හමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡා සහ සංවාදවලදී නිතර අසන්නට ලැබේ. මේ වන විට ලංකාව තුළ මෘදු හමුදාකරණයක් ඇති බව ඇතැම් විට ප්‍රකාශ වන කරුණකි. දේශපාලන ක්ෂේත්‍රය තුළත් මෙය වැඩි වශයෙන් කතාබහ වන අතර, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයද හමුදාකරණයට ලක් කිරීමට සූදානමක් පවතින බවද ඇතැම් සාකච්ඡාවල සඳහන් වේ. හමුදාකරණය යන මේ වචනය විවිධ අර්ථයෙන් විග්‍රහ කිරීමත්, ඒ විග්‍රහයන් විවිධ දේශපාලන කෝණවලට අදාළ පරිදි හැඩගැස්වීමත් මේ සංවාදවලදී සිදුවන බවක් පෙනෙන්නට තිබේ. පොදුවේ හමුදාකරණය යනු කුමක්ද යන වචනයට ජනතාව අතර නිශ්චිත පිළිතුරක් නැතත්, එය හමුදාව වැඩි-වැඩියෙන් මැදිහත් වන තත්ත්වයක් බවට සමාජයේ අර්ථකථනයක් තිබේ. මේ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන සාකච්ඡාවක් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා සමග සිදුකළ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය ගොඩනැගේ.
හමුදාකරණය
සාම්ප්‍රදායික අර්ථයෙන් ගත් විට යම්කිසි ස්ථානයකට හමුදාව විසින් පහසුකම් සැපයීම හෝ යම් ක්‍රියාවලියක් හමුදාමය ස්වභාවයක් ගැනීම හමුදාකරණය ලෙස හැඳින්වේ. කෙසේවෙතත් නවීන තත්ත්වයන් යටතේ මේ විග්‍රහය තරමක් සංකීර්ණ ලෙස තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ. සිවිල් පරිපාලන යාන්ත්‍රණය මගින් සිදුකරන පරිපාලනමය කටයුතු කිසියම් දුරකට වෙනස් වීමේ තත්ත්වයක් හෝ වෙනස් කිරීමේ උත්සාහයක් හමුදාකරණය ලෙස වර්තමානයේදී හඳුනාගත හැකිය.
මියන්මාරයේ තත්ත්වය
එසේ නව්‍ය අර්ථයෙන් ගත් විට, හමුදාකරණය කොටස් දෙකකට බෙදීම මගින් එය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත. මෘදු හමුදාකරණය (Soft Militarization) සහ දැඩි හමුදාකරණය (Hard Militarization) ඒ කොටස් දෙකයි. ලෝකය පුරා පොදු අර්ථයෙන් බැලූ විට, මේ අන්ත දෙක අතර තත්ත්වයක් හමුදාකරණය ලෙස හැඳින්විය හැකිය. මියන්මාරයේ මේ වන විට ඇත්තේ හමුදා ආණ්ඩුවකි. එනම් සිවිල් පාලන තන්ත්‍රය වෙනුවට හමුදා පාලනයක් පැමිණ තිබේ. දකුණු කොරියාවේද වෙනස්කම් සහිතව මෙවැනි තත්ත්වයක් තිබිණ. පිලිපීනයේද එවැනි තත්ත්වයන් දැකිය හැකි විය. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ සිට මියන්මාරයේ පවතින තත්ත්වය දැඩි හමුදාකරණයට හොඳම උදාහරණයකි. එහි සිවිල් පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.
ලංකාවේ තත්ත්වය
ලංකාවේ වර්තමාන තත්ත්වය ගත් විට මෘදු හමුදාකරණ ලක්ෂණ හඳුනාගත හැකිය. එය දැඩි හමුදාකරණ තත්ත්වයක් දක්වා යෑමේ අනතුරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව බිය පළකරනු දැකිය හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සිවිල් පරිපාලනයේ ප්‍රධාන තනතුරු වන අමාත්‍යාංශ ලේකම්, සංස්ථා ප්‍රධානීන් ලෙස හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් පත්කිරීම දිගින් දිගටම සිදුවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට හමුදාව මැදිහත් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවතී. කෝවිඩ් 19 වසංගත මර්දන කටයුතුවලදී ප්‍රමුඛත්වය ලබාදීමේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදීද මේ තත්ත්වය දක්නට ලැබේ.
ආපසු බැරැක්ක වෙත
වසංගත, ගංවතුර, නියං වැනි හදිසි ආපදා තත්ත්වයන් තුළදී හමුදාව යෙදවීම දැකිය හැකිය. එවැනි තත්ත්වයන් සිවිල් පරිපාලනයට කාර්යක්ෂම ලෙස මුහුණ දිය නොහැකි තත්ත්වයන් වේ. ඊට හේතුව සිවිල් පරිපාලනය හැඩගැසී ඇත්තේ සාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට වන නිසාය. මෙහිදී සිදුවන්නේ මෘදු හමුදාකරණයක්ද, දැඩි හමුදාකරණයක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව පැවසීමට හැකි වන්නේ එහි දීර්ඝකාලීනව සිදුවන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කිරීමෙන්ය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව පෙර සිටි ස්ථානවලට ආපසු යෑම සිදුවිය හැකිය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව නව ස්ථාන පිහිටුවා, ඒවායෙහි ස්ථානගත වීමද සිදුවිය හැකිය. කෙසේවෙතත් මෙවැනි හදිසි අවස්ථාවක් සඳහා හමුදාව මැදිහත් කිරීමෙන් පසු නැවත බැරැක්ක වෙත යා යුතුයි (Back to Barrack) යනුවෙන් සංකල්පයක් තිබේ.
වචන හරඹ
මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධය (War against drugs), දිළිඳුකමට එරෙහි යුද්ධය (War against poverty) වැනි වචන යොදා ගැනීමද වක්‍රව මෘදු හමුදාකරණයක් ලෙස හැඳින්විය හැකිය. යුද්ධය යන වචනය ඇසුණු විගස ඒත් සමගම හමුදාව, හමුදා නිල ඇඳුම සහ අවි ආයුධ සිහියට එයි. යුද්ධ කරන්නේ කුමක් සඳහාද යන්න සිහියට එන්නේත්, තේරුම් ගන්නේත් ඉන්පසුවය. එම නිසා මෙවැනි අවස්ථාත් මෘදු හමුදාකරණයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
රොමාන්තිකකරණය කරන හමුදාව
ලංකාවේදී පමණක් නොව ඉන්දියාව, පාකිස්තානය ඇතුළු බොහෝ රටවලදී අප දකින විශේෂිත තත්ත්වයක් ලෙස හමුදාව රොමාන්තිකකරණයට ලක්කිරීම පෙන්වාදිය හැකිය. ජනමාධ්‍ය, සංගීතය, චිත්‍රපට, ටෙලි නාට්‍ය ඇතුළු විවිධ අංශ ඔස්සේ මෙය සිදුකරනු දැකිය හැකිය. හමුදාවේ පුරප්පාඩු පිරවීම සඳහා තරුණයන් ආකර්ෂණය කරගැනීමද මෙමගින් සිදුකෙරේ. එසේම දේශප්‍රේමය වැනි ජාතිකවාදී ව්‍යාපාර හරහා මතුකෙරෙන මතවාද සමාජගත කිරීම සඳහාද මෙවැනි මෘදු හමුදාකරණයන් භාවිත කරනු ලබයි. මෙවැනි මතවාද සමාජගත කිරීමට යොදාගන්නා ගීත සඳහා හමුදා ආචාර පෙළපාළි සංගීතයට සමාන සංගීතයක් භාවිත කිරීම ලංකාවේදී මෙන්ම ඉන්දියාවේදීද බහුලව දැකිය හැකිය.
තාවකාලික තත්ත්වයක්
කෙසේවෙතත් මේ මෘදු හමුදාකරණයේ ඇති විශේෂත්වය වන්නේ මෙමගින් සිවිල් පරිපාලන ක්‍රියාවලියේ ස්ථිර වෙනසක් සිදු නොවීමය. මේවා තාවකාලික හමුදාකරණ තත්ත්වයන් ලෙසද හැඳින්විය හැකිය.
එහෙත් දැඩි හමුදාකරණයේදී මෙසේ නොවේ. එහිදී හමුදාව ආණ්ඩු කිරීමේ හෝ සිවිල් පරිපාලනයේ ස්ථිර කොටසක් බවට පත් වේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් යටතේ හමුදාව තිබෙන්නේ සිවිල් පරිපාලනය යටතේය. හමුදාකරණ ලක්ෂණ බහුලව පවතින රුසියාවේ පවා තත්ත්වය එසේය. මීට හේතු වන්නේ සන්නද්ධ බලයට හිමිකම ඇති ආයතනය හමුදාව වීමය. එය ඇතැම් තැනකදී න්‍යෂ්ටික බලය දක්වා විහිදුණු ප්‍රබල බලයකි. එම නිසා සෑමවිටම හමුදාව සිවිල් පරිපාලනයට යටත් කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.
හමුදා පුහුණුව
හමුදාව තුළ සංවිධානය වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමාසහිත වේ. හමුදාවට පුහුණුව ලබාදෙන්නේ අණ පිළිපැදීමට සහ එම අණට යටත්ව කටයුතු කිරීමටය. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව මැදිහත් කර ගැනීමේදී ඔවුන් තමන්ට ලැබුණු පුහුණුව අනුව කටයුතු කිරීමට පෙලඹීම සාමාන්‍ය දෙයකි. විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ගතහොත්, ඔහු බොහෝ විට වසර හතළිහකට ආසන්න කාලයක් හමුදාවේ නියෝග සහ පුහුණුව යටතේ ජීවත් වූ අයෙකි. එක්වරම ඔහුට සිවිල් පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ස්වයං පුහුණුවක් ලැබීම තරමක් අසීරු විය හැකිය.
හමුදා – සිවිල් බල තුලනය
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ අවි දැරීමට නීත්‍යනුකූල බලයක් හිමි ආයතන සිවිල් පරිපාලනයට සම්බන්ධ කර නොගැනීමය. අත්‍යවශ්‍ය තත්ත්වයන් යටතේ සිවිල් පරිපාලනයට මැදිහත් කරගන්නා හමුදාව, එම කටයුතුවලින් පසු නැවත සිටි ස්ථාන වෙතම යැවීමේ වැදගත්කම් ඉස්මතු කෙරෙන්නේද එම නිසාය. මේ නිසා නිරන්තරයෙන්ම හමුදා සහ සිවිල් අංශ දෙක අතර බල තුලනයක් පවත්වාගත යුතුය. එම බල තුලනය යම් ආකාරයකින් බිඳවැටුණහොත්, පෙර කී දැඩි හමුදාකරණයක අනතුරක් නිර්මාණය විය හැකිය.
හදිසි නීතිය මාසයකට පමණයි!
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් මේ තත්ත්වය බරපතළ ලෙස අවධානයට ගෙන ඇති බව තහවුරු කරන උදාහරණයක් ලෙස හදිසි නීතිය හැඳින්විය හැකිය. හදිසි නීතිය යටතේ පොලීසියට හිමි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය හමුදාවට පැවරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී විශේෂයෙන් දක්වා ඇත්තේ මාසිකව හදිසි නීතිය දීර්ඝ කිරීමේ හෝ අවලංගු කිරීමේ කාර්යයත්, එය මාසිකව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කළ යුතුය යන්නත්ය.
තුනෙන් දෙක, සරල බහුතරය වෙයි
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේදී මෙහි තවත් බරපතළ කරුණක් සඳහන් විය. එනම් මාස තුනකට වඩා, එකදිගට හදිසි නීතිය දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබාගත යුතුය යන්නයි. එහෙත් පසුව කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය සරල බහුතරයෙන් කළ හැකි බවට ලිහිල් කරන ලදී. එය බරපතළ තත්ත්වයක් වන්නේ හමුදා සහ සිවිල් බල තුලනය සඳහා ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරන ලද තුනෙන් දෙකේ අනුමැතිය ලබා ගැනීම තරමක් අසීරු කරුණක් වුවද, සරල බහුතරය ලබා ගැනීම පහසුවෙන් කළ හැකි වීම නිසාය.
ජනාධිපතිවරයාගේ වගවීම
කෙසේවෙතත් මහජන ආරක්ෂක පනතේ 12වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථාවක් නැතත් ජනාධිපතිවරයාට හමුදාව කැඳවිය හැකිය. එය අභියෝගයට ලක් කළ නොහැකි බලයකි. මෙය අභියෝගයට ලක් කළ නොහැකි වුවද, ජනාධිපතිවරයා තමන්ගේ තීරණය සම්බන්ධයෙන් වග විය යුතුය. තමන් එවැනි තීරණයක් ගැනීමට සාධාරණ සහ පිළිගත හැකි හේතු පැහැදිලි කළ යුතුය. එහෙත් එවැන්නක් අපට ප්‍රායෝගික තලයේදී දැකිය නොහැකිය. මෙවැනි වග වන තත්ත්වයක් නොමැති නිසාම හදිසි නීතිය ලංකාව වැනි රටවල සාමාන්‍ය නීතිය බවට පත්වී තිබේ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු කාලය ගත් විට, ලංකාව පාලනය වී ඇත්තේ සාමාන්‍ය නීතියට වඩා හදිසි නීතිය යටතේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය විකෘතියක් බවට පත්කර තිබේ.
අභියෝගයට ලක් කළ නොහැක
මෙසේ හදිසි නීතිය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති සමාජයක, හමුදාකරණය (Militarism) මතවාදයක් බවට තහවුරු වී තිබේ. මේ නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට සම්බන්ධ කර ගැනීම ප්‍රශ්න කෙරෙනු පොදුවේ දැකිය නොහැකිය. ඔවුන්ව සිවිල් පරිපාලනයට යොදාගන්නේ ඇයි? එය සිදුවන්නේ ඔවුන්ගේ හමුදා පුහුණුව නිසාය. අවස්ථා එකකදී හෝ දෙකකදී මෙය සිදුවිය හැකිය. එහෙත් දිගින් දිගටම එසේ සිදුවීම මගින් මේ පත්කිරීම්වලට අලුත් අර්ථයක් ලබාදෙයි. එය හුදෙකලා සිදුවීම් ලෙස කොයිතරම් දුරට හොඳද, නරකද යන්න තීරණය කළ යුත්තේ කාලය සමගය.
කාර්යක්ෂමතා මතවාදය
මෙවැනි පත්කිරීම් සමාජයේ බහුතරය පිළිගනු ලබන්නේ කාර්යක්ෂමතාව යන තැනින්ය. සිවිල් පරිපාලනය, දේශපාලනඥයන් අකාර්යක්ෂම, අසාර්ථක, දූෂිත බවට මතවාදයක් සමාජයේ තිබේ. එය සිවිල් පරිපාලනය සහ දේශපාලනඥයන් විසින් තවදුරටත් තහවුරු කරමින් සිටී. 1958දී පාකිස්තානයේත්, 1962 බුරුමය හෙවත් වර්තමාන මියන්මාරයේත් සිදුවූයේ මේ මතවාදය පෝෂණය කිරීමේ උච්ච අවස්ථාවේදී සිදුවන දෙයයි. එනම් හමුදාව පාලනයේ වෙනසක් සඳහා සෘජුව මැදිහත් වීමය.
කළ යුත්තේ කුමක්ද?
මේ නිසා මෘදු හමුදාකරණය, දැඩි හමුදාකරණයක් දක්වා යන මාර්ගය නිවැරදිව තේරුම්ගත යුතුය. අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි කරුණු සමාජය තුළ ප්‍රශ්න කළ යුතුය. ඊට අදාළ මැදිහත්වීම කළ යුතුය. යුදවාදයට ගොනු වූ බහුතර මතයක් මෙන්ම දිනෙන් දින රාජ්‍ය බලය, මාධ්‍ය යොදා ගනිමින් තව තවත් එම මතය පෝෂණය කරන තත්ත්වයක් තුළ, නිර්යුදවාදී මතවාදයක් සමාජගත කිරීම දුෂ්කර ප්‍රයත්නයක් වීම අනිවාර්යය. නමුත් යා යුත්තේ එම මාර්ගයේය.