දිනය 1976 වර්ෂයේ ජනවාරි මස 14 වැනිදාය. එදින උදෑසන කොටුව දුම්රිය ස්ථානයට වී කුමුදු කුසුම් කුමාර මහතා මග බලා සිටියේ 'මහගම සේකර' එහි එනතෙක්ය. එවක රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ කෙටි චිත්‍රපට නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ ඒ වන විට ක්ෂේත්‍ර ගණනාවක සිට ප්‍රතිභාව ප්‍රභාමත් කළ සේකර පිළිබඳ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම කුමුදු කුසුම් කුමාර මහතාගේ අභිප්‍රාය වී තිබුණි. ඔහු මග බලමින් සිටියේ සේකර එහි රූගත කිරීම් සඳහා රැගෙන යනු පිණිසය. පෙරදා නිවසට වාහනයක් එවීමට යෝජනා කළද, සේකර පවසා ඇත්තේ කොටුව දුම්රියපොළට වාහනයක් එවීම ප්‍රමාණවත් බවය. වෙලාවට වැඩ කිරීමේ පුරුද්දෙන් යුතු සේකර දැනටමත් ප්‍රමාදය. එකල මෙකලෙහි මෙන් දුරකථන පහසුකම්ද සුලබ නොවිණ. පසුව නිවසට ගොස් විමසන කල්හී දැනගන්නට ලැබෙනුයේ පෙරදා රාත්‍රියේ අලුයම් කාලයේ නිදි යහන මතදීම මහගම සේකර නම් වූ අද්විතීය කලාකරුවා සදාකල්හී නිහඬව ඇති බවය. ඒ වන විට ඔහු ජීවන මගෙහි වසර 46කුත් මාස කිහිපයක් පමණක් පියමංකොට තිබිණි. ඒ වේදනාබර නික්ම යෑමට අද (14දා) දිනට වසර 45ක් සපිරෙයි.
නිර්ව්‍යාජ ආත්ම ප්‍රකාශනවාදියෙකු ලෙස ප්‍රකට 'මහගම සේකර' නම් අද්විතීය කලාකරුවා සිය ආත්ම ප්‍රකාශනය එළිදක්වනු ලදුයේ සිය 'තුන්මං හන්දිය' නම් වූ ප්‍රකට නවකතා නිර්මාණය හරහාය. වර්ෂ 1929ක් වූ අප්‍රේල් මස 07 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑ කෝරළේ, රදාවානේ, මහවත්ත නම් පිටිසර ගම් පියසේදී මහගමගේ ජෝන්සිංඤේ මහතාට සහ රණවක ආරච්චිගේ රොසලින් නෝනා මහත්මියට දාව මහගම සේකර උපත ලැබීය. කිරිඳිවැල රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යපනය ලබා ඇති සේකර පසුකලෙක සිංහල ගුරුවරුන් සඳහා වූ චිත්‍රකර්ම විභාගයෙන් සමත්ව තිබේ.
පුහුණු ගුරුවරයෙකු වශයෙන් 1952 වර්ෂයේදී රාජගිරිය හේවාවිතාරණ පාසලෙන් ජීවිතය අරඹන මහගහ සේකර පසුකාලීනව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙසත්, රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයා සහ අධ්‍යපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යපන අංශයේ අධ්‍යපන නිලධාරියෙකු වශයෙන්ද සිය සේවාව දියත්කොට ඇත්තේ නිර්ව්‍යාජ බව සොබාමත් කරමිනි. මේ හැම අභිභවමින් ආත්ම ප්‍රකාශනවාදියෙකු ලෙස මෙරට රසික ජන හදවත් ආමන්ත්‍රණය කළ මහගම සේකරයන් ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයෙකු, ගී පද රචකයෙකු, නවකතාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම සපුරාම කවියෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දක්වනු ලැබීය.
“ඇවිද ලදු දෙනි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරියා පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක විසිතුරු රටා පැඳුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට මට කියාදුන් අම්මා….”
මහගම සේකරයන්ගේ විශිෂ්ටතම නිදහස් කවි කෘතිය ලෙස විචාරක ඇගයීමට පාත්‍රවන ප්‍රබුද්ධ කෘතියෙහි පිදුම් සටහන තබා ඇත්තේ එලෙසිනි. නූතන සිංහල කාව්‍යාවලියේ ජන කවියත් නිදහස් කවියත් එකිනෙක යා කළ පුරුක ලෙස විචාරක සම්භාවනාවට පාත්‍රවන මහගම සේකර 'ව්‍යාංගා', 'සක්වාලිහිණි', 'හෙට ඉරක් පායයි', 'මක්නිසාද යත්', 'රාජතිලක', 'ලයනල් සහ ප්‍රියන්ත', 'බෝඩිම', 'නොමියෙමි' සහ ඔහුගේ අවසන් කවි කෘතිය වන 'ප්‍රබුද්ධ' රසික ජන සමාජය වෙත දායාද කරනු ලදුයේ මෙරට නිදහස් කවි අහසේ මහා මේඝයක මං සටහන තබමිනි.
“අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පැහැයෙන් පායන
පහන් තරුව දැකගන්නට
ඒ බව දැන හෝ නොමදැන
ඔබත් මමත් අපි හැමදෙන
යමින් සිටිමු එකම අතට…”
සේකර 'සක්වාළිහිණි' කවි කෘතියට එසේ ලියයි. මහ පොළොවේ පය ගසන මිනිසුන්ගේ ජීවන සම්ප්‍රදායට ආසක්ත වූ ඔහු සිය නිර්මාණ කාර්යයන් තුළින් ඒ වග නොමඳව විසද කරයි. සමාජයේ පහළම පැලැන්තියේ මිනිසුන් සිය නිර්මාණ රසවිඳිනු දැකීම තරම් සතුටක් සේකරට නොතිබූ වග ඔහුගේ සමීපතමයන්ගේ පැහැදිලි කිරීමයි.
“මා ලියූ කවි රසැයි කියමින්
නිබඳ ඔබ මට පසසනා මුත්
ඒ කවි හැම
මා හද මත
මුලින් ලියුවේ ඔබමයි …”
සේකර සිය 'හෙට ඉරක් පායයි' කවි කෘතියේ පිටු අතර ඔහුගේ නිර්ව්‍යාජ බව එලෙස සොබාමත් කරයි. 'සද්දන්ත සහ තවත් නාටක', 'මූදුපුත්තු', 'හංස ගීතය' හා වෙනත් නිර්මාණ මහගම සේකරයන් ලියන ලද නාට්‍ය නිර්මාණ වේ. 'කෙටිකතා සහ චිත්‍ර' සේකරයන්ගේ එකම කෙටිකතා සංග්‍රහයයි. 'පුංචි අපට කයි කතන්දර', 'සරු පොළොවක් අපට ඇතේ', 'කොටි වලිගය' ආදිය දරුවන් සඳහා කළ සාහිත්‍ය නිර්මාණ අතර වේ. 'තුංමං හන්දිය' මෙන්ම 'මනෝ මන්දිර' නවකතාකරුවෙකු ලෙස සේකරගේ ප්‍රතිභාව ප්‍රභාමත් කරයි. සිය සැබෑම ජීවන පෙවෙත පාදක කොටගෙන රචනා කළ 'තුංමං හන්දිය' නවකතාව ඇසුරෙන් 'තුංමං හන්දිය' චිත්‍රපටය නිර්මාණය කළ මහගම සේකරයන් රූප මාධ්‍ය තුළ සිය ප්‍රතිභාව නොමැකෙන සේ ප්‍රභාමත් කරන ලද්දේය.
සිනමා ගේය පද රචකයෙකු ලෙස 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙලේදී හොඳම ගේය පද රචකයා සඳහා වන සම්මානයෙන් සේකර පිදුම් ලදුයේ 'සාරවිට' චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ 'මේ සිංහල අපගෙ රටයි' ගීතය වෙනුවෙනි. 1968 වර්ෂයේදී හොඳම ගේය පද රචනය සඳහා වූ සරසවි සිනමා සම්මානය මහගම සේකර වෙත පිරිනමනුයේ 'සත් සමුදුර' චිත්‍රපටිය සඳහා ඔහු ලියන ලද 'සිනිඳු සුදු මුදු තලාවේ' ගීතය සඳහාය. එපරිද්දෙන්ම 1970 වර්ෂයේදීද සරසවි චිත්‍රපටි සම්මාන උළෙලේදී 'බිනරමලී' චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ 'රටකින් රටකට පාර අසාගෙන' ගී පද රචනය සඳහා වසරේ හොදම ගේය පද රචනය සඳහා වූ සම්මානය සේකරයන් වෙත පිරිනමා ඇත.
ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ %පරසතු මල්^ චිත්‍රපටය සඳහා සේකර ලියනු ලදුව, ආචාර්ය ලයනල් අල්ගම සංගීතවත් කළ සංගීත විශාරද සුජාතා අත්තනායක ගයන ලද 'පරවුණු මල් වල සුවද අතීතය', 'තුන්මං හන්දිය' සිනමා සිත්තමට ආචාර්ය අමරදේව ගායනා කළ 'අතීතයෙන් ගඟ ගලා බසී', 'ගැටවරයෝ' චිත්‍රපයට කලාශූරී ලතා වල්පොල ගයන ලද 'සිහින සතක් මැද' සහ නාරද දිසාසේකර ගයන ලද 'ආරිච්චි බෝරිච්චි', 'සාරවිට' චිත්‍රපටය සඳහා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගයන ලද 'සිරිසාර බුලත් විට' සහ 'ලක්ෂ ගණන් වස්තු ලැබී' ආදිය සේකරයන්ගේ මනස් විලෙහි පිපි තවත් එවැනි සොඳුරු සිනමා ගී මතක සටහන්ය.
'මළ හිරු බසිනා සැන්දෑ යාමේ', 'පාළු අඳුරු නිල් අහස', 'මේ ලොව යම් කිසිවෙකු', 'වක්කඩ ළඟ', 'අතීතයෙන් ගග ගලා බසී', 'සන්නාලියනේ', 'පිලේ පැදුර' වැනි ගීත සිය ගණනාවක් සේකරගේ ගුවන් විදුලි සහ සිනමා ගී නිර්මාණ ලෙස අදද මෙරට සුභාවිත ගී රසික ජන හද තත් ආමන්ත්‍රණය කරයි.
මෙරට නිදහස් කවියේ මුදුන් මල්කඩ ලෙසත්, ගේය පද රචනා කලාවේ පහන් ආලෝකය ලෙසත්, එහැම අභිභවන නිදහස් මතධාරියෙකු ලෙසත් රසික ජන හදවත් ආමන්ත්‍රණය කළ මහගම සේකර වර්ෂ 1976ක් වූ ජනවාරි මස 14 වැනි දින සිය රසික ජන සමූහයාගෙන් සමුගෙන යන්නේ නොනිමි මතක සැමරුම් ගණනාවක් ශේෂ කරමිනි.
“සදා නොමියෙන ගීතයකි ඔබ
සදා නොමියෙන සිතුවමකි ඔබ
ගමේ ඕවිටි තැනිතලා වල
සදා ඔබ මට මුණගැසෙනු ඇත..”
බුල්නෑව ප්‍රදීප් රණතුංග