මෙරට අවුරුදු 19- 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර එච්අයිවී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කර තිබුණේ පසුගිය සතියේයි. මේ එම කරුණ හා එච්අයිවී රෝගය මෙරට පැතිරීම සම්බන්ධයෙන් කාලීන තොරතුරු පිළිබඳව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සමග කළ කතාබහකි.
යොවුන් වියේ තරුණයන් අතර එච්අයිවී ආසාදන ඉහළ යෑම මෑතකාලීනව දැකගත හැකිවූ තත්ත්වයක්ද?
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අරමුණ වී තිබෙන්නේ 2025 වර්ෂය වන විට ලංකාවෙන් එච්අයිවී ඒඩ්ස් තුරන් කිරීමයි. ඒ සඳහා අපි නව ආසාදිතයන් අවම කරගැනීම සඳහා වාර්ෂිකව දත්ත එක්රැස් කරගනු ලබනවා. ඒ අනුව අපිට 2019 වර්ෂයේ ලංකාවේ එච්අයිවී ආසාදිතයන් 3600ක් සිටින බව ඇස්තමේන්තුගත කරන ලද දත්තවල සඳහන් වූවා. නමුත් මේ අතරින් 2000ක් වගේ පිරිසක් තමයි අපේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්න පැමිණෙන්නේ. ඒ කියන්නේ තවත් 1600ක් විතර ඉන්නවා මේ වෛරසය ආසාදනය වෙලා කියලා දන්නෙ නැතිව. මොකද කියනවා නම් එච්අයිවී රෝගය ආසාදිත වුණත් අවුරුදු 5ක් 10ක් ගිහින් ඒඩ්ස් තත්ත්වයට රෝගය පත්වෙනකන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ. එතෙක් නිරෝගී පුද්ගලයන් ලෙස හිතාගෙන ඉන්න 1600ක් පමණ එච්අයිවී රෝගීන් අපේ සමාජයේ අප අතර සිටිනවා. මොවුන් අනාරක්ෂිත අයුරෙන් ලිංගිකව හැසිරුණොත් නිරෝගී අයට වෛරසය පැතිරෙන්නට පුළුවන්. ඒ වගේම අපේ රටේ දත්ත වාර්තා අනුව එච්අයිවී රෝගීන්ගෙන් 60%ක්ම සමලිංගික සම්බන්ධතා ඇති පිරිමි අයයි. මොවුන් අතරින් බහුතරයක්ම සමලිංගික සබඳතා පවත්වන ගමන් විවාහ දිවියටත් ඇතුළු වී ඇති බව පෙන්නුම් කෙරෙනවා.
අපි පසුගිය අවුරුදු 5ක දත්ත අරන් බැලුවාම අවුරුදු 19-25ත් අතර පිරිමි අයගේ එච්අයිවී වැඩි වීමක් පෙන්නුම් කෙරෙනවා. මොවුන් ලිංගිකව සක්‍රීය වයසක ඉන්න නිසා සමාජ මාධ්‍ය හරහා ඇති කරගන්න සම්බන්ධතාවන් අධිකයි. ඒ අනුව මේ වගේ වෛරසය ආසාදිත තරුණ පිරිසක් නිරෝගී අය සමග ලිංගික සබඳතා ඇති කරගත්තොත් තවත් තරුණ ප්‍රජාවක් අතරට මේ වෛරසය පැතිරෙනවා. ඒ නිසයි අපි තරුණ ප්‍රජාව දැනුවත් කළ යුත්තේ. විශේෂයෙන් විශ්වාසවන්ත සහකරුවෙකු හෝ සහකාරියක සමග ආරක්ෂිත ලිංගික සබඳතාවන් ඇතිකර ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතුයි.
එච්අයිවී ආසාදිත තරුණ ප්‍රජාව අතරත් සමලිංගික සබඳතාවන් ඉහළ ගොස් ඇති බවක් පෙන්නුම් කෙරෙනවාද?
ඔව්. අපි විශ්වාස කරන්නේ ජනගහනයෙන් 1%ක පිරිසක් සමලිංගික සබඳතාවන් ඇති කරගෙන තිබෙන බවයි. අපි දන්නවා පාසල්වල, විශ්වවිද්‍යාලවලත් සමාජයේ හැම තැනකමත් මෙවැනි සම්බන්ධතා පවත්වන අය ඉන්නා බව. අපි බැලුවොත් සමාජ මාධ්‍ය හා ඇප් භාවිතය හරහා සමලිංගික සම්බන්ධතා පවත්වන අය තරුණ ප්‍රජාව ඒ කරා යොමු කරගන්න විවිධාකාර උපක්‍රම යොදනවා. එවිට නොදන්නා පිරිසක් සමග සම්බන්ධතා ඇති කරගන්න යොමු වුණාම මෙවැනි රෝග බෝ වෙන්න තිබෙන හැකියාව ඉහළයි.
හඳුනා නොගත් 1600ක පිරිස සායන කරා යොමු කරගැනීම වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකද?
ඔව්. ඒ සඳහා අපි වැඩපිළිවෙළ රැසක් අරගෙන තිබෙනවා. විශේෂයෙන් අවදානම් කණ්ඩායම් වෙත ගිහින් රුධිර පරීක්ෂාවන් නොමිලේ සිදුකිරීම ආදී වැඩසටහන් රැසක් අප විසින් සිදුකර තිබෙනවා. නමුත් අපිට සියලුම කණ්ඩායම් ආවරණය කරන්නට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි මිනිසුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි තමන් අනාරක්ෂිත ලිංගික සබඳතාවක් පැවැත්වූවා නම් එච්අයිවී හඳුනාගැනීම වෙනුවෙන් රුධිර පරීක්ෂාවකට යොමු වෙන ලෙසට. සෑම දිස්ත්‍රික්කයක ප්‍රධාන රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනයක් පවත්වනවා. ඒවාට යොමුවී රහස්‍යභාවය ආරක්ෂා වන ආකාරයට නොමිලේ රුධිර පරීක්ෂාවන් සිදුකර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ අනුව එච්අයිවී ආසාදනයක් ඇති බව හඳුනාගත්තොත් අපි සායන හරහා ඖෂධ ලබාදීම් නොමිලේ සිදුකරනවා. දැන් එච්අයිවී/ ඒඩ්ස් නිසා මැරෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන් ඖෂධ අරගෙන රෝගය පාලනය කරන් ජීවත් වෙනවා වගේ එච්අයිවී/ ඒඩ්ස් රෝගීන්ටත් රෝගය පාලනය කරන් ජීවත් විය හැකියි. ඒ නිසා අනාරක්ෂිත ලිංගික හැසිරීම් අඩුකර ගැනීමට වගේම, ආසාදිතභාවය හඳුනාගැනීමේ පරීක්ෂණ නොමිලේ සිදුකරගත හැකි බව, රෝගය පාලනයට ඖෂධ ලබාගෙන සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් ජීවත් වීමට හැකියාව ඇති බව මහජනතාවට දැන්විය යුතුයි.
අවුරුදු 5ක් 10 වැනි කාලයක් රෝග ලක්ෂණ නොපෙන්වන මෙවැනි රෝගයක් තුරන් කිරීමට නම් රටේ සමස්ත පුරවැසියන් රුධිර පරික්ෂාවට ලක්වීම අවශ්‍යයි නේද?
රටේ සියලුම පුරවැසියන් එච්අයිවී/ඒඩ්ස් හඳුනාගැනීමේ රුධිර පරීක්ෂාවට යොමුවෙනවා නම් ඉතාමත් හොඳ තත්ත්වයක්. අපි විශේෂයෙන් බලාපොරොත්තු විය යුත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන අය වැඩි වශයෙන් පරීක්ෂාවට යොමු වීමයි. විශේෂයෙන් තරුණ වයසේ මෙවැනි ලිංගිව සක්‍රිය අය වැඩි වශයෙන් පරීක්ෂණවලට යොමු වීම වැදගත්.
මවගෙන් දරුවාට එච්අයිවී රෝගය සම්ප්‍රේෂණය වීම පාලනය කළ රටක් බවට පත්වුණ අපේ රටට 2025 මේ වෛරසය තුරන් කරගැනීමට ජනතා සහාය ලැබේවිය කියා බලාපොරොත්තු විය හැකිද?
අනිවාර්යෙන්ම ජනතා සහාය අපිට මෙයට අවශ්‍යයි. මොකද රුධිර පරීක්ෂණවලට ස්වේච්ඡාවෙන් යොමුවන්නට පුළුවන් නම් අපිට වාර්තා නොවන මේ 1600ක පිරිස සොයාගන්න පහසුයි. ඒ අනුව ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමෙන් තවත් පිරිසකට මේ වෛරසය පැතිරීම පාලනය කරගත හැකියි. ප්‍රතිකාර ලබාගන්නා විට වෛරස ප්‍රමාණය ඇගෙන් අඩු වෙනවා. ඒ හරහා තවත් අයට වෛරස සම්ප්‍රේෂණය වීම වළක්වාගත හැකියි.
එච්අයිවී/ඒඩ්ස් රෝගීන්ට සමාජයේ පවතින කොන් කිරීම තවමත් දැකගත හැකියි නේද?
මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා අවාසනාවකට තවමත් මේ තත්ත්වය දැකගත හැකියි. අතීතයේ තමයි අපි එච්අයිවී /ඒඩ්ස් මාරාන්තිකයි කියලා කිව්වේ. ඒ නිසා මිනිස්සු බයවෙලා හිටියා. නමුත් දැන් විද්‍යාවේ දියුණුව මත ඖෂධ තිබෙනවා. මේ ඖෂධ ගත්තාම අවුරුදු 20ක් 30ක් සාමාන්‍ය විදිහට ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙනවා. අපේ ලිංගාශ්‍රිත රෝග සායන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහල්වල පවතිනවා. ඒ වගේම ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ ද සේරම් මාවතේ පිහිටා තිබෙනවා. ඒ සියලුම තැන්වලින් රහසිගතව හා නොමිලේ රුධිර පරීක්ෂාව වගේම ප්‍රතිකාර ලබාගන්න හැකියි. ඒ වගේම කියන්න ඕන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල තමයි වැඩිම රෝගී ප්‍රතිශතයක් අපිට වාර්තා වෙන්නේ. මීට අමතරව අපි බීච් බෝයිස්ලා, ලිංගික ශ්‍රමිකයන්, සමලිංගික ප්‍රජාව, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් වැනි අවදානම් කණ්ඩායම් වෙත ගිහින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. මේ සියලු කටයුතු කරලත් තවදුරටත් හඳුනා නොගත් පිරිසක් අපි අතර ඉන්නවා. ඔවුන්ව හඳුනා ගැනීම සඳහා විශේෂයෙන් තරුණ ප්‍රජාව රුධිර පරීක්ෂාවන්ට සායන වෙත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ඇතිවී තිබෙනවා.