වර්ග තුනක් ගොවීන්ට හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම ස්වාභාවික ක්‍රම මගින් දළඹු උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් හා ප්‍රා‘දේශීය හා පළාත්වල ඉන්න කෘෂිකර්ම නිලධාරීන් විසින් ගොවීන්ට ලබාදෙමින් සිටිනවා.    

අමාත්‍යාංශයේ කාර්යභාරය

අමාත්‍යාංශයක් ලෙස මේ කටයුතු සඳහා විශාල වැඩ කොටසක් සිදුකරනවා. අද වනවිට අපි රුපියල් මිලියන පනහකට අධික මුදලක් වියදම් කරලා තියෙනවා. මේ වනවිට සිදුවෙන්නේ දළඹුවා මර්දනය කිරීමක් නොවෙයි. ඔවුන් පළවා හැරීමක්. කෘෂි රසායනික ද්‍රව්‍යවලට අමතරව ගොවියෙකු දිලීරයක් සොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව මේ වනවිට අවධානය යොමුකරලා තියෙන්නේ.

දළඹුවා ව්‍යාප්තිය 

බඩ ඉරිඟු හා උක් වගාව තුළ වගේම තවත් භෝග කීපයක දළඹු උවදුර සිටිනවා. මෙතනදී තියෙන ප්‍රශ්නය තමයි එක් රැයකට කිලෝමීටර් සියයක් වුවත් පියඹා යාමේ හැකියාව තියෙනවා. දළඹුවාගේ වැඩිම ආකර්ෂණය තියෙන්නේ බඩඉරිඟු හා උක් වගාවන්ට. මේ වගාවන් ඉවත් වනවිට සමහර විට වෙනත් භෝගවලට රෝගය පැතිර යාමේ ඉඩකඩක් තියෙනවා. මේ නිසා එම අනතුර වළක්වා ගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන්නේ. 

බඩඉරිඟු හිඟයක් ඇතිවීමේ අවදානම

එවැනි තත්ත්වයක් ඇතිවීමේ ලොකු අවදානමක් නැහැ. මොකද දැනටමත් අපේ රටට බඩඉරිඟු ගෙන්වනවා. ඒකට හේතුවෙලා තියෙන්නේ ලංකාවේ අවශ්‍යතාවට ලංකාව තුළ බඩඉරිඟු සකස් නොවීම. මේ නිසා ඉතිහාසය පුරාම බඩඉරිඟු රටින් ගෙන්වලා තියෙනවා. ඒ කොහොම වුණත් අපේ වගාව ආරක්ෂා කරගැනීමටත්, ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමටත් ගතහැකි සියලුම කටයුතු සිදුකරනවා.

දළඹු මර්දනයට උගුල් ක්‍රම හඳුන්වාදීම  

ස්වභාවික ක්‍රම මගින් මේ උවදුර මර්දනය කිරීමට අවධානය යොමුවෙලා තියෙන්නේ. මේ අනුව උගුල් මගින් මෙය මර්දනය කිරීමටත් අවධානය යොමු කරලා තියෙන්නේ. මෙතනදී පිරිමි දළඹුවා උගුලකට ආකර්ෂණය කරගෙන මර්දනය කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. මෙම ක්‍රමය ඉදිරියේදී ගොවීන්ට හඳුන්වා දීමටත් කටයුතු කරනවා. අපිට ඕන ක්‍රමයකින් හෝ දළඹුවා මර්දනය කරගැනීමට හැකියි. ඒක නිසා ක්‍රම ගණනාවක් දළඹුවා මර්දනයට යොදා ගන්නවා. 

මෙතැනදී දේශීය කෘෂි විද්‍යාඥයන්ගේ අදහසක් තියෙනවා. දහයියා, අළු යෙදීමෙන් දළඹුවා මර්දනය කරන්න පුළුවන් කියලා. දළඹුවා වඩාත් ආකර්ෂණය වන වගාවන් හඳුන්වා දීලා ලංකාවේ වගාවන් ආරක්ෂා කරගැනීමටත් අවධානය යොමුවෙලා තියෙනවා.

වගා හානි වන්දි

පූර්ණ හානි සිදුව තිබෙන ගොවි ජනතාවට වන්දි ලබාදීමට රජය තීරණය කරලා තියෙන්නේ. මෙතැනදී කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා තමයි වගා වන්දි ලබාදීමට සැලසුම් කරලා තියෙන්නේ. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.    

කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා වන්දි ලබාදෙන්නේ භෝග වර්ග 06කට පමණයි. මෙතනදී වන්දි ලබාදීම සිදුවුණේ ගංවතුර හා නියඟය වැනි ස්වාභාවික ආපදාවලදී පමණයි මේ නිසා මෙම වගාවලටත් වන්දි ලබාදීම සඳහා අනුමැතිය ගන්න කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා.   

කෘෂිකර්මාන්තය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව

ඔළුවක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා දළඹුවෙක් ගෙනැල්ලා කෘෂිකර්මාන්තය විනාශ කරන්න බැහැ කියලා. මොකද කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට අපි විශාල වැඩ කොටසක් සිදුකරනවා. මේ දළඹු උවදුර අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි. 

මම කෘෂිකර්මය සිදුකරන ප්‍ර‘දේශයක ජීවත්වන මන්ත්‍රීවරයෙක්. කෘෂිකර්මය දියුණු කිරීමට වගේම දළඹු මර්දනය කිරීමට අපි ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

සේනා දළඹුවා මර්දනයට ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම

කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් මෙම කටයුත්ත කරන්න අමාරුයි. මේ නිසා රටේ තියෙන අනෙකුත් දෙපාර්තමේන්තු හා විශ්වවිද්‍යාල ඇතුළු වෙනත් ආයතන ඒකාබද්ධ වෙලා ජනතාව දැනුවත් කිරීම හා මර්දනය කිරීමට අදාළ කටයුතු මේ වනවිට සිදුකරනවා. ප්‍රශ්නය තියෙන්නේ දළඹු උවදර මර්දනය කිරීම හා මේ උවදුර පිළිබඳව ගොවියාගේ පැත්තෙන් තිබෙන දැනුම මදිකම.

දේශීය කිරිපිටි හිඟය

හයිලන්ඩ් වැනි කිරිපිටි ඇතුළු නිෂ්පාදනවල හිඟයක් ඇතිවී තිබෙන බවට විෂයභාර අමාත්‍යවරයා ලෙස මම පිළිගන්නවා. මෙතනදී වෙලා තියෙන්නේ කිරි එකතු කිරීමේ යම් යම් අඩුපාඩු වගයක් වෙලා තියෙනවා. මේ පිළිබඳව සොයාබලා අපි කිරි එකතු කරගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මේ අනුව මාසයක් වැනි කාලයක් තුළ මෙම හිඟය මගහැර ගැනීමට හැකිවේවි. 

කිරිපිටි කිලෝ ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාරවලට නිකුත් කිරීම

අපි අලුතින් හදපු කර්මාන්ත ශාලාවේ ඇතිවී තිබූ යම් යම් දෝෂ නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම කිරි ගොවියා ආරක්ෂා කරගැනීමට අපි ගොවීන්ගේ කිරි සීමාවකින් තොරව මිලදී ගත්තා. එහිදී පැකට් කිරීමටත් අපහසු තරමේ කිරිපිටි තොගයක් නිෂ්පාදනය කළා. ඒ සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ. ඒත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ.

සත්ත්ව ආහාරවලට නිකුත් කළ කිරිපිටි වෙළෙඳ පොළට නිකුත් කිරීම  

මේ පිළිබඳව සොයා ගැනීම සඳහා මම කමිටුවක් පත්කළා. මෙතැනදී වෙලා තියෙන්නේ සත්ත්ව ආහාර සඳහා කිරිපිටි නිකුත් කරන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන ලියාපදිංචි සමාගම් වෙත. ඒත් පසුගිය කාලයේදී සත්ත්ව ආහාරවලට නිකුත් කළ කිරිපිටි තොගයක් කුලියාපිටිය ප්‍ර‘දේශයේ පුද්ගලයෙකු අරගෙන තියෙනවා. ඔහු සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා තහවුරු වෙලා තියෙන්නේ. කොහොම වුණත් පත්කර තිබෙන කමිටුව තුළින් සියලුම කටයුතු හෙළි කරගැනීමට හැකිවේවි. ඒ වගේම සත්ත්ව ආහාරවලට විකුණා දමා තිබෙන කිරිපිටි තොගයක් ගබඩාවල තාමත් තියෙනවා. එම කිරිපිටි තොගයට සිදුකරන්නේ කුමක්ද යන්න පරීක්ෂණ කටයුතු අවසන්වූ පසු තීරණය කරනවා.     

රජය මැදිහත් වී හඳුන්වා දුන් කිරි හරක් මියයාම 

මේ තත්ත්වය ගොවීන් කිහිපදෙනෙකුටම ඇතිවෙලා තියෙනවා. කිරි හරක් ලබාදීම බැංකු ණය මත සිදුවෙලා තියෙන්නේ. මේ නිසා බැංකු සමග සාකච්ඡා කරලා ගොවීන්ට සහන ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවක් වශයෙන් හා අමාත්‍යාංශයක් වශයෙන් ගොවීන්ට ලබාදෙන්න පුළුවන් හැම සහනයක්ම ලබාදෙනවා. 2014 වසරේ සිට කිරි හරක් ගෙන්වලා තියෙනවා.

අපේක්ෂිත කිරි අස්වැන්නක් නොලැබීම

කිරි ගවයන්ට අවශ්‍ය ආහාර නිසිලෙස ලබාදෙන්න ඕන. වටවල ප්ලාන්ටේෂන් ගත්තම ඒක හොඳට සිදුකරනවා. ඒ වගේම තවත් කිහිපදෙනෙකු ආහාර ලබාදෙන වැඩේ හරියට කරනවා. ඒ අය දවසට කිරි ලීටර 25කට වඩා ගන්නවා. ඊශ්‍රයාලය ගත්තම දවසට තුන් සැරයක් කිරි ගන්නවා. ඒ ගොල්ලෝ දවසට කිරි ලීටර් 70ක් විතර ගන්නවා. එහේ ඉන්නෙත් මේ වර්ගයේ ගවයින්. හැබැයි අපේ රටේ කිරි ගන්නේ දවසකට දෙපාරයි.

කෘෂි නිෂ්පාදනවලට මිලක් නොමැති වීම

ගොවීන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා වගාවන් සිදුකිරීමේදී යන නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන ඉදිරියේදී කෘෂි භෝගවලට නියමිත මිලක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. 
ඒ වගේම වසරකට වගා කළ යුතු ප්‍රමාණය පිළිබඳවත් සොයා බලා ක්‍ර‘මවේදයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වම්බටු සිටු වනවිට සියලුම දෙනාම ඒක කරනවා. ඊට පස්සේ ඒ එළවළු, පලතුරු ටික විකුණ ගන්න ගියාම විකුණාගන්න බැහැ.

වට්ටක්කා මිල පහත වැටීම

පසුගිය කාලයේ සිදුවූ වියළි කාලගුණික තත්ත්වය නිසා බොහෝ ගොවීන් වට්ටක්කා වගා කළා. මොකද මේ වගාව අනෙක් වගා එක්ක  බැලුවම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මීට අමතරව වට්ටක්කා වගාවෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. මේ නිසා වට්ටක්කා විකුණා ගන්න බැරි තත්ත්වයක් මේ වනවිට ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් මිලදී ගන්න තීරණය කරලා තියෙන්නේ. අදාළ කටයුතු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සිදුකරනවා. 

කිරිවලින් ස්වයංපෝෂිත කිරීම

විදේශීය රටවලින් කිරි හරක් ගෙන්වලා ඊට අදාළ දායකත්වය සපයනවා. ඒ වගේම මෙම කිරි හරක්ගේ දෙවැනි, තුන්වැනි පරම්පරාවත් මේ ප්‍ර‘දේශවලට ගැළපෙනවා. කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ගමන යද්දී බාධක ප්‍රශ්න එනවා. ඒවා විසඳාගෙන අපි ඉදිරියට ගිහිල්ලා රට කිරිවලින් ස්වයංපෝෂිත කරනවා.

පොහොර ලබාදීමේ ගැටලුව

පසුගිය කාලයේදී ගොවීන්ට පොහොර ලබාදීමේදී නිසි කලට එය සිදුවුණේ නැහැ. රටේ වාර්ෂික පොහොර අවභාවිතය මෙට්‍රික්ටොන් තුන්ලක්ෂ අනූපන් දහසකට අධිකයි. පොහොර ගෙන්වීමේදී පසුගිය කාලයේදී ප්‍රශ්න ඇතිවුණා. එතනදී ලතින් ඇමෙරිකාව වැනි රටවලින් බාල පොහොර ගෙන්නුවා. මේ හරහා ගොවි ජනතාව වකුගඩු රෝගීන් බවට පත්කරවූවා කියා චෝදනා එල්ල වුණා. කොහොම වුණත් අපි ගොවි ජනතාව ප්‍රමිතියෙන් යුත් පොහොර නියමිත වෙලාවම ලබාදෙනවා. ඉදිරි කන්නයට අවශ්‍ය පොහොරවලින් 40෴ක වැඩි පිරිසක් මේ වනවිට ගබඩාවල තියෙනවා. මේ නිසා පොහොර ප්‍රශ්න ඉදිරියේදී  ඇති වෙන්නේ නැහැ.

ගංගාවල අවිධිමත් ලෙස වැලිගොඩ දැමීම

 කැලණි, කළු ගංගා හා ගිං ගඟ ප්‍රදේශවල සිදුකරන අවිධිමත් වැඩපිළිවෙළ ක්‍රමවත් කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරනවා. කැලණි ගඟේ කොහිලවත්තේ සිට ගල්මුල්ල දක්වා කොටසේ ගඟ ඛාදනය වනවා. මේ නිසා එය වළක්වා ගන්න රුපියල් මිලියන 600ක් වියදම් කරලා ගල් වැටියක් ඉදිකරනවා. 



Recommended Articles