පළමු ලිපියෙන් අප සාකච්ඡා කළේ පදිංචියට නිවසක් තැනීමට ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණුය. අද අප සාකච්ඡා කරන්නේ පවතින ඉඩම තුළ නිවසක් තනා ගැනීම පිළිබඳවය. ඒ සඳහා අප සමග එක්වූයේ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක ලත්පදුරේ දොන් දිශාන්ත මහතායි.
නිවසක් තැනීමට සුදුසු තත්ත්වයකට පත්කර ගත් භූමි භාගය පළමුව පාද බෙදිය යුතුයි. ශාස්ත්‍රයේ නිපුණ වාස්තු විද්‍යා උපදේශකවරයෙකුගේ සේවය ලබාගැනීම තුළින් ඔබට නිවැරදිව කටයුතු කරගත හැක. අංක 1 රූපසටහන තුළින් පාද බෙදීම ගැන වැටහීමක් ලැබේ.
භූමි කොටසේ මායිමට සීමා වුණු පළමු කොටස ප්‍රේත පාදයයි. පිරිසුදු බව, අලංකාරකම, ඵලදීම අඩු, නිවැසියන්ට ලෙඩ දුක්, භූත දෝෂ, දියුණුව අඩු බව නිසා ප්‍රේත පාදයේ නිවාස ඉදිකිරීම නුසුදුසු බව වාස්තු විද්‍යාවේදී සඳහන් වේ. නමුත් කුඩා භූමි භාගවල නිවාස තැනීමේදී ඉඩකඩ මදි වීමේ ප්‍රශ්නය නිසා ප්‍රේත පාදයට අන්ධ බිත්තියක් යොදා ගනී. එම බිත්තියට උළුවහු ජනෙල් නැත. වැසිකිළි, කැසිකිළි සඳහා යොදාගත හැක. ළිං කැපීම වන්දනාමාන කටයුතු වලට යොදා නොගත යුතුය.
මනුෂ්‍ය පාදය දෙවන කොටසයි. එය මනුෂ්‍යයෝ වාසයට සුබ කොටසයි.
තුන්වන කොටස දේව පාදයයි. රාජකීය මන්දිර, ප්‍රභූ නිවාස, රාජ්‍ය ආයතන මෙම කොටසේ තැනීම සුදුසු වන අතර, දේව පාදයේ තනන ගොඩනැගිලි තුළින් දියුණුව, කීර්තිය ගෙන දේ.
ඉඩමේ හරි මැද බ්‍රහ්ම පාදයයි. පූජනීය ස්ථාන ඉදිකිරීමට සුබයි.
නමුත් වර්තමානයේ පවතින සීමිත භූමි භාග තුළ නිවාස තැනීමේදී ප්‍රායෝගිකව මෙම ප්‍රශ්නය මතුවේ. එහිදී මනුෂ්‍ය පාදය, දේවපාදය භාවිතකර නිවාස ඉදිකර ගැනීම සුබයි. අවශ්‍ය නම් බ්‍රහ්ම පාදය හසුවන සේ ගැනීම කළ හැකි වුවද, නිවසේ මැද ඉඩමේ මැදට පතිත නොවිය යුතුයි. බ්‍රහ්ම පාදයේ කිසිසේත් වැසිකිළි නානකාමර හැදීම සිදුනොකළ යුතුය.
නිවැරදිව සකසා ගත් භූමි කොටස තුළ අත්තිවාරම දැමීමේදී ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි. ශාස්ත්‍රය උගත් දැනුමැති ජ්‍යෝතිෂවේදියෙකුගේ සේවය ලබාගෙන ඔබේ ජන්ම නැකැතට සරිලන ලෙස ඵල දෙන නැකැත් සාදවා ගන්න.
සමස්ත වාස්තු විද්‍යාවම නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන කරුණු පහක් මූලික කොට ගනිමිනි.
ආරම්භක දෝෂය
නිර්මාණ දෝෂය
පරිසර දෝෂය
හැසිරීම් දෝෂය
අනියම් දෝෂය
මූලික දෝෂ පහ ගැන කෙටියෙන් දක්වතොත්,
ආරම්භක දෝෂය - නිවස තනන භූමියේ භූමි දෝෂ, ප්‍රේත දෝෂ, භූත දෝෂ, බෛහිරව දෝෂ ඉවත් කර නොගැනීම. වැඩ අරඹන විටම අදින නූල කැඩී යාම, කූඤ්ඤය කැඩී යාම, මුල්ගල තැබීම චාරිත්‍ර ක්‍රම වලට නොකිරීම, වැරදි ස්ථානයක මුල්ගල තැබීම, සේවකයන්, කාර්මික ශිල්පීන්, මත්පැන් පානය කරමින් අසුබ වදන් කියමින් වැඩ ඇරඹීම, ගෘහිනිය ගැබිනියක් වී ඇති කල අත්තිවාරම දැමීම හා නිවැරදි ක්‍රමවේදයන්ට පටහැනි ලෙස හිතුමතේ මොහොතක මුල්ගල තැබීම.
නිර්මාණ දෝෂය - නිවාස සැලසුමේ දෝෂ, දිග පළල නුසුදුසු වීම, නිවැරදිව දිශාගත නොකිරීම හා අත්තිවාරමේ පාද බෙදා උළුවහු ජනෙල් නොතිබීම, දෝෂ වහලක් ගැසීම ආදිය නිර්මාණ දෝෂ වේ.
පරිසර දෝෂය - ප්‍රධාන ලෙසට නිවසට වේද වන සේ වන ළිඳ, වැසිකිළිය, සොහොන් මෙන්ම ප්‍රධාන උළුවස්ස තැනීමේදී වන වේද දෝෂ, තාප්පය ඉදිකිරීමේදී වන වේද දෝෂය පරිසර දෝෂයට ඇතුළත්ය.
හැසිරීමේ දෝෂය - නිවසේ පදිංචි වූ පසු වැඩි වශයෙන්ම වන දෝෂයයි. අසභ්‍ය වචන, නිතර දිනපතා රණ්ඩු සරුවල්, සත්ත්ව කූඩු සැකසීම, නිදන පැත්ත භාණ්ඩ තැබීම, ඇඹරුම් ගල බටහිරට තැබීම, වැරදි ව්‍යාපාර කිරීම.
අනියම් දෝෂ - භූමියට කරන ලද හදිහූනියම්, ගෙතුළ වන සියදිවි නසා ගැනීම්, මියගිය අය භූතාත්මවල සිට බැල්ම හෙළීම, වැරදි ලෙස දේව රූප තබා වැදුම් පිදුම් කිරීම, කබරයන්, සිවලුන් නිතර නිවසට පැමිණීම, පක්ෂීන් සිරකර තැබීම, වරින් වර අකුණු ගැසීම, පදිංචිය හැර පාළුවට ගොස් තිබීම, අනියම් දෝෂ ලෙස සැලකිය හැක.
නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමේදී නිවැරදි කාලයක් ගැනද අවධානය යොමු කළ යුතුයි. සිදුහත් කුමරා උත්පත්ති ලැබීමට සුදුසු අවස්ථාව පවා පස්මහ බැලුම් තුළින් සොයා බැලුවේ අදාළ කටයුත්තේ සාර්ථකත්වයට එය බලපාන බැවිනි.
ආරම්භයට සුදුසු කාලය ඉංග්‍රීසි මාස අනුව කීමේදී පැටලිලි සහගත විය හැක. එය චන්ද්‍ර මාස අනුව සඳහන් කළ විට පහසුවෙන් වැටහේ. වෙසක්, නිකිණි, උදුවප්, දුරුතු, මැදින් යන මාස ඉතා යෝග්‍යයි. බොහෝ දුරට චන්ද්‍ර මාස ආරම්භ වන්නේ ඉංග්‍රීසි මාස ආරම්භයට දින සති කීපයක් කලිනි.
ධන නිධාන සැප සම්පත් ළඟාකර ගැනීමට වෙසක් මාසයේ ඉදිකිරීම් අරඹන්න. නිකිණි මාසයේ ඉදිකළ විට යාන වාහන සම්පත් උදාවේ. උදුවප් දුරුතු මාස දෙකේ නිවස ඉදිකිරීම ආරම්භ කළ විට දියුණුවද, මැදින් මාසයේ ශ්‍රියාවද උදා කරගත හැක.
ඊසාන දිශාවේ නොපෑගෙන ස්ථානයක මුල්ගල තැබීම වඩාත් උචිතය. තබන මුල්ගල අභ්‍යන්තරයේ තැන්පත් කළයුතු විශේෂ ද්‍රව්‍යයන් ඇත.
නවරත්න, පස්ලෝ, එනසාල්, එල අබ, කැකුළු හාල්, ඊතණ, සමන් කැකුළු, රත්මල්, නෙළුම් රේණු, නාමල් රේණු, නෙළුම් අල, මානෙල් අල, උඳු, මුං, තල, මෑ, ඇල්වී, ඇල්හාල්, සැවැන්දරා, ගුගුල් අගිල්, සුදුහඳුන්, රත්හඳුන්, ගෝරෝචන, කස්තුරි, කපුරු, කපු ඇට, මුහුදු වැලි, ගඟේ වැලි, දෙපල් පස්, පර්වත පස්, ඔයේ පස්, ඇත්දළ වැදුණු පස් එක්කළ යුතු අතර, මුල්ගල හිස්ව නොතැබිය යුතුය. අඩු කොටසක් තිබේ නම් වී හෝ මුහුදු වැලි දමා පිරවිය හැකිය.
සියල්ලටම පෙර නිවැරදිව බහිරව පූජාවක් තැබීම තුළින් වැඩ ඉක්මන් වේ. බාධා නැති වේ. මුල්ගල තබන විට භූමිය ආරක්ෂා කරන්න. ලණු ඇදීමේදී නිවැරදිව දිශාගත කළ යුතුයි. මන්ද එය නැවත සැකසිය නොහැකි දෙයකි. දිශාගත කිරීම නිවැරදිව කළ විට නිවසට යහපත සැලසෙන ලෙස උළුවහු තැබිය හැක. අංක 2 සිට 17 දක්වා ඇති රූප සටහන් මගින් ඔබට පහසුවෙන් පිවිසුම්, පිටවීමේ දොරටු තබාගත යුතු ආකාරය තේරුම් ගත හැක. මා පරීක්ෂාවට යන බොහෝ නිවාසවල වර්ගඵලය දෝෂ දැක ගැනීමට හැකිය. තවද දොරටුව දිශාගත වී නැත. බ්‍රහ්ම පාදය අපවිත්‍ර වී ඇත. ඊසානයේ ගිනි මොලවා ඇත. ගිණිකොනේ වැසිකිළි සාදා ඇත. පෝරණුව උඩ ජල ටැංකිය තබා ඇත. බිත්තිය වටේ පිටතින් අබලි ද්‍රව්‍ය, කුණු ගොඩවල් තබා ඇත. එවැනි කටයුතු තුළින් නිවසේ ශ්‍රියාව නැතිවේ. ඵල නොදේ. දියුණුව නැත. ලෙඩදුක් නිතර වැළඳේ. දුක්ක දෝමනස්සයෙන් කල් ගෙවෙන බවක් ඇතිවේ.
එනිසා මුල් අවස්ථාවේම නිවැරදිව කටයුතු කිරීම තුළින් ධනයත් ඉතුරු වේ. සැප අත් වේ. නිරෝගී වේ.
සතර දිශාවටම උළුවහු තැබීම ඉතාම සුබයි. සෞභාග්‍යවත් වේ. නිරතුරු දියුණු වේ. එය විජය නිවස නම් වේ.
උතුරට, බටහිරට, දකුණට උළුවහු තැබීමද ඉතා සුබයි. කීර්තිය, ප්‍රශංසාව, ධන සම්පත් හිමිවේ. එය විපුල වර්ගයයි.
නැගෙනහිරට, දකුණට, බටහිරට, දිශා තුනට දොරටු තබා සකසන නිවස සුමුඛ වර්ගයයි. ධනය ඇදී එයි. සෞභාග්‍යමත්ය.
සමගිය, සාමය දියුණුව ළඟාකර දෙන දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරන නිවසක් ලෙස විකදය වර්ගය හැඳින්විය හැකිය. එහි උතුරට, නැගෙනහිරට, දකුණට පිවිසුම් දොරටු තබා ඇත.
දුර්මුඛ වර්ගය, ඛර වර්ගය, නාශ වර්ගය, උග්‍ර වර්ගය, අක්රාවන්ධය වර්ගය නිවාස පදිංචියට නුසුදුසු වේ.
එසේම ප්‍රධාන උළුවස්ස නියමිත සුබ පාදයේ තැබීමට වගබලා ගන්න.
පිවිසුම් දොරටු අනුව නිවාසවල සුබ - අසුබ මෙසේ රූපසටහන් මගින් දැක්විය හැක.
ධ්‍රැව වර්ගය - මෙම ගොඩනැගිල්ලේ පිවිසුම් මාර්ග හතර දෙසින්ම පිහිටා තිබේ. ආගමික ස්ථාන බොහෝ විට මෙම වර්ගයට අයත් වන අතර, දාන ශාලා, විශ්‍රාම ශාලාද වෙයි. සම්පත් හෝ ධනය නොරැඳේ.
ධාන්‍ය වර්ගය - නැගෙනහිර ප්‍ර‘දේශයට මුහුණලා පිවිසුම් දොරටුව තබා ඇති මෙම ගොඩනැගිල්ල බොහෝ විට වෙළෙඳ ව්‍යාපාර සඳහා සුදුසුය. ධනය - දියුණුව ඇතිවෙයි.
ජය වර්ගය - දකුණු ප්‍ර‘දේශයට මුහුණලා පිවිසුම් දොරටුව තබා ඇති මෙම ගොඩනැගිල්ල වෙළෙඳ ව්‍යාපාර හෝ ආයතනයක් වුවහොත් වැදගත් සේවයක් ලබාදෙන ස්ථානයක් වන නමුත්, මන්දගාමී ස්වරූපයක් උසුලන තැනක් වෙයි. නිවසක් වුවහොත් ධන සම්පත් හිමිවන, අලසව දිවි ගෙවන පිරිසක් ජීවත් වන නිවසක් වෙයි.
දුර්මුඛ වර්ගය - උතුරු ප්‍ර‘දේශයට පිවිසුම් දොරටුව තබා නිර්මාණය කරනු ලබන නිවාස තුළ නිරන්තර ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙයි. දියුණු වීමටඋත්සාහ කළත් ලැබෙන ප්‍රතිඵලය අඩුය. මෙහි වාසය කරන අයට එහි විසීම පවා එපා වෙයි.
ඛර වර්ගය - පිවිසුම් දොරටුව පිහිටා තිබෙන්නේ බටහිරට මුහුණලාය. මෙවැනි නිවසක් පාළු ස්වභාවයෙන් යුක්ත වන අතර, රෝගී, අලස, දුගී අය මෙහි වාසය කරයි. නිතර පීඩාවන් ඇතිවෙයි. ආදායම් මාර්ග අඩපණය.
කාන්ත වර්ගය - පිවිසුම් දොරටු දෙකක් පිහිටා තිබේ. නැගෙනහිරින් හා බටහිරින් පිහිටි මෙවැනි නිවාස වල වාසය කරන්නට ආර්ථික ප්‍රශ්නවලට මුහුණපාන්නට සිදුවෙයි. එහෙත් නිවස තුළ සාමය, සමාදානය, නිරෝගී බව පැවතීමද දූ දරුවන්ගේ දියුණුව මත යම්කිසි දියුණුවක් අනාගතයේදී උදාකර ගත හැකිය.
මනෝමො වර්ගය - මෙම නිවස ධන සම්පත් හිමිවන නිවසකි. දකුණට හා බටහිර දෙසට මුහුණලා පිවිසුම් දොරටු පිහිටා තිබේ. ලැබෙන ආදායමෙන් කොටසක් ඉතිරිකර ගැනීමටද හැකියාව ඇත. දූදරු ප්‍රශ්න ඇති වෙයි.
නන්ද වර්ගය - නැගෙනහිරට හා දකුණට මුහුණලා දොරටු පිහිටා ඇත. මෙවැනි නිවාස වල සාමය රැඳී තිබෙන්නේ නැත. ඊට හේතු වන්නේ එහි වාසය කරන ස්ත්‍රීන්ගේ ක්‍රියාකලාපයන් නිසාය. දූ දරුවන්ටද අපලය. බලාපොරොත්තු නොවන ආකාරයේ කරදරවලට මුහුණපෑමට සිදුවෙයි.
රිපුද වර්ගය - ශුභ ඵල ගෙන දෙන නමුත්, සතුරු බිය, සොර බිය ඇතිවෙයි. ගෙදර වාසය කරන්නන් අතර සාමය බිඳී වැටෙන සිදුවීම් සිදුවෙයි. විශේෂයෙන්ම විවාහය සම්බන්ධ ගැටලු ඇතිවෙයි. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී ප්‍ර‘වේශමෙන් ඇසුරු කළ යුතුය.
නාශ වර්ගය - උතුරට හා බටහිරට පිවිසුම් දොරටු පිහිටා ඇත. මෙවැනි නිවාස පදිංචියට සුදුසු නැත. ධන හානි, හදිසි විපත්, ලෙඩරෝග වැලඳීම්, සතුරු බිය නිරන්තර ඇතිවේ.
උග්‍රේ වර්ගය - උතුරට හා නැගෙනහිර දෙසට පිවිසුම් දොරටු දෙකක් පිහිටා තිබෙන මෙම නිවසද පදිංචියට සුදුසු නැත. එමගින් ධන හානි, ලෙඩ රෝග, ශෝක ඇතිවෙයි.
විකදය වර්ගය - උතුරින්, නැගෙනහිරින් හා දකුණින් පිවිසුම් දොරටු පිහිටා ඇති මෙම නිවාස ශුභඵල ලැබෙන නිවසකි. ආයාසයකින් තොරව දාන මාර්ග උදාවෙයි. සුදුසු පාදයන්හී ශුභ ලෙස පිවිසුම් දොරටු පිහිටු වූවා නම් ඉතා සාර්ථකය. සමගිය, සාමය, දියුණුව, සෞභාග්‍යය හා දරුවන්ගේ අධ්‍යාපන දියුණුවද ඇතිවෙයි.
අක්‍රාන්ධය වර්ගය - උතුරට නැගෙනහිරට හා බටහිර දිශාවට පිවිසුම් දොරටු පිහිටි මෙවැනි නිවාස පදිංචියට නුසුදුසු නිවාස වන අතර, එවැනි නිවාසවල පදිංචිවන්නන් නිතර රෝගාබාධ, සතුරු කරදර, දියුණුවක් නොමැතිකම අගහිඟකම්, නිතර සන්තාප ආදියට මුහුණ දෙයි.
සුමුඛ වර්ගය - නියමිත වාස්තු විද්‍යාවන්ට අනුව නැගෙනහිර දකුණ, බටහිර යන දිශාවන්ට මුහුණලා පිවිසුම් දොරටු තබා නිර්මාණය කරනු ලබන මෙවැනි නිවස දිනෙන් දින දියුණුවට පත්වන නිවාස වෙයි. ධනය නිරතුරුව ඇදී එයි. සෞභාග්‍යය නිරතුරු පවතී.
විපුල වර්ගය - කීර්ති, ප්‍රශංසා, ගෞරවය හා ධන සම්පත් මෙවැනි පිවිසුම් සහිත නිවාස වලට හිමිවෙයි.
විජය වර්ගය - උතුරට, නැගෙනහිරට, දකුණට, බටහිරට යන දිශාවන් හතරටම මුහුණලා පිවිසුම් දොරටු පිහිටුවා නිර්මාණය කර තිබෙන මෙවැනි නිවාස තුළ ධන සම්පත් නිරන්තර රැඳෙන බව සම්පත් විශාල වශයෙන් ඇදී එන සෞභාග්‍යය සෑම මොහොතකම පවතින ස්වභාවයෙන් යුතුය.
ඉදිරි ලිපි තුළින් නිවස ඉදිරියේ ඇතිවන වේද දෝෂ සහ වහලය, තරප්පුව මෙන්ම ගෙට ගෙවදීම සහ විශේෂයෙන් උළුවහු පැනීමේ වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදය ගැන සඳහන් කිරීමට බලාපොරොත්තු වේ. විශ්වකර්ම යැදුමද සම්පූර්ණයෙන් පළකිරීමට අදහස් කරගෙන සිටිමි. ඔබ සැමට යහපතක්ම වේවා.