නිවසේ සිටම ඉංග්‍රීසි ඉගෙන ගන්න පැකේජයක්


කෝඩිඩ් වසංගතය පැතිර යාමත් සමග මාර්ගගත අධ්‍යාපනය (Online) කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ අතර, මේ වනවිට මාර්ගගත අධ්‍යාපනය (Online) වෙත බොහෝදෙනා යොමුව තිබේ.  ඒ අනුව යමින් %ස්ටඩිනෙස්ට් එඩියුකේෂන්^ ආයතනය විසින් අධ්‍යාපන පැකේජයක් හඳුන්වා දී ඇති අතර, එය නිවසේ සිට අධ්‍යාපනය හැදෑරිය හැකි ආකාරයට සකස් කර තිබේ. ප්‍රදීප් චානක නැමැති පුද්ගලයා විසින් එය නිර්මාණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙවැන්නකි.

'මගේ ගම ඇඹිලිපිටිය. මගේ ප්‍රදේශයේ  ඉන්න පාසල් දරුදැරියන් අමතර පංතිවලට යද්දි පැය දෙක තුනක අමතර කාලයක් මහ මගට නිකරුණේ වැය වෙනවා. අපි අධ්‍යාපනය ලබාගන්නා කාලයේදී උනත් අමතර පංති යද්දි වැඩි කාලයක් ගතවුණේ මහ මහට.  ගමන් මහන්සියත් එක්ක ඉගෙන ගන්න දේ උනත් නිවැරදිව මනසට යන්නේ නැහැ. මේ නිසා ඇතැම් විට හරිම ප්‍රතිඵල ලබාගන්න බැරිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය සම්බන්ධ මෘදුකාංගයක් හඳුන්වලා දීලා ළමයින්ට ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න ක්‍රමවේදයක් හදන්න මම උත්සාහ කළා. මම සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය හැදෑරුවා. පසුව මේ සම්බන්ධයෙන් විවිධ කටයුතු කළා. මීට අවුරුද්දකට පමණ කලින් තමයි මෙහි වැඩකටයුතු ආරම්භ වුණේ. %ස්ටඩිං නෙස්ට් එඩියුකේෂ්න්' (studynesteducation)  නමින් එහි කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඉංග්‍රීසි අධ්‍යාපන පාඩම් මාලාව

ඉගෙන ගන්න ළමයාට පහසු වන අකාරයට වැඩසටහන් ඇතුළත් කරමින් අධ්‍යාපනයට පහසු වන ආකාරයට එය නිර්මාණය කරන්න අපි උත්සාහ කළා. මෙහිදී බොහෝදෙනෙක් ඉංග්‍රීසි විෂයට දුර්වල නිසා මම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උපකාරී වන දැනුම් කට්ටලයක් මුලින්ම නිර්මාණය කළා. එහිදී තනිවම ඉංග්‍රීසි ඉගෙන ගත හැකි මූලික ඉංග්‍රීසි ස්වයං අධ්‍යයනය පැකේජය නිර්මාණය කළා. පොඩි ළමයින්ට ඉංග්‍රීසි, මූලික ඉංග්‍රීසි, ඉංග්‍රීසි ව්‍යාකරණය ආදී ලෙස විවිධ පැකේජ අපි මේ වන විට නිර්මාණය කර තිබෙනවා.

ඊට අමතරව කොරියානු විභාගය සඳහා සූදානම් වන අයට කොරියානු කතා කිරීමට පහසු වන ආකාරයේ පැකේජයක් ඇතුළත් කර තිබෙනවා.

පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව

මේ මෘදුකාංගය පරිගණකයට හරහා බලන්න හැකියාව තිබෙනවා. පාඩමෙන් පාඩම ළමයින්ට බලන්න පුළුවන් ආකාරයට මෙම මෘදුකාංගය සකස් කර තිබෙනවා. පාසල් ගුරුවරුන්ගේ සහ අදාළ විෂයන්වල ප්‍රවීණයන්ට මගපෙන්වීම අනුව මේ පාඩම් සකස් කිරීම සිදුකර තිබෙනවා. පෑනක්, කොළයක් නැතිව උනත් මේ පාඩම් මාලාව අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද මේ පාඩම් මාලාව තුළම සටහන් තබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ නිසා පෑනක් කොළයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ පාඩම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අවස්ථාවේදී කිසියම් ප්‍රශ්නයක් ඇති උනොත් ඒ අවස්ථාවේදීම මේ පද්ධතිය හරහා එම ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. ළමයෙක් ප්‍රශ්නයක් යොමු කළොත් කෙටි කාලයක් ඇතුළත අපි ගුරුවරුන්ව සම්බන්ධ කරනවා. ඒ අනුව කෙටි කාලයක් තුළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමක් සිදුකරනවා. ඒ වගේම මෙම පාඩම් මාලාව අධ්‍යයනය කර ළමයින්ගේ දැනුම වර්ධනය වන ආකාරය ඔවුන්ටම බලාගන්නටත් අවස්ථාව තිබෙනවා.

කෝවිඩ් සමය තුළ වැඩි ඉල්ලුමක්

කෝවිඩ් වෛරසය ආරම්භ වීමට පෙරදී තමයි අපි මේ පාඩම් මාලාව හඳුන්වා දුන්නේ. කෝවිඩ් කාලය තුළ මේ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවුණා. මේ නිසා ඉදිරියේදී සෑම විෂයකම මෙවැනි පාඩම් මාලාවක් හඳුන්වා දෙන්න අපි සැලසුම් කරගෙන යනවා. මොකද අතිරේක පංතියකට සහභාගී වෙලා ඉගෙන ගන්න දෙයම මේ හරහා ගෙදර සිට ඉගෙන ගන්න හැකියාව තිබෙනවා. ඒ අනුව ළමයාගේ ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය ඉහළ නංවාගන්නට හැකියාව තිබෙනවා.

ඒ වගේම මේ පාඩම් මාලාව හදාරණ සියලුදෙනාගෙන් ඒ පිළිබඳව අදහස්, යෝජනා චෝදනා ආදිය අපි ලබාගන්නවා. ඒ අනුව අපේ නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මේවනවිට රටම ලෝකයම මාර්ගත අධ්‍යාපනයට (Online) වැඩි ඉඩක් යොමුවෙලා තිබෙනවා. ඒ නිසා අනාගතයේදී තාක්ෂණය භාවිතකර සිදුකරන මෙවැනි කටයුතුවලට වැඩි ඉල්ලුමක් ඇතිවේවි කියා අපි හිතනවා. ඒ වගේම අපි මේ වනවිට ඉදිරිපත් කර තිබෙන පැකේජයන් ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කර ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.* යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles