නිරෝගී ජීවිතයකට අතීතයෙන් පාඩම්


ලංකාවේ බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් සිටියි. මෙයට හේතුව ලෙස ආහාර පුරුදු හා වෙනත් අහිතකර ජීවන රටාවන් හේතු වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ නිසාම පැරණි ආහාර පුරුදු හා පැරණි සරල ජීවන රටාවට අනුගත වීමේ අවශ්‍යතාව මතුවී ඇත. මේ ඒ පිළිබඳව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහතා දැක්වූ අදහස්ය.

ලංකාවේ අතීත ආහාර රටාව

ලංකාව කියන්නේ පෙරදිග රටක්. පෙරදිග රටක් ලෙස අර්ථ දක්වන විට ලංකාවේ දේශගුණය ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව වෙනස් බව කිව යුතුයි. ඒ වගේම භූගෝලීය වශයෙනුත් වෙනසක් තිබෙනවා. ලංකාවේ සංස්කෘතියේ වෙනසකුත් තිබෙනවා. මේ සියල්ලත් සමගම ලංකාවේ මිනිසුන්ගේ ඓතිහාසික ගමනක් තිබෙනවා. එනම් ලෝකයේ බටහිර රටවල් දියුණු නැති කාලයේදීත් ලංකාවේ සියලුම සංස්කෘතීන් ඉතා දියුණු තැනකයි තිබුණේ. ඒ සමගම අපේ රටේ මාංස භක්ෂණය කියන එකත් නතර වෙලයි තිබුණේ. යළි මාංස අනුභවයට ලාංකිකයන් හුරු වුණේ විදේශ බලපෑම් සමගයි. අපි බැලුවොත් දේවානම් පියතිස්ස රජ්ජුරුවෝ දුන්න ඊතලය පසකින් තබා බුදුදහම වැළඳ ගත්තා. ලෝක ඉතිහාසය බැලුවම ගල් යුගය, එඬේර යුගය හා කෘෂි යුගය ලෙස යුග තිබෙනවා. සින්දු ගංගා නිම්න ශිෂ්ටාචාරයත් සමග තමයි කෘෂි යුගය බිහිවෙන්නේ. ලංකාවෙත් ඒ වගේ කෘෂි ශිෂ්ටාචාරයක් තමයි පැවතුණේ. මේ ශිෂ්ටාචාරය විදේශ ආක්‍රමණත් සමග වෙනස් වුණා.

අපේ රටේ දේශගුණය එලෙසම තිබියදී පිටස්තර සංස්කෘතික ලක්ෂණ බලෙන් දීමක් තමයි එහිදී සිදුවුණේ. මේ ආකාරයට තමයි විදේශීය ධාන්‍ය අපේ රටට හඳුන්වා දීම සිදුවන්නේ. විදේශීය ධාන්‍ය අපේ රටට හඳුන්වා දීමත් සමගම දේශීය ධාන්‍ය වර්ග ඉබේම අපේ ආහාර සංස්කෘතියෙන් ඉවත් වෙන්න පටන් ගත්තා. අපේ දේශීය ආහාර රටාවේ ගලේ අඹරාගත් කුරක්කන් පිටි, අල වර්ග ආදිය තිබුණා. මේ ආහාර සංස්කෘතිය වෙනස් වුණේ විවෘත ආර්ථිකය නිසාම නොවෙයි. අපි බැලුවොත් අපේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය පවත්වාගෙන යන පවුල් තවමත් සිටින ගම්මාන අපේ රටේ තිබෙනවා.

 ලංකාවේ කොස් ගැන අපි බැලුවොත් අපේ මිනිස්සු කොස් තම්බගෙන කෑවා, අටුකොස් හැදුවා, වැලි කොස් ඇට හැදුවා. මේ වගේ කොස්වලින් විවිධ නිෂ්පාදන සිදුකළා.

බෝ නොවන රෝගවලට ගොදුරු වීම

වර්තමානය වන විට ලංකාවේ බෝ නොවන රෝග බහුලයි. අතීතයේ මෙවැනි බෝ නොවන රෝග අපේ ජනතාව අතර තිබුණේ නැහැ. බෝ වන රෝග තමයි තිබුණේ. බෝ නොවන රෝග අපේ රටේ නොතිබීමට හේතුව වුණේ ආහාර සමග බැඳුණු ක්‍රියාපටිපාටිය. එනම් මිනිස්සු ආහාර අරගෙන කය වෙහෙසා වැඩ කළා. නමුත් දැන් පාන් ගෙඩියක් ගන්න අඩි දහය යන්නෙත් වාහනේ. මිනිසුන් කාර්යබහුල වීමත් එක්ක ගමනාගමනය පහසු කරන්න තමයි පියවර ගත්තේ. ඒ නිසා ආහාර සංස්කෘතිය වෙනස් වෙන්න කලින් අපේ රටේ වෙනස් වුණේ ගමනාගමන සංස්කෘතියයි. ඒ අනුව අපේ රටේ පයින් ගමන් කරන සංස්කෘතිය වෙනස් වුණා. මහන්සිවෙලා වැඩකරන ගතිය වෙනස් වුණා. වගාකරන සංස්කෘතිය වෙනස් වුණා. විවෘත ආර්ථිකය පැමිණෙන්නට පෙර සිටම අපේ රටට විදේශීය ආහාර සංස්කෘතිය ඇවිත් තිබුණා. සුදු ජාතිකයන් සුදුපැහැ තිරුවානා ගල් කමින් ලේ බොනවා යැයි සඳහන් වුණේ ලංකාවට පාන් ආව කතාන්දරය.

පාන් කන්න අපේ ජනතාව ඒ කාලේ පුරුදු වුණේ පාන් හරිම ප්‍රියජනක වගේම ඉක්මන් කෑමක් වූ නිසයි. ඒ කාලේ මිනිස්සු පාන් කෑමට ඇතිකරගත් පුරුද්ද අද වෙනකන් වෙනස් කරගන්න බැරිවී තිබෙනවා. බටහිර විශේෂඥ වෛද්‍යවරුන් දැන් බණිනවා පාන් කන්න එපා කියලා. නමුත් මේක තදින් ක්‍රියාත්මක කරන්න කවුරුත් නැහැ. අපි බැලුවොත් අපි කන බිස්කට් වර්ග සියල්ලම පාහේ හදන්නේ පාන්පිටිවලින්. මෙහෙම පාන්පිටි නිෂ්පාදන ආහාරයට අරගන්න සංස්කෘතියත් සමගම අපි අතරට දියවැඩියාව කියන බෝ නොවන රෝගය ඇවිත් තිබෙනවා.

දියවැඩියාව කියන රෝගය මම හඳුන්වන්නේ කාල වැඩ නොකිරීම නිසා ඇතිවන රෝගයක් කියලයි. අපි හොඳට කනවා නම් කය වෙහෙසා වැඩ කරන්න අවශ්‍යයි. අපි බැලුවොත් වාහනේකට තෙල් ගහන්නේ ධාවනය කරන්නයි. තෙල් ගහලා ධාවනය නොකර වාහනයක් තිබ්බොත් වාහනයත් කැඩිලා සල්ලිත් නිකරුණේ වැයවෙන එකයි සිදුවන්නේ.

අපි පොදු උදාහරණයක් අරගෙන බලමු. මීටර සියය දුවන ක්‍රීඩකයන්ට ඉස්සර ග්ලූකෝස් ලබාදුන්නා. එහෙම දුන්නේ ඉක්මනට දහනය කරන්න අවශ්‍ය ග්ලූකෝස් ලබාදෙන්නටයි. ග්ලූකෝස් කාල දිව්වෙ නැත්නම් ක්‍රීඩකයාටත් කවදාහරි දියවැඩියාව හැදෙයි.

දැනට ලංකාවේ තිබෙන ලොකුම ගැටලුව තමයි කාල වැඩ නොකිරීම. අනිත් එක තමයි මානසික ආතතිය. ලංකාවේ පාරවල්වල මාර්ග තදබදයත් සමග වාහන පදවන අයට තරහ යනවා. මේකෙන් රුධිර පීඩනය වැඩි වෙනවා. ඒකෙන් කොලෙස්ටරෝල් නගිනවා. සීනි වැඩි වෙනවා.

ඒ නිසා ලංකාවේ ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතු දෙකයි. එකක් මානසික ආතතිය. අනෙක් එක කාලා වැඩ නොකිරීම.

අපි ලංකාවේ මිනිස්සු කන කෑම ගැන හිතමු. කන්නෙම වස විස. පාන් පෙත්තේ සිට අපි කන්නේ පිෂ්ඨය අධික ආහාර. පාන් හදන්න කොතරම් රසායනික දානවද? නමුත් අපි කොස් තම්බලා කනවා නම් එහෙම රාසායනික යොදන්නේ නැහැනේ. කොස් ගසට පොහොර දාන්නෙත් නැහැ.

ලංකාවේ කොස් වවලා මිනිසුන්ට කොස් කන්න පුරුදු කළොත් දියවැඩියා රෝගීන් අඩු වේවි.

මීළඟට වස විස අපි කනවා කියනවා. ඇයි අපි වස විස කන්නේ? අපිට ලංකාවේ වස විස නැති ආහාර තවමත් හොයාගන්න තිබෙනවා.

අපි නාගරීකරණයේ ජීවත් වෙන්නේ. ගම්මාන පවා නාගරීකරණය කිරීමක් තමයි දැන් සිදුවෙන්නේ. ඒ අනුව ගමේ ගියත් ගමේ තිබෙන ගස් කොළ හෝ ගෙඩි ජාති නගරයට අරන් එනවා දකින්න නැහැ. ගමේ ගිහින් එද්දී කොස් පලුවක් වාහනේ දාගෙන එන්නේ කීයෙන් කී දෙනාද?

භික්ෂූන් වහන්සේලාගෙන් ආශිර්වාද ගන්න යන ප්‍රභූන් දිහා බලන්න. හැමදාම අරගෙන යන්නේ පිටරටින් ගෙනාපු පලතුරු සහිත කූඩ පුරවගෙනයි. ‍ෙම්වා වෙනස් විය යුතුයි.

කළයුතු හා නොකළ යුතු දේ

දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න නම් පුළුවන් තරම් ආතතියෙන් මිදෙන්න අවශ්‍යයි. එසේ නම් භාවනාව අවශ්‍යයි. රූපවාහිනිය බල බල කෑම කන්න එපා. මහත අය කියනවා දොස්තර මහත්තයෝ මම කන්නෙත් නෑ ඒත් මහතයි කියලා. ඒ බොරු. කාලා ඇඟ වෙහෙසන්නේ නැති නිසයි මහත් වෙන්නේ. අපේ මිනිස්සු ඕනම අවස්ථාවක කෑම ගැනයි හිතන්නේ. මඟුල් ගෙදරක ගිහින් තෑග්ගට දෙන සල්ලිවල වටිනාකමට කාලා කාලා එන්න තමයි  බලන්නේ. ආයුර්වේදයේ තියෙනවා මස් ආහාරයට ගන්නවා නම් මීකිරි ආහාරයට ගැනීම නුසුදුසුයි කියලා. නමුත් උත්සවවල  මස් කාලා මී කිරි කනවනේ.

ළමයෙක් උපන් දවසේ සිට ජීවිතේ විවිධ කාරණා කියලා උත්සව අරගෙන කන එක තමයි කරන්නේ.

අපිට දියවැඩියාව පාලනය කරගන්න අවශ්‍ය නම් පළමුවෙන් සිදුකළ යුත්තේ ආතතිය පාලනය කර ගැනීමයි. මීළඟට පැරණි දේශීය ආහාර රටාවට හුරු වීම වැදගත්. මෙතනදී දේශීය හා පාරම්පරික ආහාර ලෙස ගසා කෑමක් දැන් සිදුවෙනවා. කාටද පුළුවන් හැමදාම රුපියල් තුන්සියයක් වගේ හාල් කිලෝවකට වියදම් කරන්න. මේක දැන් ව්‍යාපාරයක් වෙලා තියෙන නිසා අපිට පුළුවන් තම්බපු හාල් ආහාරයට ගන්නට පුරුදු වෙන්න. තම්බපු හාල්වලින් පිසගත් බත් ආහාරයට ගන්න, හැබැයි ප්‍රමාණය අඩු කරන්න. බත් පිඟානට පලා වර්ග වැඩියෙන් එකතු කරගන්න. මුකුණුවැන්න, ගොටුකොළ වගේ පලාවල දඬු ඉවත් නොකර හීනියට ලියාගෙන මළවන්න. එවිට තන්තු කොටස් හොඳින් ශරීරයට ලැබෙනවා. පවුලේ හයදෙනෙක් ඉන්නවා නම් එක වේලකට මුකුණුවැන්න වගේ පලා මිටි දෙකක් මළවා ගන්න. එහෙම නැතිව එළවළු හා පලාවර්ග බත් පිඟානට තේ හැඳි 4ක ප්‍රමාණ බෙදාගෙන ඵලක් නැහැ.

ශ්‍රී ලාංකික අපි අවුරුදුවලට තමයි කැවුම් කන්න පුරුදු වෙලා හිටියේ. මේ පැණිරස හා තෙල් සහිත කැවිලි අපි කෑවට ඔන්චිල්ලා පැද්දා, අං ඇද්දා. මේ වගේ ක්‍රීඩා නිසා ශක්තිය දහනය වුණා. දැන් අපි කරන්නේ වාහනේ නැගලා අධිවේගී මාර්ගවල ඥාති ගෙවල් කීපයකට එක දවසේ යනවා. ගිහින් හැම ගෙදරකින්ම කැවිලි කනවා. ගමයි ආයුර්වේදයයි මේ කාලයේ ඇති තරම් පට්ට ගහනවා. නමුත් අවුරුද්දට ගමේ ගිහින් පැය දෙකක්වත් ඉන්නෙ නැතිව කොළඹ යන්නයි හැමෝම බලන්නේ. අද මිනිස්සුන්ට තියෙන ලෙඩ බැලුවාම නෝපේ දාලා ගමේ ගිහින් ඉන්න එක ලාභයි. මොකද ගමේ තිබෙන පිරිසුදු වාතය ටිකක් හරි හුස්ම ගන්න ලැබෙනවා.

පලා වර්ගවල කෘෂි රසායන තියෙනවා කියල කන්න බයයි නම් ගෙදර පෝච්චියක හරි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පලා වර්ගයක් වවාගන්න. ගමේ ඥාති ගෙවල්වල ගියාම මේ වගේ පැළ වර්ග අරගෙන එන්න. මුරුංගා කොළ ටිකක් හරි කඩාගෙන එන්න. කලුකැම්බේරිය, ගිරාපලා වගේ දේවල් වලට බෙහෙත් පොහොර ගහන්නේ නැහැ. තේ වෙනුවට බෙලි කොළ ටිකක් තම්බන් බොන්න. නමිනං, උගුරුස්ස වගේ පලතුරු කන්න. වැටකොළු වගේ එළවළු කන්න. ගැස්ට්‍රයිටීස් පවා අඩු වෙනවා. හොඳට එළවළු කන්න. කාල දාඩිය දාන්න වැඩ කරන්න.

බො‍හෝ දෙනා කියන්නේ ආහාර පිළියෙළ කරන්න වෙලාවක් නැහැ කියලයි. මුංඇට ටිකක් රෑට පෙගෙන්න දාලා උදේට තැම්බෙන්න තියන්න. පොල් ටිකක් දාගෙන වාහනේ එද්දි හැන්දක් දාගෙන මගදී කන්න. ළමයින්ටත් පාන්, බනිස් කන්න දෙන්නෙ නැතිව මේ වගේ දෙයක් දෙන්න.

සැප යහන්වල නිදාගැනීම, අවේලාවේ නිදාගැනීම, වාඩි වී සිටීම, ඇවිදින්නේ නැතිව සිටීම, දහඩිය දමන ලෙස වැඩ නොකිරීම යන කාරණා නිසයි බෝ නොවන රෝග ඇතිවෙන්නේ කියලයි ආයුර්වේදයේ කියන්නේ.

ඇට වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්න. හොඳින් ඇවිදින්න.

ලංකාවේ කාර්යාලවල වැඩ කරන අය බොහෝමයක් වායුසමීකරණ හෝ විදුලිපංකා යට වාඩි වී තමයි වැඩ කරන්නේ. මේ නිසා අපිට රජයට යෝජනාවක් කරන්න පුළුවන් උදේට දාඩිය දාන්න හොඳට පයින් ඇවිදගෙන ඇවිත් මුහුණ කට හෝදලා තමන් වැඩකරන අසුනේ වාඩි වෙන්න හැකි වැඩපිළිවෙළක් සකසන්න කියලා.

දහඩිය පිට නොවන ලෙස විදුලිපංකා හා වායුසමීකරණ භාවිතය නිසා දියවැඩියාව ඇතිවිය හැකියි. ඒ වගේම කියන්න ඕන ලංකාව කියන්නේ කාබෝහයිඩ්‍රේට බහුලව ආහාරයට ගන්න හුරු වී තිබුණ රටක්. අතීතයේ රුධිර පරීක්ෂණ කරලා සීනි වැඩියි කියලා අපේ මිනිස්සු බයවෙලා හිටියෙ නැහැ. ඒ වෙනුවට කළේ කය වෙහෙසලා වැඩ කිරීමයි.

දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගයකට යම් කෙනෙක් ගොදුරු වෙලා වෛද්‍යවරයෙක් වෙත ආවොත් කරන්න අවශ්‍යම දෙයක් තමයි ඇයි මෙහෙම වුණේ කියන දෙය හිතන්න ලෙඩාට විනාඩි කිහිපයක් ලබාදීම. මොකද සමහරු සපත්තු අඩිය ගෙවිලා නිසා වළලුකරේ ඇතිවන රිදිල්ලටත් වෛද්‍යවරයෙක් ළඟට යනවා. ගිහින් පරීක්ෂණ ගණනාවක් සිදුකර ගන්නවා. කරන්න ඕනේ සපත්තුවට අඩියක් ගහගන්න එකයි. ඒ නිසා බෝ නොවන රෝගවලට ගොදුරු වන අය පැත්තකට වෙලා හොඳින් කල්පනා කරන්න ඕන මොකක් නිසාද මට මෙහෙම වුණේ කියන දෙය.

ජානවලින් මේ බෝ නොවන රෝග ඇතිවෙන බව සත්‍යයක්. තමන්ගේ අම්මට, තාත්තට මේ ලෙඩ තියෙනවා නම් තමන් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම දියවැඩියාව වගේ ලෙඩ තියෙන කෙනෙක් තමන් කන බොන දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න අවශ්‍යයි.

අපේ රටේ යුගයක් තිබුණා පාසල් ළමුන්ට බනිස් හා කිරි වීදුරුවක් ලබාදෙන. ඇමෙරිකාවෙන් පාන්පිටි නිකන් එව්ව නිසා මේ වගේ දේවල් කළා. අවසානයේ අපේ මිනිස්සු පාන්පිටිවලට පුරුදු වුණා.

ඒ නිසා තමන්ට ලෙඩක් තිබෙනවා නම් තමන්ගේ කෑම බීම ගැන හිතන්න. කඩෙන් බඩු මිලදී ගන්නා විට තමන් මිලදී ගන්නේ මොනවාද කියන දේ තීරණය කරන්න. සීනි වැඩියි කියලා දැනගත්ත ගමන් බෙහෙත් බොන්න යන්නෙ නැතිව කෑමවලින් පරිස්සම් වෙන්න. හොඳට දාඩිය දාන්න වැඩ කරන්න. කහට හා තිත්ත, ඇඹුල් රස එළවළු හා පලතුරු වැඩියෙන් කන්න. කෙඳි සහිත ආහාර වන කොහිල වගේ දේවල් ආහාරයට එකතු කරන්න. තෙබු කොළ, කෝවක්කා කොළ කන්න. අරලු, බුලු, නෙල්ලි සතියට දවසක් දෙකක් තම්බලා බොන්න. නෙල්ලි පලතුරක් ලෙස ආහාරයට ගන්න. දවසකට නෙල්ලි ගෙඩි දහයක් විතර කෑවම සීනි බහිනවා.

පලතුරු පලතුරු විදිහට කන්න. බ්ලෙන්ඩර් කරලා සීනි දාල කන්න එපා. සෑමවිටම ස්වාභාවික ආහාර ස්වාභාවික ආහාර විදිහටම කන්න. ඒ වගේම රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වගේම ආහාර ප්‍රතිපත්තියක් හැදීම අත්‍යාවශ්‍යයි. රෝහලක නේවාසික රෝගීන්ට කෑම නිර්දේශ කරන විට ආයුර්වේදයත් එකතු කරන්න.



Recommended Articles