නිදහසේ උරුමයට චින්තනය මෙහෙය වූ පුරෝගාමී මානව ප්‍රේමියා ඩී.ආර්


තමන් වඩාත් උත්සාහ කළ දුම්බර මිටියාවතට අයත් පේරාදෙණිය ප්‍ර‘දේශයේ විශ්වවිද්‍යාල බිහිවීමෙන් සතුටට පත්ව මේ බෞද්ධ රටේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් යමක් සිදු කළ යුතු බවට විජයවර්ධනයන් කල්පනා කළේය.


 

1920-1930 සහ 1940 දශකවල කොළඹ කොටුවේ පිහිටි ලේක්හවුස් මන්දිරය හුදෙක් පුවත්පත් ආයතනයක් වූවා පමණක් නොව, පූර්ව නිදහස් යුගයේ - නිදහස් සටනේ නියුක්තව සිටි නායකකාරකාදීන්ට ඔවුනොවුන් හමුවීමට සහ සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා වෙන්කෙරුණු භූමියක්ද වූයේය. ලංකාවට නිදහස ලබාගැනීම පිණිස එහි මුද්‍රණය කළ පුවත්පත් තුළින් ලැබී ඇති ශක්තිය, දායකත්වය සහ මඟපෙන්වීම වර්තමානයේ සිතාගැනීමට පවා අපහසු කරුණකි.

1920 අවසන සහ 1930 දශකයේ මුල් භාගයේ අගනුවර විවිධ ස්ථානවල විසිර පැවැති, ඩී.ආර්. විජයවර්ධනයන්ට අයත් මුද්‍රණ ස්ථාන ඒකරාශී කර, අද දක්නට ඇති ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කරවා ස්වකීය කටයුතුවලට අයෝමය ශක්තියක්, උපදෙස්, අදහස් මෙන්ම ගුරුහරුකම්ද ලබාදුන් ආදරණීය මෑණියන්ගේ සුරතින් විවෘත කරවීය. එපමණක් නොව කැලණි විහාර කර්මාන්ත යළි ඉදිකිරීම් කටයුතුවල නියැළීමෙන් මහත් වූ ජනප්‍රසාදයට පත්ව කැලණියේ විශාඛාව නමින් විරුදාවලි ලත් හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ මුල් වාසගම නමින් තම අභිනව ආයතනය නම් කර මෑණියන්ට ගෞරව උපහාර දැක්වීය. එනම් එතුමියගේ මුල් වාසගම වූ වැවගේ නාමයේ ඉංග්‍රීසි භාෂික අරුත වූ ලේක්හවුස් යන නමින් නව මුද්‍රණ ආයතනය නාමකරණය කළේය.

ඩී.ආර්. විජයවර්ධනයන් බොහෝ දෙනෙකු දකින්නේ සුප්‍රසිද්ධ පුවත්පත් ව්‍යාපාර හිමියෙකු, ලංකාවේ නිදහස් සටනේ පෙරගමන්කරුවෙකු, බෞද්ධ පූජනීය ස්ථාන නඟාසිටුවීමට කටයුතු කළ බොදු දානපතියෙකු, ලෙස වුවද ඉන් ඔබ්බට ගිය ජාතික යුතුකම් රාශියක් එතුමන් විසින් සිදුකොට ඇත්තේය. 

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධිය ලැබූ විජයවර්ධනයන් නැවත මවුබිමට පැමිණියේ 1912 වර්ෂයේදීය. එම වකවානුව ඩී.එස්. සේනානායකයන් ඇතුළු තවත් දේශීය නායකයන් කණ්ඩායමක් විසින් ලංකාවට නිදහස ලබාගැනීම පිණිස විවිධ සංවිධාන ගොඩනගමින් සමිති සමාගම් පවත්වමින් ජනතාව දැනුම්වත් කරමින් සිටි කාලයකි. ඒ අනුව 1913 වර්ෂයේ ඔක්තෝබර් 23වැනිදා දේශයට නිදහස දිනාගැනීමේ සටන සංවිධානය කරන ලද කණ්ඩායම විසින් 'ලංකා ජාතික සමිතිය' නමින් නව සමිතියක් පිහිටුවාගන්නා ලදී. ආතර් අල්විස් මහතා සභාපතිත්වයට පත් වූ මෙම සමිතියේ ලේකම්වරයා වූයේ ඩී.ආර්. විජයවර්ධනයන්ය.

විජයවර්ධනයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් එකල සිවිල් නිලධාරියෙකු ප්‍රකට බුද්ධිමතෙකු මෙන්ම පාලකයෙකුද වූ සර් පොන්නම්බලම් අරුණාචලම් විද්වතාණන් ලවා ජාතික සමිතිය විසින් සංවිධානය කරන ලද එක්තරා රැස්වීමක 'අපේ දේශපාලන ඕනෑකම්' නමින් ඓතිහාසික දේශනයක් පවත්වනු ලැබීය. ජාතික සමගිය සංකේතවත් කරමින්, ශ්‍රී ලාංකික අනන්‍යතාව මත හිඳිමින්, පොන්නම්බලම් මහතා එම දේශනය පැවැත්වීය. රටේ දේශපාලන නිදහස, ආගමික නිදහස, අධ්‍යාපනය ඇතුළු ශ්‍රී ලාංකේය අනන්‍යතා දේශනයේ තේමා බවට පත්ව තිබුණි.

1910 සහ 1920 දශකවල ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉතාමත් පහත් අඩියක තිබුණි. සමස්ත ජනගහනයෙන් 73.6%කට කියවීමට සහ ලිවීමට හැකියාවක් කිසිසේත් නොතිබුණි. කාන්තා පාර්ශ්වයේ පමණක් එහි අගය 89.4%ක් විය. දිවයිනේ පිහිටා තිබූ සීමාසහිත පාසල් සහ පිරිවෙන් සංඛ්‍යාවෙහි උගත්තේ ප්‍රාදේශිකව ජීවත් වූ ප්‍රභූ පන්තියට අයත් දරුවන් පමණක් විය. විජයවර්ධනයන් ස්වකීය උසස් අධ්‍යාපනය හමාර කර 1912 වර්ෂයේදී ලංකාවට පැමිණ එවකට නිදහස් සටනේ නායකයන් හා සහසම්බන්ධව කටයුතු කිරීමේදී මෙරට පැවැති අධ්‍යාපනික විෂමතාව වටහාගත් බවට සාක්ෂි, එකල එතුමාද නියෝජනය කරන ලද සමිති සමාගම්වල ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීමේදී වටහාගත හැකිය.

පැවැති යටත් විජිතවාදී ආණ්ඩු ක්‍රමය විසින් ජාතික බලය සහ වගකීම් පැහැරහැර තිබිණි. ජාතික ශක්තිය සහ නිපුණතා වැඩෙන්නට ඉඩ නොදී තිඹිරිගෙය තුළම වනසා දමා තිබුණි. ඒ ඔස්සේ පොදු ජනතාවගෙන් බහුතරයක් නිතරම කල්පනා කළේ, තමන්ට කිසිදිනක දෙපයින් නැඟී සිටීමට නොහැකි දීන සහ දුබල ජාතියක් ලෙස ඉපිද මියයාමට සිදුව ඇති බවයි. බ්‍රිතාන්‍ය‘යේ අධ්‍යාපනය ලැබූ සමයෙහිද ලංකාවේ දේශපාලනය පිළිබඳ අවදියෙන් සිටි විජයවර්ධනයෝ, මාතෘ භූමියේ යුගයේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් සිටියේය. නිදහස ලබාගැනීමේ සටන තීව්‍ර කිරීම පිණිස පුවත්පතකට ඇති ශක්තියත්, හැකියාවත් එතුමන් අවබෝධ කරගෙන තිබුණේ සිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ජීවිතය තුළදීය. පුවත්පතක් පටන් ගැනීමට අවශ්‍ය ධනය, බලය සහ හැකියාව එතුමන් සතුව තිබුණද පුවත්පත පරිශීලනය කරන්නේ කවුරුන්ද යන්න එතුමන්ට ප්‍රශ්නයක් වී තිබුණේ මෙරට පැවැති ඉහතින් සඳහන් කරන ලද දුර්වල සාක්ෂරතාව නිසාය.

විජයවර්ධනයන් තමන් විසින් නිදහස දිනාගැනීමේ කණ්ඩායම සමග කටයුතු කිරීමේදී ජනතාව සබුද්ධික කළ යුතු ආකාරය ඔහුගේ නිරීක්ෂණයට බඳුන් විය. ඒ අනුව 1914 වර්ෂයේදී නිදහසේ කණ්ඩායම විසින් තවත් පොදු සේවාවක් ආරම්භ කිරීම පිණිස කටයුතු යෙදීය. ඒ මහජන සේවක සමිතිය නමින් නව සමිතියක් ස්ථාපිත කිරීමයි. මෙම සමිතියේ ලේකම්වරයා ලෙස විජයවර්ධනයන් පත්විය. ඔහුට අමතරව සර් පොන්නම්බලම් අරුණාචලම් මහතාත්, සර් ජේම්ස් පීරිස් මහතාත් සමිතියේ ආරම්භකයෝ වූහ.

එහි මුඛ්‍ය අරමුණ වූයේ සමාජයේ අතිබහුතරයක් වූ නූගත් ජනතාවගේ කියවීමේ සහ ලිවීමේ හැකියාවන් වර්ධනය කරදීමට කටයුතු කිරීමයි. එකල සමාජයේ විරල වූ උගත්හු මේ සමිතියෙන් කෙරෙන සමාජීය කටයුතු ස්වේච්ඡාවෙන් ඉටුකිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. වැඩිහිටි අය සඳහා වෙනමත්, තරුණ සහ ළමා පෙළ සඳහා වෙන වෙනමත් පන්ති පැවැත්විණි. රාත්‍රී පාඨශාලා ලෙස එකල මේවා නම්කොට තිබිණි. 1915 පැවැති ජාතිවාදී කෝලාහලත්, ඒ තුළින් නැතිවුණු ජාතික සමගියත් කෝලාහල මර්දනය කිරීම පිණිස පාලකයන් පනවන ලැබූ අසම්මත නීතිරීතිත් මෙරට නිදහස් නායකයන්ගේ උදාර අරමුණු යම් තරමකට මොටකර දැමුණි.

අන් සියල්ලම පසෙකලා පළමුවෙන් පරදේශිකයන්ගෙන් දේශය නිදහස් කරගත යුතු යැයි ඒකායන අරමුණකට ඔවුන් පැමිණෙන ලද්දේ කෝලහලයේ ප්‍රතිඵලයක් ලෙසය. ඩී.ඇස්., එෆ්.ආර්. මෙන්ම විජයවර්ධනයන්ගේ වැඩිමහල් සොහොයුරු අලෙක්සැන්ඩර් විජයවර්ධන, සර් ඩී.බී. ජයතිලක, ඩබ්.ඒ. ද සිල්වා වැනි නිදහසේ නායකයන් සිරගත කිරීමත්, හෙන්රි පේද්‍රිස් තරුණයා වෙඩි තබා මරා දැමීමත් වැනි කටයුතුත් ඔවුන්ගේ අරමුණු ගිනියම් කළේය. කිසි විටෙකත් අවි අමෝරා කෙරෙන සටනකට නොගොස් වාග් සංග්‍රාමයෙන් පමණක් නිදහස් සටන රැගෙන යාම කෙතරම් බුද්ධිගෝචර කර්තව්‍යයක්දැයි සිතෙන්නේ - යම් හෙයකින් ආයුධ පිළිබඳ විශ්වාසය තබා එදා කටයුතු කළේ නම් අප තවමත් නිදහස වෙනුවෙන් සටන් කරන එක් ජාතියක් වන්නට ඉඩ තිබූ නිසාය. සමස්තයක් වශයෙන් නිදහස් සටනේ සියලුම නායකයන්ට අප ණයගැති විය යුත්තේ ඒ නිසාවෙනි.

සුදු ජාතිකයන් සමග බුද්ධිමය සංග්‍රාමයකට විජයවර්ධනයන් අවතීර්ණ වූයේ ස්වකීය පුවත්පත් තුළිනි. ඔවුන්ගේ සැලසුම් සහ අභිප්‍රායන් රහසිගතව ලබාගෙන ස්වකීය පුවත්පත් තුළින් ප්‍රචලිත කළේය. 1915 මාර්තු 02 වැනිදා, විජයවර්ධනයන් ස්වකීය දිනමිණ පුවත්පත මගින් ලංකාව යටත් විජිතයක් බවට වූ ශත සංවත්සරය ජාතියට සිහිපත් කර දුන්නේ අවසන් ශ්‍රී ලාංකික රජතුමන්ගේත්, එම ආර්යාවන්ගේත් ඡායාරූප සහිත විස්තරය සමගින් එතුමන් විසින් ඊ.ඩබ්. පෙරේරා මහතා සමගින් බ්‍රිතාන්‍යයෙන් සොයාගත් අපගේ ජාතික ධජයේ වර්ණ ඡායාරූපයක්ද සමගයි. දේශීය නායක මුළුවේ ඉල්ලීම් උද්ඝෝෂණ හමුවේ අධිරාජ්‍යවාදී පාලකයන්ට නිදහසේ කටයුතු කළ නොහැකි විය.

ඒ අනුව ඔවුන් කලින් කලට මෙරට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිණිස විවිධ කොමිසම් පත්කර එවන ලදී. එහි ප්‍රථම කණ්ඩායම වූයේ ඩොනමෝර් කොමිසමයි. විජයවර්ධනයන්ගේ සමකාලීන කේම්බ්‍රිජ් සරසවි සිසුවෙකු වූ බට්ලර් නම් සුදු ජාතික මහතා 1927 මෙරටට පැමිණි ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයෙක් විය. හෙතෙම මාර්ගයෙන් ලංකාවට වඩාත් හිතකර අයුරින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නිර්මාණය කරවාගැනීමේ හැකියාව  විජයවර්ධනයන් සතු විය. පසුව 1944දී මෙහි පැමිණි දෙවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සභාව වූ සෝල්බරි කොමිසමේ සාමාජිකයන් උදෙසා එතුමන් එක් සති අන්තයක් තමන් සතු මනරම් ආකේඩියා බංගලාවේ නවාතැන් පහසුකම් සලසා දුන්නේය.

එම ආගන්තුක සත්කාරයට මහත් සේ පැහැදී එහි කණ්ඩායම් නායක සෝල්බරි සාමිවරයා විජයවර්ධන මහතා මියයන තෙක්ම ඔහුගේ කුළුපඟ මිතුරෙක්ව සිටියේය. එම සම්බන්ධතා නිසා, දේශයට අවශ්‍ය ආකාරයෙන් ප්‍රතිසංස්කරණ යෝජනා බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කරවීමට විජයවර්ධනයන්ට හැකි විය.

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට විශ්වවිද්‍යාලයක් යෝජනා කළ අවස්ථාවේ එය පිහිටුවන ස්ථානය පිළිබඳ නිදහස දිනාගැනීමේ කණ්ඩායමේ නායකයන් අතර මත දෙකක් හටගැනුණි. කොටසක් අගනුවර පිහිටුවීම යෝග්‍ය බවට තර්ක කළ අතර, අනෙක් කොටස මහනුවර ප්‍ර‘දේශයේ පිහිටුවිය යුතු බවට තර්ක කළහ. එංගලන්තයේ කේම්බ්‍රිජ් වැනි සරසවියක අධ්‍යාපනය ලැබ, සරසවි සිසුවෙකුට අවශ්‍ය පහසුකම් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිටි ඩී.ආර්. විජයවර්ධනයන් යෝජිත විශ්වවිද්‍යාලය අගනුවර පිහිටුවීමට විරුද්ධ මතයක් ඉදිරිපත් කළ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටියේය.

තමන්ගේ ඩේලි නිවුස් පුවත්පත මගින් මේ කරුණ පිළිබඳ සංවාදයක්ද විජයවර්ධන මහතා මතු කළේය. 1926 ජුනි 26වැනි දින මේ කරුණ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ ඇම්.ටී. අක්බාර් මහතා ප්‍රමුඛ කමිටුවක් පත් කිරීමට එවකට සිටි ආණ්ඩුකාරවරයා තීරණය කළේය. අක්බාර් මහතා විජයවර්ධනයන්ගේ ආසන්නතම හිතෛෂියෙක් විය. කමිටුව ඒ.එල්. මොලමුරේ, සර් ඩී.බී. ජයතිලක ඇතුළු තවත් සාමාජිකයන් කිහිප පොලකින් සමන්විත විය. එම කණ්ඩායමේ තීරණය වූයේ දුම්බර මිටියාවතේ යෝජිත විශ්වවිද්‍යාලය ඉදිවිය යුතු බවයි. ඒ සියල්ලන්ම විජේවර්ධනයන්ගේ සමීප ඥාති හිතවතුන් විය.

ඉදිවන ලද පේරාදෙණිය සරසවියේ පළමු උපකුලපතිවරයා වූයේ සර් අයිවර් ජෙනිංග්ස්ය. තමන් වඩාත් උත්සාහ කළ දුම්බර මිටියාවතට අයත් පේරාදෙණිය ප්‍ර‘දේශයේ විශ්වවිද්‍යාල බිහිවීමෙන් සතුටට පත්ව මේ බෞද්ධ රටේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් යමක් සිදු කළ යුතු බවට විජයවර්ධනයන් කල්පනා කළේය. ශාසන ගරුත්වය නිසාම ගිහි පාර්ශ්වයෙන් වෙන්වූ ස්ථානයක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නේවාසික විය යුතු බව හෙතෙම දැඩිව විශ්වාස කළේය.

ඒ අනුව හිඳගල වලව්වත්, කෙහෙල්පන්නල වලව්වත් ඒ උදෙසාම මිලට ගෙන සංඝාරාමය නමින් භික්ෂු නේවාසිකාගාරයක් පිහිටුවීමට ඔහු කටයුතු කළේය. විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ සර් පැට්‍රික් ඇබර් මහතා  මුණගැසී ඉදි කළ යුතු ගොඩනැගිලිවල මූලික සැලසුම් සකස් කළේය. ඒ වෙනුවෙන් සර් පැට්‍රික් නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිලිවල සිතුවම් අද දිනයේත් විජයවර්ධනයන්ගේ නිවසේ තිබෙණු පෞද්ගලිකව මා විසින් දැක ඇත්තෙමි. මේ උතුම් කාර්යය සඳහා භාරකාර මණ්ඩලයක් පත් කර මූලිකව රුපියල් ලක්ෂ දෙකහමාරක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී. එම මුදල අද දිනයේ නම් කෝටි ගණනක අගයකි. එපමණකින්ද නොනැවතුණු හෙතෙම ලංකාවේ සුප්‍රසිද්ධ ඩබ්.ඒ. සිල්වා මහතාගේ පුස්තකාලයත්, පර්ගියුෂන් නමැති විද්වතාගේ පුස්තකාලයත් මිලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා පරිත්‍යාග කළේය.

උතුම් දළදා වහන්සේ වැඩසිටින මධ්‍යම කඳුකරයේ මහවැලි මිටියාවතේ සරසවිය පිහිටුවීම පිණිස භූමිය තෝරාගත් සහ එහි පැවැත්ම ස්ථාපිත කිරීම පිණිස ස්වකීය පෞද්ගලික ධනය වැය කළ ඩී.ආර්. විජයවර්ධනයන් ප්‍රමුඛ පුරෝගාමීහු ජාතියේ සම්භාවනාවට පත්විය යුත්තෝය. 'සර්වාස්ව ලෝකනම් ශාස්ත්‍රම්' යන සංස්කෘත බසින් අලංකෘත වූ විශ්වවිද්‍යාලයීය තේමා පාඨයෙහි සිංහල අරුත ශාස්ත්‍රය වනාහී ලෝකය දැකීමේ නෙත වන්නේය යන්නයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය උරුම වූ දේශීය විද්‍යාර්ථීන් වෙනුවෙන් පේරාදෙණියෙහි සරසවියක් පිහිටුවීමේ ප්‍රයත්නයෙහි ප්‍රමුඛයෙක් වීම සහ එහි ශිෂ්‍ය කොට්ඨාසයක් වූ පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අද දිනයේ පවා පවත්වාගෙන යන සංඝාරාම නේවාසිකාරාම ව්‍යාපෘතිය ඩී.ආර්. විජයවර්ධනයන් පුවත්පත් කර්මාන්තයෙන් ඔබ්බට ගොස් දේශයට දායාද කර ඇති තවත් එක් සමාජ සත්කාරක සේවාවකි.

නිමල් වික්‍රමසිංහ



Recommended Articles