වසරේ අවසන් දිනයේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම සුපුරුදු පරිදි භාග්‍යයක් කොට සලකමි. ඉතාමත් අභියෝගාත්මක වසරකින් පසුව අපට නැවතත් පියමැනීමට සිදුව ඇත්තේ තවත් අභියෝගාත්මක වසරක් වෙනුවෙනි.
කෙසේ වෙතත් එම අභියෝගාත්මක වසරේදී ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මේ වසරේ මුල් කාර්තුව වෙනුවෙන් අයවැයක් සකස් කර නොමැති අතර, අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් වෙන්කර තිබේ.
ඒ අනුව අපගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මස අවසානයේදී බොහෝ දුරට පැවැත්වීමට නියමිත මහමැතිවරණය අවසන් වන තෙක් බලා සිටිය යුතුය. ඉන් අනතුරුව පත්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් යටතේ අප ඉදිරිපත් කරන අයවැයක් යටතේ අපගේ ගමන සාර්ථකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
එසේම අගෝස්තු මාසයේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට විශිෂ්ඨ ලෙස සමත් වූ ආදරණීය ඔබට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ජයග්‍රහණය කරා ගමන් කරන්නට නොහැකි වූ ඔබටත්, ලැබූ පසුබෑම ජීවිතයට පන්නරය කොට නැවත ජයග්‍රහණය කරා පියමනින්නට ශක්තියක් කර ගැනීමට මෙය අවස්ථාවකි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව උසස් පෙළින් විශ්වවිද්‍යාල වරම් හිමි කරගන්නා සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව උදාකරන බවට සඳහන් කර තිබේ. මෙය තරමක අභියෝගාත්මක කටයුත්තකි. කෙසේ වෙතත් ඒ පිළිබඳ මේ වනවිටත් සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වනු ඇත.
අනෙක් අතින් විශ්වවිද්‍යාල වරම් හිමි කරගන්නා සිසුන් ඉතාමත් ඉක්මනින්ම සරසවි සඳහා ඇතුළත් කරගැනීමේ හැකියාව පිළිබඳවද අප අවධානය යොමුකර තිබේ. සරසවිවලට ප්රවේශවීමට නොහැකි අය ව්‍යවසායකත්වයට ඔවුන් උනන්දු කිරීමට හා වෘත්තීය සුදුසුකම් සංවර්ධනය කිරීමටද අවධානය යොමු කිරීමට කටයුතු කරන්නෙමු.
මේ සතියේදී අපගේ ප්‍රධාන මාතෘකාව ලෙස සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ කතා කිරීමට අදහස් කරන්නෙමු. 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ වසර 30ක සිවිල් ගැටුම අවසන් වූ දා සිට මේ දක්වාම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වයේ වර්ධනයක් ඇතිව තිබේ.
කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තරමක් දියුණු නමුත් එක්සත් ජාතික පක්ෂයේ පසුගිය පාලනය යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයටද විශාල පහරක් එල්ල කර තිබේ. 2015ට පෙර රාජපක්ෂ රජය යටතේ දුරබැහැර ප්‍රදේශවල පවා නවීන රෝහල් ඉදිකිරීම සඳහා කටයුතු කළේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අපේක්ෂාවෙනි.
රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට නම් එහි ජනතාව/ශ්‍රම බළකාය සෞඛ්‍ය සම්පන්න විය යුතුය. මේ අනුව මහින්ද රාජපක්ෂ රජය සමයේදී හම්බන්තොට නවීන රෝහලක් ඉදිකිරීමට කටයුතු කළද පසුගිය රජය සෑම දෙයක් පිළිබඳවම දේශපාලනයෙන් බැලීම හේතුවෙන් එම රෝහල විවෘත කිරීම මාස ගණන් ප්‍රමාද විය.
කෙසේ වෙතත් මේ වනවිට විවෘත කර ඇති හම්බන්තොට රෝහල තවදුරටත් සංවර්ධනය කිරීමට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස මම උපරිම උත්සාහ ගනිමි. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග මම හම්බන්තොට රෝහලේ හා වීරකැටිය රෝහලේද නිරීක්ෂණ චාරිකාවකට එක්වුණෙමි.
එහිදී යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල හිඟයක් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් සහ සුළු කාර්යමණ්ඩලයේද හිඟයක් පවතින බව අනාවරණය විය. එසේම තැලසීමියා රෝගය මෙන්ම වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධවල හිඟයක් දක්නට ලැබිණි.
වගකීම් විරහිත අය ආණ්ඩු බලයේ සිටින විට අත්‍යවශ්‍ය අංශද ඔවුන්ගේ අවධානයට යොමු නොවේ. එම නොසලකා හැරීම් හේතුවෙන් කඩාවැටුණු අංශ දැන් පුනර්ජීවනය කිරීම සඳහා නව රජය කටයුතු කරමින් සිටියි. මේ සියලු ගැටලු අවසන් කරමින් පුරවැසියන්ට සුමට හා කාර්යක්ෂ්ම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලබාදීමට අපි කටයුතු කරන අතරම කාර්යක්ෂ්ම නිදහස් සෞඛ්‍ය සේවාවක්ද සහතික කරන්නෙමු.
අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මෙන්ම කාර්යමණ්ඩලය සහ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා බොහෝ විට පීඩාවට පත්ව ඇත්තේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවය. මේ පිළිබඳ පසුගිය රජය සමයේදී එම ජනතාව හා රෝගීන් විසින් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට කොතෙකුත් පැමිණිලි ඉදිරිපත් කළද ඒ සඳහා ඔවුන් ක්‍රියාත්මක වී නොමැත. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ වගකීම් ඉටුකරනවාට වඩා ඔහු කාලය ගත කළේ රාජපක්ෂවරුන්ට බොරු චෝදනා ඉදිරිපත් කිරීමටය.
ඔහුගේ අසමත්භාවය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්කළ නොහැක. මේ අනුව අපි හම්බන්තොට රෝහලේ හා වීරකැටිය රෝහලේ පවතින අඩුපාඩු ඉකිමනින්ම පූරණය කිරීමට කටයුතු කරන්නෙමු. ඒ හා සමගාමීව නව ආණ්ඩුව ලෙස අපි මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ පවතින ක්ෂණික අඩුපාඩු සම්පූර්ණ කිරීමටත් කටයුතු කරමින් සිටින්නෙමු.
ලබන වසරේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!