ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයකම වෙනස්කම් ඇති කරමින් සම්ප්‍රදායන් බිඳ දමා නව සම්ප්‍රදායන් ඇතිකළ පුද්ගලයෙකු ලෙස අතුල මහවලගේ මහතා හැඳින්විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්රයේ සම්ප්‍රදායන් බිඳ දමමින් පවත්වන ප්‍රදර්ශනයක් (Asia Network beyond Design – Colombo Chapter සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය) අද (11දා) සිට 15 වැනිදා දක්වා මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ මෙන්ම ඔහු මෙරටට හඳුන්වාදුන් වෙනස්කම් පිළිබඳ කළ සාකඡාවකි මේ.
Asia Network beyond Design
මෙහි කොළඹ කලාපය අද සිට 15 වැනිදා දක්වා මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පැවැත්වෙනවා. මේ සඳහා අපි තොරතුරු තාක්ෂණ ආයතනය තෝරාගැනීමටත් හේතු තිබෙනවා. සාමාන්‍යයෙන් කලාකෘති තිබෙන්නේ කලාගාරයක. නමුත් මේ සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය ඊට එහා යන එකක්. අපි සීමා මායිම් බිඳ දැමීමට කටයුතු කරනවා. ඒ නිසා තමයි විශ්වවිද්‍යාලයක් තෝරා ගත්තේ.
විශ්වවිද්‍යාල 17ක නියෝජනයක්
මම මෙහි කොළඹ කලාපයේ ප්‍රධාන නියෝජිතයා. මේකට රටවල් ගණනාවක විශ්වවිද්‍යාල 17ක මහාචාර්යවරුන් 20කට අධික පිරිසක් එක්වීමට නියමිතයි. ජපානය, පිලිපීනය, මැලේසියාව, තායිවානය, චීනය, තායිලන්තය, දකුණු කොරියාව ඇතුළු රටවලින් නියෝජිතයන් මේ සඳහා එනවා.
නිර්මාණකරණය
නිර්මාණකරණය (Design) දැන් ලෝකයේ බොහෝ දුරක් ගොස් අවසන්. නමුත් අපි ලංකාවේ තවමත් නිර්මාණකරණය නෙමෙයි උගන්වන්නේ. පාසල් පද්ධතියේ වුණත් චිත්‍ර කර්මය වගේ දේවල් උගන්වනවා. නමුත් නිර්මාණකරණය ඊටත් එහා ගිය දෙයක්. මෙහිදී නිර්මාණ ශිල්පීන්, ක්ෂේත්රයේ දැවැන්තයන්ගේ එකමුතුවක් සිදුවෙනවා. මෙහි මූලිකත්වය වෙන්නේ අධ්‍යාපනය පැත්තෙන්. ඒ නිසා තමයි මේක විශ්වවිද්‍යාල තුළින් පටන්ගන්නේ.
නිර්මාණ 170කට අධික ප්‍රමාණයක්
මෙහිදී ඒ ඒ රටවල කලාවයි, තාක්ෂණයයි, සංස්කෘතියයි එකතු වෙනවා. තව පැත්තකින් බැලුවොත් හැම පැත්තකම නිර්මාණවේදීන්ගේ නිර්මාණ 170කට අධික ප්‍රමාණයක් විවෘත කරනවා. උදේ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා, සවස ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ආරම්භය
අවුරුදු 12කට පෙර දකුණු කොරියාව, ජපානය, තායිවානය ඇතුළු රටවල් එකතු වෙලා අධ්‍යාපනික පැත්තෙන් පිහිටුවාගත්ත සංවිධානයක් ලෙස Asia Network beyond Design සංවිධානය හඳුන්වන්න පුළුවන්. මෙය ක්ෂේත්‍ර ප්‍රධානීන්ගේ එකතුවක්. මේ සංවිධානය හැම වසරකම නගර හතරක මේ ප්‍රදර්ශන පවත්වනවා. ඊට අමතරව විශේෂ ප්‍රදර්ශන ලෙස ජර්මනියේ මියුනිච් නගරයේ, ජපානයේ කලාපයක තිබුණා, තෙවැන්න ලෙස තමයි කොළඹ කලාපය තෝරාගත්තේ. ඊළඟ වසරේදී ප්‍රංශයේ තවත් කලාපයක ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
අනාගතයට හොඳ මාවතක්
මෙම ප්‍රදර්ශනයේදී එකිනෙකාගේ නිර්මාණවල අන්තර්ගතය හා අකෘතිය අතර පවතින සබඳතාව දැකගැනීමට පුළුවන්. අන්තර්ගතය කොයිතරම් බලවත් වුණත් ආකෘතිය වැඩක් නැත්නම් නිර්මාණයට වටිනාකමක් නෑ. නිර්මාණකරුවන්ට අනාගතය ගැන බලන්න, ඔවුන්ට ක්ෂේත්රය තුළ ඉඩක් හදාදෙන්න මෙය මාර්ගයක් ලෙස හඳුවන්න පුළුවන්. මෙය නිර්මාණ අවකාශයක්. සීමා මායිම් නැති නිර්මාණ අවකාශයක්. දැන් විවිධ පැතිවල නිර්මාණකරණයන් පවතිනවා. නමුත් මෙහිදී එවැනි බෙදීමක් නෑ. හැම ක්ෂේත්රයකම එකතුවීමක් තිබෙනවා. හැම පැත්තෙන්ම සීමා අබිබවා යන එකමුතුවක්.
නිර්මාණ ශිල්පයට සීමා නෑ
2040 වර්ෂය වනවිට කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධිය අබිබවා යනු ඇතැයි ගණන් බලා තිබෙනවා. නැවත මිනිස් බුද්ධියට කෘත්‍රිම බුද්ධිය අබිබවා යන්න වර්ෂ මිලියන ගණනක් ගත වෙන්න පුළුවන්. මොකද මිනිස් බුද්ධිය වර්ධනය වෙන්නේ අඩු වේගයකින්. මෙහිදී නිර්මාණ ශිල්පීන්ට පුළුවන් කෘත්‍රිම බුද්ධිය අබිබවා යන්න. නිර්මාණ ශිල්පය රටකට, ප්‍රදේශයකට, එක කලාපයකට සීමා නොකළ යුතුයි.
නිර්මාණ එක තැනකට
මේවා සාම්ප්‍රදායික චිත්‍ර හෝ ඡායාරූපකරණ නෙමෙයි. අනිවාර්යයෙන්ම ඊට එහා ගිය ඒවා තමයි මෙහි තිබෙන්නේ. අපි පෙන්නන චිත්‍ර ගත්තොත් සාම්පදායකත්වය අබිබවා ගිය දේවල්. ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් 176ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙය මහජනතාවට සම්පූර්ණයෙන්ම විවෘතයි. එය නොමිලයේ පැවැත්වෙන්නේ. මෙහිදී ලෝකයේම නිර්මාණ ශිල්පීන් එක තැනකට ගේනවා. එකිනෙකාගේ නිර්මාණ හුවමාරු කරගැනීමක් සිදුවෙනවා.
මගේ නිර්මාණ සඳහා නොදන්නා දේවල් ඉගෙනගැනීමට අවස්ථාව තිබුණා. මගේ නිර්මාණ දෙකක් තිබුණා ලෝකයෙන්ම ප්‍රථම අවස්ථාවට ඉදිරිපත් වුණ. ජනමාධ්‍ය පැත්තෙන් හා ලාංඡන නිර්මාණයක්. ඉතින් ලංකාවේ කොච්චර නිර්මාණ ශිල්පීන් ඇත්ද තමන් කරපු දේවල් ලෝකයෙන්ම පළමු අවස්ථාවට වූ දේවල් වෙන්න පුළුවන්.
මම ලංකාවේ කැලැන්ඩර් ක්ෂේත්රයේ පෙරළියක් කළා. සංකල්ප වෙනස් කරන්නෙක් කියලා මගේ නම විශ්වවිද්‍යාවල උගන්වනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මගේ නම ජාත්‍යන්තර දේශකයන් තමන්ගේ දේශනවලට ඇතුළත් කර තිබුණා.
සංකල්පවේදියෙක්
මාව බොහෝ දෙනෙක් එක එක විදිහට හැඳින්නුවට ප්‍රධාන වශයෙන්ම මාව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සංකල්පවේදියෙක් ලෙසයි. ඊට අමතරව මාධ්‍ය උපදේශකයෙක් ලෙස, බාහිර කථිකාචාර්වරයෙක් ඇතුළු බොහෝ ක්ෂේත්රවල මම කටයුතු කරනවා.
ලාංඡන නිර්මාණය
මේ පැත්තෙන් ගත්තොත් ජනශක්ති ලාංඡනය ගැන කතා කරන්න පුළුවන්. ලාංඡනයක් කියන්නේ අතින් ඇඳෙන චිත්‍රයක්. නමුත් ජනශක්ති ලාංඡනයේ තිබෙන්නේ පහනක්. එය ඡායාරූපයක්. ඒක ඇතුළේ බෞද්ධ සංස්කෘතිය තිබෙනවා. නමුත් ජාත්‍යන්තරයේදී එය පැහැදිලි කරන්න වෙනවා. රාවය පත්‍රයේ ලාංඡනය ගත්තොත් ඒක වෙනසක් කළා. ඒ වෙනතෙක්ම තිබුණේ එක ආකෘතියක්. හරි කෙළින් අකුරු, හතරැස් අකුරු වගේ. නමුත් ඒක මම බිඳ දැම්මා රාවය පත්‍රයෙන් ඒකේ තිබෙන්නේ මම අත්සනක් ලෙස ගහපු අකුරක්. ඒක ලෝකයේ පළමු රැඩිකල් මාස්ටර් හෙඩ් එක. පත්තරයක ලාංජනය සාමාන්‍යයෙන් තිබෙන්නේ හරි මැද දෙපැත්තේ දැන්වීම් දෙකක් තිබෙනවා. ඒක මම බිඳ දැම්මා ලක්බිම පුවත්පතෙන්.
දැන්වීම්කරණය
දැන්වීම්කරණය පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් රූපවාහිනී දැන්වීමක් ඉවර වෙන්නේ මිල ගණන්, ලාංඡනය ඇතුළත් ස්ලයිඩ් එකකින්. මම ඒක වෙනස් කරලා 2003දී ටෙලි නාට්‍යයක් ලෙස මතු සම්බන්ධයි ලෙස වෙනස් වෙන්න සකස් කළා. ඊට පස්සේ ඊළග කොටස වෙනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. තවත් අදහසක් තවත් තැනක පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්දියාවේදී නෙස්කැෆේ ආයතනය කොටස් වශයෙන් දැන්වීම් පටන් ගත්තා.
විවාහ ක්ෂේත්රය
මේ වනවිට විවාහ ක්ෂේත්රය තුළ මනාලියන් දැක්මවල් පවා ඇතිව තිබෙනවා. 1980 දශකය ගත්තොත් කැලැන්ඩර් එකකට මනාලියන් ලෙස පෙනී සිට ඡායාරූපයකට එන්න කවුරුවත් කැමති වුණේ නෑ අසුබයි කියලා. මම මුල් වතාවට මැලේ කාන්තාවක් උඩරට මනාලියක් ලෙස ඇන්ඳවලා ඡායාරූප ගෙන කැලැන්ඩරයක් නිර්මාණය කළා. ඒ ආරම්භය තමයි දැන් කර්මාන්තයක් බවට පත්වුණා කියලා වෙන අය මට කියන්නේ.
කැලැන්ඩර් ක්ෂේත්රය
ඉස්සර ජනප්‍රිය නිළියක් හෝ නළුවෙක්. ඒ කියන්නේ එම්.ජී.ආර්., සිවාජි ගනේෂන්, ගාමිණී ෆොන්සේකා හෝ ජනප්‍රිය නිළියක් පොල්තෙල් පහනක් පත්තු කරනවා. නැත්නම් ආයුබෝවන් කියාගෙන ඉන්නවා. මේක මම බිඳ දැම්මා අලුත්ම කාන්තාවකට කැෂුවල් ඇඳුම් අන්දවලා කැලැන්ඩරයක දැම්මා.
අලෙවිකරණය
අලෙවිකරණය පැත්තෙන් මම මුල් වතාවට කරපු කැම්පේන් දෙකක් තිබෙනවා සිද්ධි අධ්‍යයනයන් ලෙස. එකක් තමයි ලෙඩ්ඩුන්ට හා වයසක අයට ගෙනගිය මෝල්ට් පානයක් වූ නෙස්ටමෝල්ට්. ඒකට මම බලය, ජවය, ශක්තිය කියන වචන එක්කර දිනපතා පානයක් බවට පත්කළා. ඒකට දවස පටන්ගන්න නෙස්ටමෝල්ට් කියලා දැන්මා. ඉස්සර නෙස්ටමෝල්ට් බොන්නේ වතුරත් එක්ක. පස්සෙ මම ඒකට තේ එකක් එක්කරලා
නෙස්ටමෝල්ට් තේ එකක් බවට පත්කරනවා.
මේ වනවිට මහජන බැංකුවේ වෙනස. ජනහද හඳුනන මහජන බැංකුව කියලා සුදුපාට හා ගුරු පාටින් තිබුණ මහජන බැංකුව අද වනවිට ඉතාමත් වර්ණවත් වෙලා අනිත් අය අනුගමනය කරන ප්‍රමුඛතම මූල්‍ය ආයතය බවට පත්වෙලා තිබෙනවා. ඒවා කරන්න ලැබෙන්නේ ඒවාවල ඉන්න බලධාරීන් මට නිදහස දුන්න නිසා.