පදිංචියට නිවසක් තැනීම සඳහා ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු
නිවස මූලික අවශ්‍යතාවයකි. එම මූලික අවශ්‍යතාව නිසාම බොහෝ දුරට මිනිසා කෙසේ හෝ නිවසක් තනා ගැනීමට උත්සාහ කරයි. කෙසේ හෝ නිවසක් තනනවාට වඩා සැලසුම් කර නිවසක් තැනීම මගින් බොහෝ යහපත ළඟාකර ගත හැක. වර්තමානයේ වාස්තු බලා ඉදිකිරීම් කිරීමට බොහෝ අය පෙළඹෙන බවක් ඇත. නමුත් ඒ සුළුතරයකි. දශක දෙකකට පමණ පෙර තැනූ බහුතර නිවාසවල දෝෂ ඇත. නිවාස පරීක්ෂාවට ගිය විට හඳුනාගත් ප්‍රධාන දෝෂ සහ ප්‍රායෝගිකව ජනතාවට අවශ්‍ය යැයි හැඟෙන වාස්තු උපදෙස් මාලාවක් අද සිට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
එහි පළමු අවස්ථාව වන්නේ පදිංචියට නිවසක් තැනීම සඳහා ඉඩමක් තෝරා ගැනීමයි.
සීමිත සම්පතක් වන භූමිය කුඩා කැබලි වලට බෙදී නිවාස ඉදිවෙමින් පවතී. තමන් සතු හෝ මිලදී ගන්නා ඉඩම කෙසේ විය යුතුදැයි සහ දැනට තමන් සතු භූමි කොටසේ දෝෂයක් තිබේ නම් දොස් දුරුකර ගන්නේ කෙසේදැයි බලමු. ඉඩම හැඩතල අනුව කොටස් 16කින්ද, පෘෂ්ඨිය අනුව කොටස් 10කින්ද දක්වා ඇත.
සිංහල භාෂාවේ එක් දෙයක් හැඳින්වීමට බොහෝ වචන ඇති බැවින් මෙම ඉඩම්ද තවත් නම් වලින් හඳුන්වනු ලබයි. වැදගත් වන්නේ සුබ අසුබතාව හඳුනා ගැනීමයි. පමණක් පොත්පත්වල මෙම භූමියේ හැඩය හා පෘෂ්ඨියේ පෙනුම මත වන බෙදීම මාරුවී ඇති බව පෙනේ.
කෙසේ වුවත් සුබ අසුබතාවේ වෙනසක් නොවේ. ඔබ ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පහත පරිදි සුභ භූමි භාගයක් මිලදී ගන්න. නමුත් සෑම බිම් කොටසක්ම එසේ නොවේ. ඔබේ ආර්ථික හැකියාව මත ලබාගත් හෝ ලබාගන්නා ඉඩමේ දෝෂයක් පවතී නම් දෝෂ අවම කරගත හැක.
ඔබ සතුව ඇත්තේ ත්‍රිකෝණ හැඩ ඉඩමක් නම් ත්‍රිකෝණ හැඩය වෙනස් වන සේ නිවස තනන කොටස තුළ බැම්මක්, ගල්වැටියක්, අගලක් දමා හැඩය වෙනස් කරගන්න.
අසුබ බෑවුම් පවතින විට ඉඩම ගොඩකර සුදුසු දිශාවකට බෑවුම සකසා ගන්න. වැසි ජලය බැස යාම අනුව එය තීරණය කළ හැක. එසේම වෙනත් අසුබ හැඩ ඉඩමක් ඔබ සතු නම් ඉඩම වෙන්කර දෝෂය අවම කරගත හැක.
භූමියේ හැඩය අනුව චතුරශ්‍ර භූමිය, ආයත භූමිය, වෘත්ත භූමිය සුභ වන අතර, පෘෂ්ඨිය පෙනුම මත භද්‍රාසන භූමිය, ශිඛාකාර භූමිය, ජලතලාකාර භූමිය, වරහාකාර භූමිය, ගංගාකාර භූමිය, තුර්වාකාර භූමිය පදිංචියට වඩාත් සුභවේ. එසේ නොවන භූමි භාග සුබ තත්ත්වයට හෝ මිශ්රඵල තත්ත්වයට පත්කර ගන්න.
භූමියේ පවතින බෑවුම - අනුව උතුරු දිශාවට බෑවුම ඉතා වාසනාවන්ත පිහිටීමකි.
ගිනිකොණ දිශාවට - බෑවුම දුක් කරදර නිතර ඇතිවේ. හදිසි අනතුරු ඇති කරයි.
බටහිරට බෑවුම - බලාපොරොත්තු ඉටු නොවේ. අසාර්ථක බව වැඩියි.
වයඹට බෑවුම - සම ප්‍රතිඵල ඇත. අනෙක් දිශාවන්ට සාමාන්‍යයයි.
ආයත භූමිය - පළල අඩු දිග වැඩි භූමිය. සියල්ල ඉටුවේ.
ත්‍රිකෝණ භූමිය - පදිංචියට නුසුදුසුයි.
විෂම භූමිය - දියුණුව අඩාලයි. ශෝකීය ජීවිත.
වෘත්ත භූමිය - අභිවෘද්ධිය ඇතිවේ. ජයග්‍රහණ ලැබේ.
වක්‍ර භූමිය - මෙවැනි භූමි අඩුයි. දිළිඳු වේ. වාසයට අසුභයි.
දණ්ඩ භූමිය - බලාපොරොත්තු කඩවේ. දියුණුව නැත. සතුන්ට හානියි.
බරහත් මුඛ භූමිය - දියුණුව ඉතා සෙමිනි. මිතුරන් අඩුවේ.
ශකට භූමිය - ධන හානි වේ. අසතුටින් කල් ගෙවයි.
ව්‍යාජන භූමිය - කලකෝලහල රණ්ඩුවල පැටලේ. කරදරයි.
ධනු භූමිය - සොරසතුරු පීඩා සමාජයෙන් කොන් වීම.
පනවා භූමිය - නිතර රෝග මතුවේ. අවාසනාවන්තයි.
ගුර්පි භූමිය - ජීවිත අසාර්ථකයි.
මුර්ජාකාර භූමිය - කාන්තාවන්ට අසුබයි. දියුණුවක් නැත.
පනාකාර භූමිය - සුබයි.
මේවලාකාර භූමිය - සුබ අසුබ මිශ්‍රව ලැබේ.
චතුරශ්‍ර භූමිය - ධන ලාභ.
පෘෂ්ඨිය අනුව සුබ - අසුබ
භද්‍රාසන භූමිය
මෙවැනි භූමියක් හිමි වීම ඉතාමත් වාසනාවන්තය. මැද හතරැස්ව උස්ව පිහිටන අතර, ආසනයක් මෙන් පෙනෙයි. සමාජයේ ඉහළ පිළිගැනීමකට භාජනය වීමට මෙහි වාසය කරන්නන්ට අවස්ථාව උදාවෙයි. ධනවත් බවේ ඉහළටම යන අය සේම යහපත් දූ දරුවන්ද මෙවැනි බිම්වල ජීවත් වන අයට හිමි වෙයි.
කුර්ම පෘෂ්ඨි භූමිය
මෙවැනි භූමි තුළ අණවින කොඩිවින බොහෝ විට තිබෙන බැවින් වාසයට නුසුදුසුය. සිව් දෙසටම බෑවුම්ව විහිදී තිබේ.
කුම්භාකාර භූමිය
මෙවැනි භූමිවල නිවාස තනා ගැනීමෙන් එහි ජීවත් වන අයට නිතර රෝගයන්ට මුහුණදීමට සිදුවන අතර, නිවස තුළ අඩදබර වැඩි වශයෙන් ඇතිවෙයි. මෙහි පිහිටීම කලයක හැඩයට සමානයි.
සිංහාක්ෂර භූමිය
මේ ආකාරයෙන් පිහිටි භූමි තුළ නිවාස සාදා ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. මුලින් මුලින් දියුණුවක් ලැබෙන බව පෙන්නුම් කළද කලක් යන විට පිරිහීමට ලක්වෙයි. ඉදිරිපසින් මඳක් බෑවුම්ව පසුපස කොටස වැඩියෙන් බෑවුම් වී මෙම භූමිය පිහිටයි.
ශිඛාකාර භූමිය
ඉතාමත් වාසනාවන්ත භූමියකි. සියලුම වස්තූන් ලැබෙන ජය සතුට නිරතුරු රැඳෙන භූමියකි. ඉඩමේ මැදින් බේසමක හැඩයක් ගනී. වටේ ප්‍රදේශය උසින් පිහිටා තිබේ.
ජලතලාකාර භූමිය
ඉතා අගනා බිමකි. පරමායුෂ හිමිවෙයි. රාජ රාජ මහා අමාත්‍යාදීන්ගේ වාස බවනට සමාන වූ භූමියකි. සම මට්ටමින් බිම පිහිටා තිබේ.
වරහාකාර භූමිය
සෞඛ්‍යයට හිතකර වූ භූමියකි. සෞඛ්‍යය වර්ධනය වෙයි. ශුභ දෙන භූමියකි. සැප සම්පත් ලැබී දියුණුවට පත්වෙයි. ඉදිරිපසින් ක්‍රමානුකූලව බෑවුම් වී පසුපස උස්ව පිහිටි භූමියකි.
ගංගාකාර භූමිය
මෙම ඉඩමේ ඉදිරිපස කොටස පටුය. ඉන්පසු ක්‍රමවත්ව බෑවුම් වූ මෙම බිම් වාසස්ථාන සඳහා සුදුසුය. දේවාශිර්වාද හිමි භූමියකි. හදිසි ධනලාභ ඇති කරයි. සාමකාමී ජීවිතයක් ගත කිරීමට හැකිය.
චතුර්කෝණ භූමිය
භූමිය හතරැස්ය. මැද ප්‍රදේශය උස්ව පිහිටා ඇත. සිව් දෙසට බෑවුම්ය. මෙම භූමිය පරම්පරාගතව පදිංචි වීමට ශුභ නැත. කෙටිකාලීනව පදිංචියට හොඳය.
තුර්වාකාර භූමිය
චතුර්කෝණ භූමියට සමානකම් ඇත. සතර පැත්තෙන් බෑවුම වන අතර මැද කොටස සමතලාව පිහිටයි. නිවැසි කාන්තාවට යහපත්වන අතර, ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැක.