මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වාතය, ජලය සහ ආහාර ස්වභාවධර්මයෙන් නොලැබෙන්නට මිහිතලය ජන ශූන්‍ය කාන්තාරයක් වනු ඇත. එහිලා එකී සොබාදහම විසින් දායාද කළ ආහාරාපාන දාමය තුළින් මානවයාට පෝෂණයත්, සෞඛ්‍යයත් පිළිබඳ පවතින ආශිර්වාදය නිසි ලෙස භාවිතයට ගැනීමට මානවයා සමත් වීදැයි යන්න මේ වන විට ජනමතයක් බවට පත්ව ඇත. එසේනම් එකී ආශිර්වාදය ඇසුරෙන් පෝෂණ ගුණයෙන් යුතු ආහාර භාවිතය වෙනුවෙන් ජනතාව සහ ආහාර වර්ග නිෂ්පාදකයන් සතු කාර්යභාරය පිළිබඳ විමසීමට අපි සිතුවෙමු. මේ එහිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ විද්‍යාඥ එස්.එම්.ඒ.සී.යූ. අනෝමා සේනාරත්න මහත්මිය සමග අද කළ මත විමසීමකි.
ආහාර පර්යේෂණ ඒකකයක් අවශ්‍ය වන්නේ ඇයි?
මෙම ආයතනය මගින් සුළු සහ මධ්‍ය පරිමාණ මට්ටමේ ආහාර වර්ග නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය වන තාක්ෂණය සහ දැනුම වර්ධනයට අනුබල දීම කෙරෙනවා.
ආහාර වර්ග ආශ්‍රිත නිෂ්පාදකයන්ට අවධාරණය කරන අවශ්‍යතා දෙකක් දැක්විය හැකියි. පළමුවැන්න ආහාර වර්ග නිෂ්පාදනයේදී ඒවා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයේ තිබිය යුතුයි. දෙවැන්න ඒවා පෝෂණ ගුණයෙන් සමන්විත විය යුතුයි. එවැනි ආහාර වර්ග නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේදී සුළු හෝ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් අනුගමනය කළයුතු අවශ්‍යතා ගණනාවක් තිබෙනවා.
ඒ අවශ්‍යතාවන් ප්‍රමිති කාර්යාංශය විසින් අණපනත් යටතේ නීතිගත කර තිබෙනවා. ඒ නිසාම ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වය දක්වා සාර්ථක නිෂ්පාදකයෙකු වීම වෙනුවෙන් එවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එවැනි අවස්ථාවන්හිදී මෙම නිෂ්පාදකයන්ට ඒ පිළිබඳ අවශ්‍ය දැනුම, උපදෙස් සහ තාක්ෂණික වාර්තා පර්යේෂණාගාර මට්ටමින් ලබාදීම අපේ පියවරක්. ඒ නිසා මෙය පර්යේෂණ ඒකකය ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දක්වා තිබෙනවා.
විධිමත් ප්‍රවේශයක් සහ මැදිහත්වීමක්?
සුළු පරිමාණයේ මධ්‍ය පරිමාණය දක්වා යන්න විමසීමේදී මම ඉතා සරලව පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ මහ මඟ යනෙන විටත් වෙළෙඳ පොළ තුළත් සිලිමල්ලක කොස් මදුලු කීපයක් දමාගෙන අලෙවි කරන අය දැක ඇති. පළා වර්ග අලෙවි කරන අය මුණගැහී ඇති. එසේම විවිධ කෑම වර්ග මෙසේ අලෙවි කරන අවස්ථා සාමාන්‍ය දෙයක්. ඒවා නියමිත පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත් නාස්ති වී යනවා. අන්න එවැනි තැන්වලදී එසේ අතිරික්තයක් ඇති ආහාර ඇසුරෙන් ඔබට ආදායමක් ඉපැයීම වෙනුවෙන් කළහැක්කේ කුමක්දැයි සිතන්න.
ඉවත විසිකර නගරයේ ගොඩගසා ඇති ආහාර වර්ග ඒ තත්ත්වයට පත්වීමට ඉඩ නොදී ආදායම් ඉපැයීමේ ක්‍රමයක් සම්පාදනය කළ හැකි යමක් නිර්මාණය කළ හැකිදැයි සිතන්න. මෙසේ විනාශ වී යන්නේ පරිසරය තුළින් අපට හමුවූ සහ පරිසරයෙන් අප ලබාගන්නා සම්පත් නම් ඒවා නැති නාස්ති වී යාමට ඉඩහැරීමෙන් මිනිසාගේ දරිද්‍රතාව ඉහළ යාම මෙන්ම පෝෂණය දුබල වීමට ඇති අවස්ථාව අප මෙනෙහි කළ යුතුයි. අපේ උත්සාහය මෙවැනි දේ ඇසුරෙන් නිෂ්පාදනයකට ඉදිරිපත් වන අය දිරිගන්වන ආකාරයෙන් තවදුරටත් ඔවුන් පෙලඹවීමයි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අනුබලය ලබාදීමයි.
නිෂ්පාදනයන්ට ගත හැකි ආහාර වර්ග අපතේ යාම
නිසි කෘෂිකාර්මික වත්පිළිවෙත් කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඇතැම් අවස්ථාවල තක්කාලි, වට්ටක්කා වැනි එළවළු වර්ග, කෙසෙල්ගෙඩි, පැපොල් වැනි පලතුරු වර්ග, කුණු වී නාස්ති වී යන අයුරු ඔබ දැක ඇති. ඒ වගේම තවත් අවස්ථාවකදී ඒවා ඉතා අධික මිලට අලෙවි වන අවස්ථා ඔබ දැක ඇති. මේ හැම දෙයක්ම මිනිසාගේ පෝෂණ තත්ත්වයට සිදුකරන පිටුවහල අපමණයි.
එසේ නම් ඒවා අස්වනු වැඩි කාලයේත්, අවම කාලයේත් සෞඛ්‍යසම්පන්න ජීවිතයක් වෙනුවෙන් භාවිතයට ගත හැකි ආකාරයෙන් පවත්වාගෙන යාම මිනිසාගේ වගකීමක්. එතෙනදි ප්‍රමිතිය වැදගත්. එහෙම නොවුණොත් බෝනොවන රෝග ඉහළ යනවා යැයි නැගෙන කාරණයට ඒකත් අනුබලයක් විය හැකියි.
කිනම් ආකාරයකින් පැවසුවත් මේ හැමදෙයක්ම සොබාදහම විසින් මිනිසාට ලබාදී ඇත්තේ ආහාරය පිණිස නම් එවැනි ආහාරයට ගත හැකි එළවළු සහ පලතුරු වර්ග කලින් කල මතුවන අවශ්‍යතා අනුව කල්තබා ගැනීමේ ක්‍රමයන්ට යා හැකියි. එවැනි නිෂ්පාදන අද වෙළෙඳ පොළට ඉදිරිපත් වෙනවා. ඒවාට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද හොඳ ඉල්ලුමක් තියෙනවා. ෂෝට්ඊට්ස් සහ කෘත්‍රිම ආහාර ශරීරයට අහිතකර බලපෑම් වැඩියෙන් ඇතිකරනවා.
එහෙමනම් මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවල සෞඛ්‍යසම්පන්න බවත්, පෝෂණ ගුණයත් යන දෙකම රැකෙන පරිදි ඒවා නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම නිෂ්පාදකයාගේ වගකීමක්. එසේ නොවන තැන්වලදී නිසි ප්‍රමිතීන්ට යටත් නොවීමෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකියි.
ආහාර නිෂ්පාදනය සහ සැකසුම
ලේබල් කළ ආහාරපාන පැකට් වශයෙන් හෝ බෝතල් වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ඔබට අද ලබා ගැනීමේ පහසුව තිබෙනවා. එතෙනදි යම් ආහාර නිෂ්පාදනයක් ගොවිබිමෙන් හෝ ගසෙන් නෙළා ගන්නා ආකාරයේ සිට එය ප්‍රවාහනය, ගබඩා කිරීම, වර්ග කිරීම වශයෙන් පමණක් නොවෙයි, ආහාර සැකසුමේදී නිසි වර්ණක, රසකාරක යෙදීම, ලේබල්කරණය වශයෙන් සහ වෙළෙඳ පොළ රාක්කය ඇසුරුම දක්වාම අප උපදෙස් දෙනවා. ආහාර ගබඩා කිරීමටත් යම් යම් උෂ්ණත්වයන් තිබෙනවා. එය ආහාරයෙහි ගුණාත්මක බව සඳහා අනුබලයක්.
පැණි රස අනුව රතු සලකුණ ගැන අප නිෂ්පාදකයන් දැනුම්වත් කරනවා. එම තත්ත්වයන් බැහැර රසගුණ පිරි නිෂ්පාදනයන් පිළිබඳ අප ඔවුන්ට දැනුම ලබාදෙනවා.
පෝෂණ ආහාරයක් ලෙස සකස්කර ගැනීම
හෙළ ගැමියන් ආහාර කල්තබා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත කළා. ඔවුන් පරිසරය සහ සොබාදහම සමග අනුබද්ධ දිවිපෙවතක් ගත කළා. එනිසා ඔවුන් තමන්ට හසුවන කිසිම ආහාරපානයක් නාස්ති කළේ නැහැ. ලුණු දැමීම, ඇඹුල්තියල් ක්‍රමය, දුම්ගැසීම, අටුකොස් ඇට ආදී මේ අංශ ගැන හිතන්න. ඒ දේ අදටත් අපට නූතන තාක්ෂණය ඇසුරෙන් කල්තබා ගත හැකි පෝෂණ ආහාර ලෙස එකතු කළ හැකියි.
උදාහරණයක් හැටියට වට්ටක්කා වියළා ඒවා පිටි ලෙස භාවිතයට ගත හැකියි. බීට්රූට් ආශ්‍රිත බීම නිෂ්පාදනය ගැන මේ වනවිට උනන්දු වෙනවා. ආහාර වර්ග කැබලි ලෙස සිහින්ව කපා මිශ්‍රකර ඇසුරුම්කර නිවසට ගෙන ගොස් විනාඩි පහකින් රත්කර භාවිතයට ගත හැකි ක්‍රම කෙරෙහි මේ වනවිට නිෂ්පාදකයන්ගේ ඇති උනන්දුව අපේ පර්යේෂණායතනයට ලැබෙන ඉල්ලීම් අනුව පැහැදිලියි.
වට්ටක්කා ඇසුරෙන් ජෑම්, කෝඩියල්, අයිස්ක්‍රීම්, පිටිකෑම නිෂ්පාදනය සිදුවෙනවා. සොබාදහම විසින් මේ දේ අපට දී ඇත්තේ අපට ආහාරපාන වශයෙන් නම් ඒවායෙන් කාලීන අවශ්‍යතා සහ හැකියාවන් අනුව වෙනත් ආහාර විවිධාංගීකරණ සැකසුම් හඳුන්වාදිය හැකියි.
බිම්මල් අසුරෙන් අතුරු නිෂ්පාදන රැසක් සකස් කළ හැකියි. වියළා ගැනීමේ ක්‍රමය, සුප් කැට සහ පිටි, පේස්ට් ක්‍රමය, මෂ්රූම් පිංගර්ස් (සෝසේජස් වැනි වුවද මෙයට පිංගර්ස් යන නම භාවිත කරන්නේ සෝසේජස් යනු මස්වලින් පමණක් සකස් කරන ආහාරයක් වන හෙයිනි.)
ආහාර සකස්කර ගැනීමේදී එහි පෝෂණ ගුණය අඩු නොවන ලෙස කටයුතු කිරීම වැදගත්. පිටි කෑමවලින් ඉවත්විය යුතුයි යනුවෙන් පැවසෙනවා. එහෙත් පෝෂ්‍ය ගුණයෙන් යුතු වට්ටක්කා පිටි, මුංඇට, කුරක්කන් පිටි වැනි දේ අතිරේක විකල්ප ලෙස රොටියකට, පාන් ගෙඩියකට, තිරිඟුපිටි මිශ්‍රකර නිපදවන යම් ආහාරයකට එක් කළ හැකියි.
තවත් ආකාරයකින් පවසන්නේ නම් වඩේ, රොටී හදනවිට පළා වර්ග ස්වල්පයක් එක්කළ හැකියි. මස් වර්ග තම්බා ඉවත් කරන තැම්බූ ජලය වෙනත් ආහාරයක් සඳහා භාවිත කිරීමෙන් මස්වලින් ඉවත්වූ පෝෂ්‍ය කොටස් එම ආහාරයට එක් කළ හැකියි.
ඇතැමුන් ආහාරයට අල වර්ග සකස්කර ගැනීමේදී එහි පොත්ත සූරා ඉවත් කරනවා. එයින් පොත්තේ ඇති යම් පෝෂණ කොටස් ඉවත් වෙනවා. එහෙම නම් ඒවා තම්බා පොත්ත ඉවත් කරන්නේ නම් එම පෝෂණ කොටස් රඳවාගත හැකියි.
පාරිභෝජන අවශ්‍යතාව
පුද්ගලයෙකුට දිනකට එළවළු ග්‍රෑම් 200ක් සහ පලතුරු ග්‍රෑම් 200ක් පමණ අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එහෙත් අප රටේ අනුභව කරන්නේ එයින් 50%ක පමණ ප්‍රමාණයක් බව වාර්තා වෙනවා.
පලතුරු හෝ එළවළු අනුභව කිරීමේදී එම ග්‍රෑම් 200 එකවරම අනුභව කළයුතු නැහැ. එය දිනකට ආහාර වේල් හෝ අවස්ථා තුන හතරකදී බෙදී යන පරිදි වෙන් වශයෙන් ගත හැකියි. එකම වර්ගය නොවේ. පලතුරු වර්ග නම් කොළ, කහ පලතුරු වශයෙන් බෙදා අනුභව කිරීමෙන් පෝෂණ මට්ටම ඉහළ යනවා. අප පරිසරයේ ඇති පලතුරු නිර්මාණය වී ඇත්තේ ඒ අනුවයි. එහෙත් ඒවා ඒ ආකාරයෙන් ලබාගත නොහැකි විට ඇසුරුම් ලෙස නිෂ්පාදනය වෙනවා නම් එය නිසි ගුණාත්මක ප්‍රමිතීන් යටතේ කළයුතුයි. ඒ පිළිබඳ උපදෙස් සහ ඒ නිෂ්පාදනයන්හි ප්‍රමිතිය පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවායේ අඩංගු දේ, කල්තබාගත හැකි කාලය, යෙදිය යුතු රසකාරක, වර්ණක ප්‍රතිශතයන් අප ඔවුන්ට සහතික කර දෙනවා.
අස්වැන්න ලබා ගැනීම
කිනම් අස්වැන්නක් යොදා නිෂ්පාදනයක් කළද නෙළාගන්නා විට එය නිසි කලට වර්ධනය වී සුදුසු තත්ත්වයක තිබිය යුතු අතර, ඒවා නෙළාගත් සැනින් ශීතකරණ තත්ත්වයන් යටතේ ප්‍රවාහනය කළ යුතුයි. එසේ කළ නොහැකි විට සම උෂ්ණත්වයක්, සෙවණක් යටතේ ඒවා තබාගැනීම වැදගත්ය.
ඒවා නෙළා ගැනීමේදීද හිමිදිරි පාන්දර වඩාත් සුදුසුයි. නෙළාගත් හෝ ලබාගත් අස්වැන්න පොඩි නොවන පරිදි ආරක්ෂිතව ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් පෙට්ටි භාවිත කළ හැකියි. එසේ නොවන විට එම පලතුරු හෝ එළවළු යොදා කෙරෙන නිෂ්පාදනයන්හි නිසි පෝෂණය, සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම රසයත් ලබාගත නොහැකියි. එය අලෙවියේදී අර්බුද ඇති කිරීමක් විය හැකියි.
මෙතෙනදී තවදුරටත් සිහිපත් කළයුතු යමක් තිබෙනවා. උණ භාවිත එළවළු සහ පලතුරු ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඒවා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරන නිසා ඒවායේ ඇති ඖෂධීය ගුණයත් ඉහළයි. නිෂ්පාදකයන් ඒ අනුව යොමු වෙමින් ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නේ නම් හොඳ ඉල්ලුමක් ලබාගත හැකියි.
සාර්ථක නිෂ්පාදකයෙක්?
සාර්ථක නිෂ්පාදකයෙකු වීමට අවශ්‍ය ප්‍රධානම ගුණාංගය වන්නේ නිෂ්පාදකයෙකු වීමට ඇති අවශ්‍යතාවයි. අමුද්‍රව්‍ය විමසීමේදී ඒ සඳහා ඉතා යහපත් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගත යුතුයි. නිෂ්පාදනයකට ප්‍රචාරණය සහ ආකර්ෂණය අවශ්‍ය වන නිසා නෙත්සිත් බැඳගන්නා ලේබලයක අවශ්‍යතාව බැහැර කළ නොහැකියි. ලේබලයක නිෂ්පාදනයේ නම, නිෂ්පාදකයාගේ නම, ඇසුරුම් කළ දිනය, කල්ඉකුත්වන දිනය, අන්තර්ගතය ආදී වශයෙන් කරුණු ගණනාවක් ඇසුරුමේ අඩංගු කළ යුතුයි.
හැම නිෂ්පාදකයෙකුටම එම නිෂ්පාදනය සඳහා ලද පුහුණුව පිළිබඳ සහතිකයන් තිබීම වැදගත්. ව්‍යාපාරයේ ලියාපදිංචිය විධිමත් පිළිගැනීමකට සහ නෛතික කටයුතුවලදී මෙන්ම බැංකු කටයුතුවලදීද පිටුවහලක්.
අපේ පර්යේෂණායතනයෙන් අදාළ නිෂ්පාදනය පිළිබඳ පුහුණුව, පර්යේෂණ වාර්තා නිකුත් කරන අතර, උනන්දු වන අයට කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ පේරාදෙණිය ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකය ඇමතීමෙන් වැඩිමනත් විස්තර සහ උපදෙස් නොමිලයේ ලබාගත හැකි බවද අනෝමා සේනාරත්න මහත්මිය අවධාරණය කරයි.
ඉන්නේ කන්නටද කන්නේ ඉන්නටදැයි ඇතැමෙකු ප්‍රශ්න කරති. කුමක් සඳහා සිටියද ගන්නා ආහාරපාන සෞඛ්‍යසම්පන්න සහ පෝෂණ ගුණයෙන් අනූන විය යුතු බව පමණක් අමුතුවෙන් කිවයුතු නැත. නැතහොත් උන්නත් මළා සේ මැය.